නාය යෑමේ අවදානම නිසා විදුලිපුර සිංහල විදුහල වසා දැමේ

28

නායයෑමේ සහ ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙන් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නෝටන්බ්‍රිජ් විදුලිපුර සිංහල මහා විද්‍යාලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ උපදෙස් මත ඊයේ (27) දින තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව එම විදුහලේ විදුහල්පතිනි සුසන්ති මාලනි කුමාරි මහත්මිය පැවසුවාය.

නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග පාසලේ ගොඩනැඟිලිවලට ඉහළින් පිහිටි කන්දක් ඉරි තලා ගොස් ඇති බවත්, එම කන්දේ තිබූ ගල් කිහිපයක් පාසල් භූමිය වෙත පෙරළී ඇති බවත්, පවත්නා තත්ත්වය මත පාසල ඊයේ (27) දින තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවත් විදුහල්පතිනිය කියා සිටියාය.

පාසලේ සිසු සිසුවියන් 250 දෙනකු පමණ අධ්‍යාපන ලබන බවත්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් විදුහල්පතිනිය පැවසුවාය.

නුවරඑළිය නාලක රත්නායක


advertistmentadvertistment