පොසිල ඉන්ධන භාවිතය නිසා මේ වනවිට පෘථිවියට සිදුව ඇති මහා ව්‍යසනය දැන් ලෝකයේ සියලුම රාජ්‍යයන් අවබෝධ කරගෙන හමාරය.
දැන් මුළු ලෝකයම එකතුවී මෙම අනතුරෙන් ගැලවීමේ මහා ප්‍රයත්නයක යෙදෙමින් සිටී. වර්ෂ 1760 දී බි්‍රතාන්‍යයේ ගල් අඟුරු ජලවාෂ්ප එන්ජිම සොයාගැනීමත් සමග නොයෙකුත් කර්මාන්තශාලා සඳහා චාලක ශක්තිය උපදවා ගැනීමට මෙම යන්ත්‍ර හා ගල් අඟුරු භාවිතය ව්‍යාප්ත වන්නට පටන් ගත්තේය. ගල් අඟුරු භාවිතය ශීඝ්‍ර ලෙස ලෝකය පුරා ව්‍යාප්ත වන්නට පටන් ගත්තේ වාෂ්ප එන්ජින් දුම්රිය ආදී ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගැනීමත් සමගය.
1859 වර්ෂයේ ඇමරිකාවේ එඩ්වින් ඩ්රේක් විසින් වෘත්තිමය වශයෙන් බොරතෙල් නිෂ්පාදනය කිරීමත් අභ්‍යන්තර දහන එන්ජිම සොයාගැනීමත් සමග ඉතා ශීඝ්‍රයෙන් පොසිල ඉන්ධන භාවිතය ඉහළ නැංගේය. මුලදී බොරතෙල් නිෂ්පාදනයේදී ලැබුණ ස්වාභාවික ගෑස් අපද්‍රව්‍යක් ලෙස ඉවත දැමුවද පසුව එයද ප්‍රයෝජනයට ගැනීමට ක්‍රමවේද සැකසිණ.
ලංකාවේ මුල්ම තෙල් පිරිපහදුව 1960දී සපුගස්කන්දේ ආරම්භ කළ අතර ඒ දිනවල රටේ තිබුණේ ඉතා අල්ප වූ වාහන ප්‍රමාණයනයක් නිසා වැඩි හරියක් පිරිපහදු කටයුතු කළේ ලංකාවට පැමිණෙන නැව්වල අවශ්‍යතා සම්පූර්ණ කිරීමටය. 1970 සිට 1977 දක්වා ම ලංකාවට ආනයනයකර තිබුණේ මෝටර්සයිකල් ඇතුළුව වාහන අටදහසක් පමණි. එවකට ලකාවේ භාවිතවූ මුළු වාහන ප්‍රමාණය හැත්තෑදහසක් පමණ විය. එහෙත් විවෘත ආර්ථිකයත් සමග ආනයන ප්‍රතිපත්ති ලිහිල්වී මේ වනවිට ලංකාවේ ඇති සමස්ත වාහන ප්‍රමාණය ලක්ෂ 70ක් ඉක්මවා ගොසිනි. මේ සඳහා කොපමණ ඉන්ධන ප්‍රමාණයක් වැයවනු ඇතිද?
පොසිල ඉන්ධන දහනය නතර කිරීමට ඉතා ඉක්මණින් කටයුතු කළයුතු බව ලෝකයේ රටවල් එක්ව තීන්දුවක් ගෙන ඇත. ලංකාවේ විදුලි බලය නිපදවීමේ වැඩිම ප්‍රතිශතය දැනට පොසිල ඉන්ධනවලින් සිදුකරන අතර එය අවම කර ගැනීම සඳහා කුමක් කළයුතු ද යන්න මින් සාකච්ඡා කෙරේ.
පසුගිය දින දහයේ සූර්ය හා කුඩා ජල විදුලිය එපා කිව්වේ ඇයි ?
දහවල් කාලයේ ලංකාවේ විදුලි නිෂ්පාදනයේ අතිරික්තයක් පවතින බව විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි. මෙයට ප්‍රධාන හේතුව පසුගිය වසර කිහිපය තුළ පුනර්ජනනීය විදුලිබල නිෂ්පාදනය සැලකියයුතු මට්ටමකින් ඉහළ යෑම බවද ඔවුහු කියති.
2024 වර්ෂයේ ලංකාවේ විදුලිබල නිෂ්පාදනය පහත දැක්වෙන පරිදි වේ.
ඉහත වගුව අනුව පෙනීයන්නේ ලංකාවේ විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට පනහකට ආසන්න ප්‍රමාණයක් නිපදවන්නේ ගල් අඟුරු හා තෙල් බලාගාර මගින් බවයි. මින් ගල් අඟුරු බලාගාර ක්‍රියාවිරහිත කළහොත් එය යළිත් ක්‍රියා කර වීමට දින හතරක් පමණ ගතවන හෙයින් එය දිවා රාත්‍රී එකසේ ක්‍රියාකර යුතුව ඇත. දැනට ක්‍රියාත්මක සූර්ය බලශක්තියට සමාන ප්‍රමාණයක් දිවා කාලයේ තෙල් බලාගාර (Diesel” HFO ” Naphtha ,) මගින් කෙරෙන බව මේ සටහනෙන් පෙනී යනවා ඇත. තෙල් බලාගාර ක්‍රියාත්මක කරවීම හෝ ක්‍රියා විරහිත කිරීමට එතරම් කාලයක් නොගන්නා හෙයින් හා ලංකාවේ හිරු පායන ආකාරය පිළිබඳ 100%ක් නිවැරදි කාලගුණික දත්ත පැය කිහිපයකට පෙර ලබාගතහැකි වීමත් හේතුවෙන් දැනට පවතින තත්ත්ව යටතේ පසුගිය සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ සූර්ය බලාගාර සියල්ල ම ක්‍රියාත්මක වන්නට ඉඩ දී තෙල් බලාගාර සීමා කිරීමක් කළ හැකිව තිබිණ. එසේ කිරීමට යම් කැපකිරීමක් කළ යුතු අතර වඩාත්ම පහසු දෙය සූර්ය හා කුඩා පරිමාණ ජලවිදුලි බලාගාර නතර කර දැමීම ලෙස තීරණයක් ගන්නට ඇත. රට වෙනුවෙන් කැපකිරීම අපට තවමත් නුහුරු දෙයකි. විදුලිබල මණ්ඩලය නිකුත් කළ 2023 දත්ත වාර්තාවලට අනුව මේ වනවිටත් ලංකාවේ විදුලිය පරිභෝජනය කරන්නේ හැටපන්ලක්ෂයක පමණ ජනගහනයකි. රජය ගෘහස්ත විදුලිය සියලුම දෙනාට ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරතොත් දැනට තිබෙන ඉල්ලුම දෙගුණ වෙනු ඇත. එමෙන්ම දැනට ලෝකය ගමන් කරන දිශාවට අනුව ප්‍රවාහන කටයුතු සඳහා විදුලිබලය උපයෝගී කරගන්නේ නම් ඒ සඳහා අද තිබෙන විදුලිබලය මෙන් තුන්ගුණයක් අවශ්‍යවනු ඇත. දැනට සියලුම මූලාශ්‍රවලින් වසරකට සපයන්නේ ගිගාවොට් පැය 16,000කට ආසන්න ප්‍රමාණයකි. ලංකාවේ ප්‍රවාහනය හා ගෘහස්ත විදුලිය සඳහා නිසි පරිදි කටයුතු යොදන්නේ නම් වාර්ෂික විදුලි අවශ්‍යතාවය ගිගාවොට් පැය 80,000ක් පමණ වනු ඇත. ප්‍රවාහනය සඳහා විද්‍යුත් රථ යොදා එයට අවශ්‍ය විදුලිය පොසිල ඉන්ධන මගින් නිපදවන්නට යන්නේ නම් එහි කිසිදු අර්ථයක් නැත.එ සේනම් අපගේ විදුලි නිෂ්පාදන රටාව හැඩගස්වා ගතයුත්තේ කෙසේද?
ලාභ ම පහසුම විශ්වාසවන්තම දෙය ඉවත දමනවා ද?
මේ විදුලි අවශ්‍යතාවය හිරු එළියෙන් ලබාගැනීම පහසු දෙයකි. ඒ සඳහා නිවාස වල වහලය මත සූර්ය පැනල ස්ථාපනය කිරීම ප්‍රමාණවත්ය. එහෙත් එම නිෂ්පාදනය නිසි පරිදි එකතු කරගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට මේ වනතෙක් කල්පනාකොට නැත. දනට කල්පනාකොට ඇති එකම දෙය නම් සූර්ය විදුලිය තව දුරටත් නිපදවීම අත්හිටුවන පරිදි කටයුතු කිරීම සහ එසේ කිරීම සාධාරණීකරණය කරන්නේ කෙසේද යන්න ගැනය.
උදයේ සහ සවස් කාලයේ සූර්ය විදුලිය නිෂ්පාදනය බෙහෙවින් අඩුය. රාත්‍රී කාලයේ විදුලිය උත්පාදනය වීමක් නැත. එසේනම් සූර්ය විදුලි නිෂ්පාදනය අඩු හා නොමැති කාලයන් තුළ විදුලිය කළමනාකරණය කිරීම සඳහා දවල් කාලයේ අතිරික්තව විදුලිය නිපදවා බැටරිවල ගබඩා කර ගැනීම කළයුතුය. අද තිබෙන මිල ගණන් යටතේ සූර්ය විදුලිය ගබඩා කොට නිකුත් කිරීම සඳහා ඒකකයකට රුපියල් හයක පමණ අමතර මුදලක් වැයවේ. දැනට තෙල්වලින් නිපදවන විදුලිය වෙනුවෙන් ඒකකයකට රුපියල් හැත්තෑවක මධ්‍යස්ථ අගයක් ගෙවනු ලබයි. විදුලිය ලබා ගන්නා වෙලාව අනුව මෙය වෙනස් වන අතර මධ්‍යස්ථ අගය මෙසේ සැලකිය හැකිය. තවද වැසි නොලැබෙන කාල වකවානුවල ලබාගන්නා හදිසි මිලදී ගැනීම්වලදී ලබාගන්නා විදුලිය වෙනුවෙන් මීටත් වඩා විශාල මිලගණන් ගෙවන අවස්ථා තිබේ. කෙසේ වෙතත් ස්වාභාවික ගෑස් මගින් ක්‍රියාත්මක වන LNG බලාගාරවලින් ඒකකයක් රුපියල් 37 බැගින් ලබාදෙනු ඇත. මෙයින් සිදුවන පරිසර හානිය ඩීසල් බලාගාරවලට සාපේක්ෂව අඩුය.
රජය ඉක්මන් පියවරක් ලෙස කළයුතුව ඇත්තේ වහලය මත සූර්ය විදුලිබල උත්පාදනය තව දුරටත් උනන්දු වන ආකාරයේ මිල ගණන් නිෂ්පාදකයාට ගෙවා ඒවා ක්‍රියාත්මකව යන අතරේ ප්‍රාදේශීය වශයෙන් බැටරි ගබඩා පිහිටුවීමය, එවිට සම්ප්‍රේෂණය පිළිබඳව ගැටලු අවම වනු ඇත. බැටරි සඳහා ඒකකයකට වැය වන රුපියල් 6 ත් දැනට කුඩා පරිමාණ සෝලා විදුලි නිෂ්පාදකයාට ගෙවන රුපියල් 27 ත් එකතු වූ විට වන්නේ රුපියල් 33 ක් පමණි. නිසි පරිදි කළමනාකරණය කරන්නේ නම් මෙම කටයුත්ත මාස හතරක් තුළ සිදු කිරීමට හැකිය. 2023 වර්ෂයේ තෙල් විදුලි බලාගාර සඳහා රුපියල් බිලියන 24ක් ගවා ඇති බව හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මේ ආයෝජනය හරහා ඩීසල් විදුලි බලයෙන් ඈත් වන්නට හැකි වුවහොත් විදුලිබල මණ්ඩලයට විශාල වාසියක් ලැබෙන අතර පැරිස් කාබන් සම්මුතියට අනුව අප රටට විශේෂ තැනක් හිමිවනු ඇත. මේ හැම එකකටම වඩා අප රටේ සුවිශේෂී ජයග්‍රහණයක් වන්නේ වායුගෝලයේ පවතින අපවිත්‍රතාවය නිසා නොයෙකුත් ශ්වසන රෝගවලට ගොදුරුව පීඩා විඳින ලක්ෂ ගණනක් ජනයා සුවපත් වීම නිසා රටේ ආර්ථිකයට ඉක්මණින් නැඟී සිටීමය.
චිත්‍රාන් ගමගේ