නීතියක් නැති තැන රටක් කොයින් ද?

786

අද අප රට ආර්ථිකමය වශයෙන් වළපල්ලේය. රටේ බහුතර ජනතාවට වැලේ වැල් නැත. තුන්වේල තියා දෙවේලක්වත් කෑම සරිකර ගැනීම දුෂ්කරය. මෙම තත්ත්වය හමුවේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ ප්‍රමාණය වැඩිවෙමින් තිබේ. මෙම තත්ත්වයට රට ඇද වැටුණේ අහම්බයකින් නොවේ. එදා මෙදාතුර රට පාලනය කළ ඇත්තෝ මීට වගකිව යුතුය.

ලෝකයේ බොහෝ රටවල් දියුණු වී ඇත්තේ නිශ්චිත ආර්ථික ප්‍රතිපත්තිමය රාමුවක් ඔස්සේ රට ඉදිරියට ගෙනයෑම හේතුවෙනි. ලෝකයේ බොහෝ දියුණු රටවල සොරකම් අඩුය. සොරකම් කළත් රටේ සාමාන්‍ය ජනතාවට මෙන්ම රටේ පාලකයාට වුවද ලැබෙන දඬුවම් එක සමානය. එම රටවල අංක එකටම නීතිය ක්‍රියාත්මක වේ. රටවල් ලබා ඇති දියුණුවේ ප්‍රධාන රහස වන්නේ රට තුළ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වීමයි. නමුත් අප රටේ නීතියක් තිබුණ ද ක්‍රියාත්මක වන්නේ පුද්ගල තරාතිරම් අනුවය. සාමාන්‍ය පුරවැසියාට ක්‍රියාත්මක නීතිය බොහෝ අවස්ථාවල මැති ඇමැතිවරු ඇතුළුව ප්‍රභූන්ට ක්‍රියාත්මක වන්නේ වෙනත් ආකාරයටය. ඇතැම් අවස්ථාවලදී නීතිය අතට ගෙන පිස්සු කෙළිය මැති ඇමැති කතා අප රටේ ඕනෑතරම් තිබේ. රාජ්‍ය නිලධාරීන් ගස් බැඳපු, පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ පුටුවල වාඩිවී චණ්ඩිකම් පෑ මැති ඇමැතිලාත් අප රටේ සිටියහ. එම පන්නයේ අලුතින් කතාවක් වාර්තා වූයේ පසුගිය 14 වැනිදා කටුනායක ගුවන්තොටුපළෙනි.

සිද්ධිය සැකවින් මෙසේය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ආරක්‍ෂකයන් සමග කටුනායක ගුවන්තොටුපළට යනු ලබන්නේ සිය බිරිඳ විදේශගත කිරීම සඳහාය. ගුවන්තොටුපළේ ප්‍රධාන දොරටුවෙන් රාජ්‍ය ඇමැතිවරයා ගිනිඅවි අතැතිව ආරක්‍ෂකයන් සමග ඇතුළු වීමට උත්සහ ගෙන තිබේ. එහිදී ගුවන්තොටුපළ ආරක්‍ෂක නිලධාරීන් පවසා ඇත්තේ ඊට ඉඩදිය නොහැකි බවයි. එහිදී රාජ්‍ය අමාත්‍යවරයා ගුවන්තොටුපළ ආරක්‍ෂක නිලධාරීන්ට බැණ වැදී ඇති බවද දැන ගන්නට ඇත. මේ අතර රාජ්‍ය ඇමැතිවරයාගේ බිරිඳගේ ගමන් මළු රැගෙන ගිය පෝටර්වරයාට පහර දීමක් සිදුකර ඇත. පෝටර්වරයාට ගෙවිය යුතු රුපියල් දහසක මුදල වෙනුවට හත්සීයක් දීමේදී ඉතිරි මුදල් ඉල්ලීම නිසා උරණ වී මෙම පහරදීම් සිදුකර ඇති බවද සැලය. ගුවන්තොටුපළේදී සේවය සලසන පෝටර්වරයකුට රුපියල් දහසක් ලබාදිය යුතු බව දැන්වීම් පුවරු මගින් ප්‍රදර්ශනය කර තිබියදී මෙම පහරදීම සිදුකර ඇත.

පෝටර්වරයා මෙම පහරදීම ගැන ගුවන්තොටුපළ පොලිසියට පැමිණිලි කිරීමට ගියත් අදාළ පැමිණිල්ල භාර ගැනීමට නොහැකි බව පොලිස් නිලධාරීන් පවසා ඇත. ඊට හේතු ලෙස දක්වා ඇත්තේ අදාළ අවස්ථාවේදී ගුවන්තොටුපළ පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා නොසිටි නිසා පැමිණිල්ල භාර ගැනීමට නොහැකි බවට අදාළ පොලිස් නිලධාරීන් පවසා තිබීමයි.

මෙම සිද්ධිය දෙස විමර්ශනශීලීව බැලීමේදී පෙනී යන ප්‍රධාන කරුණු දෙකක් වෙයි. එකක් අප රටේ මහජන නියෝජිතයන්ගේ හැසිරීම කෙබඳු ද යන්නය. ස්වභාවයෙන්ම අප රටේ මහජන නියෝජිතයන් ජනතාවගේ සුවච කීකරු ගෝලයෝ වන්නේ ඡන්ද කාලයේදී පමණි. ජනතාවගේ ඡන්දය ලබා බලය ලබාගත් විගස මහජන නියෝජිතයන් සහ ජනතාව අතර විශාල පරතරයක් නිර්මාණය වන්නේය. මෙහිදී ජනතාවගේ වරමට මුවාවී ඇතැම් මහජන නියෝජිතයෝ චණ්ඩියාගේ පාට් එකද රඟන්නේය. අපි කටුනායක ගුවන්තොටුපළේදී දුටුවේ එවැනි සිද්ධියකි. මෙම සිද්ධියත් සමග මතුවෙන අනික් කාරණය වන්නේ පොලිසියේ ක්‍රියාකාරිත්වය කෙසේ විය යුතුද යන්නයි. තමන්ට අසාධාරණයක් පහරදීමක් හෝ වධ හිංසාවක් සිදුවූ විට අපට පිහිට පැතීමට සිදුවන්නේ පොලිසියෙනි. රාජ්‍ය ඇමැතිවරයාගේ පහර දීමට ලක්වූ කටුනායක ගුවන්තොටුපළේ පෝටර්වරයාගේ පැමිණිල්ල භාරගැනීම ගුවන්තොටුපළ පොලිසිය විසින් ප්‍රතික්‍ෂේප කිරීම අතිශය විහිළුසහගතය. එය හතර බීරි කතාවකි. මෙම සිද්ධිය අනුව බලන විට මේ රටේ යම් පුද්ගලයකුට යම් සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කිරීමට සිදුවූ විට ඒ සෑම අවස්ථාවකම අදාළ පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් රැඳී සිටිය යුතුය. මෙවැනි විහිළු සපයන සිද්ධීන් යළිත් අසන්නට නොලැබේවා යන්න අපගේ එකම ප්‍රාර්ථනාවයි. එසේම මේ රටේ සියලු දෙනාම සතුටින්, සාමයෙන්, නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය වීමට නම් සියලු තැන්හි නීතිය එකසේ ක්‍රියාත්මක විය යුතුය. නීතියක් නොමැති කල රටක් දියුණු වන්නේ නැත. එනිසාම සියලු පාර්ශවවලින් අපි ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටින්නේ නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමට කැපවෙන ලෙසයි.

advertistmentadvertistment
advertistmentadvertistment