රිදී මිල උස් තැනක ගොඩවෙයි
රිදී හැදු උන් රිදී වැළලෙයි
නිදන කඳුරටේ ඇස සෙලවෙයි
පිබිදෙන පැය ළං වෙයි…
බගවන්තලාව වතුකරයේ සීනා කොල්ලෙයි වත්තේ උපන් පානාතංගම් දෙමළ කම්කරු කවියා එදා ලියූ කවිය ප්‍රකාර අද තේ, රබර් වැවිලිකරයේ නමුනු කුළ කඳු යායට උඩින් කුණාටුව නැඟී එමින් තිබෙනවා. මේ කුණාටුව බදුල්ලේ හපුතල වතුයායේ ඉපිද ලැයිම් කාමරයක අඳුරේම ඇස් පාදාගෙන කළමනාකාරියක වී වත්තේම ජීවත් වන අම්බිගා සැමුවෙල්ය. සුළඟ ගෙන ආවේ ඇයයි.
“… අපට බයක් තිබුණා. වතුකරේ මිනිසුන්ට ඒ මගේ දෙමළ සෙනඟට විවිධ දේවල් දී ඒ අයගෙ ඡන්දය හොරකම් කරගන්න පුළුවන් වේවි ද කියල. ඒ මතේ මින් පසු ඉවරයි. හරිද. එක එක පක්‍ෂවලට බැඳි බැඳී උන්ට රැවටුණ කාලෙ අවසානයි. වතුකරේ නායකයන් කියාගෙන සිටි එකෙකුගෙන්වත් ජනයාට ආලෝකයක්, දර්ශනයක් ලැබී නැහැ. කන්දේ මිනිසුන් දැන් වෙනස් වෙලා. මම නම් කියනවා බය නැතුව වඩිවේල් සුරේෂ්, අරවින්ද කුමාර්, ජීවන් තොණ්ඩමන් මම ඒ අයට අභියෝග කර කියනවා, ඔවුන් වතුකරේ නරකාදියක් කළා. ළඟ ඉන්න අයට කියන්න බය නැතුව. වෙනස ගෙන එන මාලිමාවට ඡන්දය දෙන්න කියලා.”
අම්බිගා ඉකුත් සතියකදී උඩරට කඳුකරේදී කළ මේ කතාවට දැන් ලක්‍ෂ සංඛ්‍යාත දෙනා සමාජ වෙබ් අඩවිවලින් සවන් දී ඇත. ඔවුන්ගේ ප්‍රතිචාර මෙබඳුය.
අඳුරේ මඩ ගොහොදුවකින් මේ මැණික, මේ දියමන්තිය කොහොම මතුවුණාද?
තොන්ඩමන්ලා ගැන, දිගම්බරම්ලා ගැන අවසානය තීන්දු කර පාර්ලිමේන්තුවට එන්න.
අපේ ජීවිතවල දුක කියල අපි වෙන්කර තියෙන කොටස වතුකරයේ මිනිසුන්ගේ මුළු ජීවිතේමයි. ප්‍රභාකරන් සෙව්වේ බෙදූ රටක්. ලැයිමේ උපන් ඔබ ඔබේ ජනතාවගෙ ඉතිහාසය, අනාගතය වෙනුවෙන් පෙනී සිටිනවා. ඔවුන්ගේ ශ්‍රියාකාන්තාව වෙන්න දුව.
අම්බිගා සිංහල, දෙමළ අප සැමට ඕනෑ ඔබ වැනි දරුවන්. වතුකරයේ කාන්තාව අදත් තේ දලු නෙළන ගමන් රෙද්දක් පටලවා ගෙන දරු ප්‍රසූතියට රෝහල සොයාගෙන ඇවිදිනවා මං දුටුවා.
1840න් පසු සුදු පාලකයන් ප්‍රථමයෙන් වතු වගාවට තින්නවේලි මදුරා, තන්ජෝර් ආදී දුගී පළාත්වලින් ඉන්දියානු ජනයා මෙරට ගෙන් වූයේ 50, 60, 70 දහස් කණ්ඩායම් සැටියටය. නැව් ගමනේදී රෝගාතුර වූවන් මුහුදට බිලි කෙරුණි. මෙරටට සේන්දු වී ගව් ගණන් කන්ද උඩරටට පා ගමනින් ඇවිද ගියවුන්ගෙන් පිරිසක් අතරමඟ නැති විය. මෙරටට ආනයනය වූ මේ ශ්‍රම භාණ්ඩවලට ඉන්පසු උදාවූ ඉරණම ඔවුන්ගේම ජන ගායනාවලින් නින්නාද වෙයි.
පාර රළුයි කන්දයි අයියෝ අයියෝ
ගල්වැටි මුවහත් ගංගා ගැඹුරුයි අයියෝ
අඳුර ඒවි පුත අන්තිම හෝරාවේ
ඒ හින්දා මගෙ පැටි නිදියා ගන්නේ
ඒ ඉතිහාසය කුමාරි ජයවර්ධන කියාපෑවේ මෙලෙසින්.
‘… වතු කම්කරුවාට එදා ලැබුණ වැටුප දවසට ශත 25-33 දක්වා විය. වත්තෙන් පලායෑම තහනම් විය. 1865 ඉංග්‍රීසි කම්කරු පන්ති නීතිය අනුව වැඩබිම හැර යන අය අත්අඩංගුවට, සිරයට පත් කෙරිණ. මේ කම්කරු ප්‍රජාව පාලනය කෙරුණේ යුද හමුදා පන්නයේ පාලන ක්‍රමයකටය.’
අම්බිකා සැමුවෙල් කන්දේ මිනිසුන්ට අද ආපසු කියා දෙන්නේ මේ ඉතිහාසයයි. ‘අදත් තනි ලැයිම් කාමරයේ පවුල් දෙකක් සිටිනවා ළමුන් 7ක් 8ක් සමග. කාමරය වෙනස් කරන්ට බැහැ. ජනේල තියන්ට බැහැ. වතු පාලකයන් කරන්නේ යන්තම් බෝනස් එකකින් රැවටිල්ල පමණයි.’
සියවස් දෙකක් තිස්සේ මේ කම්කරු හත්මුතු පරම්පරාවක ලේ උරා බිවූ පීඩකයන්, ස්වාමිවරුන්, බලවතුන් නායකයන්ගේ උගුලෙන් නිදහස් විය යුතු දවස උදාවී ඇති බවයි අම්බිගාගේ කතාව. මුළු ඉතිහාසයක් පුරා සතුරු මිතුරු ගැලවුම්කාර වේශයෙන් මේ ශ්‍රමිකයන්ගේ ජීවිතය හප කළ කූඩළු පොදිය ගැන වැනුමක් මා ඔවුන් ගැන ප්‍රබන්ධ කළ ‘දෙවියන්ගේ මිනිසුන්’ (1996) කාව්‍යයෙහි මෙසේ එයි.
… මාස්ටර් සර් සුදු කූඩැල්ලෝ
පෙරියදොරේ සින්නදොරේ කළු කූඩැල්ලෝ
ගිනිපොලී කූඩැල්ලෝ
ටෙන්ඩර් පාස්පෝට් සුබසාධක කූඩැල්ලෝ
සේවක සංගම් – දැන් නව ආගම් කූඩැල්ලෝ
පාට පාට මන්ත්‍රී කූඩැල්ලෝ
මේ මහා කූඩළු පොදිය
සතවරුස කාලයක්
එල්ලී කම්කරු අත්මවල
උරා බීවෝය රුහිර මාංසය
අම්බිගා තරුණ නායිකාව තම ජනයා අමතා පවසන්නේ මේ ඉතිහාස පොත අවසන් කළ යුතු බවයි. සාමාජික මුදල් (මුට්ටකාසි) අය කරන වතු 500ක වෘත්තීය සමිති 50ට වැඩිය. ඒ ධනයෙන් සංගම් නායකයෝ සුරසැප විඳිති. ඔවුන් ගන්නේ වාහන, ගොඩනැඟිලි නොව නැව්ය. ඔවුන්ගේ එහෙව් යථාර්ථය වඩා හොඳට දන්නේ කම්කරු කවියන්මය.
කන්තෝරුවෙ අය කන්තෝරුවෙ වැඩය
පැටවෙක් බඩින් ගෙන කූඩය ඉහ උඩය
මෙහෙමය අපේ දිවියම බොහො දුක වැඩිය
සංගම් හත අටක් මෙහි ඇති සැටි හැඩය
සංජමලෙයි වත්තේ පී. මූක්කන් කවියා වෘත්තීය සමිති සෙල්ලම දුටුවේ ඒ සැටියටය.
කොළෙන් ආවත් නිලෙන් ආවත්
දෙපැත්තයි එක කාසියේ
දුක දිනිය හැකි ධර්මයක් වේ
‘සමදහම’ එය යමු සොයා
මූක්කන් කවියා කියන නිදහස් මඟය අම්බිගා සැමුවෙල් සිය සෙනඟ හමුවේ දේශනා කරන්නේ. ඇගේ ස්වරවල ඇත්තේ ඉස්මාලිගා දාවුද් වතුකර කිවිඳියගේ හඬය.
… සරසවි ඇස නොගැසුණු
කොඳු ඇට ඇදවෙලා බිඳුණු
මේ වැඩකාරයන්ගේ
ජරපත් පොරෝනය
කවුරු සෝදා දෙත්ද
මිනිස්කමට රුපු අයුක්තියට මම්
නොදෙමිද පහරක් මෙඅතින්?
මෙරට මාක්ස්වාදීන්ටවත් ද්‍රවිඩ වතු කම්කරුවන් ගැන සංවේදී ආශ්‍රයක් තිබුණේ නැතැයි වික්ටර් අයිවන් පවසයි. ඔවුන් යම් කම්කරු පන්ති ආස්වාදයක් ගෙන දුන්න ද ගමන මැද ඔවුන් තමාගෙන් දුරස් වූ බව දෙමළ කම්කරු කවීන්ගේ අදහසය.
රතු කොඩි සළු නැති මිනිස්සු
සිය ගණන් රතු පින්න මල් වන වනා
කම්කරු අයිතිය කියන්න
හර්තාලෙදි පෙළගැසුණත්
ඒ රතු සඳත්
සැඟවී ගියාදෝ වලාවේ
(දෙවියන්ගේ මිනිසුන්)
අම්බිගාගේ අත්දැකීම ලැයිමක සතෙකු ඇතිකිරීමට මිදුලේ පැළයක් ඉන්දවීමට 10×12 කාමරයට ජනේලයක් තැබීමට වතු අධිකාරි අවසරය ලබාගත යුතු වෙයි. එක් ලැයිම් කාමරයක පවුල් දෙකක්. ළමුන් 10ක් සමග!
මා මෙම දසුන දුටුවේ මෙසේය.
…වැවූ ගසක් – පැල් කොටයක් හිමි නැතුවා
උපන් රටේ ඉඩමක අඟලක් නැතුවා
ලැයිම් ගුලක සිටියා මේ පුදුම සතා
ජේම්ස් ටේලර්ගේ මල්කදුර වත්තේ ප්‍රථම තේ පැළ රෝපණයෙන් එදා ආරම්භ වූයේ වතු කම්කරු පංතියේ සීතල භූමිදානයයි කවිකාර සුදු වතු පාලකයකු මට කියා ඇත.
මේ කම්කරු ජනයාට අවුරුදු 50ක් තුළ වැටුප වැඩි වුණේ රුපියල් 25කි. ලොව දරුණුතම වහල් මෙහෙය වූ ශ්‍රී ලංකාවේ වතුකරයේ ජනයාගේ දවසේ වැටුප තවමත් රුපියල් 2000ට පත්වී නොමැත. ඔවුනට වඩා පැය කීපයක් අඩු මෙහෙයක් කරන රටේ සාමාන්‍ය අත්වැඩ දෙන කුලීකරුවකුට දිනකට 350අ0ක් හිමි වෙයි. මේ සමාජ කොටස ගැන එකම මහරු කම්කරු ගීතය නිපදවූයේ සම්භාව්‍ය සුභාවිත සංගීතධරයන් නොව, තුප්පහි සංගීත යැයි අවමන් ලැබූ බටහිර ආභාෂිත කණ්ඩායම් සංගීතකරුවන්ය.
… මට මතක් වෙනව සුද්ද තැළුෑ පෙළුෑ හැටී…
අපි කතා කළේ පණ ගැහි ගැහි දණින් වැටී…
මාස්ටර් සර් අපි මිතුරන් වේ දෝ… එදා දවස උදා වේවිදෝ…
ගීතය ඉල්ලන්නේ ඔවුන්ට හිමි තැනයි. මනුෂ්‍යත්වයයි. අම්බිගා සැමුවෙල් නඟන්නේ මේ ප්‍රශ්නයයි…
“ඉන්දියා – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගයකදී වතු කම්කරුවන් ඉන්දියාවේ පැත්ත ගන්නේ ඇයි? මන්ද ඔවුන්ට ලාංකිකයන් මෙන් සිතන්නට ඉඩ සලස්වා නැති නිසයි. අදත් ඔවුන්ව සලකන්නේ ඉන්දීය ද්‍රවිඩ කියලයි.”
ලංකා ද්වීපයේ ඇත්ත ජීවිතේ
පින්තූරයක් විතරක් ද අපි?
පතානේ සිවා කම්කරු කවියා ප්‍රශ්න කරන්නේ එයයි.
හපුතලේ වත්තෙන් පිටවී දෙමළ මහ විදුහලක් සොයා ගොස් ඉගෙන ගෙන ආපසු උපන් ලැයිමට පැමිණ ඒ දරුවන්ට සිංහල – ඉංග්‍රීසි කියා දුන් අම්බිගා වෙනස සිදුකරන්නියක සේ අද මේ සෙනඟගේ ආලෝකය සොයන බව කියා සිටී. දෙමළ වූ නිසාම ද්‍රවිඩ ජනයාට ඇති විශේෂ ප්‍රශ්න මොනවාද යන තර්කනයක් බිහි කළ සිංහල දේශප්‍රේමී උගතුන්ට අවුරුදු 200ක වතු භූමියේ ප්‍රශ්න පත්‍රය නොපෙනීම පුදුමයකි.
…පැලහී පැලහී අව් ගිනි ජාලේ
තවත් ඇඟිලි මෙන් කරගැට එල්ලේ
නීචව පතුලට ගිලුණා නොවෙදෝ
දෙවියොත් ඇඬුවා ඉවසුම් නැතිවී
ඉල්ලන් කකා වතු වැව්වේ නිරන්තරා
කුක්කන් වුණා දෝ අපෙ තුන් පරම්පරා
කල්ලන් කියා නින්දා දේවි දේවී
සල්ලන් වෙයිද ගරු දෙමළ ජාති ජාතී
ඡන්දෙට විතරයි මන්තිරි ආවේ
ආව එකත් මහ පුදුමේ
(දෙවියන්ගේ මිනිසුන්)
අඩසිය වසක් මේ කවි ලියමින් වතු සමාජ ගණනාවක් ඇසුරු කළ මට වතුකරයේදී ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ක්‍රීඩා නිලධාරීන්, සමාජ ක්‍රියාධරයන්, කලාකරුවන්, දේශපාලකයන්, භික්‍ෂූන් මේ කිසිවකු හමුවී නොමැත. එය එහෙම්පිටින්ම කළුවර ගෙදරකි.
වතු ජීවිතය ගැන අපේ බොහෝ සිංහල – දෙමළ උගතුන්ට ද කිසිදු අවබෝධයක් නැත. තම නිවෙස්වලට මෙහෙකාරකමට දෙමළ ස්ත්‍රී පුරුෂයන්ම සොයන්නේ ඔවුන්ගේ ළබැඳිකම, අවංකකම ගැන නම් දන්නා නිසාය. උගත්, දක්‍ෂ ලේඛිකාවක් මෑතකදී වතුකරයේ ප්‍රථම කම්කරු සටන් ගැන පර්යේෂණාත්මකව ලියුවාය කියන නවකතාවක වත්තේ වැඩ අහවරකොට බංගලාවේ වැඩට එන අම්බිගා නම් සේවිකාව කිසිම විටෙක පිට එල්ලා ගත් තේ කූඩය බිම නොතැබූ බවත්… ඇය නෑවේද නිදාගත්තේ ද ශරීරයේ එල්ලුණ කූඩය සමග බවත් ලියා ඇත. මේක නැති වුණොත් මං මැරෙයි නෝනා අම්බිගා කියයි. කූඩය පිට එල්ලාගෙන බංගලාවේ වැඩ කරද්දී කූඩය වැදී වටිනා වීදුරු බඩු බිඳී ගිය සැටිත් මේ නවකතාවේ කියැවේ. මෙය වතු කම්කරු ජීවිතය මනෝමූල ඇසකින් දැකීමකි. උදේ රැයින් හිසේ බැඳි තේ කූඩය බිම තබා නිදහස් වන්නේ මොන මොහොතේද කියාය බර උසුලන ඔවුන් බලා සිටින්නේ. මෙබඳු නවකතාවකට සම්මානය ලැබීම මෙරටදී පුදුමයක් නොවේ. පොත් විනිශ්චය කරන අය ද එකම වර්ගයක නිසාය.
අම්බිගා සැමුවෙල් අද වතුකරයේ නඟන හඬ ජාති භේදය නොව ජාති ප්‍රේමයේ ස්වර මාත්‍රා වියමන් කරන්නක් බව ඒ ජනයාට දැනී යයි. මේ ශ්‍රම හමුදාවම ඇය වෙත ළංවෙමින් ඇත්තේ ඒ නිසාය. දැන් රටේ සිංහල ජනයා ද කතා කරන්නේ ඇය ගැනයි. එසේ නොකළොත් එය වරදක් නොව පාපයකි.
● පරාක්‍රම කොඩිතුවක්කු