නිවාසවල ලුණු පොල්කට්ට හින්දපු ආණ්ඩුව රෑට පොහොට්ටු මන්ත්‍රීලාගේ ගෙවල් අස්සේ රිංගනවා – සංජීව එදිරිමාන්න

15

හඬපට එළියට නොදාන්නේ අපේ මනුස්සකමට

ලුණු මිල මෙතරම් ඉහළ ගියේ ආණ්ඩුවේ වංචනික බදු ප්‍රතිපත්තිය නිසා

වර්ෂාපතනය හේතුවෙන් ලුණු නිෂ්පාදනයේ යම් අඩාල වීමක් සිදුවූවා නම් ආණ්ඩුවට පැහැදිලි ලෙසම නිෂ්පාදනයට සාපේක්ෂව ලුණු හිඟයක් දක්වා දුරදිග යෑම කළමනාකරණය කර ගැනීමට හැකියාව තිබිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා –

සුනාමි ඛේදවාචකය අවස්ථාවේ ලංකාවේ ලුණු ලේවායන් සියල්ලක්ම මහ මුහුදට ගහගෙන ගිහිල්ලත් මේ රටේ ලුණු හිඟයක් ඇති වුණේ නැහැ. ආණ්ඩුව ප්‍රකාශ කර සිටිනවා පවතින කාලගුණික තත්ත්වය මතයි මේ ප්‍රශ්නය ඇතිවුණේ කියලා. මේ වැස්ස නිසා ලුණු නිෂ්පාදනයේ යම් අඩාල වීමක් සිදුවුණා නම් ආණ්ඩුවට පැහැදිලි ලෙසම පුළුවන්කම තිබුණා නිෂ්පාදනයේ සාපේක්ෂ අඩාලවීම ලුණු හිඟයක් දක්වා දුරදිග යන්නට පෙර වෙළෙඳපොළ කළමනාකරණය කරන්න. නිෂ්පාදනය අඩාල වීම විසින් ගබඩාවල සහ වෙළෙඳපොළේ තිබුණු ලුණු ටික මුහුදට ගහගෙන යන්නේ නැහැ? නිෂ්පාදනයේ අඩාලවීම නිසා ඇතිවන ගැටලුව කළමනාකරණය කරගන්න කාලයක් තිබුණා. ඒ කාලය තුළ නිෂ්පාදනයේ අඩාල වීම හිඟයක් දක්වා දුරදිග යෑම පාලනය කිරීමට ආණ්ඩුව කටයුතු කළේ නැහැ. ආණ්ඩුවේ වැඩ බැරිකම පැහැදිලිව පෙණෙනවා. ඒ වගේම මේ තරම් ලුණු මිල ඉහළ ගියේ මේ ආණ්ඩුවේ වංචනික බදු ප්‍රතිපත්තිය හේතුවෙන්. අත්‍යවශ්‍ය භාණ්ඩ මත බදු පටවන්නේ නැහැ කියලා බලයට පත්වෙච්ච බොරුකාර ආණ්ඩුව, ගෙන්වන ලුණු කැටයටත් බදු ගහපු නිසා තමයි මේ ලුණු මිල පාරිභෝගිකයාට දරාගන්න බැරි තැනක තිබෙන්නේ. මේ රටේ තිබුණු හැම ආණ්ඩුවකටම ආණ්ඩුකරණය උගන්වන්න ගිය පාරිභෝගික කටයුතු ඇමැති වසන්ත සමරසිංහ මෙම ප්‍රශ්නයට පිළිතුරක් දෙන්නේ නැත්තේ ඇයි මහජනයාට.

අපේ ගමේ නිවස්වල ලුණු පොල්කට්ටත් හින්දපු මේ පාලකයෝ රෑට රෑට පොහොට්ටුවෙන් තේරී පත්වුණු මන්ත්‍රීවරුන්ගේ ගෙවල්වලට රිංගනවා සභාවල බලය පිහිටුවා ගන්න. අපේ සමස්ත දේශපාලන ව්‍යාපාරයටම අභූත චෝදනා නඟලා ඒ සම්බන්ධව තිබුණු ජනමතය විනාශ කරන්න වැඩකළ එන්.පී.පී. ආණ්ඩුව අද ප්‍රාදේශීය සභාවල, නගර සාභවල බලය පිහිටුවා ගැනීම වෙනුවෙන් පොහොට්ටුවෙන් තේරීපත් වෙච්ච මන්ත්‍රීවරුන් සමග හොර රහසේ කතා කරන්න පටන් අරගෙන. ඊට අදාළ හඬපට සහ තොරතුරු අපි එළියට නොදෙන්නේ අපේ මනුස්සකම නිසා. මේ ආණ්ඩුව පහුගිය කාලයේ ප්‍රතිවාදියා පිළිබඳව කරපු දේශපාලන චෝදනා විසින්ම ඔවුන්ට තවත් පාර්ශ්වයක් සමග සුහද දේශපාලන ගනුදෙනුවකට යන්න බැරි තැනකට පත්වෙලා.

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රාදේශීය සභාවයි, පානදුර නගර සභාවයි හැර ඉතුරු පළාත් පාලන ආයතන පහළවේම බලය තිබෙන්නේ විපක්ෂය සතුවයි. ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති නායකත්වය දෙන කළුතර ගැන විතරයි ඒ කිව්වේ.

එරික් ගාමිණි ජිනප්‍රිය


advertistmentadvertistment