මේ කෘතිය, ශ්‍රී ලංකාවේ මෑතකාලීන යුගයක් පිළිබිඹු කරමින් ලියැවුණු එක්තරා ඓතිහාසික අටුවාවකි. සිය වසරකට පමණ පෙර මේ දිවයින තුළ පැවති යම් යම් තත්ත්වයන්, පරිපාලන සේවය හා පරිපාලන නිලධාරීන් පිළිබඳ තතු විමසන මෙය, A Ceylon Commentary නමින් මුල්වරට ප්‍රකාශයට පත්වූයේ 1932 වසරේදී ය. ඉනික්බිතිව නැවත මුද්‍රණයක් පළ නොවූ හෙයින් පෝල් රොඩ්නි ස්මයිත් ලියූ මේ කෘතිය අද වනවිට දුර්ලභ පොත් එකතුකරන්නන් සොයා යන සුවිශේෂී භාණ්ඩයක් බවට පත්වී තිබේ. “ලංකා අටුවාවක්” නමින් අප විසින් මෙසේ සිංහල භාෂාවට නගනු ලැබුවේ එයයි.

“සිවිල් සේවකයා අතුරුදන් වෙයි – ලියකියවිලි අත්සන් කිරීමෙන් වෙහෙසට පත්වූයේද?”

මේ ශීර්ෂ පාඨය කවරකු තුළ වුවද කුතුහලය දනවන සුලුය. එය යටතේ බදුල්ලේ වාර්තාකරු විසින් 1930 අගෝස්තු 27 වැනිදා ඉංග්‍රීසි පුවත්පතකට වාර්තා කරනු ලැබ තිබුණේ බදුල්ලේ ඒජන්තවරයාගේ අතිරේක කාර්යාල සහකාර පී. ආර්. ස්මයිත්, බදාදා උදේ සිරිත් පරිදි රාජකාරියට නො පැමිණීම සහ ඊට පෙර දින සවස 4.45ට කොළඹ දුම්රියෙන් ඔහු පිටත්ව ගිය බව දැන ගන්නට ලැබීමෙන් කච්චේරියේ සෙසු සේවකයන් මහත් සේ නොසන්සුන් වූ බව ය. එකී නිලධාරියා ඔහුට පවරනු ලැබ තිබුණ රාජකාරි කටයුතුවල ස්වභාවය ගැන දැඩි කලකිරීමෙන් පසුවූ බව හෙළි කළ එපුවතින්, ඊට අවුරුදු අටකට පෙර බදුල්ල කච්චේරියටම අනුයුක්තව සිටි සිවිල් සේවකයකු වූ සී. සුන්දරලිංගම් (පසු කලෙක මහාචාර්ය) “තුවක්කු ලයිසන් අත්සන් කිරීමෙන් වෙහෙසට පත්ව” ඉල්ලා අස්වූ බව ද වැඩිදුරටත් සිහිපත් කරනු ලැබිණ.

උද්ගත වූ තත්ත්වයට යටත් විජිත ලේකම්වරයා පිළියම් කළේ, එකී නිලධාරියා පැමිණ යළිත් වැඩ භාරගන්නා තෙක් කච්චේරියේ ප්‍රධාන ලිපිකරු ජී. ඩී. ස්ටීවන්ස්, ඔහුගේ වෙනත් රාජකාරිවලට අමතරව ඌවේ ඒජන්තවරයාගේ අතිරේක කාර්යාල සහකාර ලෙස පත්කිරීමෙනි. පුවත්පත් වාර්තාකරුගේ අනුමානය සනාථ කරමින් පී. ආර්. ස්මයිත් ද ගෙන තිබුණේ සුන්දරලිංගම් ගත් තීරණයම ය. ඔහු කිසිවකුටත් නොදන්වා පලාගොස් තිබුණි.

කෙසේ වෙතත් සුන්දරලිංගම්ටත් පළමුවෙන් සිවිල් සේවය දමාගිය අයකු ලෙස අපට සිහිපත් වන්නේ ලෙනාඩ් වුල්ෆ් ය. ලන්ඩනයේ සිට, සති තුනක මුහුදු ගමනකින් පසු 1904 ඔක්තෝබරයේ දිවයිනට පැමිණි ලෙනාඩ් වුල්ෆ්, වසරකට පවුම් 300ක වැටුපක් ලබන 24 හැවිරිදි කැඩෙට් නිලධාරියකු ලෙස යාපනය කච්චේරියේ වැඩ භාර ගත්තේ 1905 වසරේ ජනවාරි 05 වැනිදාය. ඒ වසරේදීම මහනුවර කච්චේරියට මාරුකරනු ලැබූ ඔහුට දකුණු පළාතේ සහකාර ඒජන්ත ලෙස හම්බන්තොට යෑමට සිදුවූයේ 1908 අගෝස්තු මාසයේදී ය. 1911 දී නිවාඩුවක් ලබාගෙන ඔහු එංගලන්තයට ගියේය. වැඩ භාරගැනීම සඳහා ආපසු පැමිණියේ නැත.

යාපනය කච්චේරියේ වැඩ කළ මුල් අවධියෙහි වුල්ෆ්ට පවරනු ලැබූ රාජකාරි කටයුතු ඔහුට දැරිය නොහැකි තරම් අපුල සහ ඒකාකාරී වූ බව ඔහු විසින් ලියන ලද “Growing Seven Years in Ceylon” කෘතියෙහි සඳහන් ය. තුවක්කු ලයිසන්, එදිනෙදා ලේඛන, කාර්යාල ලියුම් අත්සන් කිරීම, ගිණුම්වල හරි වැරදි බැලීම… “කාර්යාල සහකාරගේ සියලුම නීරස නීච රාජකාරි” තමාට පැවරුණ බව ඔහු කියයි. මෙයින් කෝපයට පත් වූ ඔහු ඊට විරෝධය පෑවේ කාර්යාල සහායකට කළ හැකි ඕනෑම දෙයක් කරන්නට තරම් සුදුසුකම් තමාටත් තිබෙන බව කියමිනි. නිලයට සරිලන වැඩ රාජකාරි ඔහුට ලැබෙන්නට වූයේ ඉන් පසුව බව ඔහු කියා ඇත.

එකල සිවිල් සේවයට බඳවාගන්නා ලද්දේ පළමුවැනි පන්තියේ ගෞරව උපාධියක් ලත් වයස 22-24 අතර අයැදුම්කරුවන් වෙනුවෙන් පැවැත්වුණ අතිශයින් තරගකාරී විභාගයකින් මෙන්ම ඊට දෙවැනි නොවූ සම්මුඛ පරීක්‍ෂණයකින් ද සමත් වූවන් ය. ඔවුහු සමාජයේ වඩාත්ම බුද්ධිමත්, උගත්, වැදගත් අදීන තරුණයෝ වූහ. අපේ දිවයින ගැන මෙතෙක් ලියවී ඇති වඩාත්ම විස්තරාත්මක ග්‍රන්ථය වන “Ceylon” නම් විශිෂ්ට කෘතිය ලියූ ඉමර්සන් ටෙනන්ට්, මහාවංසයේ පිටපතක් සොයාගෙන එය පරිවර්තනය කොට ඇපේ ඉතිහාසය ලොවට හඳුන්වා දුන් ජෝර්ජ් ටර්නර්, ශිලා ලිපි කියවීම, පුරාවිදු ගවේෂණ ඇතුළු නොයෙක් ශාස්ත්‍රීය කටයුතුවල යෙදුණ හියු නෙවිල් වැනි සිවිල් සේවකයෝ පරිපාලනයෙහි පරිචයට පරිබාහිරව විවිධ ක්‍ෂේත්‍රයන්හි දැනුමින් සහ උද්‍යෝගයෙන් සපිරි විදග්ධයෝ වූහ.

අප දන්නා තරමින් 1963 දී අහෝසි කරනු ලැබූ ලංකා සිවිල් සේවය ආරම්භ කෙරුණේ 1833 දීය. ඒ දිවයිනෙහි විධායක පරිපාලනයේ පාර්ශ්වයක් ලෙසිනි. අවසාන සමයේ රාජකාරියෙහි නිරතව සිටි සිවිල් සේවකයන් ගැන මතකයක් ඇති අයකුට, එදා ඒ නිලධාරීන් නො දත් යමක් හෝ ඔවුනට විසඳීමට අපහසු ගැටලුවක් තිබුණේ දැයි සිතෙන්නට පුළුවන. එමෙන්ම ඔවුන්ගේ තැනට අද ආදේශ වී සිටින ඇතැම් පරිපාලන නිලධාරීන් දන්නේ සහ කරන්නේ මොනවා දැයි කුහුලක් පහළ වීමට ද බැරි නැත. එය නිලධාරීන්ගේ වරදක්ම නො වේ; රාජ්‍ය සේවය ඉබේටම “ප්‍රතිව්‍යුහගත” වීමේ ප්‍රතිඵලයකි. එදා අපේ පාලකයෝ පරිණත සිවිල් සේවකයන්ගෙන් උපදෙස් ගත්හ. අද පරිපාලන නිලධාරියාට රාජකාරිය කරන්නට සිදුවී ඇත්තේ දේශපාලකයාගේ උපදෙස් අනුව ය.

කෝඩුකාර සිවිල් සේවකයන්ට මුලදී සරල වැඩ සැපයීම එදා කච්චේරිවල සිරිතක් වශයෙන් කෙරුණ බව වුල්ෆ් ද පවසයි. එහෙත් සැලකිය යුතු තරම් කාලයක් සේවයේ යෙදී සිටි ස්මයිත් තවදුරටත් ඔහුට පැවරුණ රාජකාරිවල තත්ත්වය ගැන කලකිරීමත්, ඔහුගේ උගත්කම සහ කුසලතාවලින් ප්‍රයෝජන නොගැනීම ගැන පරිපාලනයට මැසිවිලි දෙඩීමත් යුක්ති සහගත බව පෙනේ. ඔහු හෙළිකරන පරිදි එදා වෙනත් කච්චේරියකට අනුයුක්තව සිටි ඔහුගේ මිත්‍ර සිවිල් සේවකයකුට රාජකාරි වශයෙන් කරන්නට තිබුණේ ගිණුම් සැසඳුම්වලටත්, කාර්යාල ලියුම් පිටපත්වලටත් කෙටි අත්සන යෙදීමට අමතරව නොයෙක් ලේඛනවලට දිනකට අත්සන් 1,500ක් පමණ යෙදීම ය.

මෙතෙක් අපේ දිවයින ගැන ලියූ බොහෝ ලේඛකයන් සපයන කරුණු සමග සසඳන විට මෙම කෘතියෙහි අඩංගු බොහෝ තොරතුරු අපට වඩාත් සමීප වෙයි. මෙයට හේතුවන්නේ යටත්විජිත පාලන තන්ත්‍රයේ නිලධාරියකු වූ කතුවරයාට, එම පැලැන්තිය හා බැඳුණු යුරෝපීය ජනසමාජය තුළ මෙන්ම පාලිතයන් වූ ස්වදේශීය ජනසමාජය තුළ ද ගැවසෙන්නට සිදුවී තිබීම ය. එකිනෙකට දුරස්ථ වූ කච්චේරි හතරක සේවය කළ ඔහු ඒ ඒ ප්‍රදේශවල දේශගුණය, භූවිෂමතා, පොදු පහසුකම් හා අපහසුකම්, විවිධ ජන කොටස්වල සමාජ-සංස්කෘතික ප්‍රවණතා, ආගමික ආකල්ප සහ විශ්වාස ආදී නොයෙක් අංශ ගැන ඉදිරිපත් කරන තොරතුරු ආටෝපයෙන් මෙන්ම අගතියෙන් ද තොර ය.

“විදේශිකයා විසින් ස්වදේශිකයා අමතනු ලබන තුරු ස්වදේශිකයා ඔහුට කතා කළ යුතු නැත.” යන්න මෙහි විසූ යුරෝපීයයන්ගේ මූලික ප්‍රතිපත්තිය වූ බවත්, මොන තරම් පහත් තත්ත්වයේ යුරෝපීයකු වුවත් වෙරළට පය ගැසීමෙන් පසු වැදගත් මහත්මයකු වන බවත් ලේඛකයා කියා සිටින්නේ එදා සුද්දන්ගේ මහන්තත්ත්ව මානසිකත්වය හෙළි කරමිනි.

දිවයිනේ වැවිලිකරුවකු වූ හැරී විලියම්ස්ගේ “Ceylon-Pearl of the East” ග්‍රන්ථයේ වැවිලි කර්මාන්තය ගැන ලියැවුණු පරිච්ඡේදයෙහි 3 වැනි කොටස ආරම්භ වන්නේ “A Ceylon Commentary” කෘතියෙන් උපුටා ගන්නා ලද මේ කියුමෙනි: “උෂ්ණ දේශගුණයත්, වෙනත් විනෝද කටයුතු දුර්ලභවීමත් නිසා ඉංග්‍රීසි ජාතිකයා වඩාත්ම ජාතික වූ ද වඩාත්ම අවනම්බුකාර වූ ද, දුසිරිත වන මත්පැනට ඇබ්බැහි වෙයි.” (255 පිටුව).

මුදල් ඉපයීමට නො කැමති සිංහලයන් හම්බකරනවා වෙනුවට ණයට ගැනීමට සහ තමන්ට දරා ගැනීමට අපහසු තරමින් අන් අයට ප්‍රදර්ශනය වීමට වඩාත් කැමති බව නිගමනය කරන මෙම ලේඛකයා, බයිසිකලයක සීනුවෙහි උඩ බෑය පවා ගලවන හොරුන් මෙහි සිටින බව ද කියා ඇත. මේවා අදටත් වලංගු ජාතික ගති ලක්‍ෂණ නො වන්නේ ද?

පෝල් රොඩ්නි ස්මයිත් ආපසු එංගලන්තයට යෑමෙන් අනතුරුව ඔහුට සිදු වූයේ කුමක් දැයි අපි නො දනිමු. ඔහු ගැන තොරතුරු ඉතා විරලය. වික්ටෝරියා මහේසිකාවගේ හිරු නො බසින රාජ්‍යයේ සිවිල් සේවකයකු වූ ඔහු පරිපාලනය විවේචනය කිරීම නිසා දේශප්‍රේමීන්ගේ “ඔරොප්පුවට” ලක්වන්නට ඇති බව නම් නිසැකය.

advertistmentadvertistment
advertistmentadvertistment