සිංගප්පූරුවේ බෞද්ධ හා පාලි විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය උත්කර්ෂවත් ලෙස පැවැත්වේ
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට අනුබද්ධ සිංගප්පූරුවේ බෞද්ධ හා පාලි විද්‍යාලයේ 2021/2022 හා 2022/2023 අධ්‍යයන වසරවලට අදාළ උපාධි ප්‍රදානෝත්සවය සිංගප්පූරුවේ මංගල විහාරයේ දී පසුගිය 25 වැනිදා පැවැත්විණි. බුද්ධ ධර්මය පිළිබඳ ඩිප්ලෝමාධාරීහු , බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිධාරීහු සහ ශාස්ත්‍රපති උපාධිධාරීහු 103 දෙනෙක් එහිදී සිය ඩිප්ලෝමා සහ උපාධි ලැබූහ.
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උප කුලපති පූජ්‍ය නෙළුවේ සුමනවංශ නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උලෙළේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෙනරත් දිසානායක මහතා සහභාගි විය. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී මල්කා හේවාවිතාරණ මහත්මිය ද ඊට සහභාගි වූවාය.
සිංගප්පූරුවේ බෞද්ධ හා පාලි විද්‍යාලයේ විදුහල්පති හා මංගල විහාරයේ වත්මන් විහාරාධිපති පූජ්‍ය පුපුලේ සීලානන්ද හිමිපාණන් ්උත්සව සභාව හමුවේ ප්‍රකාශ කළේ, බෞද්ධ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන පරමාර්ථය නම්, පුද්ගලයා පෙළන්නාවූ දුක් දොම්නස් වෙනුවට සන්තුෂ්ටිය ද ප්‍රඥාව අවදි කර විමුක්තිය ද ළඟා කර ගැනීමේ මාර්ගය පෙන්වාදීම බවය. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ නාහිමිපාණෝ මෙහිදී අදහස් දක්වමින් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය දශක හතරක් තිස්සේ මෙවැනි අනුබද්ධ ආයතන 12ක් ද සමග බුදුන් වහන්සේගේ ඉගැන්වීම ලොවපුරා ව්‍යාප්ත කරමින් සිටින බව පැවසූහ. එහි දී සිංගප්පූරුවේ බෞද්ධ හා පාලි විද්‍යාලයේ මෙහෙවර උන්වහන්සේ අගය කළහ.
සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක මහතා ඩිප්ලෝමා සහ උපාධිලාභීන්ට සිය සුබ පැතුම් පිරිනමමින් සඳහන් කළේ, අද මෙලෙස ඔවුන් විසින් නෙළාගනු ලබන්නේ හුදෙක් අධ්‍යාපනික ජයග්‍රහණයක ප්‍රතිඵල පමණක්ම නොව, ගැඹුරු ප්‍රඥා මහිමයක් ගවේෂණය කරමින් සිදුකළ කැපකිරීමක ප්‍රතිඵල ද බවයි.
මෙතැන් සිට ඉදිරියට යෑමේ දී එම අධ්‍යයනය හුදෙක් ජීවිතයට ශාස්ත්‍රානුකූල පදනමක් එක් කිරීමෙන් ඔබ්බට ජීවිතාභියෝග ජය ගැනීම පිණිසත්, සාමය සහ අන්‍යාවබෝධය ගොඩනැඟීම වෙනුවෙන් හා සියලු සත්වයාගේ යහපැවැත්ම පිණිසත් ක්‍රියාකිරීමට මඟපෙන්වනු ඇති බවය. තම වෘත්තීය භූමිකාව කවරක් වුවද හරයාත්මක වශයෙන් තමන් කවුරුන් දැයි පිළිබිඹු කිරීමට එකී හැදෑරීම හේතුවනු ඇති බවද මහකොමසාරිස්වරයා අවධාරණය කළේය. මංගල විහාර කළමනාකරණ කමිටුවේ සභාපති ආචාර්ය ලිම් ආහ් ස්වාන්, බෞද්ධ හා පාලි විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති කෝවිද ජෙබ්සන්ස් චියා සහ ඩිප්ලෝමා හා උපාධිධාරීන් වෙනුවෙන් ලිම් අයිලෙන්ග් යන මහත්ම මහත්මීහු ද සභාව ඇමතූහ.
සිංගප්පූරුවේ බෞද්ධ හා පාලි විද්‍යාලය තිස්වසරක් තිස්සේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට අනුබද්ධව බුද්ධ ධර්මය හා බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා පවත්වා ගෙන එන අතර මේ දක්වා දහස් සංඛ්‍යාත පිරිසක් එම පාඨමාලා සාර්ථකව සම්පූර්ණ කර ඩිප්ලෝමා සහ උපාධි ලබා සිටිති.
සිංගප්පූරු හා විදේශ ජාතිකයන් වෙනුවෙන් මෙම පාඨමාලා හැදෑරීමේ පහසුකම් සලස්වා ඇති එරට ප්‍රමුඛම ආයතනය වන මෙහි එම විභාග කටයුතු ආදිය පැවැත්වීමේ දී මහකොමසාරිස් කාර්යාලයේ සහාය නිබඳව හිමිවේ. බෞද්ධ හා පාලි විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ හා පරිපාලන කාර්ය මණ්ඩලයේ මෙහෙවර අගයමින් මෙහිදී උපහාර තිලිණ ප්‍රදානය ද සිදුකෙරිණි.
සකස් කළේ –
ජගත් කණහැරආරච්චි