ජනතා සේවයට කැපවූ සංවේදී නායකයා බාකීර් මාකාර්

134

හිටපු කථානායකවරයකු වූ දේශමාන්‍ය එම්.ඒ. බාකීර් මාකාර් මහතාගේ 107 වන ජන්ම සංවත්සරය ලබන 12 වැනි දිනට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ජාති, ආගම්, කුල භේදයකින් තොරව මෙරට ජාතික සමගිය ඇති කිරීමට ප්‍රභූවරයකු ලෙස නැඟී සිටිමින්, විශාල සේවාවක් කළ එම්.ඒ.බාකීර් මාකාර් මහතා උපත ලැබුවේ 1917 මැයි 12 වැනි දින බේරුවල මරදානේ දීය.

තමන් අයත් ජනවර්ගය පමණක් මුල් කරගත් සෙසු ජාතීන් බැහැර කරන “ස්වෝත්තමවාදී” දේශපාලන ප්‍රවණතා බහුල මෙවන් යුගයක බාකීර් මාකාර් මහතාගේ ජීවන ගමන, දේශපාලනය හා ජාතික සමඟිය වෙනුවෙන් ඔහු කළ අනූපමේය සේවාවන් පිළිබඳව පසු විපමරක් කර බැලීම සියලු දෙනාට එකසේ වැදගත් වනු ඇත.

මෙරට ජාතීන් අතර ජාතික සමගිය ඇති කිරීමේ සිහිනයක් ඔහුට තිබිණ. ඒ සඳහා දැඩි කැපවීමකින් ඔහු කටයුතු කළේය. ඒ සඳහා වූ ගමනේ තහංචි, අභියෝග පරදවා තම අරමුණු වෙනුවෙන් ඉදිරියට යන්නට නිර්භීතකම ඔහුට තිබිණි.

බේරුවල නගර සභාවේ නගරාධිපති වශයෙන් කටයුතු කළ බාකීර් මාකාර් මහතා “ සිංහල රජ බස” විය යුතු බවට යෝජනාවක් නගර සභාවේදී සම්මත කර ගත්තේය. මෙරට ප්‍රථමවරට නගර සභාවකින් මෙවැනි යෝජනාවක් සම්මත කර ගත්තේ බාකීර් මාකාර් නගරාධිපතිතුමා ය. මේ බව දන්නා සිංහල භාෂා ලැදි අය අදත් ඒ ගැන කථා කරන්නේ එයට තුති මල් පුදමිනි.

ජාතික සමගිය ඇති කර ගතයුතුය යන හඬ රට වටා ගෙන ගිය බාකීර් මාකාර් මහතා “ඇයි අපට සිංහල” (යේන් සිංහලම්) පොත සිය වියදමින් මුද්‍රණය කර මුළු රට පුරා ම මුස්ලිම් ජනතාව අතර බෙදා හැරියේය. මේ සඳහා සිය ඥාති සොයුරු නීතිඥ රාසික් මරික්කාර් මහතා ද ඔහුට එක්විය. මේ සම්බන්ධයෙන් කොපමණ බාධා පැමිණිය ද කියතොත් මේ පොත සම්බන්ධව මුදල් ගෙවා හෝ දෙමළ පුවත් පතක දැන්වීමක් පළකරවා ගැනීමට පවා ඔහුට එදා නොහැකි විය.

1960 පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ජයගත් බාකීර් මාකාර් මහතා බේරුවල පළමු මහජන මන්ත්‍රීවරයා වශයෙන් තේරී පත් විය. සියලු ජාතීන් අතර ජාතික සමගිය ඇති කරමින් ප්‍රභූවරයකු ලෙස මෙරට ජනතා ප්‍රසාදයට පත් බාකීර් මාකාර් මහතා සැබෑ ලෙසින් ම මහත්මා දේශපාලඥයකු ලෙස දැකිය හැක. මේ පිළිබඳව එතුමන් පාර්ලිමේන්තුවේ දී කළ සිය මංගල කථාවෙන් මොනවට පැහැදිලි වනු ඇත. (උපුටා ගැනීම හැන්සාඩ් වාර්තාව (1960.04.22)

සිංහල ජාතිකයන්ට සිංහල රාජ්‍ය භාෂාව ලෙස පාවිච්චි කිරීම පිළිබඳව දොස් පවරන්නේ ඇයි? මේ කුඩා දිවයිනේ සිංහල ජාතියේ කැමැත්ත නොමැතිව තීරණවලට එළැඹීම සාධාරණ නොවේ. “මම මුස්ලිම් ජාතිකයකු වීම” ආඩම්බරයක්. “ශ්‍රී ලාංකිකයකු වීම” ආඩම්බරයක්. අපි මුස්ලිම්වරු විධියට මිත්‍රත්වයේ දෑත සියලුම වාර්ගිකයන්ට දිගු කරන්නේ ඔවුන් සියලු දෙනාම එක් ජාතියක් ලෙස සලකන නිසා ය.”

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව විය යුතුය යන යෝජනාව ගැන සාකච්ඡා කර තීරණයක් ගැනීමට සමස්ත ලංකා මුස්ලිම් සංගමයත්, සමස්ත ලංකා යෝනක සංගමයත් විසිපස්දෙනා බැගින් නියෝජිතයන් පනස් දෙනෙක් කැඳවූහ. මේ අයගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වුණු අතර මෙහිදී බලවත් විරුද්ධ අදහස් පැන නැඟුණි. සිංහල, දෙමළ භාෂා පිළිබඳව සමතැන ගැන ද කරුණු ඉදිරිපත් විය. වාද විවාද තර්ක විතර්ක මැද සිංහල රාජ්‍ය භාෂාව විය යුතුය යන යෝජනාවට පක්ෂව කරුණු ඉදිරිපත් කිරීමට බාකීර් මාකාර් මහතාට අවස්ථාව ලැබිණි. ඔහු තර්ක විතර්කවලට පිළිතුරු දෙමින් ඉතිහාස ගත කරුණු ගෙන හැර පාමින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව විය යුතු බවට කරුණු ඉදිරිපත් කළේය. ඔහුගේ දේශනයෙන් පසුව දිවා භෝජනය පැවැත්විණි. මෙරට රාජ්‍ය භාෂාව සිංහල භාෂාව විය යුතුය යන යෝජනාවට පක්ෂව ඡන්ද විමසීමක් අනතුරුව සිදු විය. තම යෝජනාව සම්මත වීම එදා ඔහු ලද විශිෂ්ට ජයග්‍රහණයක් විය. මේ අයුරින් බාකීර් මාකාර් මහතා සමාජ අසාධාරණය දුරු කොට සියලු ජාතීන් අතර ජාතික සමගිය ඇති කිරීම සඳහා දැඩි කැපවීමකින් කළ සේවය ජාතික සමගිය අගයන මෙරට ජනතාව කිසිදා අමතක නොකරනු ඇත.

බේරුවල ජනතාව සමග එකට හිඳ ගනිමින් ඔවුන්ගේ ප්‍රශ්න සංවේදී ඇසකින් බලා ඔවුන්ගේ දුක් කම්කොටලු විසඳීමට කටයුතු කරමින් ජනතාව සමග සිටිමින් ඔහු කළ සේවාව බේරුවල ජනතාව කෙසේ අමතක කරන්න ද? බේරුවල ආසනය පුරා ම නැතිබැරි මිනිසුන් වෙනුවෙන් ඔවුන්ගේ යහ පැවැත්ම හා ගරුත්වය වෙනුවෙන් ඔහු කළ සේවය සමාජ සාධාරණත්වය අගයන බේරුවල ජනතාව කිසි දිනෙක අමතක නොකරනු ඇත. දේශපාලන දිවිමගේ අඩ සියවසකටත් වැඩි කාලයක් කළ උතුම් ජන මෙහෙවර අවසන් කරමින් 1993 දෙසැම්බර් 21 වැනි දින දකුණු පළාතේ ආණ්ඩුකාර ධුරයෙන් හා දේශපාලන දිවියෙන් ඔහු සමු ගත්තේය.

ජනතා ඉල්ලීම මත දේශපාලනයට පිවිසුණු බාකීර් මාකාර් මහතා නාගරික මන්ත්‍රීවරයකු හා බේරුවල නගරාධිපති වශයෙන් පත් විය. පසුව එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය කථානායක හා කථානායක වශයෙන් ද, කැබිනට් අමාත්‍යවරයකු හා ආණ්ඩුකාරවරයකු වශයෙන් ද මෙරටට අගනා සේවාවක් ඉටු කළේය. නිලයට බලයට ගිජු කමින් ඔහු කිසිදිනෙක ප්‍රතිපත්ති පාව දී නොමැත. ඔහු වවුල් දේශපාලනය පිළිකුල් කළේය.

බාකීර් මාකාර් මහතා භූමිකා කිහිපයක විශිෂ්ට සංකලනයක් විය. ශූර නීතිඥයකු, විශිෂ්ට දේශපාලනඥයකු, දක්ෂ පරිපාලකවරයකු හා ඒ සියල්ලට ම අමතරව මා හැඟි දේශප්‍රේමියකු ලෙස බහු විධ භූමිකා ඔහු තුළින් නිර්මාණය විය.

මැති ඇමති ධුර දරමින් මෙරට තුන්වැනි පුරවැසියා මෙන්ම, මෙරට වැඩ බැලූ රාජ්‍ය නායකයා ලෙස කටයුතු කළ මොහු, සිය දරුවන්ට දේපළක් වශයෙන් මෙලොව ඉතිරි කර තබා ගියේ බේරුවල මරදානේ පිහිටි පැරණි නිවස හා පැරණි මෝටර් රිය පමණි. යම් දේපළක් දරුවන්ට ලැබුණේ නම් එය මව් පාර්ශ්වයෙන් ලද දෙයක් පමණි.

මුස්ලිම් ජාතිකයකුව ඉපදී මෙරට ජාතික සමගිය උදෙසා අනූපමේය සේවාවක නියැළෙමින් සිංහල රජ බස කරවීමෙහිලා අභීතව හඬ නැඟූ බාකීර් මාකාර් සහ ඔහුගේ මහත්මා දේශපාලන ගමන් මඟ වත්මන් දේශපාලන පරපුරට පරමාදර්ශයක් වනු ඇත.

ජිනසේන වේලාරත්න
බේරුවල.

advertistmentadvertistment
advertistmentadvertistment