පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදය හේතුවෙන් සකස් වන දීර්ඝ ආදීනවයන් දෙස සිහිනුවණින් බලලා, කාමයේ සහ රූපයේ නිස්සරණය දිශාවට යන්න” ය කියලා. පින්වත, කාමයේ සහ රූපයේ නිස්සරණයට තිබෙන එකම මාර්ගය තමයි උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. පින්වත් ඔබ බොහෝම සතුටින් සමරපු සිංහල අලුත් අවුරුදු මංගල්‍යයයේ කෙටි ආස්වාදය ඉවරයි නේද? දැන් ඉතින් සිංහල අලුත් අවුරුදු කෙටි ආස්වාදයේ, ආදීනවයෝ මධ්‍යස්ථ සිතින් බලාපොරොත්තු වෙන්න ඕනේ. අවුරුදු ආස්වාදයෝ නම් ගොඩාක් සතුටින් ඔබ වින්දා නේද? පින්වත් ඔබ අත්වින්දා වූ අවුරුදු ආස්වාදයේ ආදීනවයන් බවට පත් වෙන්නේ, අතේ තිබුණ සල්ලි ටික ඉවරයි නේද? වෙච්ච ණය ටික ගෙවා ගන්නේ කොහොම ද? උගස් බඩු කඩේ පැත්තෙත් ගියා ද? අවුරුද්දට තෙල් කෑම, මිරිස් කෑම සිත් සේ අනුභව කරලා කායික රෝගාබාධයන් ඇවිස්සුණා නේද? ඉදිරියේ දී වෛද්‍ය පර්යේෂණ, වෛද්‍ය ගාස්තු, ඖෂධ, පින්වත, මත් වතුර බීලා ශරීරයට සිදු කොට ගත් හානිය, පින්වත, මේ සියල්ල සිංහල අලුත් අවුරුදු කෙටි ආස්වාදයේ දීර්ඝ ආදීනවයෝ ය. පින්වත, කාමයේ සහ රූපයේ කෙටි අවුරුදු ආස්වාදය ඉදිරියේ පින්වත් ඔබට නිස්සරණය අමතකව ගියා නේද? දැන් ඉතින් ආදීනවයෝ ගොඩයි. පින්වත, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය යැයි කියන්නේ, සිදු වූ වරදට පසුතැවෙන ශාසනයක් නොවේ. වරද නිවැරදි කොට ගෙන අප්‍රමාදී වෙන ශාසනයක්. පින්වත, ආස්වාදයත්, ආදීනවයත්, අනිත්‍ය වූ සංස්කාරයෝ යැයි ධම්මානුපස්සනාවෙන් මකා දමා, රූපයෙන් සහ කාමයෙන් නිදහස් වෙන ශාසනයක්.
පින්වත, මොනතරම් ප්‍රශ්න තිබුණත්, ගම්මානවල පින්වත් ජනතාව බොහෝම සතුටින් අවුරුදු චාරිත්‍රයන් ඉටු කළා. පින්වත, අවුරුදු සතියේ දී ගමේ ශබ්ද ගොඩාක් වැඩියි. රතිඤ්ඤා හඬ, දරුවන්ගේ කෑකෝ ගැසීම්, අවුරුදු උත්සව, සංගීත සාද. පින්වත, දුකෙන් පීඩිත පින්වත් මනුෂ්‍යයෝ ගොඩාක් සතුටු වෙනවා. මේ සතුට සම්මා සතුටක් නොවන බව ඇත්ත. පින්වත, පංච නීවරණයන්ට රුකුල් දෙන පින්වත් ජනතාවගේ සතුටේ හඬ ඇසෙද්දී, භික්ෂුව තුළ ඇති වෙන්නේ සම්මා සතුටක්. පින්වත, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව දුක, සින්නක්කරව ලියා ගත් ලෝකය තුළ සතුට කියෙන්නේ හරිම දුර්ලභ ධර්මතාවක්. එම නිසා අනුනගේ කාමච්ඡන්දයන් උස් මහත් කරන, සතුටු සිනා ඇසෙද්දී, එම සතුට ධර්මයේ උපේක්‍ෂාවෙන් අපි දකින්න ඕනේ. පින්වත, අවිද්‍යා පච්චයා සංඛාරා. සතුටු සිනා ඇසීමෙන් බිහි වෙන්නේ සුන්දර දහමක්. පින්වත, භික්ෂුව නැවතත් සටහන් තබනවා, සතුට හරිම දුර්ලභ දෙයක්. පින්වත, ලෝක යුද්ධයන් ඇති වෙච්ච කාලවල දී, රට රටවල සිවිල් යුද්ධයන් තිබෙන කාලවල දී, මහා ගංවතුර, භූමිකම්පා, සුනාමි, කොරෝනා විනාශයන් මොනතරම් දුකක් ලෝකගත වුණා ද? පින්වත, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ, ප්‍රියයන්ගෙන් වෙන් වීම් සහ අප්‍රියයන් හා එක් වීම්, පංච උපාදානස්කන්ධ දුක් ගොඩ. පින්වත, දුක පත්තියම් වූ ලෝකය තුළ සිංහල අලුත් අවුරුදු සමරමින් පින්වත් ජනතාව ලබන සතුට, කාමච්ඡන්දයන්ගේ සතුටක් වුවත්, එය හරිම දුර්ලභ සතුටක්. පින්වත, කාමච්ඡන්දයෝ උපදින මිච්ඡා සතුට දුකට බර ලෝකය තුළ දුර්ලභ සතුටක් නම්, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ සප්ත බොජ්ඣංගයන් වැඩෙන සම්මා සතුට, තව මොනතරම් නම් දුර්ලභ වෙයි ද? පින්වත, දෑස් පියාගෙන මොහොතක් දකින්න, පංච උපාදානස්කන්ධ ලෝකය තුළ පංච නීවරණයෝ වැඩෙන මිච්ඡා සතුට සහ සප්ත බොජ්ඣංගයෝ වැඩෙන සම්මා සතුට මෙතරම් දුර්ලභ නම්, ආර්ය ඥාන දර්ශනයෝ සහ ආර්ය විමුක්තිය මොනතරම් නම් දුර්ලභ වෙයි ද කියලා. පින්වත, ආර්ය ධර්මයන්ගේ දුර්ලභභාවය මතු කොට ගත් ඉහත සිතුවිලිවලට ඔබ බැඳෙන්න එපා. එම සිතුවිලි චිත්තානුපස්සනාවෙන් අනිත්‍ය යැයි දකින්න. එවිට ඔබට ආර්ය ධර්මයෝ ස්වාක්ඛාත ගුණයෙන් යුත් ධර්මයක් ම වේවි.
පින්වත, ඔබ බාහිරින් ඇසෙන ශබ්දවලට ගැටිලා තිබෙනවා ද? වර්තමානයේ අපිට ජීවත් වෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ ශබ්ද බහුල සමාජයක. පින්වත, ඔබ සටන්කරන්නෙක් වෙන්න එපා, ඔරොත්තුදෙන්නෙක් වෙන්න. පින්වත, සිහිනුවණින් දකින්න, ශබ්දයකට ගැටෙන්නේ, තවත් ශබ්දයක් මයි. පින්වත, බාහිර ශබ්දවලට විවෘත සමාජය තුළ පින්වත් ඔබ ආර්ය නිහඬභාවය ඇති කොට ගන්න. පින්වත, ආර්ය නිහඬභාවයට පුළුවන්, බාහිර ශබ්ද ඵස්සය අසල දී ම අනිත්‍ය සඤ්ඤාවෙන් මකා දමන්න. පින්වත, ආධ්‍යාත්මික වේවා, බාහිර වේවා, පංච උපාදානස්කන්ධ ලෝකය යැයි කියන්නේ ධර්මයක්. එම ධර්මය දෙස ධර්මයේ ඇසෙන් බලන්න. අධර්මයේ ආත්මීය දෘෂ්ටියේ ඇසෙන් බලන්න එපා. පින්වත, ඵස්ස පච්චයා වේදනා, ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ. පින්වත, ආර්ය විවේකය තුළ ශබ්දයට රැඳෙන්න බැහැ. පින්වත, ශබ්දය අයිති ලෝකයට, ආර්ය විවේකය අයිති ලෝකයෙන් නිදහස් වීමට. පින්වත, අපි හැමෝගේ ම ජීවිතවල අඩුපාඩු තිබෙනවා. පින්වත, සමහර පින්වතුන් භික්ෂුව මුණ ගැසීමට ඇවිත් කියනවා, “ස්වාමීන් වහන්ස, මගේ අඩුපාඩු ඔබවහන්සේ දකිනවා නම් කියන්න” ය කියලා. පින්වත, භික්ෂුවට අනුනගේ සිත් දැකීමේ ඥානය නැහැ නේ. භික්ෂුව කෙසේ නම් ඔබගේ අඩුපාඩු දකින්න ද? පින්වත් ඔබ කෙසේ නම් භික්ෂුවගේ අඩුපාඩු දකින්න ද? පින්වත, තමන්ගේ අඩුපාඩු දැකිය යුත්තේ තමා තුළින්, තමා මයි. පින්වත, තමා, තමන්ගේ ධර්ම මාර්ගය කෙරෙහි අඩුපාඩු සහ දුර්වලතාවන් දකින සහ මනින නිවැරදි මිනුම් දණ්ඩක් තිබෙනවා. එම මිනුම් දණ්ඩ තමයි උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ යැයි කියන්නේ. පින්වත, ඔබ, ඔබ ගැන මෛත්‍රියෙන්, සීලයෙන් හෝ ත්‍යාගයෙන් පමණක් මනින්න යන්න එපා. වර්තමානයේ හුඟාක් පින්වතුන්ලා උතුම් සෝවාන්ඵල අවබෝධය උදෙසා තමන්ව මෛත්‍රියෙන්, සීලයෙන් සහ ත්‍යාගයෙන් පමණක් කිරන සහ මනින මිනුම් දඬු හදාගෙන සිටිනවා භික්ෂුව දැක තිබෙනවා. පින්වත, දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි කියන සම්මා සම්බුද්ධ බුද්ධ භාෂිතය සිහිනුවණින් අපි තේරුම් ගන්න ඕනේ.
පින්වත, ආදරය ලෝකයෙන් පසු බසින බවක් පෙනෙන්නට තිබෙනවා. පින්වත, ධනය සහ බලය මුලට ගත්ත ලෝකයට, ආදරය හිසරදයක් වෙලා වගෙයි. පින්වත, මෙහෙම ගියොත් ලෝකය තුළ ධනය සහ බලය උදෙසා, ආදරය තවත් ලාභ සොයන ගනුදෙනුවක් බවට ම පත් වෙයි ද? පින්වත, ආදරයෙන් තොර ධනය සහ බලය විනාශයේ සහ යුද්ධයේ මව්දෙමාපියෝ යැයි දකින ධර්මානුකූල සිහිනුවණ, ලෝකයාගේ පංච නීවරණ අසිහිය විසින් අමතක කොට දමා තිබෙනවා. පින්වත, වර්තමානයේ විවාහය කියන කාරණය ගත්තොත්, මුලට එන්නේ ආදරය නොවේ, මාසික ආදායම, රැකියාව, දේපළ සහ දෑවැද්ද. පින්වත, ලෝක දේශපාලනය ගැන කතා කළොත්, මුලට එන්නේ තීරු බදු, ඒකපාක්‍ෂික වාසි සහගත ගිවිසුම්. පින්වත, ආදරයේ සුසානය මත ඉදි වෙන, අවිශ්වාසයේ, අනාදරයේ සොහොන් කොත්, ආදරයේ ටජ්මහල් කඩා බිඳ දමමින් ලෝකය තුළ ඉදි වෙන්නේ ලෝකවාසී ජනතා හදවත් තුළ මෛත්‍රිය, සීලය, ත්‍යාගය වැනි මනුෂ්‍ය ධර්මයන්ට ඉඩකඩ අහුරමින් මයි. පින්වත, පින්වත් මනුෂ්‍යයාගේ අධිතෘෂ්ණාව හේතුවෙන් ලෝකය පටු, කඳු, හෙල් සහිත මාර්ගයන්ගෙන් බැහැර වෙලා, දුකේ අධිවේගී මාර්ගයට අවතීර්ණ වෙලයි තිබෙන්නේ. පින්වත, මේවා අපි, අකම්පිතව නුවණින් විමසා බැලිය යුතු සුන්දර ධර්මයේ හේතුඵල ධර්මයෝ මයි. මේවාට ගැටෙන්න හෝ ඇලෙන්න නොවේ අපි යා යුත්තේ. එහෙම වුණොත්, අපෙනුත් ආදරය ගිලිහිලා යාවි. අපි, අපෙන් මළ ධර්මයන් වන මෛත්‍රිය, සීලය, ත්‍යාගයට යළි පණ දෙමු. ඔබට ධනය සහ බලය අවශ්‍ය නම්, ඔබ මරා දැමිය යුත්තේ ආදරය නොව, ආදරයේ නාමයෙන් ඔබ ජීවත් කර විය යුත්තේ මෛත්‍රිය, සීලය, ත්‍යාගය බව අපි සිහිනුවණින් තේරුම් ගනිමු.
පින්වත, භික්ෂුව වැඩ සිටින ගමේ අවුරුදු නැකැත් උදා වෙද්දී, රතිඤ්ඤා ශබ්දය නම් බොහෝම ඉහළින් ඇසුණා. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඇලෙන සහ ගැටෙන ලෝකය ඉදිරියේ තමන් නොඇලී සහ නොගැටී, තමා තමාව විනිශ්චය කර ගන්නෙක් වෙනවා. පින්වත, ඇලෙන සහ ගැටෙන ලෝකය උන්වහන්සේලාට වධයක් නොවේ. ලෝකය සුන්දර දහමක්. අවිද්‍යාව හේතුවෙන් සංස්කාර රැස් වෙනවා. ඵස්සය හේතුවෙන් විඳීම් ඇති වෙනවා. තෘෂ්ණාව හේතුවෙන් බැඳීයාම් හෙවත් උපාදානයෝ ඇති වෙනවා. පින්වත, ඇලෙන සහ ගැටෙන ලෝකය උන්වහන්සේලාට නිස්සරණය උදෙසා සද්ධර්මයේ පාඩමක් ම වෙනවා. පින්වත අවිද්‍යාව තිබෙන තැන, ජාති, ජරා, ව්‍යාධි, මරණ, පංච උපාදානස්කන්ධ දුක එකම උරුමය නම්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ලෝකයේ කුමක් දැකලා, කුමක් අහලා, කුමක් ගැන සිතලා කම්පා වෙන්න ද? බැඳී යන්න ද? පින්වත, චෝදනා, විවේචන, පැසසුම්, සතුට, විනෝදය මේවා අයිති ලෝකයට. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ලෝකය ඥාන දර්ශනයන්ගෙන් විනිවිද දකින්නෙක්. උන්වහන්සේලාගේ නිවැරදි දැක්ම, පටිච්චසමුප්පාද ධර්මයෝ මුල්කොට ගෙනයි සකස් වෙන්නේ. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ලෝකය දමනය කරන්නෙක් මිස, ලෝකයට යටත් වෙන්නෙක් නොවේ. පින්වත, ඇලෙන සහ ගැටෙන ලෝකය ඉදිරියේ උන්වහන්සේලා ස්වයං ගවේෂකයන් මිස, අනුකාරකයන් නම් වෙන්නේ නැහැ. පින්වත, අතීත, වර්තමාන, අනාගත සිහින මළ උන්වහන්සේලාගේ පටිච්චසමුප්පන්න විඤ්ඤාණය, ඇලෙන සහ ගැටෙන ලෝකය දකින්නේ, හොඳ හෝ නරක වශයෙන් නොව, අනිත්‍ය වී යන ඵස්ස පච්චයා වේදනා කියන ධර්මතාවයේ හැඩරුවෙන් ම ය.
පින්වත, මහා පුණ්‍ය ගංගාවක් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වන්දනා කරන්න සෙංකඩගල පුරවරයට ගලනා බව භික්ෂුවට ආරංචි වුණා. පින්වත, මේ ලෝක ධාතුවේ දුර්ලභ ම අර්ථය වන ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ආර්ය සීලයේ, ආර්ය සමාධියේ, ආර්ය ප්‍රඥාවේ, ආර්ය ඥාන දර්ශනයන්ගේ, ආර්ය විමුක්තියෙන් උපන් මහා කරුණා ගුණයෙන් පෝෂිත, දස පාරමී පුණ්‍ය ශක්තියේ ජීවමාන ආශ්චර්යයයි, අපි මේ අපේ පුණ්‍යවන්ත දෑස්වලින් වර්තමානයේ සෙංකඩගල පුරවරයෙන් දකින්නේ. පින්වත, ඔබේ දෙතිස් කුණපයක් වන දෑස්, තවමත් පුණ්‍යවන්තයි ලෝකයේ ඉතිරි වී ඇති සද්ධර්මයේ ආශ්චර්යයන් තම දෑස්වලින් ම දකින්න. පින්වත, භික්ෂුව නම් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වන්දනා කරන්න වැඩියේ නැහැ. භික්ෂුවට කොයින් ද දිව්‍ය ලෝකයට යන්න පිනක්? පින විදර්ශනාවෙන් දකිද්දී, දිව්‍ය ලෝක මඟ හැරෙනවා. පින්වත, පුණ්‍ය ගංගාවන් මැද්දේ, කරුණාකර ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයන්ගේ දියසුළි ගැන සිහිනුවණින් පසු වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සෝවාන්ඵල අවබෝධය නොලැබූ වක්කලී ස්වාමීන් වහන්සේට ධර්ම අවවාදයක් කරනවා, “වක්කලී, බුදුරජාණන් වහන්සේගේ රූපය දෙසම බලන්න එපා. සම්මා සම්බුද්ධ රූපය විඳින්න එපා. බුදුරජාණන් වහන්සේගේ රූපය තුළ ක්‍රියාත්මක වන ධර්මය දෙස බලන්න” ය කියලා. පින්වත, ඔබ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ තුළින්, ඒ උත්තරීතර දහම දැක්කා ද? එසේ නොදැක්කා නම්, මේ මොහොතේ ඔබ දකින්න. ඒ උත්තරීතර දහම තමයි, අවිද්‍යා නිරෝධා සංස්කාර නිරෝධෝ, සංස්කාර නිරෝධා විඤ්ඤාණ නිරෝධෝ. පින්වත, පටිච්චසමුප්පාද ධර්මයෝ සියල්ල නිරෝධය වුණ තැන, ජාති, ජරා, ව්‍යාධි, මරණ නිරෝධෝ. පින්වත, මෙම ලිපිය කියවන මොහොතේ, පින්වත් ඔබ පටිච්චසමුප්පාද ධර්මයන්ගේ නිරෝධය තුළින්, උතුම් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ පමණක් නොව, ජීවමාන බුදුරජාණන් වහන්සේවත් විදර්ශනාමය ඇසෙන් දකින්න දක්‍ෂ වෙන්න. පින්වත, බුදුරජාණන් වහන්සේ තරම් පින වර්ණනා කළ වෙනත් ශාස්තෘන් වහන්සේ නමක් නොමැති බවත්, පිනට කැමැති පින්වතුන්ලාගේ සතුට උදෙසාත් භික්ෂුව සටහන් තබනවා. සාධු! සාධු! මුළු සෙංකඩගල පුරවරයම සුදෙන් සහ පිනෙන් බබළවන පිනැති සුගතිය සහ භව නිරෝධයට මඟ කියන උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ට. පින්වත, මේ උත්තරීතර ඒහිපස්සික, ඕපනයික දහම අශ්‍රද්ධාවේ පක්‍ෂ හෝ විපක්‍ෂ බලකාමී දේශපාලනයෙන් කෙලෙසෙන්න දෙන්න එපා. එම පූජනීය වගකීම උත්තරීතර ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලාගේ නිකෙලෙස් වගකීමක් වෙනවා.
පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ