ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ නිසි අනුමැතියකින් තොරව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කර තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් ලබන සැප්තැම්බර් 8 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (28දා) නියෝග කළේය.
කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව නවයක් ගොනු කර තිබූ එම පෙත්සම් ඊයේ (28දා) ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි. එකී පෙත්සම් පසුගිය වසරේ කැඳවූ අවස්ථාවේදී දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ බලතල හා රාජකාරි ඉටු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එකී පෙත්සම් විභාගය අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට තිබිණි.
එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව බහුතර ඡන්දයෙන් සම්මත වී නොතිබියදීත් ඔහු පොලිස්පති ධුරයට පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එබැවින් එකී තීරණය බලරහිත කරන තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.
ඒ.ජේ.ඒ. අබේනායක