පාසල් අධ්‍යාපනය උපකාරක පන්තිවල ගොදුරක් වෙලා
මහාචාර්ය වසන්ත අතුකෝරළ
කෑම බීමට වඩා පන්තිවලට වියදම් කරන්න වෙලා…
සෑම දෙමාපියෙකුගේම එකම සිහිනය තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදී රටේ ඉහළ තනතුරක් හොබවනවා දැකීමය. ඔවුන් ගෙවන දුක්ඛිත ජීවිතය තම දරුවන්ට උරුම කර නොදීම තවත් අරමුණකි. ඒ සඳහා ඇති එකම මාර්ගය වන්නේ අධ්‍යාපනයෙන් ඉහළම සාමාර්ථයක් ලැබීම පමණි. ඒ අතර තවත් දෙමාපියන් කොටසක් උත්සාහ කරන්නේ තමන්ගේ දරුවා අල්ලපු ගෙදර ළමයාට වඩා, එක ලකුණක් හෝ වැඩිපුර ලබා ලබා ගන්නවා දකින්නටය. කවුරු මොන තර්ක ඉදිරිපත් කළත් අද දවසේ යථාර්ථය බවට එය පත්ව හමාරය.
කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ළමුන්ටත් මේ තරගයට මුහුණ දීමට සිදුව ඇත. දැන් පවතින අධ්‍යාපන රටාවත් සමඟ මෙම තරගය දිනන්න නම් පාසලෙන් ලබා දෙන අධ්‍යාපනය පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. ඒ නිසාම බොහෝ දෙමාපියන් ළමුන් කුඩා කාලයේ පටන්ම උපකාරක පන්ති සඳහා යොමු කිරීමේ ප්‍රවණතාවක් දකින්නට ලැබේ. අද වන විට උපකාරක පන්තියකට සහභාගි නොවන ළමයකු සොයා ගැනීම කිසිවකු නොමළ ගෙයකින් අබ ඇටයක් සොයා ගන්නවාටත් වඩා අපහසු දෙයක් බවට පත්ව ඇත.
අපේ රටේ පවතින්නේ නිදහස් අධ්‍යාපන ක්‍රමයයි. නිදහස් කිව්වාට මේවනවිටනම් එහි ඇති නිදහසක් නැත. ළමයෙකු පාසලට ඇතුළත් කළ දා පටන් කුමන හෝ දෙයකට මුදල් එකතු කිරීම අද වනවිට පාසල්වල පුරුද්දක් වී තිබේ.
ගුරුවරයා කියූ සැණින් අපගේ සිහියට නැගෙන්නේ විශාල සමාජ වගකීමක් ඉටු කරන ඉටු දෙවියෙකු ලෙසිනි. නමුත් අද දවස වනවිට ඉගැන්වීම වෘත්තියක්ද, සමාජ වගකීමක්ද එසේත් නැතිනම් ව්‍යාපාරයක්ද යන කාරණය තෝරා බේරා ගත යුතුව ඇත. එදා සමාජ සේවකයෙකු වූ ගුරුවරයා අද දැනුම විකුණන මුදලාලි කෙනෙකු බවට පත්ව ඇත.
උපකාරක පන්ති යැයි කියූ සැණින් එය සිදුවන ආකාර කිහිපයක් අපට සිහි වේ. එයින් එක් ක්‍රමයක් වන්නේ එක් එක් ළමුන්ට නිවසට පැමිණ හෝ ගුරුවරයාගේ නිවසට ගොස් ලබන අධ්‍යාපනයයි. මේ ක්‍රමය බොහෝවිට භාවිත කරන්නේ ධනවත් පවුල්වල ළමුන් සඳහාය. තවත් උපකාරක පන්ති ක්‍රමයක් වන්නේ ළමුන් දෙතුන් දෙනාගේ සිට පනහ දක්වා ව්‍යාප්ත වන කණ්ඩායම් පන්තිය. තුන්වනුව සිසුන් පනහේ සිට දහස ඉක්මවා යන සුවිසල් උපකාරක පන්තිය.
මේ මොන උපකාරක පන්තියත් දැන් දෙමාපියන්ට බරක් වී අවසන්ය. ඒ මේවනවිට පවතින අධික ජීවන වියදමත් සමග උපකාරක පන්තිවලට වියදම් කරන්නට තරම් ජනතාව අතේ පිච්චියක්වත් නැත. අප මේ පිළිබඳ කතාබහ කරන්නට තීරණය කළේ එය ජනතාවට දැඩිව බලපාන ප්‍රශ්නයක් වන බැවිනි. සමාජ ප්‍රශ්න පිළිබඳ නිරන්නරයෙන් අවධානය යොමුකරන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතාද පසුගියදා මේ පිළිබඳ සිදුකළ නවතම අධ්‍යයනයක ප්‍රතිඵල නිකුත්කොට තිබිණි. ඔහුට අනුව මෙරට උපකාරක පන්ති වෙළෙඳපළෙහි සමස්ත වටිනාකම රුපියල් බිලියන 200කි.
තුන්වේලක් කාපු ජනතාව දැන් කන්නේ දෙවේලකි. වෙනදා පෞද්ගලික වාහන භාවිත කළ බොහෝ පිරිසක් දැන් භාවිත කරන්නේ පොදු ප්‍රවාහන සේවයයි. මාසෙකට දෙකකට අලුත් ඇඳුමක් පැළඳුමක් ගත් ජනතාව දැන් පට්ට ගසන්නේ එකම ඇඳුමය. එහෙව් තත්ත්වයක් තුළ උපකාරක පන්ති ගාස්තු සාමාන්‍ය ජනතාවට කුමන ආකාරයෙන් බලපාන්නේදැයි සහ උපකාරක පන්ති වෙළෙඳපළ පිළිබඳ වැඩිදුර කරුණු විමසා බැලීමට අප පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා සම්බන්ධ කරගත් මොහොතේ ඔහු මෙරට පාසල් පද්ධතිය පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.
“මෙරට පාසල් පද්ධතිය තුළ පාසල් 10126 පමණ දැකිය හැකියි. ඒ ජාතික පාසල් 396 කුත් පළාත් පාසල් 9730 කුත් වශයෙනුයි. 2022 වර්ෂය වන විට මේ පාසල් තුළ අධ්‍යාපනය හදාරපු ශිෂ්‍ය සංඛ්‍යාව 3969597 ක්. එම පාසල් සංඛ්‍යාවේ ඉගැන්වීම් කටයුතු සඳහා සම්බන්ධ වන ගුරුවරුන් සංඛ්‍යාව 236738 ක්. මධ්‍යම ආණ්ඩුව මෙන්ම පළාත් පාලන ආයතනත් අධ්‍යාපනය දියුණු කිරීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වැය කිරීම දකින්නට පුළුවන් කාරණයක්.”
අද වන විට සෑම ගමක් නගරයක් පාසාම උපකාරක පන්ති දැකිය හැකියි. උපකාරක පන්ති සඳහා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන නගර ලෙස ගම්පහ, නුගේගොඩ, කුරුණෑගල, ගාල්ල, මහනුවර ආදී ප්‍රදේශ හැඳින්විය හැක. ඊට අමතරව ලංකාවේ සෑම ගමකම මෙන්ම සෑම නගරයකම ද උපකාරක පන්ති පැවැත්වේ. උපකාරක පන්ති ආරම්භය සහ එහි අරමුණ පිළිබඳ පැහැදිලි කළ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා.
අරමුණෙන් බැහැරවුණු උපකාරක පන්ති
“උපකාරක පන්ති කියන කාරණය ලංකාවේ පමණක් නොව ලොව බොහෝ රටවල ක්‍රියාත්මක වන දෙයක්. එම රටවල ක්‍රියාත්මක වන උපකාරක පන්තියක් තුළින් බලාපොරොත්තු වන්නේ විෂය කරුණු සඳහා යම් පසුගාමී බවක් පෙන්නුම් කරන සිසුන් සඳහා ඒ තුළින් යම් පිටිවහලක් ලබා ගැනීමයි. ඒ වගේම සමහර ළමුන් එක් විෂයකට යම් පසුගාමී බවක් පෙන්නුම් කළත් අනෙක් විෂයන් සඳහා නිපුණත්වයකින් පසුවිය හැකියි. ඒ කොහොම වුණත් ලංකාව තුළ උපකාරක පන්ති මේ අරමුණු වලින් බැහැරව හතු පිපෙන්නාක් මෙන් වර්ධනය වන ආකාරයක් දකින්නට පුළුවන්. ලෝකය තුළ යම් විෂයකට අඩු දක්ෂතාවක් දක්වන සිසුන්ට උපකාර වීමට උපකාරක පන්ති ක්‍රියාත්මක වුණත් ලංකාව තුළ වැඩිපුරම උපකාරක පන්ති සඳහා සහභාගි වන්නේ දක්ෂ සිසුන්.”
අධ්‍යාපනයට ආණ්ඩුවේ දායකත්වය
පසුගිය කාලය තුළ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ එක දිගට උද්ඝෝෂණ වැඩ වර්ජන ක්‍රියාත්මක කළේ අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් වැඩි දායකත්වයක් දක්වන ලෙස ආණ්ඩුවට බල කිරීම සඳහායි. 2023 වර්ෂයේ සහ මේ වසරේ අධ්‍යාපනය සඳහා වැය කර ඇති මුදල පිළිබඳවද මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා මෙසේ අදහස් දැක්විය.
“2023 වර්ෂය සඳහා මධ්‍යම ආණ්ඩුව විසින් රුපියල් බිලියන 233 ක් වියදම් කරන විට පළාත් පාලන ආයතන මගින්ද අධ්‍යාපනයට රුපියල් බිලියන 233 ක මුදලක් වැය කොට ඇති බව දකින්නට පුළුවන්. ඒ වගේම 2024 වර්ෂය ගත්විට මධ්‍යම ආණ්ඩුව අධ්‍යාපනයට රුපියල් බිලියන 237කුත් පළාත් පාලන ආයතන රුපියල් බිලියන 280 කුත් වෙන්කර ඇති ආකාරය දකින්නට පුළුවන්.”
එදා මෙදා පත්වූ සෑම රජයක්ම තමන්ට හැකි ආකාරයෙන් අධ්‍යාපනයට මුදල් වෙන්කළ බව සත්‍යයකි. නමුත් රජය කොපමණ මුදල් වෙන්කළත් මේ වනවිට පාසල් අධ්‍යාපනය යටපත් කරමින් උපකාරක පන්ති ඉහළට එන ආකාරයක් දක්නට ලැබේ. මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා සිදුකළ නවතම අධ්‍යයනය පිළිබඳ ඔහු දැක්වූයේ මෙවන් අදහසකි.
“මේ පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ගැටලු රාශියකට මුහුණදෙන්න සිදුවුණා. ඒ සමහර ළමයින් විවිධ විෂයයන්ට වගේම එකම විෂයයකට පන්ති කිහිපයකට සහභාගි වීම නිසා. අනෙක් පැත්තෙන් උපකාරක පන්තිවලට ගෙවන මුදලට අමතරව වෙනත් වියදම් රාශියක් පැවතීම. ඒ සියල්ල අතහැර මේ අධ්‍යයනයට බඳුන්කළේ ළමයින් උපකාරක පන්තිවලට ගෙවන මුදල් ප්‍රමාණය පදනම් කරගෙන ලංකාවේ උපකාරක පන්තිවල සමස්ත වෙළෙඳපළ වටිනාකම ගණනය කිරීමයි.”
දැන් බොහෝ ළමුන්ට ළමා කාලයක් නැත. වෙනදා එක අවුරුද්දක් පෙරපාසල් ගිය ළමයාට දැන් දෙමාපියන්ට ළමුන් බලාගැනීමේ අපහසුතාව හේතුවෙන් වසර දෙක තුනක්ම පෙරපාසල් යෑමට සිදුව තිබේ. පවතින තරගකාරීත්වය නිසා පෙරපාසල් වයසේ සිටම උපකාරක පන්තිවල පිහිට පැතීමට සිදුව ඇත. දැන් වැඩිම තරගකාරීත්වය ඇත්තේ ශිෂ්‍යත්ව විභාගය සඳහාය. ඒ හේතුවෙන් තුන වසරේ සිටම උපකාරක පන්තිවල පිහිට පැතීමට සිදුව ඇත.
2022 දත්ත මත පදනම්ව සිදුකළ අධ්‍යයනයට අනුව 3,4,5 යන ශ්‍රේණි තුනේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 973,438ක්. මෙයින් 75%ක් එනම් 730,000 ක් කුමන හෝ උපකාරක පන්තියකට සහභාගි වීමක් දකින්නට පුළුවන්. ඒ වගේම 10, 11 ශ්‍රේණි දෙකේ අධ්‍යාපනය හදාරපු ශිෂ්‍ය සංඛ්‍යාව 655729ක්. මෙයින් 80%ක් කුමන හෝ උපකාරක පන්තියකට සහභාගි වෙනවා. උසස්පෙළ විභාගය සඳහා පාසල් තුළ අධ්‍යාපනය හදාරන පිරිස 420,077ක්. මීට අමතරව දෙවනවර සහ පෞද්ගලිකව විභාගයට මුහුණදෙන පිරිසත් උපකාරක පන්ති එකක් හෝ වැඩි සංඛ්‍යාවකට සහභාගි වෙනව. ඒ අනුව ගණනය කර බැලුවහොත් දෙමාපියන් විසින් උපකාරක පන්ති සඳහා වැයකරන මුදල රුපියල් බිලියන 205ක් පමණ වෙනවා.”
අප පසුගිය ලිපි කිහිපයක් මගින්ම අනාවරණය කළ කාරණයක් වූයේ පාසල් ළමුන්ගේ පාසල් ගමන ටිකෙන් ටික අඩුවන බවයි. ඒ සඳහා දෙමාපියන්ට වියදම් දරාගැනීමට අපහසු වීම මෙන්ම ළමුන් පාසලට වඩා උපකාරක පන්ති කෙරේ විශ්වාසය තැබීමද පෙන්වාදිය හැක. මේ පිළිබඳ සිදුකළ අධ්‍යයනවලින් පවා හෙළිවී ඇත්තේ උසස්පෙළ හදාරන සිසුන්ගෙන් 92%ක් පාසල් අධ්‍යාපනයට වඩා උපකාරක පන්ති සඳහා යොමුවන බවයි. එයින් 52% ක් සැබවින්ම ඉගෙන ගැනීමට උපකාරක පන්තිවලට සම්බන්ධ වන අතර 37% උපකාරක පන්තිවලට සම්බන්ධ වන්නේ විලාසිතාවට, නිවසින් බැහැරව නිදහසේ කාලය ගතකිරීමට හෝ වෙනත් අරමුණක් වෙනුවෙනි. මේ පිළිබඳවද මහාචාර්යවරයා අදහස් දැක්විය.
පාසල් අධ්‍යාපනය ගිලගන්නා ටියුෂන්
“අද වනවිට උසස්පෙළ හදාරන ළමයින්ගෙන් අති බහුතරයක් ළමයින් පාසල් යන්නෙ වර්ෂ දෙකෙන් එක වර්ෂයයි. අනෙක් වර්ෂය පාසල් නොයා ඉන්න තත්ත්වයක් තිබෙන්නෙ. ඔවුන් තනිකරම විශ්වාසය තබන්නේ උපකාරක පන්ති කෙරේ. ඒ වගේම සමහර පන්ති රෑ දොළහ, එක වෙනකන් පවත්වන අවස්ථාත් වාර්තා වෙනව. ඒ වගේම විවිධ විෂමාචාර ක්‍රියා සිදුවුණු අවස්ථා රාශියක් වාර්තා වෙනවා.
මෙරට පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් ළමයෙකුගේ දැනුම, කුසලතාව, පෞරුෂත්වය වැනි ගුණාංග වැඩිදියුණු කළත් උපකාරක පන්ති තුළින් එම කාර්යය ඉටුවන ආකාරයක් දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් පවතින තරගකාරී විභාග සහ රට තුළ පවතින සීමිත රැකියා අවස්ථා හේතුවෙන් බොහෝ දෙමාපියන් කරන්නේ කෙසේ හෝ තම දරුවන් උපකාරක පන්ති යවා විභාග සමත් කරවීමයි. මේවනවිට සිදුවෙමින් පවතින්නේ පාසල් අධ්‍යාපනය උපකාරක පන්තිවල ගොදුරක් බවට පත්වීම.”
උපකාරක පන්ති තුළින් සිදුවිය යුත්තේ යම් කාරණාවක් ක්‍ෂණිකව තේරුම් ගැනීමට අපහසු ළමුන්ට අවශ්‍ය දැනුම ලබාදීමය. එසේම උපකාරක පන්ති රජයේ නිසි නියාමනයකට ලක්වන්නේ නැත. උගන්වන ගුරුවරයාගේ අධ්‍යාපන මට්ටම ගැන කිසිවකු සොයා බලන්නේ නැත. ඔවුන්ගේ සමාජ තත්ත්වය පිළිබඳ සොයා බලන්නේ නැත. මේ නිසාම පසුගිය කාලයේ උපකාරක පන්ති ගුරුවරුන් විසින් පන්තිවලට සම්බන්ධ වන ළමයින්ට සිදුකළ අපචාර ක්‍රියා රැසක්ම වාර්තා විය. මේ පිළිබඳවද මහාවාර්යවරයා අදහස් කිහිපයක් දැක්විය.
“විභාග අසමත් පුද්ගලයන් පවා උපකාරක පන්ති ගුරුවරු ලෙස ක්‍රියාකරන අවස්ථා පිළිබඳ වාර්තා වෙනවා. ඒ වගේම උපකාරක පන්ති බොහෝවිට බදු ක්‍රමයෙන් මිදුණු ස්වරූපයක් දකින්නට ලැබෙනවා. උපකාරක පන්ති සඳහා නියාමනයක් අවශ්‍යයි. ඉගෙනීමට වැඩි දක්‍ෂතාවක් දක්වන පිරිස සමග දක්‍ෂතාවයෙන් අඩු පිරිස යොමුකිරීම තුළින් සිදුවන්නේ ළමා මනස විකෘති වීමත් ඒ හේතුවෙන් ළමයින් නොමග යෑමත් වගේම තරගකාරීත්වයෙන් පසුබැසීමයි. මේ නිසා විවිධ විෂමාචාර ක්‍රියා සඳහා යොමුවීමට තිබෙන ඉඩකඩ වැඩියි. උපකාරක පන්තිවල උදව්වෙන් විභාගය පාස් වුණත් සම්පූර්ණ ළමයෙකු ලෙස ජීවිතය ජයගැනීමට පසුබිම සකස් වෙන්නේ නැහැ.”
උපකාරක පන්ති ගාස්තු පිළිබඳ දෙමාපියන්ගෙන් විමසූ විට බොහෝ දෙනෙක් පැවසුවේ එය මේ වන විට තමන්ට දරාගත නොහැකි මට්ටමකට පත්ව ඇති බවයි. අද දවස වනවිට පවුලේ සමස්ත වියදමින් වැඩිම මුදලක් වැය කරන්නට සිදුව ඇත්තේ උපකාරක පන්ති ගාස්තු සඳහා බව අප හා අදහස් දැක්වූ කීපදෙනෙක්ම පැවසූහ. ඒ බව මුලින්ම අපට පැවසුවේ එන්. චාන්දනී මහත්මියයි.
“අපේ පවුලේ ඉන්නේ මමයි මහත්තයයි ළමයි තුන්දෙනයි. ලොකු ළමයි දෙන්නා දැන් උසස් පෙළ හදාරනවා. පොඩි දුව මේ පාර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙනවා. ඒ තුන්දෙනාගේ පන්තිවල වියදම් දැන් නම් ඉහටත් උඩින්. ලොකු ළමයි දෙන්නා සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළට ඉගෙන ගන්න පටන් ගත්තත් එක්ක වියදම ගොඩක්ම සැරයි. ඒ දෙන්නට මාසෙකට පන්ති ගාස්තු විතරක් දැනට රුපියල් 13000ක් ඕනේ. තවම රිවිෂන් ක්ලාස් පටන් ගත්තෙත් නැහැ. එතකොට තවත් රුපියල් 3000ක විතර අමතර මුදලක් දරන්න වෙනවා. ශිෂ්‍යත්වය කරන පොඩි දුවට පන්තිවලට රුපියල් 4900 ක් යනවා. ඒ තුන්දෙනාට පන්තිවලට විතරක් රුපියල් 18000ක් වෙන් කරන්න ඕනේ.
ඉස්සර වගේ නෙවෙයි දැන් ළමයි එක හොද්දක් එක්ක බත් එකක් ගෙදරින් අරන් යන්න කැමති නැහැ යාළුවෝ ඉස්සරහ අපහසුතාවට පත්වෙනවා කියලා. හැමදාම පන්ති යන දවස්වලට කන්න බොන්න රුපියල් තුන් හාරසීයක් දෙන්න ඕන. ඊට අමතරව බස් ගාස්තුව වෙනම රුපියල් දෙතුන් සීයක් දෙන්න ඕන. මේ ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ මහත්තයා හොයන සොච්චමෙන්. මහත්තයා බස් රථ රියැදුරෙක්. මහලොකු ගාණක් ඒ රස්සාවෙන් හම්බවෙන්නෙත් නැහැනේ. ඒක නිසා මමත් පරණ රෙදි කෑලි ගෙනල්ලා පාපිසි මහලා අහල පහල කඩවලට දාලා කීයක් හරි හොයා ගන්නවා ගෙදර වියදම ශේප් කරගන්න. මේ වෙද්දි රට වටේටම ණය වෙලා තියෙන්නේ. කොහොම හරි හැම දුකක්ම විඳගෙන මේ කැපකිරීම කරන්නේ ළමයින්ට හොඳට උගන්වලා මේ නරාවළෙන් ගොඩ යයි කියලා හිතලා. මේ වෙද්දි ගෙදර කෑම බීම වියදමට වඩා වැඩි මුදලක් ළමයින්ගේ පන්තිවලට ඕන.”
මීළඟට අප හා අදහස් දැක්වූයේ රවීන් ප්‍රියන්ත මහතාය. ඔහු දරුවන්ගේ උපකාරක පන්ති වියදම පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසකි.
“මට ඉන්නේ දුවලා දෙන්නයි පුතයි. ලොකු දුව මේ පාර සාමාන්‍ය පෙළ විභාගය කරනවා. දෙවැනියා අට වසරේ. බාලම එක්කෙනා පුතා දැන් දෙක වසරේ. තුන් දෙනාවම මේ වෙනකොට ටියුෂන් පන්තිවලට දාලා තියෙන්නේ. මම යුද හමුදාවෙන් විශ්‍රාම අරන් තියෙන්නේ. පැන්ෂන් එක මහ ලොකු පඩියක් හම්බවෙන්නෙත් නැහැ. නෝනා රස්සාවක් කරන්නෙත් නැහැ. ඒ මදිවට ළමයින්ට උගන්වන්න ඕන නිසා මතුගම ගෙවල් දොරවල් වහල දාලා කළුතර ඉස්කෝලේ ළඟින්ම ගෙයක් කුලියට ගත්තා. මේ වෙද්දි ළමයි තුන්දෙනාට ටියුෂන්වලට විතරක් රුපියල් දහ පහළොස් දාහක් යනවා. ඉස්කෝලෙන් උගන්වන දෙයින් විතරක් දැන් තියෙන විභාග වලින් ගොඩයන්න බැහැ. ඒ වගේ තමයි ළමයි අතරත් පුදුම තරගයක් තියෙන්නේ. ඉස්කෝලෙ උගන්වන දේට අමතරව ටියුෂන් පන්තියකට දෙකකට යන්නම ඕන.
ඉස්සර අපේ කාලේ මොන පන්තියකටවත් අපි ගියේ නැහැ. ඉස්කෝලේ උගන්නන දේ විතරයි. කලාතුරකින් හරි ළමයෙක් ගියා නම් ගියේ ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න තමයි. ඒකත් ඔය අහල පහල ගේකට. ඒකට දැන් නොයන විෂයක් නැහැ. හැමදේටම ටියුෂන්.”
මෙරට තුළ කුඩා පරිමාණයෙන් පවත්වාගෙන යන උපකාරක පන්තිවලින් බහුතරයක ඉගැන්වීම් කටයුතු කරන්නේ පාසල් ගුරුවරුය. ඒ තම පාසලේ දරුවන්ටමය. පාසලේදී සතියට පැය හය හතක් උගන්වා අවබෝධ නොවන විෂය කරුණු පැය එක හමාරකින් දෙකකින් ඉගැන්වීම විශ්මයජනකය.
මහා පරිමාණ උපකාරක පන්ති ගුරුවරුන් හැමවිටම උත්සාහ කරන්නේ තමන් ලංකාවේ ප්‍රථමයා බිහිකළා කියන්නටය. නමුත් එකදු ගුරුවරයෙක් හෝ තමන්ගේ පන්තියට සම්බන්ධ වුණු විභාග අසමත් පිරිස ගැන වචනයක් කතා කරන්නේ නැත.
අපගේ අධ්‍යාපන ක්‍රමයේ හෝ ගුරුවරුන්ගේ කිසියම් අර්බුදයක් පවතින බවනම් ඒකාන්තය. ඒ සඳහා කඩිනමින් විසඳුම් නොලැබුණොත් සමස්ත පාසල් පද්ධතියම කඩාවැටීම ඒකාන්තය.
සමීර කන්නන්ගර