බූස්ස බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් සිරිදත් ධම්මික

කරන්දෙණියේ හිතහොඳ දොස්තර කරන්දෙණිය සුද්දාගේ අපරාධ ගිණුමට

බන්ධනාගාර ජේලර් ඝාතනයට මාසයයි. වෙඩික්කරු රට පනින්න හදලා

සීඅයිඩී නිලධාරීන්ටත් දුරකථනයෙන් කරන්දෙණිය සුද්දා තර්ජනය කරයි.

බූස්ස බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්ට වෙඩි තැබූවේත් ලලා

සමන් කොල්ලා, ලලා සුද්දාගේ හොඳම ගෝලයෝ

ලලාගේ ඡායාරූපයක් ගුවන්තොටුපළේ අපරාධකරුවන් හඳුනාගැනීමේ ඒකකයට කලින්ම යවලා

ලලා මනුෂ්‍ය ඝාතන 11ක් සිදුකළ බවට අනාවරණය වෙලා

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින කරන්දෙණිය සුද්දාට රතු වරෙන්තු

සිංහල හින්දු අලුත් අවුරුදු සිරියෙන් රටම උද්දාමයට පත්ව තිබූ අප්‍රේල් මස 14 වැනිදා උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ද බෙහෙවින් කාර්යබහුලව තිබුණේය. එදින උදෑසන කටුනායක සිට තායිලන්තයේ බැංකොක් නුවර වෙත පියාසර කිරීමට නියමිතව තිබූ ඹඛ 404 ශ්‍රී ලංකන් ගුවන් යානය වෙත යෑමට සූදානමින් විශාල මගීන් පිරිසක් රැස්ව සිටියහ.

මේ මගීන් අතර සිටි නිල් පැහැති ටීෂර්ට් එකකින් සහ ඩෙනිම් කලිසමකින් සැරසී සිටි පුද්ගලයකු දැඩි කුතුහලයකින් යුතුව හැසිරෙමින් සිටියේය. ගුවන් මගීන්ට මේ පුද්ගලයා ගැන එතරම් අවධානයක් යොමු නොවී තිබුණ ද ගුවන් තොටුපළේ එක්තරා විශේෂ ඒකකයක් මගින් සෑහෙන වේලාවක සිට මේ පුද්ගලයා පිළිබඳව අධීක්ෂණයෙන් සිටියහ.

ඒ බව හාන්කවිසියක් නොදත් ගුවන් මගියා බැංකොක් බලා යන අරමුණෙන් ගුවන්තොටුපළ ආගමන විගමන අංශය වෙත පැමිණියේය. ඒ වනවිටත් ගුවන්තොටුපළේ පිහිටි අපරාධකාරයන්ගේ මුහුණු පරීක්ෂා කරන පද්ධතිය මේ පුද්ගලයා කවුදැයි හඳුනාගෙන හමාරය.

ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කීපදෙනෙකු ඒ සැණින් ක්‍රියාත්මක වී ආගමන විගමන අංශය වෙත පැමිණ මේ පුද්ගලයා සිය භාරයට ගත්තේය. දිගු රැව්ලක් වවා සිටි කෙසඟ සිරුරක් ඇති මේ පුද්ගලයා බැලූ බැල්මට ඒ තරම් හොඳ චරිතයක් ඇති පුද්ගලයකු නොවන බව පෙන්නුම් කළේය.

සැකකටයුතු ගුවන් මගියා සිය භාරයට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු ඔහු සිය ඒකකය වෙත රැගෙන ගියහ.

“ඔය මහත්තයා කොහෙද යන්නේ. මොකක්ද රැකියාව, කොහෙද පදිංචි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු සැකකටයුතු පුද්ගලයා වෙත ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කළෝය.

“මම ඒකනායක මුදියන්සේලාගේ ලකිඳු සන්දීප් බණ්ඩාර, පදිංචි අම්බලන්ගොඩ, ගලබොඩ. බැංකොක්වලට යනවා ටුවර් එකක්…”

සැකකටයුතු පුද්ගලයා තම අනන්‍යතාව හෙළි කළේය. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඒ පිළිතුරුවලින් සෑහීමට පත්ව සිටියේ නැත. සැකකටයුතු පුද්ගලයා තමන් වටේ යැවීමට බොරු ගොන්නක් ගොතන බව පළපුරුදු නිලධාරීන්ට තේරුම් ගන්නට ඒ හැටි වේලාවක් ගත වූයේ නැත.

“අපිට බොරු කරලා වටේ යවන්න ලෑස්ති වෙන්න එපා. ඇත්ත කියනවා තමුන් කව්ද?”

නිලධාරීහු සිය ප්‍රශ්න කිරීම් දැඩි කළෝය. “මං බොරු කියනව නම් අපේ තාත්තා ගෙන් අහන්න. ඉන්න මම එයාව ලයින් එකට ගන්නම්….”

සැකකටයුතු පුද්ගලයා සිය ජංගම දුරකථනයෙන් තම පියා ලෙස හැඳින්වූ පුද්ගලයකුට ඇමතුමක් ලබා ගත්තේය.

“සර් මගේ ලොකු පුතා. එයා බැංකොක් යනවා.” පියා යැයි හැඳින්වූ පුද්ගලයා පිළිතුරු දුන්නේය. එහෙත් මේ පියා ලෙස හැඳින්වූ පුද්ගලයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී ඔහු බොරු බේගල් ගොන්නක් ඇදබාන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් තේරුම් ගත්හ.

“තමුන් බොරු කියන්න එපා. තමන් කව්ද මේ මනුස්සයගෙ….”

නිලධාරීන් දුරකථනයෙන් කතා කළ පුද්ගලයාගෙන් විමසුවේය. තවදුරටත් බොරු බේගල් ඇදබා සීඅයිඩී නිලධාරීන් නොමග යැවිය නොහැකි බව තේරුම් ගත් පුද්ගලයා සත්‍ය හෙළි කළේය.

“පොලිසියෙන් රෙඩ් නෝටිස් දාල තියෙන කරන්දෙණියෙ සුද්දා කියන්නේ මට. මං ඉන්නේ ඩුබායිවල. ඔය ඉන්නේ මගේ ටීම් එකේ ඉන්න හොඳම කොල්ලෙක්. උඹලා මගේ කොල්ලගෙ මයිල් ගහකටවත් හානි කරලා තිබ්බොත් උඹලගෙ පවුල් පිටින් විනාශ කරනවා. දන්නවනෙ පසුගිය කාලෙ දකුණෙ වෙච්ච දේවල්. බූස්ස බන්ධනාගාර චීෆ් ජේලර්ට ගැස්සුවෙත් මම. ඒ නිසා උඹලා පරිස්සම් වෙලා හිටපල්ලා මගේ කොල්ලට කරදර කරන්නේ නැතිව.

සැකකටයුතු පුද්ගලයාගේ පියා ලෙස දුරකථනයෙන් කතා කළේ ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින දකුණේ පාතාලයේ දරුණුම ගණයේ අපරාධකාරයකු ලෙස කුප්‍රකට චරිතයක් වන කරන්දෙණියේ සුද්දාය.

“ලලා උඹ බය නැතිව හැමදෙයක්ම කියපං මං උඹව බලාගන්නම්. සීඅයිඩී කාරයන්ට මොකුත් කරන්න මං ඉඩ තියන්නේ නැහැ. කරන්දෙණියේ සුද්දා සිය කල්ලියේ ප්‍රධානම වෙඩික්කරු ලෙස සිටිනා ලලාට දුරකථනයෙන් කීවේය.

සර් මගේ නම විජයමුණි ලලන්ත ප්‍රීතිබිරාජ්. මට දකුණේ පාතාලේ කියන්නේ ‘ලලා’ කියලා. කරන්දෙණියෙ සුද්දාගෙ ටීම් එකේ මේන් ෂූටර් මම.

ලලා තමන් පිළිබඳව බොහෝ සත්‍ය තොරතුරු හෙළි කරන්න පටන් ගත්තේය.

තමන් නියම පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිටින බව සැකහැර ගත් සීඅයිඩී නිලධාරීන් ඒ පිළිබඳව පොලිස් මූලස්ථානය දැනුවත් කළේය. බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරි සිව්දත් ධම්මික මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ කුලී ඝාතකයා ලෙස කටයුතු කර තිබුණේ ලලාය.

බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරිවරයා අක්මීමන කලගහපිටිය ප්‍රදේශයේ පිහිටි සිය නිවස ඉදිරිපිටදී වෙඩිතබා ඝාතනය කරන්නේ ඉකුත් මාර්තු මස 13 වැනිදාය. කරන්දෙණියේ සුද්දා සහ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා අතර කාලයක පටන් පැවැති ආරවුලක් මේ ඝාතනයට හේතු වී තිබුණේය.

කරන්දෙණියේ සුද්දා සිරිදත් ධම්මික මහතා ඝාතනයට යොදාගෙන තිබුණේ තම කල්ලියේ සිටින හොඳම වෙඩික්කරුවා වූ ලලාය. කරන්දෙණියේ සුද්දාගේ නියෝග මත දකුණු පළාතේ සිදුකළ මිනිස් ඝාතන රැසක් කර තිබුණේ ලලා විසින්ය. මේ වනවිට ලලා සිදුකළ මිනිස් ඝාතන අතරින් 11 ක තොරතුරු පොලිසිය අනාවරණය කරගෙන සිටියි.

කරන්දෙණියේ සුද්දාගේ නියෝග මත සිරිදත් ධම්මික මහතා ඝාතනයට යතුරු පැදි දෙකකින් පාතාල සාමාජිකයන් සිව්දෙනෙක් අක්මීමන කලගහපිටියේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත ගොස් සිටියෝය.

ලලා සහ තවත් පාතාල සාමාජිකයකු එක් යතුරු පැදියක ගිය අතර සිරිදත් ධම්මික මහතාගේ නිවස පෙන්වීම සඳහා තවත් පාතාල සාමාජිකයන් දෙදෙනෙක් යතුරු පැදියක ගොස් තිබුණේය.

සිය නිවසේ මිදුල අමදිමින් සිටි සිරිදත් ධම්මික මහතාට වෙඩි තබා ඝාතනය කළ ලලා ඇතුළු පිරිස පලාගියහ.

යතුරු පැදි දෙක අතර මග අතහැර දැමූ ලලා ඇතුළු පිරිස වෙනත් වාහනයකින් පලායන්නේ මේ අපරාධය සදාතනිකව වැලළී යන අපරාධයක් වනු ඇතැයි සිතාගෙනය.

ගාල්ල ඇල්පිටිය, අම්බලන්ගොඩ ප්‍රදේශයේ විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් ඒකාබද්ධව සිරිදත් ධම්මික මහතා ඝාතනය පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක කළහ. මේ ඝාතනය ඩුබාහි හි සැඟව සිටින කරන්දෙණියේ සුද්දාගේ අවශ්‍යතාව මත සිදුවූවක් බව හෙළිකර ගන්නට පොලිසියට ඒ තරම් අපහසු වුණේ නැත.

ඝාතනය සිදු කළේ සුද්දාගේ කල්ලියේ ප්‍රධාන වෙඩික්කරු ලෙස සැලකෙන ‘ලලා’ බව අනාවරණය කර ගත් පොලිසිය ඔහුගේ ඡායාරූපයක් කටුනායක ගුවන්තොටුපළේ අපරාධකාරයන් හඳුනාගැනීමේ ඒකකය වෙත ලබාදෙන්නේ කොයි මොහොතක හෝ මොහු රටින් පලා යෑමට ඉඩ ඇති බවට ලැබුණු තොරතුරු නිසාය.

පොලිසියේ සැකය තහවුරු වුණේය. හිටපු බන්ධනාගාර අධිකාරිවරයා ඝාතනය වී හරියටම මාසයක් ගෙවීයන දිනයේ ලලා රටින් පලා යන්නට සැලසුම් කළේය. බොහෝ විට ලලා රටින් පලායන්නට අලුත් අවුරුදු දිනය තෝරාගන්නට ඇත්තේ ගුවන්තොටුපළේ දී වැඩි කලබලයකින් තොරව තමන්ට ආරක්ෂිතව පලායන්නට හැකි වනු ඇතැයි සිතාය.

ඩුබායි රාජයේ සැඟවී සිටින කරන්දෙණිය සුද්දාගේ සුපිරි වෙඩික්කරු 'ලලා' ගුවන්තොටේදී ඇල්ලූ මෙහෙයුම - පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ
ලලා අත්අඩංගුවට ගත් මොහොතෙ

එහෙත් අලුත් අවුරුදු දිනය කියා සීඅයිඩී නිලධාරීන්ගේ රාජකාරියේ අඩුවක් නොවීය. ඔවුන් එදිනද තම රාජකාරිය නොපිරිහෙලා ඉටු කිරීම නිසා රටින් පලායන්නට සූදානම් වූ ලලා අත්අඩංගුවට ගැනීමට හැකිවීම සුවිශේෂ ක්‍රියාවකි.

මෙරට පාතාලය ක්‍රියාත්මක වන්නේ දකුණ සහ බස්නාහිර පළාත් කේන්ද්‍රකර ගෙනය. මේ පාතාල කල්ලි අතර නොනවතින යුද්ධයක් පවතින්නේ මත්ද්‍රව්‍ය ජාවාරම මුල් කරගෙනය. පාතාල කිරුළ මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්ත කිරීම මුල් කරගෙන පාතාල කල්ලි අතර ඇතිවී තිබෙන ගැටුම්වලින් මේ වනවිට විශාල පිරිසක් මරු තුරුලට ගොස් හමාරය. විශේෂත්වය වන්නේ මෙසේ මිය යන්නේ මේ පාතාලය පාලනය කරන ඊට උඩගෙඩි දෙන එකකුවත් නොව පාතාල නායකයන්ගෙන් යැපෙන උන් සමග සබඳතා පවත්වන කොහෙවත් නැති පුද්ගලයන්ය.

මෙරට පාතාලයේ කෙලිකාරයන් බහුතරයක් සිටින්නේ ඩුබායි රාජ්‍යයේය. ඊට අමතරව ඉතාලිය, එංගලන්තය, ඉන්දියාව ඇතුළු තවත් රටවල් කීපයකම මේ පාතාල නායකයන් රැඳී සිටිති.

මත්ද්‍රව්‍ය ජාවාරම්, කොන්ත්‍රාත් මිනීමැරුම්, කප්පම් ගැනීම් හරහා උපයාගන්නා අති විශාල ධනස්කන්ධය වියදම් කරමින් මේ පාතාල නායකයන් විදෙස් ගතව සුරසැප විඳිමින් සිටිති. උන්ගේ කටුකන සුනඛ පෝතකයන් ශ්‍රී ලංකාවට වී විවිධ හිංසනයන්ට භාජනය වෙමින් ජීවිතවලින් පවා වන්දි ගෙවමින් සිටිති.

මේ වනවිටත් දකුණු පළාත කේන්ද්‍ර කරගත් පාතාලයේ මහ කෙරුම්කාරයන් තිදෙනකු සටනට එක්ව සිටිති. කොස්ගොඩ සුජී ඉන් එකෙකි. අනෙකා රත්ගම විදුරය.

ගිනියම් වූ දකුණේ පාතාලයේ ඉහළින්ම නම්දරා සිටින පාතාල කෙරුමා බවට පත්වෙමින් සිටින්නේ කරන්දෙණියේ සුද්දාය.

මේ වනවිට දකුණේ ජීවිත 50 කට නොවඩු සංඛ්‍යාවක් විනාශ කර තිබෙන මේ පාතාල නරුමයා සිය ප්‍රතිවාදීන් වන කොස්ගොඩ සුජී සහ රත්ගම විදුර සමග පාතාල කිරුළ සඳහා සටනට එක්ව සිටියි.

සමන් කොල්ලා, ලලා ඇතුළු පාතාල සඟයන් රැසකට නායකත්වය දෙන කරන්දෙණියේ සුද්දා පසුගියදා දකුණ හෙල්ලූ මිනිස් ඝාතන රැසකට වගකිවයුතු පුද්ගලයා බව පොලිසිය පවසයි. රත්ගමදී පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ වෙඩිතබා ඝාතනය, බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරි සිරිදත් ධම්මික මරා දැමීම මෙන්ම මීට වසර 13කට උඩදී කරන්දෙණියේ හිතහොඳ දොස්තර මරා දැමීම, මහත් ආන්දෝලනයට තුඩුදුන් මිනිස් ඝාතනයන් ලෙස කරන්දෙණියේ සුද්දාගේ අපරාධ ගිණුමට ඇතුළත්ව තිබෙයි.

කරන්දෙණියේ සුද්දාගේ නම මුලින්ම පාතාලය හරහා කුප්‍රකට වන්නේ 2011 වර්ෂයේ සැප්තැම්බර් මස 29 වැනිදා කරන්දෙණියේ දී හිතහොඳ දොස්තර ලෙස මහත් ජනාදරයට පත්ව සිටි ප්‍රියංක ප්‍රසාද් රණසිංහ මහතා සාහසික අන්දමින් වෙඩිතබා ඝාතනය කිරීමත් සමගය.

මේ ඝාතනය සිදුවන්නේ රුපියල් 25,000ක් වැනි සොච්චම් මුදලකටය. හිතහොඳ දොස්තර මහතා ප්‍රදේශයේ අහිංසක ජනතාවට සිය ඩිස්පෙන්සරිය හරහා බෙහෙත් ලබාදුන්නේ නොමිලේය.

මේ හේතුව නිසා හිතහොඳ දොස්තර මහතාගෙන් ප්‍රතිකාර ලබාගැනීමට රෝගීන් වැල නොකැඩී ඔහුගේ ඩිස්පැන්සරිය වෙත ආහ. මේ ප්‍රදේශයේම තවත් බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගිය පුද්ගලයකු හිතහොඳ දොස්තරගේ මේ ක්‍රියාවන් ගැන සිටියේ දැඩි කලකිරීමකින් මෙන්ම වෛරයකින් යුතුවය. ඒ මන්ද යත් රෝගීන් කිසිවකුත් ඒ බෙහෙත් ශාලාව වෙත නොපැමිණීමය.

තමන්ට සිදුවන පාඩුව ගැන සැලකිලිමත්වූ මේ පුද්ගලයා හිතහොඳ දොස්තර පරලොව යැවීමට කල්පනා කළේය. ඒ සඳහා මේ පාපතරයා පාතාලයට කොන්ත්‍රාත්තුවක් භාර දුන්නේය. කොන්ත්‍රාත්තුව භාර ගත්තේ කරන්දෙණියේ සුද්දා සහ ඔහුගේ සොහොයුරු වන මීටියාගොඩ රාජුය. ඒ වනවිට කරන්දෙණියේ සුද්දා පාතාලයට ආගන්තුකයෙකි. මොහු සිය සොහොයුරා සමග හිතහොඳ දොස්තර මහතාගේ ඩිස්පැන්සරිය වෙත ගොස් ඒ උතුම් මිනිසා වෙඩිතබා ඝාතනය කර පලාගියහ.

මේ මහපොළොව නුහුලන අපරාධය පිළිබඳව විමර්ශන කළ පොලිසිය කරන්දෙණියේ සුද්දා ඇතුළු සැකකරුවන් සියලුදෙනා අත්අඩංගුවට ගත්හ. හිතහොඳ දොස්තර ඝාතනයෙන් පසු කරන්දෙණියේ සුද්දාගේ නම පාතාලය පුරා කුප්‍රකට වන්නට පටන් ගත්තේය. කරන්දෙණියේ සුද්දා දොස්තර සුද්දා සහ ජයලත් සුද්දා යන නම් වලින්ද කුප්‍රකටව සිටියේය.

වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ නිලධාරියකු වූ ජයන්ත සිල්වා වෙඩිතබා ඝාතනය, අම්බලන්ගොඩ මාදම්පාව ප්‍රදේශයේ දී එකම පවුලේ මව, පියා සහ සිඟිති දරුවා වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු දකුණේ මිනිස් ඝාතන රැසක් සිදුකරමින් පාතාලයේ කෙළිකාරයකු වන්නට කරන්දෙණියේ සුද්දා උත්සාහ කළේය.

පසු කලෙක කරන්දෙණියේ සුද්දාගේ කල්ලියේ ප්‍රධානම කුලී ඝාතකයා බවට පත්වූ ලලන්ත ප්‍රීතිවිරාජ් දැනහඳුනා ගන්නට ලැබෙන්නේ ගාල්ල බන්ධනාගාරය තුළදීය. ඒ මීට වසර ගණනාවකට උඩදීය.

අම්බලන්ගොඩ ගලබොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ‘ලලා’ වෘත්තියෙන් වඩු කාර්මිකයෙකි. 31 හැවිරිදි වියේ පසුවූ ලලා එක්දරු පියෙකි. ලලාගේ බිරිඳ දරුවා සහ මව්පියන් පදිංචිව සිටින්නේ අම්බලන්ගෙඩ ප්‍රදේශයේ ය.

ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටියදී ලලා එහි සිටි පාතාල සාමාජිකයකු සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වුණේය. ඒ මත්ද්‍රව්‍ය ජාවාරම හරහා ලලාට කරන්දෙණියේ සුද්දා දැන හඳුනා ගන්නට ලැබුණේය. එතැන් පටන් ලලා කරන්දෙණියේ සුද්දා භාරදෙන ඕනෑම අපරාධයක් නොපිරිහෙළා ඉෂ්ට කළේය. ලලාගේ මුවේ නෑ බෑ කියා දෙයක් නැත. සුද්දා ලබාදෙන ඕනෑම කොන්ත්‍රාත්තුවක් ලලා ඉෂ්ට කළේය. ඒ නිසාම වැඩිකල් නොගොස් ලලා කරන්දෙණියේ සුද්දාගේ කල්ලියේ හොඳම ගෝලයකු බවට පත් වුණේය.

කරන්දෙණියේ සුද්දා සිදුකළ ආන්දෝලනාත්මක මිනිස් ඝාතන රැසක් භාරදුන්නේ ලලාටය. ඒ ඔහු තුළ තිබූ විශ්වාසනීයත්වය නිසාය. අම්බලන්ගොඩ වඩුවකු වූ ලලා අවසානයේ දකුණු පළාත හෙල්ලූ කොන්ත්‍රාත් මිනීමරුවකු බවට පත්වන්නේ එතැන් සිටය.

ලලා සිදුකළ මහා අපරාධ රැසක තොරතුරු හෙළිවෙමින් තිබෙයි. ලලා අත්අඩංගුවට පත්වුවද ඔහු මෙහෙයවූ කරන්දෙණියේ සුද්දා තවමත් සිටින්නේ නිදැල්ලේය. මේ පාතාල නරුමයන් සියලුදෙනා අත්අඩංගුවට ගෙන නිසි දඬුවම් ලබාදෙන තුරු දකුණේ පාතාලය නිමාවට පත්වන්නේ නැත.

හේමන්ත රන්දුණු


advertistmentadvertistment