මන්නාරම ඝාතන කොන්ත්‍රාත්තුව ලක්ෂ 20යි

ද්විත්ව ඝාතනයෙන් පසුත් සැකකරූ හමුදා රෝහලේ රාජකාරියට ඇවිත්

ඉකුත් 2022 වර්ෂයේ ජුනි මස 04 වැනිදා දිනය මන්නාරම උයිලන්කුලව උණුසුම් කළ දිනයක් වුණේය. උයිලන්කුලමේ ගම්මාන කීපයකම පදිංචි දමිළයන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව තිබූ වාර්ෂික තිරික්කල් තරගාවලිය එදින පැවැත්වීමට නියමිතව තිබුණේය.

උයිලන්කුලමේ සහ ඊට යාබද ගම්මානයක් වූ නොච්චිකුලමේ තරගකරුවන් රැසක් මේ වාර්ෂික තිරික්කල් තරගාවලියට එක්ව සිටියහ. තිරික්කල් තරගාවලිය උත්සව සිරියක් ගෙන දුන්නේය. ප්‍රදේශවාසීන් මහත් උනන්දුවෙන් මේ සඳහා එක්ව සිටියහ.

උයිලන්කුලම සහ නොච්චිකුලමේ පදිංචි දෙපිරිසක් අතර කාලයක පටන් පවතින ආරවුලක් විය. මේ ආරවුල නිසාම තිරික්කල් තරගය දැඩි උණුසුම් ස්වරූපයක් ගත්තේය.

මේ ගම් දෙක අතර ආරවුලට හේතු වී තිබුණේ ආදර පලහිලව්වකි. උයිලන්කුලමේ තරුණයකු සහ නොච්චිකුලමේ තරුණියක් අතර පැවැති නොගැළපෙන ආදර සම්බන්ධයක් අවසානයේ ගම් දෙක අතර මහා ගැටුමක් දක්වා දුරදිග ගිය ආරවුලක් බවට පත්ව තිබුණේය.

කාලයක් තිස්සේ පවතින මේ නොහොද නෝක්කාඩුවීම් ගැටුම් නිසා ගම් දෙක අතර පවත්වන තිරික්කල් තරගය මහත් උණුසුම් මුහුණුවරක් ගත්තේය.

විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති තිරික්කල් තරගය අවසානයේ කෙළවර වන්නේ ගුටිකෙළියකින්ය. ඒ ගුටිකෙළිය පසු කලෙක උයිලන්කුලමේ සහ නොච්චිකුලමේ ජීවිත හය හතක් බිලිගනු ඇතැයි කිසිවකුත් නොසිතන්නට ඇත. සෙල්වකුමාර් පුදාකරන් හෙවත් ‘ජූඩ්’ නොච්චිකුලම ග්‍රාමයේ බලවතා විය. ගමේ ඕනෑම දෙයක් ජූඩ්ගේ කැමැත්තට පිටින් සිද්ධ වුණේ නැත. ගමේ කොයි කව්රුත් සිටියේ ජූඩ් සමගය.

උයිලන්කුලම ග්‍රාමයේ චණ්ඩියා වූයේ දාසන්ය. තිරික්කල් තරගයෙන් මතු වූ වලිය අවසානයේ ජූඩ් සහ දාසන්ගේ පාර්ශ්ව දෙක අතර ගැටුමක් බවට පත්ව තිබුණේය. තිරික්කල් තරගයේ ගැටුමෙන් දින 06කට පසු එනම් 2022 වර්ෂයේ ජුනි 10 වැනිදා නොච්චිකුලම ගිනි ගත්තේය. දාසන් ඇතුළු උයිලන්කුලමේ විශාල පිරිසක් නොච්චිකුලම ග්‍රාමයට කඩාවදින්නේ ඔවුන්ට එරෙහිව යුද ප්‍රකාශ කිරීමටය. කඩු පොලු මුඟුරුවලින් සන්නද්ධව සිටි මේ පිරිස කෝපයෙන් වියරු වැටී සිටියහ.

දාසන් – ජූඩ් සටනේ මුල්ම වෙඩි මුරය

දාසන් ඇතුළු පිරිසට ප්‍රතිප්‍රහාර දීමට ජූඩ් පාර්ශ්වයද සූදානමින් සිටියේය.

“අපේ ගමට ඇවිත් අපට ගහලා යන්න දෙන්න බෑනේ. අද මේක දෙකෙන් එකක් විසඳගන්න ඕනෙ.”

ජූඩ් සිය බලය පෙන්වීමට සූදානමින් සිටියේය.

එදින දකුණු ඉන්දියාවේ කසිකබල් දමිළ චිත්‍රපටයක දිග හැරෙන මිලේච්ඡ ආකාරයේ දර්ශන පෙළක් සිදුවෙමින් තිබුණේය.

දාසන්ගේ පාර්ශ්වය ජූඩ්ගේ නිවස ඉදිරිපිටදී නොච්චිකුලමේ මිනිසුන්ට පන්න පන්නා පහර දුන්නේය. එහෙත් සිදුවූයේ කිසිවකුත් නොසිතූ දෙයකි. ජූඩ් පාර්ශ්වය ඉතාම සැලසුම් සහගත ලෙස සංවිධානය වී සිටියහ. ඔවුන් දාසන්ගේ කල්ලියේ පිරිසකට වටකරගෙන පහර දුන්හ. ඒ ප්‍රහාරයෙන් දාසන් පාර්ශ්වයට ගැලවීමක් නොවීය.

අවසානයේ දාසන්ගේ බාල සොහොයුරන් දෙදෙනා ඇතුළු සිව්දෙනෙක් බරපතළ කැපුම් තුවාල සහිතව මහමග වැටී ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටියේය. සටනේ පාලනය ඒ වනවිට මුළුමනින්ම ජූඩ් පාර්ශ්වය විසින් සියතට ගෙන සිටියහ.

තුවාල ලබා විලාප තබමින් සිටි දාසන්ගේ සොහොයුරන් රෝහල කරා ගෙනයෑමට උත්සාහ කළ ද ජූඩ් ඇතුළු පිරිස ඊට ඉඩ දුන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් කළේ තුවාල සහිතව විලාප නඟන උන් ජංගම දුරකථනවලින් වීඩියෝගත කරමින් ප්‍රීතිවීමය.

පැය කීපයකට පසු තුවාලකරුවන් රෝහලට ගෙනයෑමට හැකි වන්නේ පොලිසිය මැදිහත්වීමෙන් පසුවය. එහෙත් ඒ වනවිටත් දාසන්ගේ බාල සොහොයුරන් දෙදෙනා ජීවිත හැරගොස් සිටියහ. තවත් කීපදෙනෙක් බරපතළ තුවාල ලබා සිටියද ඔවුන්ට ජීවත්වීමට වාසනාව උරුම විය. තම සොහොයුරන් දෙදෙනා ඝාතනය කිරීම දාසන් මාරාවේෂ කිරීමට සමත් සිදුවීමක් බවට පත්ව තිබුණේය. ඔහු වියරුවෙන් මෙන් හැසිරුණේය.

“මගේ මල්ලිලා දෙන්නා තුවාල වෙලා වැටිලා ඉන්නකොට උන්ව ඉස්පිරිතාලෙට ගෙනියන්න දුන්නේ නැහැ. උන් විලාප තියනවා. වීඩියෝ කර කර මුන් සේරම ජොලි කරලා. ඒකට තොපි සේරටම වන්දි ගෙවන්න වෙයි.”

දාසන් කෝපයෙන් කෑගැසුවේය. ද්විත්ව ඝාතනයේ විමර්ශන උයිලන්කුලම පොලිසිය ආරම්භ කළේය. ජූඩ් ඇතුළු පුද්ගලයන් 21 දෙනෙක් අත්අඩංගුවට පත්වූහ. ඔවුන් සියලුදෙනා බන්ධනාගාරගත වන්නේ දාසන්ගේ සොහොයුරන් දෙදෙනා ඝාතනය කර තවත් කීපදෙනෙකුට බරපතළ තුවාල කිරීමේ චෝදනාව මතය.

ජූඩුයි ඕකගේ සහචරයො 21 දෙනයි පරලොව යවලා තමයි මම මේ සටන නවත්වන්නේ. උන් දන්නේ නැහැ දාසන් කියන්නේ කවුද කියලා. දාසන් ඇතුළු පාර්ශ්වය ජූඩ් සහ ඔහුගේ සහචරයන් වෙත මරණ වරෙන්තු නිකුත් කළෝය. පොලිස් විමර්ශන කණ්ඩායම් පවසන අන්දමට දාසන් යනු යුද සමයේ සිටි එල්.ටී.ටී.ඊ. ප්‍රබලයෙකි.

පුදුකුඩිඉරිප්පු අවසන් සටනේදී මොහු ක්‍රියාකාරී කොටි සාමාජිකයකුව සිටියේය. යුද්ධයෙන් පසු පුනරුත්ථාපනය වූ දාසන් ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් මන්නාරම උයිලන්කුලම සිය වාසස්ථානය ලෙස තෝරා ගත්හ. සොහොයුරු සොහොයුරියන් 08 දෙනෙකුගේ පවුලේ සාමාජිකයකු වූ දාසන් මන්නාරමට එන්නේ ජීවිතය ජයගැනීමට සිහින මවමින්ය.

මත්ද්‍රව්‍ය වෙළෙඳාමට අත ගසන දාසන්

තිරික්කලය මිනී මරයි!…ආදර පලහිලව්වට ජීවිත 7ක් බිලිවෙයි
ප්‍රධාන සැකකරු දාසන්

ඉන්දියාව හරහා සිදුකරන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට දාසන් සම්බන්ධ වන්නේය. ඊට ඔහුගේ සොහොයුරන් කීපදෙනෙකු ද එක්ව සිටියහ. කේරළ ගංජා මෙන්ම හෙරොයින්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය මුහුදු මාර්ග ඔස්සේ මන්නාරමට ගෙන්වා ඒවා ශ්‍රී ලංකාව පුරා බෙදාහැරීමේ ජාවාරමේ ප්‍රධානියකු ලෙස දාසන් කටයුතු කරන්න පටන් ගත්තේය.

මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා අසීමිත ධනයක් දාසන් සතුවිය. නැපෝලියන් යන අයද මන්නාරමේ පදිංචි ව්‍යාපාරිකයෙකි. ඔහුද දාසන් සමග මේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධවී සිටියේය. මන්නාරමේ පිහිටි විශාලතම හෝටල් කීපයෙන් එකක හිමිකරු වූ නැපෝලියන් පොහොසතකු විය. එහෙත් පසු කලෙක නැපෝලියන් සහ දාසන් අතර ආරවුල් හටගන්නට විය. ඒ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ මූල්‍ය ගැටලුවක් නිසාය. අවසානයේ නැපෝලියන් සතුව තිබූ සුපිරි හෝටලය දාසන්ට ලබාදී මූල්‍ය ගැටලුව විසඳාගැනීමට ඔහුට සිදුවිය.

මේ වනවිට දාසන් සිය සොහොයුරන් ඇතුළු පිරිසක් සම්බන්ධ කරගෙන මේ හෝටලය ඉතාම සාර්ථකව පවත්වාගෙන යමින් සිටියහ. හෝටලයේ මාසික ලාභය රුපියල් කෝටියකට ආසන්න විය.

දාසන් සතු අසීමිත ධනය බලය නිසාම ඔහු වටා විශාල පිරිසක් එක්ව සිටියහ. මන්නාරමේ දළ කාරයන්, චණ්ඩින්, ඇතැම් පොලිස් නිලධාරීන්, ආරක්ෂක අංශ සාමාජිකයන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම සෑහෙන පිරිසක් සිටියේ දාසන් සමගය. කොටින්ම මන්නාරමේ ඕනෑම දෙයක් කිරීමේ බලය ශක්තිය තිබුණේ දාසන්ටය.

සෙල්වකුමාර් සුදාකරන් හෙවත් ‘ජූඩ්’ යුද සමයේ ක්‍රියාකාරී එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු විය. යුද්ධයෙන් පසු පුනරුත්ථාපනය වූ ජූඩ් මන්නාරම නොච්චිකුලම් ග්‍රාමයේ පදිංචි වූයේය. ජූඩ්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ගොවිතැන වුවද නොයෙකුත් නීතිවිරෝධී ජාවාරම් හරහා ද මුදල් ඉපැයූවේය. එහෙත් දාසන් තරම් දහදුරා වැඩ ජූඩ් කළේ නැත. නොච්චිකුලම ග්‍රාමයේ කොයි කාගෙත් දුකට සැපට සිටියේ ජූඩ්ය. ඒ නිසාම ගමේ ජනතාව හැම විටම ජූඩ් වෙනුවෙන් පෙනී සිටියහ.

සිය සොහොයුරන් දෙදෙනා සාහසික ලෙස කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියෙන් දාසන් දැඩි කම්පනයට පත්ව සිටියේය. තමන් සතුව ඇති මන්නාරමේ අසීමිත බලය යොදාගෙන ජූඩ් පාර්ශ්වයෙන් පළිගැනීමට දාසන් සැලසුම් සකස් කරන්න විය. ඒ පළිගැනීම් සඳහා විවිධ උපක්‍රමයන් ඔවුන් භාවිතා කරන්න වූහ.

පළියට පළිය

2023 වර්ෂයේ ජූලි මස 04 වැනිදා උයිලන්කුලමේදී රිය අනතුරක් සිදුවිය. අනතුරක් වුවද එය සිතාමතා සැලසුම් සහගතව කළ එකක් බව පැහැදිලිව පෙනෙන්නට තිබුණේය. කැබ් රථයක් යතුරුපැදිකරුවකු යට කරගෙන යෑමෙන් මේ අනතුර සිදුවිය. අනතුරින් මිය යන්නේ ජූඩ්ගේ සමීපතම ඥාතී සොහොයුරෙකි. දාසන්ගේ සොහොයුරන් ඝාතනය සම්බන්ධයෙන්ද මේ පුද්ගලයාට චෝදනා එල්ල වී තිබුණේය. විමර්ශනවලින් පසුව හෙළිවූයේ දාසන් සිය ගෝලයන් යොදාගෙන පළිගැනීමේ පරමාර්ථයෙන් ජූඩ්ගේ ඥාතී සොහොයුරා ගමන් ගත් යතුරුපැදිය යටකර ඔහු මරා දැමීමට කටයුතු කළ බවයි. වෛරය පිරිමසා ගැනීම එතැනින් නිමවන්නේ නැත. තම වෛරකාරයන් සියලුදෙනා පරලොව යවන තෙක් දාසන් සටන අතහැර දැමුවේ නැත. ජූඩ් පාර්ශ්වය වෙත තවත් ප්‍රහාරයන් එල්ල කිරීමට දාසන් පිඹුරුපත් සකසමින් සිටියේය.

මාලිගාවත්තේ පැටී දාසන්ගෙන් මත්ද්‍රව්‍ය තොග මිලදී ගන්නා ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවකු විය. දාසන් සිය අවශ්‍යතාව පැටීට කීවේය.

ජූඩ්ගෙ සෙට් එකම පරලොව යවනකල් මට නින්ද යන්නෙ නෑනේ. පැටී මට එක උදව්වක් කරපං. මං උඹට හොඳට ගෙවන්නම්. මට හොඳ පාතාල එකෙක් හරි ආමි කාරයෙක් හරි හොයලා දීපන් දෙතුන් දෙනෙකුට ගහලා දාන්න. දාසන් සිය මිතුරා වූ පැටීට කීවේය.

හරි… හරි… ලොක්කා කිසිදේකට බය වෙන්න එපා මගේ ළඟ ඉන්නවා හොඳ වැඩකාරයො. මං හොඳ එකෙක් සෙට් කරන්නම්. දාසන්ගේ අවශ්‍යතාව සපුරාදීමට පැටී සිය එකඟතාව පළ කළේය.

චාමර යනු ආබාධිත හමුදා සෙබලෙකි. කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි චාමර පැටීගේ සමීප මිතුරකු විය. අවසන් සටනේදී පාදයක් අහිමිවීමෙන් පසු හමුදා සේවයෙන් ඉවත් වූ චාමර නොයෙකුත් නීතිවිරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ වෙමින් මුදල් ඉපයූවේය.

දාසන්ගේ ඉල්ලීම මත පැටී සිය මිතුරා වූ චාමර මුණගැසුණේය.

“මචං ලොකු වැඩක් තියනවා. එකපාර හොඳ ගාණක් අතට එන වැඩක්. මේක උඹට සුළු දෙයක්. අනික මේක මන්නාරමේ වැඩක්. ඒ නිසා අපිට මේක කාටත් නොදැනෙන්න කරලා දාන්න පුළුවන්. පැටීගේ ඉල්ලීමට චාමර එකපයින් කැමැති වුණේය. ඊට දින කීපයකට පසු පැටී චාමරද කැන්දාගෙන මන්නාරමට ගියේ දාසන් මුණගැසීම සඳහාය.

ඔන්න මං හොඳම වැඩකාරයා එක්කරගෙන ආවා. දාසන්ට තියෙන්නේ වැඩේ කරගන්න විතරයි. චාමර ඕනම දෙයකට බයනැති හොඳ කොල්ලෙක්. පැටී චාමරව දාසන්ට හඳුන්වාදෙමින් කීවේය.

කාලයක් තිස්සේ තම සිතේ පැසවමින් තිබෙන වෛරය ගැන දාසන් චාමරට කීවේය. තම සොහොයුරන් දෙදෙනා මිලේච්ඡ ලෙස මරා දැමූවන්ගෙන් පළිගන්නා තුරු මේ සටන අත් නොහරින බවද දාසන් පැවසුවේය.

ලක්‍ෂ 15ක කොන්ත්‍රාත්තුවක්

‘ජූඩ්ගෙ හොඳම ගෝලයෝ දෙන්නෙක් ඉන්නවා උන් දෙන්නට ගහලා දාන්න තියෙන්නේ. ඕන කරන වෙපන් එකයි, බයික් එක පදින්න කොල්ලෙකුයි මං ලෑස්ති කරලා දෙන්නම්. මේ වැඩේට උඹලට මං ලක්ෂ 15ක් ගෙවනවා. ඒ වගේම ඕනම දේකට උඹලා වෙනුවෙන් පෙනී සිටිනවා. දාසන් සිය අවශ්‍යතාව චාමරට සහ පැටීට කීවේය. දාසන්ගේ කොන්ත්‍රාත්තුව භාරගත් චාමර ප්‍රහාරය සඳහා සියලු කටයුතු සූදානම් කර ගත්තේය.

2023 වර්ෂයේ අගෝස්තු මස 24 වැනිදා දහවල ගෙවීයමින් තිබුණේය. අඩම්පන් පොලිස් වසමේ මුල්ලිකරන්ඩාල් වැව් බැම්ම ආසන්නයේ එක්තරා ස්ථානයකින් යතුරුපැදියක නැඟුණු පුද්ගලයන් දෙදෙනෙකි. ඉන් එකකු චාමරය. අනෙකා දාසන්ගේ ගෝලයෙකි. මොවුන් දෙදෙනා සිය ගොදුර එනතුරු මග රැක සිටියේය. තමන් බිලිගැනීමට මාරයා මග රැකසිටින බව නොදත් ජූඩ්ගේ සමීපතමයන් දෙදෙනෙක් වැව් බැම්මට පිවිසෙන මාර්ගය ඔස්සේ යතුරුපැදියක නැගී ආවෝය.

අඩම්පන් වැව් බැම්ම මත දී ඝාතකයන් ක්‍රියාත්මක වූහ. යතුරුපැදියේ පැමිණි ජූඩ්ගේ සමීපතමයන් දෙදෙනාට වෙඩිතබා ඝාතනය කළ චාමර සහ සඟයා අතුරුදන් වන්නේ මේ ප්‍රහාරය අභිරහසක් බවට පත් කරමින්ය.

වැව් බැම්ම මතදී ඝාතනයට ලක්වූ ජූඩ්ගේ සඟයන් දෙදෙනා දාසන්ගේ සොහොයුරන් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබූවන්ය. ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පොරොන්දු වූ රුපියල් පහළොස් ලක්ෂයක මුදල දාසන් ගෙවා දැමුවේය. ඒ මුදල පැටී සහ චාමර සම සමව බෙදාගත්තේය.

ඉස්සරහට තව වැඩ තියනවා නම් කියන්න. අපි ඕන දේකට ඉන්නවා. අනික අපි ඇති කරගත්ත මේ මිත්‍රකම් කවදාවත් නැතිකර ගන්න හොඳ නැහැ. චාමර දාසන්ට කීවේය. දාසන්ද එය එකහෙලාම අනුමත කළේය. අඩම්පන් ද්විත්ව ඝාතනයේ සැකකරුවන් කිසිවකුත් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වුණේ නැත. සිදුවූයේ කුමක්ද යන්න සියල්ලෝම දැන සිටියද ඒ බව ඔප්පු කිරීමට සාක්ෂි තිබුණේ නැත. පොලිසිය පවා මේ සම්බන්ධයෙන් එදා විමර්ශන කළේ තරමක ඇල්මැරුණු ස්වභාවයකින් යුතුවය.

දාසන් තම සටන අතහැර සිටියේ නැත. සොහොයුරන් දෙදෙනා සිහිපත් වන වාරයක් වාරයක් පාසා ඔහුගේ සිතේ ඇතිවන වෛරය උත්සන්න වෙමින් තිබුණේය.

තම ප්‍රධානම වෛරක්කාරයා බවට පත්ව සිටින ජූඩ් මරා දැමීම දාසන්ගේ ප්‍රධානම ඉලක්කය බවට පත්ව තිබුණේය.

2024 වර්ෂයේ පෙබරවාරි මස 19 වැනිදා උදෑසන උයිලන්කුලම නොච්චිකුලම කනත්ත ආසන්නයේදී දාසන්ගේ කුලී ඝාතකයන් ක්‍රියාත්මක වූහ. ඉලක්කය වුණේ දාසන්ගේ පරම සතුරා ජූඩ්ය. යතුරුපැදියක යමින් සිටි ජූඩ් ඉලක්ක කර කුලී ඝාතකයන් වෙඩි තැබුවෝය. එහෙත් ජූඩ්ට තවදුරටත් ජීවත්ව සිටීමේ වාසනාව උරුමව තිබුණේය. කිසිදු තුවාලයක් හෝ නොලබා ජීවිතය බේරාගත් ජූඩ් නිරුපද්‍රිතව පලා ගියේය. මේ ප්‍රහාරය සම්බන්ධයෙන්ද පොලිසිය විමර්ශන කළ අතර සැකකරුවන් කිසිවකුත් අත්අඩංගුවට ගැනීමට අපොහොසත් විය.

ඒ වනවිට ජූඩ් ජීවත් වුණේ දැඩි භීතියකින් යුතුවය. දාසන් කොයි මොහොතක හෝ තමා ඝාතනය කරන බව ජූඩ් හොඳාකාරවම දැන සිටියේය. ඒ තරමටම දාසන් මන්නාරමේ බලවත් පුද්ගලයකු බවට පත්ව සිටියේය. මේ පිළිබඳව උසස් පොලිස් නිලධාරීන් හමුවී තම ආරක්ෂාව ලබාගැනීම සඳහා ජූඩ් උත්සාහ කළේය. එහෙත් එවැනි ආරක්ෂාවක් ලබාදීමට පොලිසියට ප්‍රතිපාදනයක් නොවීය.

ජූඩ් සිතාසිටියා සේම දාසන් ඒ අයුරින්ම ක්‍රියාත්මක වෙමින් සිටියේය. දාසන්ගේ ප්‍රධානම ඉලක්කය වී තිබුණේ ජූඩ්ය. ජූඩ් විනාශ කිරීමට කරන්න අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට තරම් වෛරයකින් දාසන් පසුවිය. ජූඩ් ඝාතන ප්‍රයත්නය ව්‍යාර්ථ වීමෙන් පසු දාසන් තවත් සැලසුමක් සකස් කළේය. චාමර කෙරෙහි දාසන් තුළ පැවතියේ දැඩි විශ්වාසයකි.

මාලිගාවත්තේ පැටී සම්බන්ධ කර නොගෙන දාසන් චාමරට කෙළින්ම කතා කළේය.

තව ලොකු වැඩක් තියනවා කරගන්න. පැටීලව සම්බන්ධකර ගන්න ඕනේ නැහැ. ඔයා මැනා පැත්තේ ඇවිත් යන්න එන්න. මේක හදිස්සියි. දාසන් චාමරට දුරකථනයෙන් කතාකර කීවේය. ඒ වනවිට චාමර සිටියේද දැඩි මූල්‍ය අර්බුදයන්ගෙන් මිරිකෙමින්ය. චාමර පසු දිනම මන්නාරමට යන්නේ දාසන් මුණගැසීමේ අරමුණෙන් යුතුවය.

ජනවාරි 16 වැනිදා නඩුව තියනවා මන්නාරම උසාවියේ. එදාට ඔය සෙට් එකම උසාවියට එනවා. මට ඕනෙ උසාවිය ඉස්සරහපිටම ජූඩ්ව ඉවරයක් කරලා දාන්න. වැඩේට ලක්ෂ 20ක් දෙන්නම්. වෙපන් එකත් ලෑස්ති කරලා දෙන්නම්. මට වැඩේ හරියට කරගන්න ඕනේ. දාසන් සිය අවශ්‍යතාව චාමරට කීවේය. චාමර මොහොතක් කල්පනා කළේය. ජනාකීර්ණ මන්නාරම අධිකරණය ඉදිරිපිටදී මෙවැනි ආකාරයේ ප්‍රහාරයක් එල්ල කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව චාමර තේරුම් ගත්තේය.

දාසන් මෙහෙම ප්‍රශ්නයක් තියනවා. මැනා උසාවිය ළඟ ඔය වෙලාවට ලොකු සෙනඟක් ඉන්නවා. අනික පොලිස් ගාර්ඩ් එකකුත් එතන තියෙනවා. මගේ කකුලෙ ආබාධිත තත්ත්වයත් එක්ක මට ඔතනදි ඔය වැඩේ කරන්න අමාරුයි. මොකද හදිස්සියේවත් ෂූට් කරලා පැනලා දුවන්න වුණොත් මට දුවාගන්න බැරි වෙනවා. ඒ නිසා මං ඕකට වෙන ප්ලෑන් එකක් ලෑස්ති කරන්නම්.

චාමර දාසන්ට කීවේය.

තිරික්කලය මිනී මරයි!…ආදර පලහිලව්වට ජීවිත 7ක් බිලිවෙයි
වන්නි ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති සමන්ත විජේසේකර

හරි… හරි… ලොක්කා ඕන ප්ලෑන් එකක් ගහන්න. මට ඕනේ වැඩේ කෙරෙන්න විතරයි. මේ ප්ලෑන් එක හරියට කරන්න ඕන කරන ඕනෙම දෙයක් මං දෙන්නම් දාසන් කීවේය. සියල්ල සාකච්ඡා කළ චාමර දාසන්ගෙන් සමුගෙන නැවත කොළඹ ආවේය. ප්‍රහාරය සඳහා සම්බන්ධ කරගන්නා පුද්ගලයන් කව්දැයි යන්න සිතමින් චාමර දහ අතේ කල්පනා කළේය.

ඒ සඳහා විශ්වාසවන්ත පුද්ගලයකු සම්බන්ධ කරගත යුතුය. එසේ නොමැති වුවොත් තමන්ටද සිදුවන්නේ අත්අඩංගුවට පත්වීමට බව චාමර හොඳාකාරවම දැන සිටියේය.

යුද හමුදා රෝහලේ සේවය කරන කරූ චාමරගේ සිහියට එන්නේ එකවරමය. කරූව අමතක වුණානේ. ඌ හොඳයි මේ වැඩේට. සල්ලි ප්‍රශ්න කීපයක ඉන්නවා කියලා මට කීපසැරයක් කියලා තිබුණා.

චාමර තම සමීප මිතුරකු වූ කරූ සොයා ගියේය. කරූ සීදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. චාමරට කරූ මුණගැසෙන්නේ රාගම රණවිරු සෙවණේදීය. ඒ චාමර ආබාධිත තත්ත්වයෙන් ප්‍රතිකාර ගනිමින් සටියදීය. ඒ වනවිට කරූ රාජකාරි කළේ රාගම රණවිරු සේවණේය. දීර්ඝ කාලයක සිට මේ දෙදෙනා ගජ මිතුරන් වූහ. චාමර සීදුවේ පිහිටි කරූගේ නිවසට පැමිණ තම අවශ්‍යතාව විස්තරාත්මකව කියා සිටියේය. කිසිදේකට බයවෙන්න ඕනෙ නැහැ. මීට ඉස්සර මමත් එක වැඩක් කළා. අදටත් කව්රුත් දන්නේ නෑනේ. මැනෑ පැත්තේ ඔයවගේ දේවල් කළාම නිකම්ම යට යනවා. ඒ නිසා මේ වැඩේ අපි භාරගමු.

මං උඹට ලක්ෂ 5ක් දෙන්නම්. දවස් දෙකක වැඩක් තියෙන්නේ. ඕන කරන සේරම ලෑස්ති කරලා දෙන්නම්.

චාමර සියල්ල කරූට කීවේය. මුදල් අහේනියකින් සිටි කරූ ද චාමරගේ යෝජනාවට කැමැති වුණේය. එහෙත් ඒ තරම් ලොකු ආත්ම ශක්තියක් කරූ සතු නොවීය. මීට පෙර එවැනි ක්‍රියාවන්ට සම්බන්ධ නොවීම ඊට හේතුව විය.

හරි… හරි… උඹ කිසිදේකටවත් බයවෙන්න එපා. මමත් ඔය වෙලාවට උඹත් එක්ක සීන් එකේ ඉන්නවා. අනික මන්නාරමේ ඉන්න පොලිසියයි ආමි එකයි ඉන්නේ දාසන් එක්ක. මිනිහට එහෙ දෙවියන්ට වගේ සලකන්නේ. අපිට මේ වැඩේ කරලා සල්ලි ටිකක් අරන් ගෙදර එන්නයි තියෙන්නේ. චාමර කරූගේ බිය පලවාහරින්නට ඔහුගේ සිත සැනසුවේය. චාමර දාසන්ට දුරකථනයෙන් කතා කර ප්‍රහාරය සඳහා හමුදා කෝප්‍රල්වරයකු සම්බන්ධ කරගත් බව කීවේය.

“කරූ කියන්නේ හොඳ විශ්වාසවන්ත කොල්ලෙක්. කිසි දේකට බය වෙන්න එපා. ඔයා සේරම ලෑස්ති කරන්න. අපි එනවා ලබන 15 වැනිදා. 16 වැනිදානේ නඩුව තියෙන්නේ. ඊට කලින් අපි සෙට්වෙමු.”

චාමර දාසන්ට කීවේය. හමුදා කෝප්‍රල්වරයකු මේ ප්‍රහාරය සඳහා සම්බන්ධකර ගැනීම ගැන දාසන් පසු වූයේ දැඩි සතුටකින්ය. ඒ මන්ද යත් ප්‍රහාරය අනිවාර්යයෙන්ම සාර්ථකව කරන බව දන්නා නිසාය.

ප්‍රහාරය සඳහා යතුරුපැදිය පැදීමට සිය ගෝලයකු සම්බන්ධකර ගත් දාසන් මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක්ද සූදානම් කර ගත්තේය.

අධිකරණය ඉදිරිපිට තත්ත්වය පිළිබඳව මෙන්ම ජූඩ්ගේ හැසිරීම පිළිබඳව සොයාබැලීමට යුද හමුදා බුද්ධි අංශයේ සෙබළෙකු සම්බන්ධ කරගැනීමට දාසන්ට හැකි විය.

අධිකරණය ඉදිරිපිටදී ජූඩ් ඇතුළු පිරිස මරා දැමීම සඳහා සිදුකරන සැලසුම ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබුණේය.

සාකච්ඡා කළ පරිදි චාමර සිය කල්‍යාණ මිත්‍රයා වූ කරූ සමග ජනවාරි 15 වැනිදා දහවල් මන්නාරම නගරයට සම්ප්‍රාප්ත වූවෝය. ඔවුන් දෙදෙනා කෙළින්ම ගියේ දාසන්ට අයත් මන්නාරමේ පිහිටි සුපිරි හෝටලය වෙතය. දාසන් ඔවුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියේය.

මෙයා තමයි කරූ මගේ පරණම යාළුවෙක්. ආමි හොස්පිට්ල් එකේ වැඩ කරන්නේ.

චාමර දාසන්ට කරූ හඳුන්වාදෙන ගමන් කීවේය. ඒ වනවිටත් කරූගේ අතට රුපියල් ලක්ෂ 5ක මුදලක් ලැබී තිබිණි.

මේ වැඩේ හරියට කළොත් තවත් සලකනවා. දන්නවනේ මං සල්ලිවලට ලෝස් නැහැ. මට ඕනේ වැඩේ හරියට කෙරෙන්න විතරයි.

දාසන් කීවේය. එදින දිවා ආහාරය ලබාගත් කරූ සහ චාමර සවස් කාලයේ හෝටලය පිටුපස මුහුදුවෙරළ වෙත ගියහ. දාසන්ද ඔවුන් සමග ආවේය. පසුදින ප්‍රහාරය සඳහා යොදාගන්නා මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලය දාසන් අතවිය. මේක ටිකක් ඔපරේට් කරලා බලන්න. සමහර වෙලාවල්වලදී වැඩ කරන්නේ නැතිව යනවා.

දාසන් පිස්තෝලය චාමර අත තබමින් කීවේය. චාමර පිස්තෝලය මුහුද දෙසට ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය. එය අනුගමනය කරමින් කරූද පිස්තෝලයෙන් වෙඩි ප්‍රහාර කීපයක්ම මුහුද දෙසට එල්ල කළේය.

මේක හොඳ අලුත්ම වෙපන් එකක්. හොඳට වැඩ කරනවා. හෙට වැඩේ හරියටම කරන්න ඕනේ. ජූඩ් කියන එකා පරලොව යනවා දකින එක තමයි මගේ එකම හීනය. දාසන් කරූ දෙස එක එල්ලයේ බලමින් කීවේය. කරූ හිස සලමින් එය අනුමත කළේය.

එදින රාත්‍රියේ දාසන් තම මිතුරන් වෙනුවෙන් පුංචි මත්පැන් සාදයක් සූදානම් කර තිබුණේය. හමුදා බුද්ධි අංශ සාමාජිකයා ද ඊට එක්ව සිටියේය. දාසන් ඔහු සියලුදෙනාටම හඳුන්වා දුන්නේය. මේ බුද්ධි අංශ සාමාජිකයා ජූඩ්ගේද සමීප මිතුරකු විය.

ඝාතකයන්ට තොරතුරු හමුදා බුද්ධි අංශයෙන්

එහෙත් දාසන්ගේ මුදලට යටවූ බුද්ධි සෙබළා ජූඩ් පිළිබඳ සියලු විස්තර ඔහුවෙත ලබාදී තිබුණේය. ජූඩ්ගේ ඡායාරූප කීපයක්ද ඒ මොහොතේ කරූ වෙත ලබාදීමට දාසන් කටයුතු කළේය.

මේක තමයි මුලින්ම යවන්න ඕනෙ හොඳට බලාගන්න. අපේ ප්ලෑන් එකේ විදිහට ජූඩ් උගේ ගෝලයෝ ටිකත් එක්ක උදේ 9.00ට විතර උසාවිය ළඟට එනවා. උසාවියට ඇතුළු වෙන්න ඉස්සර ඌට ගහන්න ඕනේ. අපේ ඉන්ට් එකේ මල්ලි ඔයාට ජූඩ්ව පෙන්නයි.

මට ආරංචි විදිහට ජූඩ්ලා පොලිසියෙන් ආරක්ෂාවත් ඉල්ලලා තියෙනවා. සමහර විට පොලිස්කාරයෝ කීපදෙනෙක් එතන ඉදියි. උන් ගැන හිතන්න එපා. වැඩේ කරලා හිමීට මාරුවෙන්න තියෙන්නේ. දාසන් ඉදිරි සැලසුම ගැන කරූ සහ චාරම දැනුවත් කළේය.

පසුදා පහන් විය. සියල්ලෝම ප්‍රහාර සැලසුම සඳහා සූදානම් වූහ. උදෑසන 8.45 පමණ වනවිට දාසන් සහ චාමර මන්නාරම අධිකරණය පේනමානයට ආහ. දාසන්ගේ ගෝලයා රැගෙන ආ යතුරුපැදියේ නැඟුණු කරූ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයද ඉනේ සඟවා ගෙන අධිකරණය ආසන්නයට ආවේය.

ජූඩ් එක්ක කොල්ලො 20ක් විතර එනවා. ආමි ඉන්ට් එකේ මල්ලි ඔයාට ජූඩ්ව පෙන්වයි. ජූඩ් එන්නේ බස් එකෙන්. මිනිහා බස් එකෙන් බැස්ස ගමන් ආමි ඉන්ට් එකේ මල්ලි එයාට අතට අත දෙනවා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඉතුරු හරිය බලාගන්න.

දාසන් කරූ දැනුවත් කළේය. උදෑසන 9.00 පමණ වනවිට උයිලන්කුලමේ සිට ආ බස්රථය අධිකරණය ඉදිරිපිට නතර කළේය. ජූඩ් ඇතුළු තරුණයන් විසිපස්දෙනෙකු පමණ පිරිසක් බස්රථයෙන් බැස ගත්හ.

කරූ මේ සියල්ල නිරීක්ෂණය කරමින් සිටියේය. හමුදා බුද්ධි අංශ සෙබළා බස්රථය අසල සිට ජූඩ්ට අතට අත දෙන ආකාරය කරූ හොඳින් දුටුවේය. ඒ වනවිට මේ සියල්ල වෙනත් ස්ථානයක සිට දාසන් සහ චාමර නිරීක්ෂණය කරමින් සිටියේය. මාරයාගේ හෝරාව ක්‍රියාත්මක වුණේය.

කරූ රැගත් යතුරුපැදිය ජූඩ් ඇතුළු පිරිස ආසන්නයට ආවේය. එකවරම හෙන හඬ නගමින් පිස්තෝල උණ්ඩ පිටවන්නට පටන් ගත්තේය.

ජූඩ් ඇතුළු සිව්දෙනෙක් කපා හෙලූ කෙසෙල් කඳන් මෙන් බිම ඇද වැටුණේය. අධිකරණය ඉදිරිපිට සිටි පිරිස හිස්ලූ ලූ අත දිවයන්නට වූහ. පොලිස් නිලධාරීන් පවා අන්දමන්ද වෙමින් බලා සිටියේ සිදුවූයේ කුමක්ද යන්න සිතාගැනීමට නොහැකිවය.

වෙඩි ප්‍රහාරය වැදී ජූඩ් බිම ඇදවැටී මියයන ආකාරය දාසන් බලා සිටියේ ඉපිලී යන සතුටකින් යුතුවය. තම සොහොයුරන් දෙදෙනා අමු අමුවේම කපා කොටා ඝාතනය කිරීම නිසා ඇති වූ වෛරය පිරිමහ ගන්නට දාසන් උත්සාහ කළේය.

ප්‍රහාරය එල්ල කළ කරූ සහ දාසන්ගේ සඟය යතුරුපැදියේ නැගී පේසාලේ දෙසට ඉඟිල ගියහ. තුවාලකරවැන් සිව්දෙනෙක් මන්නාරම රෝහල වෙත රැගෙන ගියද ඒ වනවිටත් ජූඩ් සහ ඔහුගේ සමීපතමයකු අවසන් ගමන් ගොස් සිටියහ.

මුළු මන්නාරම නගරයම ඒ වනවිට ගිනිගෙන තිබුණේය. දෙනෝදාහක් දෙනා බලා සිටියදී එල්ල වූ චිකාගේ ප්‍රහාරය නිසා ජනතාව දැඩි භීතියට පත්ව සිටියහ. ඝාතකයන් සොයා පොලිසිය ක්ෂණික මෙහෙයුම් ආරම්භ කළ ද කිසිවකුත් ඒ මොහොතේ අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබුණේ නැත.

මේ ප්‍රහාරය පිටුපස දාසන් ඇතුළු කල්ලිය සිටින බව පොලිසිය හොදාකාරවම දැන සිටියහ. ඒ ඔස්සේ පොලිස් කණ්ඩායම් කීපයක් විමර්ශන ආරම්භ කළහ.

වන්නි පළාත භාර නියෝජ්‍ය පොලිස්පති සමන්ත විජේසේකර මහතාගේ පූර්ණ අධීක්‍ෂණයෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මක කෙරිණි.

පොලිසිය මුලින්ම කළේ මන්නාරම අධිකරණය ඉදිරිපිට සිට ඝාතකයක් පලාගිය මග ඔස්සේ තිබූ සීසීටීවී කැමරා පරීක්ෂා කිරීමය. එමෙන්ම ඝාතකයන් ගේ ඡායාරූප චිත්‍රයට නඟා එය ප්‍රසිද්ධ කිරීම මගින් ඔවුන් පිළිබඳව තොරතුරු ලබාගන්නට පොලිසිය කටයුතු කළහ.

ඒ වන විට දාසන් ප්‍රදේශය අතහැර පලාගොස් සිටියේය. ඉන් පැහැදිලි වූයේ ප්‍රහාරය පිටුපස දාසන් සිටින බවය. සීසීටීවී දර්ශන පසුපස ගිය පොලිස් කණ්ඩායම් තලේමන්නාරම පේසාලේ ප්‍රදේශ වටකර මෙහෙයුම් ක්‍රියාත්මක කළහ.

ප්‍රහාරය එල්ල කළ ඝාතකයන්ට පලායෑමට ඉඩ නොදී ක්‍රියාත්මක කළ මෙහෙයුම් ඉතා සාර්ථක විය. පොලිසිය හතර වටෙන් වටකරගෙන සිටීම නිසා චාමරට කොළඹට පැන ගැනීමට ඉඩ ලැබුණේ නැත.

එහෙත් කරූ ඉතාම සූක්ෂ්ම ලෙස කොළඹට පැනගෙන තිබුණේය. බුද්ධි අංශ සහාය සහ ඔත්තුකරුවන්ගෙන් ලබාගත් තොරතුරු ඔස්සේ ගිය පොලිසිය පේසාලේ ප්‍රදේශයේ දී චාමර අත්අඩංගුවට ගත්හ.

චාමරගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී මන්නාරම ප්‍රහාරය පමණක් නොව අඩම්පන් ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙක් මරාදැමීම පිළිබඳව ද තොරතුරු අනාවරණය විය. චාමරගෙන් ලද තොරතුරු මත පොලිසිය කොළඹදී කරූ අත්අඩංගුවට ගත්තේය. ඒ වනවිටත් කරූ නාරාහේන්පිට යුද හමුදා රෝහලේ රාජකාරි කරමින් සිටියේය.

විමර්ශන සාර්ථකව සිදුවෙමින් පැවතුණි. ද්විත්ව ඝාතනය සඳහා ඔත්තු ලබාදුන් යුද හමුදා බුද්ධි අංශ සෙබළා ද අත්අඩංගුවට පත් වුණේය. ඔත්තු බැලීම වෙනුවෙන් දාසන් ඔහුට ද රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාදී තිබුණේය.

මන්නාරම ප්‍රහාරයේ දලකාරයන් සියල්ල අත්අඩංගුවට ගත්තද දාසන් තවමත් සිටින්නේ නිදැල්ලේය. දාසන් යනු මුළු මන්නාරමටම පිළිලයකි. මන්නාරම හරහා මුළු රටටම මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ප්‍රධානියා දාසන්ය. දාසන් මට්ටු නොකරන තාක් කල් මන්නාරමට විරාමයක් ලැබෙන්නේ නැත.

හේමන්ත රන්දුණු


advertistmentadvertistment