දිගින් දිගටම අසාර්ථකයි – ශ්‍රී ලංකා නඩය දෙවැනි තරගයත් ඉන්දියාවට පරදී

228

ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන්ගේ දුර්වල පිති ප්‍රහාරයත් වනිඳු හසරංග ගේ දුර්වල පන්දු යැවීමත් හේතුවෙන් තරග 3කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තමන් සතුකර ගැනීමට ලෝක ශූර ඉන්දීය කණ්ඩායම පෙරේදා (28දා) සමත්විය.

නුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී තරගාවලියේ දෙවැනි තරගය ලෙස ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායමේ නායක සූර්යකුමාර් යාදෙව් සමත් වූ අතර ඔහුගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගැනීමට හැකිවූයේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 161ක් පමණි.

ඒ අනුව පිළිතුරු ඉනිම ආරම්භ කළ ඉන්දීය කණ්ඩායම ප්‍රථම පන්දු වාරයේ තෙවැනි පන්දුව ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව තරගයට වර්ෂාවෙන් බාධා වූ අතර, ඒ අනුව තරගයේ ජය තීරණය කිරීම සඳහා ඩක්වත් සහ ලුවිස් න්‍යාය ක්‍රියාත්මක කිරීමට විනිසුරුවරුන්ට සිදුවිය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ ඉලක්කය පන්දු වාර 8ක් තුළ ලකුණු 78ක් ලෙස දැක්වුණු අතර එම අභියෝගය පන්දු වාර 6ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 81ක් ලබමින් පසුකර ගිය ඉන්දීය කණ්ඩායමට කඩුලු 7ක විශිෂ්ට ජයක් ද සමගින් තරගාවලියේ ජයද තරගයක් ඉතිරිව තිබියදීම වෙන්කර තබා ගැනීමට හැකිවිය. ලකුණු 78ක ඉලක්කය පන්දු 12ක් ඉතිරිව තිබියදීම ලබාගැනීම විශේෂත්වයක් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී කුසල් ජනිත් පෙරේරා ලකුණු 53ක්, පැතුම් නිශ්ශංක ලකුණු 32ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 26ක් ලැබීය.

පන්දු යැවීමේදී රවී බිෂ්නෝයි ලකුණු 26කට කඩුලු 3ක්, අර්ශ්දීප් සිං ලකුණු 24කට කඩුලු 2ක්, අක්ෂාර් පටෙල් ලකුණු 30කට කඩුලු 2ක් සහ හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 23කට කඩුලු 2ක් බිඳහෙළීය.

පන්දු 48කින් ලකුණු 78ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් යශස්වි ජස්වාල් පන්දු 15කින් ලකුණු 30ක්, සූර්යකුමාර් යාදෙව් පන්දු 12කින් ලකුණු 26ක් සහ හර්දික් පාණ්ඩ්‍යා පන්දු 9කින් ලකුණු 22ක් ලැබීය.

පන්දු යැවීමේදී මහීෂ් තීක්‍ෂණ ලකුණු 16කට කඩුලු 1ක්, වනිඳු හසරංග ලකුණු 34කට කඩුලු 1ක් සහ මතීෂ පතිරණ ලකුණු 18කට 1 කඩුල්ලක් බිඳහෙළීය.

පන්දු යැවීමේදී ලකුණු 26කට කඩුලු 3ක් බිඳහෙලූ රවී බිෂ්නෝයි තරගයේ වීරයා ලෙස සම්මාන ලැබූ අතර තරගාවලියේ අවසාන් තරගය අද (29 දා) නුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතය.
සිසිර ජයසූරිය


advertistmentadvertistment