නිමා නොවන සාප්පු සැණකෙළිය නවදිල්ලියේ ‘සරෝජිනී මර්කට්’

54

සරෝජිනී මාර්කට් (Sarojini Nagar Market) ඉන්දියාවේ දිල්ලියේ පිහිටි ඉතාම ජනප්‍රිය වෙළෙඳපොළකි. මෙය විශේෂයෙන් නවදිල්ලියේ සංචාරයට පැමිණෙන බොහෝ දෙනෙක් අනිවාර්යෙන්ම පාහේ යන තැනකි. ඉන්දියානුවන් මෙන්ම විදේශ සංචාරකයින් ද මෙහි සාප්පු සවාරියේ යයි. ඒ නිසා මෙය සැමට සාප්පු සවාරි යෑමට හොඳ ස්ථානයක් ලෙස සඳහන් කළ හැකිය. කෙටියෙන්ම කියනවා නම් මෙහි නැති දෙයක් නැත. මේ නිසා නවදිල්ලියට එන බොහෝ දෙස් විදෙස් සංචාරකයින් මෙම වෙළඳපොළට යෑමට ඉතාම කැමැත්තක් දක්වයි. ඉන්දියාවේ නවදිල්ලියේ සංචාරයට යන ශ්‍රී ලාංකිකයින් අතර ද ‘සරෝජිනී මාර්කට්’ ඉතා ප්‍රකටය. මේ ලියුම්කරුට ද පසුගියදා සරෝජිනී මාර්කට් හි දවසක කාලයක් ගත කිරීමට අවස්ථාව ලැබිණි. ඒ නවදිල්ලියේ තුන්දින මාධ්‍ය පුහුණුවකට ගිය අවස්ථාවේදීය. අපගේ මාධ්‍ය පුහුණුව පැවතියේ ඉකුත් අප්‍රේල් 01 සිට අප්‍රේල් 03 දින දක්වාය. මේ සඳහා මාත් සමග ලංකාවෙන් තවත් මාධ්‍යවේදියකු තෝරාගෙන තිබිණි. එයට සහභාගි වීම සඳහා මාර්තු 31 වැනිදා අපි ඉන්දියාවට ගියෙමු. එම පුහුණුව පැවැතියේ නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපොළ ආසන්නයේම පිහිටි ඒරොසිටිහිදීය. දිල්ලි ඒරොසිටි සහ දිල්ලි ගුවන්තොටුපළ අතර දුර කිලෝමීටර් 3 කි. එහි පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දකුණු ආසියානු පුහුණු සහ තාක්ෂණ සහාය මධ්‍යස්ථානයේදී මේ පුහුණුව පැවති අතර අප්‍රේල් 03 වැනිදා එම පුහුණුව අවසන් වීමෙන් පසුව අප සරෝජිනී මාර්කට් එකට ආසන්න අලුත් නවාතැන්පොළකට කැබ් එකක් හයර් කරගෙන ගියෙමු. අපගේ සැලසුම වූයේ ඊට පසුදින එනම් අප්‍රේල් 04 වැනිදා උදෙන්ම සරෝජිනී මාර්කට් එකට යෑමයි.

නිමා නොවන සාප්පු සැණකෙළිය නවදිල්ලියේ 'සරෝජිනී මර්කට්'

මේ අනුව ඉකුත් අප්‍රේල් 04 වැනිදා උදේ 9.00 ට පමණ අප ත්‍රිරෝද රථයකින් සරෝජිනී මාර්කට් එකට ගියෙමු. ත්‍රිරෝද රථයේ ගාස්තුව ඉන්දියානු රු.250 කි. එම ත්‍රිරෝද රථ රියදුරා අපව පැය භාගයක පමණ කාලයකින් සරෝජිනී මාර්කට්හි ප්‍රවේශ දොරටුව වෙත කැඳවාගෙන ගියේය. අපට ඒ සමගම ඉතා ජනාකීර්ණ අතිවිශාල වෙළෙඳපොළක් දැකගත හැකි විය. මීට වසර දහයකට පමණ පෙර ද දිල්ලියට ගිය අවස්ථාවක මේ ලියුම්කරු කෙටි වෙලාවකට සරෝජිනී මාර්කට් එකට ගොස් ඇත. එහෙත් ඒ පිළිබඳ මට එතරම් මතකයක් නැත. එහෙත් මෙවර නම් අප එහි ගියේ දවස පුරාම එහි ගත කිරීමටය.

මේ ‘සරෝජිනී මාර්කට්’ හි ලොකු කුඩා සාප්පු දහස් ගණනක් ඇත. එසේම මග දෙපස පදික වේදිකාවේ ද පදික වෙළෙඳුන් නොයෙකුත් විසිතුරු භාණ්ඩ අලෙවි කරයි. එමෙන්ම සරෝජිනී මාර්කට් එක ඇතුළේ නොයෙකුත් වෙළෙඳුන් එහෙ මෙහෙ ඇවිද යමින් එහි සිටින පාරිභෝගිකයින්ට බෑග්, ඔරලෝසු, බඳ පටි, මේස් සහ ලේන්සු ඇතුළු නොයෙකුත් භාණ්ඩ අලෙවි කරයි. ඔවුන් භාණ්ඩ ගැනීමට එන පාරිභෝගික ජනයා පසුපස යමින් ඔවුන්ගේ භාණ්ඩ මිලදී ගන්නා ලෙස බල කරයි. කොතෙක් එපා කීවත් ඔවුන් පසුපසින් පැමිණ භාණ්ඩ මිලදී ගන්නා ලෙස ඇවිටිලි කරයි. ඔවුන් මුලින් ගාණක් කියා පසුව එම ගාණ ක්‍රමයෙන් අඩු කරමින් එම භාණ්ඩ අපට අලෙවි කිරීමට උත්සාහ කරයි. එම වෙළෙඳුන් නම් වෙලාවකට විශාල වධයකි. අප ‘සරෝජිනී මාර්කට්’ එකට ඇතුළු වූ විට ද මේ වෙළෙඳුන්ගේ වධයට මුහුණ දීමට සිදු විය. ඔවුන්ගෙන් බොහෝ අමාරුවෙන් ගැලවී අප මාර්කට් එක ඇතුළට ගියෙමු.

නිමා නොවන සාප්පු සැණකෙළිය නවදිල්ලියේ 'සරෝජිනී මර්කට්'

මෙහි සාප්පු සවාරියේ යෑමට දවසක් පවා මදිය. මේ මාර්කට් එක එතරම්ම විශාලය. බොහෝ සෙනඟ මෙයට එන නිසා ඇතැම් අවස්ථාවල මෙහි වෙළෙඳසල් අතර ගමන් කිරීමේ දී තදබදයක් ද පවතී. මෙම මාර්කට් එක උදේ 10.00 සිට රාත්‍රී 9.00 දක්වා විවෘතව පවතී. ඉහළම මට්ටමේ සන්නාම සහිත භාණ්ඩ මෙන්ම දේශීය වෙළෙඳනාම සහිත භාණ්ඩ ද මෙහි අලෙවියට ඇත. මෙහි බඩු මිලදී ගන්නා විට කියන ගානටම මිලදී නොගෙන හැකිතාක් හෙට්ටු කරමින් භාණ්ඩ මිලදීගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුය. දිල්ලියේ සාප්පු සවාරි සඳහා යෑමට ඇති හොඳම ස්ථානයක් වන මෙහි දවස පුරා සැරිසරා එම භාණ්ඩ වෙළෙඳපොළෙන් භාණ්ඩ ද මිලදී ගෙන අප ඉන් පිටත් වූයේ සවස 5.30 ට පමණය. අපට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට ගුවන් යානය තිබුණේ ඊට පසු දින එනම් අප්‍රේල් 05 දින උදේ 5.15 ටය. ඒ නිසා අපගේ ගමන් මලු සූදානම් කරගෙන වේලාසනින් නින්දට යායුතු වූ නිසා අප තරමක් වේලාසනින් ‘සරෝජිනී මාර්කට්’ එකෙන් පිටත් වී නැවත අප නවාතැන් ගෙන සිටි හෝටලය වෙත පැමිණියේ තවත් දවසක සරෝජිනී මාර්කට් එකට පැමිණිය යුතුය යන අදහස ද ඇතිවය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
ඉන්දියාවේ නවදිල්ලි සංචාරයකින් පසු


advertistmentadvertistment