රතන සූත්‍රයෙන් රටක් සුවපත් කරන ආධ්‍යාත්මික පොහොසතා…

527

රුවන්මැලි මහා සෑයේ සෙත් පහන් පූජාව කරද්දි ලක්ෂ සංඛ්‍යාත දෙවියන් ඒ ස්ථානයට වඩිනවා.

සැබෑ ආධ්‍යාත්මික බලයක් ඇති නම් බොහෝ දේ කළ හැකියි.

නිවසෙහි මැද සාලය මුළුමනින්ම තුන්ලෝකාග්‍ර වූ බුදුන් පිදීම පිණිස වෙන් කර ඇත. වෙනත් නිවසකට සාපේක්ෂව දැකගත හැකි විසිතුරු ගෘහ භාණ්ඩ, නවීන පන්නයේ රූපවාහිනි යන්ත්‍ර ආදි නෙක බහුරු උපාංග ආදී වෙනත් කිසිවක් එහි නැත. ඒ වෙනුවට දැකගත හැකි වන්නේ මැද සාලය මැද උස් පුදසුනක් මත වඩා හිඳුවා ඇති සුදු පැහැයෙන් වර්ණ ගන්වන ලද සමාධි බුදු පිළිම වහන්සේ නමක්ය. වෙනත් යමක් වේ නම් උන්වහන්සේ උදෙසා නිතිපතා සිදුකරනු ලබන ආගමික වතාවත් ආදියේදී භාවිතයට ගන්නා තෙල්,මල්, පහන් සුවඳ දුම් ආදිය පමණය. ඒ හැරුණුකොට එම නිවස තුළ දැකගත හැකි වෙනත් විශේෂිත යමක් නොමැති තරම්ය. උදෑසන ආගමික වතාවත් නිසි පරිදි ඒ අයුරින්ම ඉටුකර ඇති බවට සමාධි බුදු බුදු පිළිම වහන්සේ ඉදිරිපිට තැන්පත් කොට තිබෙන උදෑසන ගිලන්පස බුද්ධ පූජාව ඇතුළු තෙල් මල් පහන් ආදිය සාක්ෂි සපයමින් ඇත. අවට සිත නිවා සනහන සුගන්ඳවත් බවකින් පිරි ගොස් ඇත. සමාධි බුදු බුදු පිළිම වහන්සේට නුදුරින් මෙරට ජීවත් වූ කීර්තිමත් යතිවරයාණන් වහන්සේ නමක් වූ මාතර කඹුරුපිටිය හොරපාවිට ශ්‍රී විජයසුන්දරා රාමාධිපතිව වැඩ සිටි අපවත් වී වදාළ කපුදූව සිරිගුණාලංකාර හිමිපාණන් ගේ රුව රැගත් ඡායාරූපයක්ය. උන්වහන්සේට කරනු ලබන ගෞරවයක් වශයෙන් ඡායාරූපය ඉදිරිපිටය නොනිවී දැල්වෙන පහන් ආලෝකයක් දැකගත හැක. නිවස වෙත ඇතුළු වන ඕනෑම අයෙකුගේ දෑස එකවර පැහැර ගැනීමට සමත් එම සිරිමත් දසුන් පෙළ පමණක් නොව නිවස තුළින් දිස්වූ පිළිවෙළ, පිරිසිදු බව තුළින් පවා ඒත්තු ගැන්වෙමින් පැවතියේ එම ගෘහය වනාහි යම් සුවිශේෂී පුද්ගලයෙකු පිණිස සෙවණ සදන විශේෂිත ස්ථානයක් බවට පත්ව ඇති බවක්ය.

කඩුවෙල බියගම ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති එම නිවස වෙත සමීප වීමේ දී නොදැමුණු සිතක් සහිත පුද්ගලයකු වේවා ඔහු තුළ පවා යම් සංවරශීලී බවක්, බුදු දහම උදෙසා උපන් බැතිබර බවක් ඇති කරවනු සුලු ය. මේ දිනවල එම විසල් ගෘහය තම වාසස්ථානය බවට පත්කර ගනිමින් කල්ගත කරන සුවිශේෂී පුද්ගලයකු මුණගැසීම අපගේ අරමුණ බවට පත්ව ඇත. ඉකුත් දිනක එය සැබෑවක් බවට පත්විය. චන්ද්‍රලාල් ප්‍රනාන්දු මහතා අපට මුණගැසෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. අපගේ අරමුණ බවට පත්වූයේ තම ජීවිතයෙන් හරි අඩකටත් වඩා වැඩි කාලයක් එනම් වසර තිස් අටක් පුරා පූර්ණකාලීනව ආගමික හා සමාජීය මෙහෙවරක නිරත එම සරල නිරහංකාර මිනිසා මුණගැසීම තුළ මෙතෙක් අප තුළ වූ යම් යම් සැක සංකා දුරුකර ගැනීමත්, ඔහු සම්මුඛව සිදුකරන කතාබහ තුළින් හරවත් සාරවත් යමක් සමාජය වෙත ප්‍රදානය කිරීමත්ය.

රතන සූත්‍රයෙන් රටක් සුවපත් කරන ආධ්‍යාත්මික පොහොසතා…

එම කතාබහ ආරම්භ වූයේ අපවත් වී වදාළ කපුදූව සිරි ගුණාලංකාර හිමිපාණන්ගේ ඡායාරූපය අභියස දැල්වෙමින් පැවති පහන් ආලෝකය නිමිති කර ගනිමින්ය. අහඹු ලෙස සිදු වූ උන්වහන්සේගේ මුණ ගැසීම තම ජීවිතයට පහන් ආලෝකයක් බවට පත් වූ ආකාරය විස්තර කරමින් අදින් දශක හතරකට එපිට අතීතයක් මෙනෙහි කළ චන්ද්‍රලාල් මහතා ඒ සඳහා ප්‍රවේශ වූවේ අපවත් වී වදාළ අතිපූජ්‍ය සිරිගුණාලංකාර රුව රැගත් ඡායාරූපයට වැඳ නමස්කාර කිරීමෙන් අනතුරුවය.

‘ මතු බුදු බව පතන කපුදූව සිරිගුණාලංකාර බුද්ධ පුත්‍රයාණන් වහන්සේ අමතක කරලා උන් වහන්සේට වැද නමස් කාර නොකොට මේ කතාව ඉදිරියට අරගෙන යන්න බැහැ. උන්වහන්සේ අපවත් වෙලා දශක කීපයක් ගතවී ඇතත් අදත් මට උන්වහන්සේගේ ආශිර්වාදය ලැබෙනවා. ඒ අනුව තමයි මගේ ගත සිත ක්‍රියාත්මක වෙන්නේ. එම නිසා ඒ අතීතයේ ඉඳලා මේ දක්වා කතාව මම කියන්නම්. අපහැදිලි තැනක් තියනවනම් ඔබට ප්‍රශ්න කරන්න පුළුවන්..”

එසේ සඳහන් කළ චන්ද්‍රලාල් මහතා මද වේලාවක් සිතුවිලි දැහැනකට සම වැදී නැවත දෑස් විවර කරනු ලැබූවේ මුවඟ රැඳ මද සිනහවක් සහිතවය.

‘මේ කියන්නට යන කාලය වෙද්දී මට වයස අවුරුදු 15යි. මගේ ගම බදුල්ල හාලිඇළ. තාත්තා අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක්. අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් ලෙස ප්‍රදේශයේ උසස් පාසලකට මාව ඇතුළත් කරන්න තාත්තට පුළුවන්කම තිබුණත් මාව ගමේ පාසලට ඇතුළත් කළ යුතුයි කියන එක තමයි තාත්තගේ ඒකමතික තීරණය වුණේ. ඒක ඒ ආකාරයෙන්ම සිද්ධ වුණා. කුඩා කල පටන්ම අධ්‍යාපනයට වගේම ක්‍රීඩාවටත් මා තුළ ලොකු ඇල්මක් කැමැත්තක් තිබුණා. උදේ පාන්දර ගෙදර ඉඳන් පාසලට යද්දී හැමදාමත් වගේ මම දකින දසුනක් තිබුණා. ඒ තමයි පොන්නම්බලම් කියල ඒ කාලේ අපේ පැත්තේ ප්‍රසිද්ධ මැරතන් ධාවකයෙක් තමන්ගේ පුහුණුවීම් කටයුතු කරන ආකාරය. ඔහු රාජකාරි කළේ දික්වැල්ල වතුයායේ. ඔහු සහභාගි වෙන මැරතන් තරගයක් නම් ඒ තරඟයට ක්‍රීඩකයන් සීයක් තරග කළත් ජයග්‍රහණය ලබන්නේ පොන්නම්බලම්. ඔහු ඒ තරම් දක්ෂයෙක්. ඒ ජයග්‍රහණයෙන් පස්සේ දික්වැල්ල ස්ටේටි එකේ පමණක් නෙවෙයි අවට අනෙකුත් වතුවල දමිළ ජාතිකයෝ දවසක් පුරා ම මේ ජයග්‍රහණය සමරමින් ප්‍රීති ඝෝෂා නඟමින් සතුටු වෙනවා. මේක මම දකිනවා. එහෙම වෙලාවක තමයි මමත් තීරණය කරන්නේ දවසක පොන්නම්බලම් එක්ක තරග කරලා ජයග්‍රහණ හිමිකර ගෙන සිංහල දෙමළ හැමෝට ම එකට සතුටු විය හැකි දවසක් උදා කරනවා කියලා. කාලයක් පුහුණුවීම් කරලා එක්තරා දවසක මම ඔහුත් එක්ක තරග කරනවා. නමුත් මට වඩා කිලෝ මීටර් දෙකක් ඉදිරියෙන් ඔහු තරඟය ජය ගන්නවා. එදා මම දෙවෙනියා. මගේ පුහුණුකරු ඩෙන්සිල් සර් එදා මට කියනවා 40 ක පමණ පිරිසක් එක්ක දුවලා දෙවෙනියා වෙන්න පුළුවන් නම් ඔයාට පොන්නම්බලම්ව පරාජය කරන එක මහා ලොකු දෙයක් නොවෙය,ි දිගට ම පුහුණුවීම් කරමු කියලා. එදා ඉඳල අවුරුද්දක් තරම් කාලයක් උදේට හාලිඇළ ඉඳල බදුල්ලට දුවනවා. ඒ ඇවිත් තමයි මම පාසලට යන්නේ. ඔහොම කාලයක් ගත වෙනවා. නැවත පොන්නම්බලම් සහභාගීවන මැරතන් තරගයකට මමත් ඉදිරිපත් වෙනවා. එදා මට වඩා කිලෝමීටරයක් දුරින් පොන්නම්බලම් ඒ තරගයත් ජය ගන්නවා. මම උත්සාහය අත හරින්නෙ නෑ. තවදුරටත් පුහුණුවීම්වල නිරත වෙනවා. උදේට පුහුණුවීම් සිදු කරන අතරතුර පුරුද්දක් වශයෙන් මම මුතියන්ගනය පන්සලට යනවා. ඒ ගිහින් ආනන්ද බෝධිය ගාව පහනක් පත්තු කරලා ප්‍රාර්ථනාවක් කරනවා. ටික දවසක් ගත වෙද්දී ඒක පුරුද්දක් බවට පත් වෙනවා.”

‘දවසක් පුහුණුවීම් අතරතුර විහාරස්ථානයට යද්දි පාන්දර පහමාරට විතර ඇති, එදා මම දකිනවා ආනන්ද බෝධිය අසල සුදු ඇදඳගත්තු උපාසක උපාසිකාවෝ පිරිසක් එක්රැස් වෙලා ඉන්නවා. ඇයි එහෙම ඉන්නෙ කියන දෙය ගැන ලොකු අවබෝධයක් නැතත් මමත් එතැනට ගියා. එතැනදි තමයි මම දැක්කෙ ස්වාමින්වහන්සේ නමකුත් ඒ ස්ථානයේ වැඩ ඉන්න බව. මේ උත්තමයා (සිරි ගුණාලංකාර හිමියන්) මාව දැක්කා විතරයි මෙහෙම කියනවා.

රතන සූත්‍රයෙන් රටක් සුවපත් කරන ආධ්‍යාත්මික පොහොසතා…

‘ හදියා….. මෙහෙ එනවා. මහණ වෙන්න කැමති නැද්ද ?..”

උන්වහන්සේ එහෙම ඇහුවට පස්සෙ මාව ගැස්සුණා. නැවත මොහොතක්වත් ඒ ස්ථානයේ රැදෙන්නෙ නැතුව මම ආපහු හැරිලා දුවන්න ගත්තා. මම ඒ විත්තියක් ගෙදර ඇවිත් කිව්වෙ නෑ. ලෑස්ති වෙලා පාසල් ගියා එදා හවස ම මගේ නැන්දා කෙනෙක් හාලිඇළ අපේ ගෙදර එනවා. ඒ ඇවිත් මගෙන් අහනවා ‘පුතා අද උදේ මුතියංගණ පන්සලේ හිටියා නේද? ඇයි හාමුදුරුවෝ කතා කරනකොට කිසිම ගරුසරුවක් නැතුව ආපසු හැරිලා දිවීවෙ”කියල. එහෙම කියපු නැන්දා මගෙන් නැවත ඇහුවා පුතා දන්නව ද ඒ කවුද කියලා. මම කිව්වා නැහැ කියලා. එතැන දී නැන්දා මට කිවිව ‘ඒ තමයි පුතේ මතු බුදු බව පතන සිරිගුණාලංකාර හාමුදුරුවෝ… උන්වහන්සේ තව දෙයක් කිව්වා ඒ කොල්ලා කවද හරි රට පාලනය කරන්න පුළුවන් දක්ෂයෙක් වෙනවා. කොල්ලාව හොයාගන්න කියලා” නැන්දා ඒ කතාව කිව්වට පස්සේ මේ මහා බලගතු යතිවරයා කියපු කතාව මා තුළ නිතර නිතර නින්නාද වෙන්න ගන්නවා…”

ඒ වනවිට 18 හැවිරිදි චන්ද්‍රලාල් තරුණයාගේ සිත වෙනස් මඟක් වෙත යොමු වන්නේ එම සිදුවීමෙන් අනතුරුවය. එම සිදුවීමෙන් දින කිහිපයකට පසුව පැවැති මැරතන් ධාවන තරගයක දී එතෙක් කලක් බදුල්ල මැරතන් කිරුළ හිමි පොන්නම්බලම් පරදවා සුවිසෙස් ජයග්‍රහණයක් අත්පත් කරගන්නට චන්ද්‍රලාල් සමත්වන අතර එදින එම ජය සැමරිම පිණිස බදුල්ල හාලිඇළ ප්‍රදේශයේ සිංහල දමිළ දෙපිරිසම එකට එක් වී ඇත. ජාතීන් අතර නිරන්තරයෙන් පැවතිය යුතු ‘සංහිඳියාව’ පිළිබඳ පළමු පාඩම චන්ද්‍රලාල් විසින් එදා රට හමුවේ තබන්නේ ඒ ආකාරයෙන්ය. එතැන් සිට චන්ද්‍රලාල් “මැරතන් ලාල්” බවට පත්වන අතර එය නිමාවට පත්වන්නේ පාසල් මට්ටමේ සමස්ත ලංකා මැරතන් ශූරයා වශයෙන් තම නම වාර්තා පොත් අතරට තුන් වතාවක් එකතු කිරීමෙන් අනතුරුව පරිසාධන මට්ටම ඉක්මවූ සුපිරි මැරතන් ධාවකයෙකු වශයෙන්ය.

“ඔය සිදුවීම් මාලාව අතරතුර සිරිගුණාලංකාර නායක හාමුදුරුවෝ අපවත් වෙනවා. උන්වහන්සේ බැහැ දැකලා කතා බහ කරන්න අවවාද උපදෙස් ගන්න තරම් මම වාසනාවන්ත වුණේ නැහැ. ඔහොම මාස තුනක විතර කාලයක් ගත වෙද්දි උන්වහන්සේගේ පහන් ප්‍රසාද ලාභියෙක් බදුල්ල කච්චේරියේ ආගමික කටයුත්තක් සඳහා සහභාගි වෙනවා. ඒ ආරංචි ඔස්සේ මම එදා බදුල්ලට යනවා. එතුමා චිත්ත ශක්තියෙන් තව කෙනෙකුගේ අනාගතය පවා දකින්න තරම් දියුණු හිතක් සහිත පුද්ගලයෙක්. එදා බදුල්ල කචිචේරිය මහා සෙනඟකින් පිරි යනවා. මමත් අර මහ සෙනඟ අතරට වැදිලා ගිහින් එතුමාව මුණගැසෙනවා. නමුත් එදා මට මා ගැන කිසිම දෙයක් අසා දැන ගන්න ලැබුණේ නෑ. මාස දෙක තුනක් ගත වුණාට පස්සෙ මම නැවත වතාවක් අර විදිහටම එතුමන්ව මුණගැහෙන්න යනවා. එදා එතුමා මට කිව්වා රතන සූත්‍රය පන්සිය වාරයක් ජීවම් කරලා එන්න ඉන්පස්සෙ යමක් කරන්න බලමු කියලා. ඔය වෙද්දි මම උසස් පෙළ ශිෂ්‍යයෙක්. මගේ තාත්තා මත්පැන් බොනවා. මස් මාළු බිත්තර කනවා. ඒ දේවල් අපේ ගෙදර කෑම වේලට වරදින්නේ නෑ. නමුත් මම ඒවායින් ටික ටික ඈත් වෙන්න ගත්තා. ලැබුණු උපදෙස් අනුව රතන සූත්‍ර දේශනාව ඇතුළත් පොතක් වනපොත් කරන්න ගත්තා. ලොකු මහන්සියක් අරගෙන රතන සූත්‍රය පන්සිය වාරයක් ජීවම් කරලා නැවතත් අර ඇත්තන්ව මුණගැහෙන්න යනවා. එදත් ගමන සාර්ථක නෑ. එදා කිව්වා රතන සූත්‍රය දහස්වාරයක් ජීවම් කරලා නැවත ඇවිත් එතුමන්ව මුණගැහෙන්න කියල. හැමදේකම උරගා බලන්න අවස්ථාවන් තුනක් තියෙනවා. ඒ අනුව යමින් මාස තුන හතරක් තිස්සේ රතන සූත්‍රය ජීවම් කරලා මම නැවත වතාවක් යනවා. එහෙම දීර්ඝ කාලයක් තිස්සේ පුරුදු පුහුණු වූ ක්‍රමවේදයක් ඔස්සේ ගිහින් තමයි මම බුදු බව පතන සිරි ගුණාලංකාර හිමියන් ගේ පහන් ප්‍රසාද ලාභියෙක් බවට පත් වන්නේ. එදා තමයි මම දැනගත්තේ පහන් ප්‍රසාද ලාභියෙක් බවට පත්වෙන්න කෙනෙක් තුළ මොනතරම් ඉවසීමක් පවතින්න ඕනද කියලා. උන්වහන්සේ භාවනා යෝගී භික්ෂුවක් ලෙස සමාධියෙන් දුටුව දේවල් අනුව තමයි අදත් මේ ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ. උන්වහන්සේ අපවත් වෙලත් දැන් වසර හැටකටත් අධික කාලයක් ගත වෙලා අවසන්. නමුත් මා ඇතුළු උන්වහන්සේගේ තවත් අනුගාමිකයෝ පිරිසක් උන්වහන්සේ අනුව යමින් මේ කටයුත්ත අදටත් කරගෙන යනවා.. ” පහන් ප්‍රසාද ලාභී චන්ද්‍රලාල් මහතා එතෙක් මෙතෙක් පැමිණි ගමන් මඟ පිළිබඳ අප හමුවේ විස්තර කර සිටියේ ඒ අයුරින්ය. එය අසීරු පාරමිතාවක් බඳුය. එහිදී ඔහු විසින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ තමන් එක් වරක් පමණක් දුටු සිරි ගුණාලංකාර හිමියන් ඉන්ද්‍ර, දිනෙන්ද්‍ර, උපේන්ද්‍ර ආදී ආත්මවල ඉපිද මෙරට බුද්ධ ශාසනය ආරක්ෂා කළ බවත් එක් ආත්මයක දුටුගැමුණු රජු වශයෙන් මෙරට උපත ලැබුවේ ද උන්වහන්සේම බවත්ය. එපමණක් නොව මෙරට ස්ථාපිත බුදු සසුනට හානි සිදුවන සෑම අවස්ථාවකම උන් වහන්සේ නැවත නැවතත් මෙරට උපත ලබන බවත් ඔහු විසින් සඳහන් කර සිටින්නේය.

“ම කාලයක් රුවන්වැලි මහා සෑය මහා මුළුතැන්ගෙය භාරව කටයුතු කළා. මේ විශ්වයේ පවතින අසිරිමත්ම ස්ථානයේ එවැනි රාජකාරියක් භාරව කටයුතු කරන්න පෙර කුසල් තිබෙන්න ඕනා. මට ඒ වාසනාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි. එදා දුටුගැමුණු රජතුමා ලෙස උපන් සිරිගුණාලංකාර අපේ නායක හාමුදුරුවන්ගේ ආශිර්වාදයක් ඒ සඳහා මට ලැබුණා. ඒ ස්ථානයේ සෙත් පහන් පූජා පිංකම් කරන සෑම අවස්ථාවකම ඒ බව මම ප්‍රත්‍යක්ෂව අත්විඳලා තිබෙනවා. දහස් ගණනක් දෙවි දේවතාවුන් රුවන්වැලි පුදබිමට වඩිනවා ඒ අසිරිමත් සිදුවීම් දකින නම් බුදු දහම අනුව යමින් සිත දියුණු කරන්න ඕන. ඒ සඳහා ලොකු මහන්සියක් වෙන්න ඕන නෑ. පංචශීලයේ නිවැරදිව පිහිටන්න.එ අනුව කටයුතු කරන්න. ඒ ඇති. එහෙම අයෙකුට සෙත් පහන් පූජාව කොයි තරම් බලවත් ද කියල දැකබලා ගන්න පුළුවන්කම ලැබෙනව.”

රතන සූත්‍රයෙන් රටක් සුවපත් කරන ආධ්‍යාත්මික පොහොසතා…

“කාලයක් පොලොන්නරුවෙ වගා බිම් වන අලින්ගෙන් ආරක්ෂා කරගන්න බැරුව ගියා. මම ගිහින් “දුටුගැමුණු බල මහා පහන” පහන් පූජාව කළාට පස්සේ ඒ අහිංසක ගොවියන්ගේ වගාව එතැන් සිට ආරක්ෂා වුණා. දීඝවාපිය චෛත්‍යය ප්‍රතිසංස්කරණය කරද්දී නොයෙක් බලවේග ආවා. රතන සූත්‍රය දස දහස්වාරයක් ජීවම් කරද්දී ඒ බලවේග ටික ටික දුරු වෙන්න ගත්තා. අදත් ඒ ඉදිකිරීම් සිද්ධ වෙනවා. ඔය වගේ අත්දැකීම් දහස් ගණනක් මේ වසර 38 ඇතුළේ මම ලබල තිබෙනවා. සත්‍යවාදී බුදු බලයෙන් කරන්න බැරි දෙයක් මේ ලෝකේ නැහැ. බුදු බලය අදත් මේ ලෝක ධාතුවේ ඒ අයුරින්ම පවතිනවා. මගේ රට කියන්නේ තුන් වරක් බුදුන් දැක්ක රටක්. තිසරණය පිළිබඳව මහත් භක්තියක් තිබුණු රටක්. දෝණියක් ධාතුන් වහන්සේ වැඩ ඉන්න රටක්. එපමණක් නොවෙයි ලෝකයේ පැරණිම වෘක්ෂය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අදටත් වැඩ වාසය කරන රට මේක. කන්ද උඩරට ශ්‍රී දළදා වහන්සේ වැඩ ඉන්නවා. පිරිවෙන් අධ්‍යාපනය තුළින් මහා උගතුන් බිහිකරපු රටක්. එහෙම නම් මේ රට තමයි ගෞතම බුද්ධ රාජ්‍යය බවට පත් විය යුත්තේ. මගේ අනුගාමිකයෝ ලක්ෂ 05කට ආසන්න සංඛ්‍යාවක් මේ රටේ ජීවත් වෙනවා. ඔවුන් පංචසීලය ඒ ආකාරයෙන්ම රකින පිරිසක්. ලෙඩ දුක් නෑ. කරදර බාධක නෑ. දේවාල පස්සෙ යන්නෙ නෑ . කුඩා දරුවන්ට පවා තුන් සුත්‍රය කට පාඩමින් දේශනා කරන්න පුළුවන්. ඔවුන් අතින් රහසින්වත් පවක් සිද්ධවෙන්නේ නෑ….”

එසේ පැවසූ සිරිගුණාලංකාර පහන් ප්‍රසාධලාභී චන්ද්‍රලාල් ප්‍රනාන්දු මහතා තම අදහස් දැක්වීම අවසන් කළාක් බඳු නිහැඬියාවකට සම වැදුණේය. එමඟින් ඔහු කියා පෑවේ ප්‍රශ්න කළ යුතු යමක් වේ නම් නොපමාව එය ඉදිරිපත් කළ යුතු බවය. ඒ බව වටහා ගත් අප එතෙක් වේලා අප හමුවේ පැවති ගැටලු කීපයක් ඔහු වෙත යොමු කළේය. ඒ සෑම ගැටලුවක් සඳහා ම තාර්කික පිළිතුරක් ඔහු සතු විය. එපමණක් නොව කිසිදු අයකිරීමකින් තොරව බුදු බලයෙන් රෝග සුව කිරීමේ අපූරු හැකියාවක් ද ඔහු සතුය. චන්ද්‍රලාල් මහතා රට වටා සංචාරය කරමින් ද ඔහු සමීපයට පැමිණෙන පිරිස වෙත සරණ වෙමින් ද මේ වනවිට දහස් ගණනක්

රෝගීන් සුවපත් කිරීමේ උතුම් පිංකමක නිරත වන අතර විශේෂත්වය වන්නේ ඒ සඳහා කිසිදු මුදලක් හෝ වෙනත් ප්‍රතිලාභයන් අපේක්ෂා නොකිරීමය. ඒ තුළින් ද ඔහු අපේක්ෂා කර සිටින්නේ නිරෝගී සමාජ දේහය රට තුළ ස්ථාපිත කිරීමය. මේ වනවිට ඔහු විසින් සිදු කර තිබෙන සේවාවන් සහ ඒ තුළින් නිවැරදි ජීවන රටාවක් ගොඩනඟා ගත් පිරිස පිළිබඳ සටහන් තැබීම පිණිස මෙවැනි ලිපියක් කිසිසේත් ප්‍රමාණවත් නැත. ඔහුගේ ආධ්‍යාත්මික බලය ඒ තරම් ප්‍රබලය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment