ශ්‍රී ලාංකීය සිනමා වංශ කතාවේ මෑත කාලයේ බිහි වූ අද්විතීය නාමයක් ප්‍රේක්ෂක මතකයේ තබන්නට සමත් වූ චැලෙන්ජර්ස්, ආසයි මං පියාඹන්න, පායා එන්න හිරු සේ, බහුභාර්යා, රන්දිය දහර, රන් කෙවිට, ගින්දරී, බන්ධන, ගිනිඅවි සහ ගිනිකෙළි වැනි අතිශය ජනප්‍රියත්වයට පත් සිනමා නිර්මාණ විසි පහක් සාර්ථක අන්දමින් ප්‍රේක්ෂක ඔබ වෙතට තිළිණ කළ දැවැන්ත සිනමා නිර්මාණකරුවකු වන “උදයකාන්ත වර්ණසූරිය” මහත්මාගේ විසි හයවැන සිනමා නිර්මාණය “රිදී සීනු” අද සිට තිරගත වීමට නියමිතයි. ඔහු සමග මේ කතාබහ “රිදී සීනු’සිනමා පටය සම්බන්ධවයි.
ඩිජිටල්කරණය එක්ක ෂෝ ටයිම් වෙනස් වෙලා - උදයකාන්ත වර්ණසූරිය

● උදයකාන්තගේ අලුත්ම චිත්‍රපටය ‘රිදී සීනු’ අද සිට තිරගත කරන්න පටන් ගන්නවා ?

රිදී සීනු කියන්නෙ, ළමයින් මූලික කරගත් චිත්‍රපටයක් නිසා මේක ළමා චිත්‍රපටයක් ලෙසින් හඳුන්වන්නට මම කැමතියි. නමුත් ළමා චිත්‍රපටයක් කියලා ළමයින්ගේ ලෝකෙමත් නෙවෙයි, ඊට එහා ගිය ළමයින් නිසා වැඩිහිටියෝ පවා මේ ළමයින්ගේ අදහස්වලට සසල වෙලා, ඒ අයගේ ජීවිත වගේ ම රටේ ම ජීවිත පවා වෙනස්වන තැනට ගලාගෙන එන කතාවක් තමයි මේ නිර්මාණය ඇතුළේ තියෙන්නේ. ළමයින් දෙන්නෙක් මූලික කරගෙන සරලව කතාව පටන් ගත්තත් අන්තිමට ඒ දරුවන්ගේ යහපත් සංකල්පයක් ජනාධිපතිවරයා තෙක් ගොස් මුළු රටේ ම ඒ සංකල්පය ජනගතවන ආකාරය පිළිබඳව තමයි අපි “රිදී සීනු” සිනමාපටය තුළින් කතා කරන්නේ.

●“රිදී සීනු”තිර රචනය ගොඩනැඟෙන්නේ කොහොමද?

මේක කලින්ම මාගේ හිතට වැදිච්ච කතන්දරයක්. බොහෝ කාලයක් තිස්සේ ම මගේ හිතේ තිබුණා කතන්දරයක් විදිහට. ඉතින් මම විවේකව ඉන්න වෙලාවක ඒ කතාව තිර රචනයක් විදිහට ලිව්වා. එහෙම තිර රචනයක් ලියන්නත් මට යම්කිසි තරමක හැකියාවක් තියෙනවා. මොකද මගේ අනෙක් හැම චිත්‍රපටයකම තිර රචනය ලියලා තියෙන්නෙත් මමමයි. එහෙම ලිව්වම මට හරිම පහසුයි ඒ නිර්මාණය අධ්‍යක්ෂණය කරන්න. ඉතින් මේ තිර රචනයට මමත් හරිම ආසයි. ඒ වගේම ආදරෙයි. මොකද රටේ ජනතාවට කිසියම් යමක් දැනෙන ලස්සන, යහපත්, යථාර්ථවාදී කතා සංකල්පයක් තමයි මේ තිර රචනය ඇතුළේ තියෙන්නෙ.

● මේ සඳහා නළු නිළියන් තෝරා ගැනීමේ දී මුහුණ දුන් අභියෝග මොනවා ද?

මෙහෙමයි,මේකේ ප්‍රධාන චරිත දෙක තියෙන්නේ ළමයින් දෙන්නෙක් වටා. ඒ කියන්නෙ, අක්කා කෙනෙකුයි, මල්ලි කෙනෙකුයි ගැන. ඒ චරිත දෙක ඇතුළේ මාර විධියට රඟපාන්න දේවල් තියෙනවා. ඉතින් මෙතැනදී ප්‍රධාන අභියෝගය වුණේ, ඒ චරිත දෙක හොයාගන්න එක තමයි. මට ඒක ලොකු අභියෝගයක් වුණා. පස්සේ මම හොයලා හොයලා ඉන්ටර්වීව්ස් කීපයක් කරලා දරුවෝ දෙන්නෙක්ව හොයාගත්තා. ඇත්තට ම හරිම සුන්දරයි, ලස්සනයි සහ දක්ෂයි ඒ දරුවෝ දෙන්නා. මොකද මම බලාපොරොත්තු වුණ තැනක් තියෙනවානේ, ඊට එහා ගිහින් මේ දරුවෝ දෙන්නා රඟපෑවා. කොහොම හරි මම නොහිතපු විධියට ඒ අභියෝගය ජයගන්න මට පුළුවන් වුණා.

ඩිජිටල්කරණය එක්ක ෂෝ ටයිම් වෙනස් වෙලා - උදයකාන්ත වර්ණසූරිය

● ඔබ “රිදී සීනු” කරන්නේ රටේ දැවැන්ත ආර්ථික අවපාතයක් සහ වියදම් අධික කාලයකනේ. කොහොමද මේ ප්‍රශ්නවලට මුහුණ දුන්නේ?

ඔව්. ඒක මෙහෙමයි. දැන් ඉතින් මට යම්කිසි දැනුමක්, තේරුමක් තියෙනවා පිටපතක් ලියනවිට. ඕනෑම පිටපතක් තුළ බජට් එකක් තියෙනවා. මගේ අත්දැකීම් එක්ක මම දන්නවා මේ චිත්‍රපටයේ මේ සීන් එකට කොච්චර මුදලක් යයිද කියලා. බොහෝ දෙනෙක්ට ඒක නැහැ. සමහරු අනවශ්‍ය වියදම්වලට ගිහින් අමාරුවේ වැටෙනවා. ඉතින් මම නිර්මාණයක් කරද්දි මම දන්නවා ඒකට යන බජට් එක කොහොමද කියලා. ඒ නිසා මට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

● මේ සිනමාපටයේ පිටපත් කොපමණ ප්‍රමාණයක් මුදා හරින්න සූදානම් වෙනවා ද?

ඉස්සර නම් සර්කිට් එකක් කිව්වම ඒ අදාළ සිනමා ශාලාවල පෙන්වන්න ෂෝ තුනක් දෙනවා. ඒ අදාළ දිනවල පෙන්වලා සල්ලි පෙන්නුවා ම තමයි අපට හම්බවෙන්නෙ. දැන් මේ ඩිජිටල්කරණයත් එක්ක දවසකට සිනමා ශාලාවල ෂෝ ටයිම්ස් පහක්, හයක් දාගෙන වැඩිපුර දුවන චිත්‍රපටය වැඩිපුර පෙන්වනවා. එහෙම කාරණයක් තමයි දැන් තියෙන්නේ. මගේ චිත්‍රපටයත් මේ වනවිට සිනමා ශාලා ගොඩක් හම්බවෙලා තියෙනවා. ඉතිං හැම දෙයක්ම සාර්ථක වෙන්නේ චිත්‍රපටය දුවන විදියත් එක්ක තමයි.

පාරමී කෞෂිකා

ඩිජිටල්කරණය එක්ක ෂෝ ටයිම් වෙනස් වෙලා - උදයකාන්ත වර්ණසූරිය
advertistmentadvertistment
advertistmentadvertistment