නව වසරේ පාසල් ආරම්භ කර තවමත් ගෙවී ඇත්තේ දින කිහිපයකි. ජනවාරි දෙවැනි දා ආරම්භ වූයේ පසුගිය වසරේ බඳවා ගත් උසස් පෙළ 12 වසර සිසුන්ගේ පළමු පාසල් වාරයේ අවසන් අදියරයි. එනමුත් ඇතැම් පාසල්වල අධ්‍යාපන කටයුතු ජනවාරි මස එළැඹෙන තුරුම නියමාකාරයෙන් ආරම්භ කර තිබුණේ නැත. ඊට හේතු වී ඇත්තේ පහසුකම් හා සේවා ගාස්තු, පාසල් සංවර්ධන ගාස්තු, විද්‍යාගාර ගාස්තු ගෙවා නොමැති පාසල් සිසුන්ටය. ජනාධිපතිවරණයට පෙර මැතිවරණ වේදිකාවල ජනාධිපතිවරයාත්, මහ මැතිවරණ සමයේ දී ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් බහුතරයක් දෙනාත් අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ මහත් උනන්දුවකින්, උද්යෝගයකින් කථා කළෝය. නිදහස් අධ්‍යාපනය දුප්පත් දරුවන්ට ලැබෙන අත්තටු දෙකක් වැනි යැයි ජනාධිපතිවරයා වරෙක පැවසීය. නව රජය දිගින් දිගට ම පවසා සිටියේ දුප්පත්කම අධ්‍යාපනය අහිමි වීමට හේතුවක් නොවිය යුතු බවයි. නමුත් එය රජය පවසන ආකාරයට සිදුවන්නේ නැත. නිදහස් අධ්‍යාපනය යැයි කීවාට මුදල් නොමැතිව ඇතැම් දරුවන්ට උසස් පෙළට ඇතුළත් වීමට හැකියාවක් නැත. පාසලේ ඇති පහසුකම් හා ජනප්‍රියත්වය මත පාසලට ඇතුළත් වීමේ දී ගෙවිය යුතු මුදල තීරණය වේ.
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් කුරුණෑගල නගරයේ ප්‍රධාන පාසලක ජනවාරි මාසය ආරම්භ වන තුරුම අධ්‍යයන කටයුතු ආරම්භ නොකර ඇත්තේ ඩෙස් පුටු ගැටලුවක් පිළිබඳ පවසමිනි. එම පාසලේ ඉගෙනුම ලබන දරුවකුගේ පියෙක් වන ලංකා ගුරු සංගමයේ උප සභාපතිවරයෙක් ලෙස ද කටයුතු කරන අශෝක චන්ද්‍රසේකර මහතා ඒ පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.
ඩෙස් පුටු නැති ජාතික පාසල්
“මගේ දරුවා මෙවර උසස් පෙළට ඇතුළත් වුණා. පාසලට ඇතුළත් වීමේ දී පාසල් සංවර්ධන ගාස්තු අවුරුදු දෙකක් සඳහා අය කළා. එක් අවුරුද්දක ගාස්තුව රුපියල් දෙදහස් පන්සීයයි. ඒත් පාසලෙන් පන්දාහක් ගත්තා. ඒ ගැන ඇහුවාම විදුහල්පති කියනවා උසස් පෙළ ළමයි දෙවැනි අවුරුද්දේ පාසල් එන්නෙ නැති නිසා එකවර අවුරුදු දෙකේම මුදල් ගන්නවා කියලා. මේක නීති විරෝධී වැඩක් කීවාම කියනවා පාසල් සංවර්ධන විධායක කමිටුවට එහෙම තීරණ ගන්න පුළුවන් කියලා. විද්වතුන්ගේ උපදෙස් මත චක්‍රලේඛයක් නිකුත් කළාම ඒක ඉක්මවා තීරණ ගන්න තරම් බුද්ධිමතුන් පාසල් සංවර්ධන සමිති විධායක කමිටුවක ඉන්නවා නම් පාර්ලිමේන්තු යවන්න ඕනෙ ඒ ටිකදෙනා. හය ශ්‍රේණියේ ඉඳලා ඉගෙන ගත්ත මගේ දරුවගෙන් එම පාසලට ම උසස් පෙළට ඇතුළු වෙද්දී ඩෙස් පුටු ඉල්ලුවා. මම එරෙහි වුණ නිසා දැනට එයාට ඩෙස් එකක් සහ පුටුවක් ලැබිලා තියෙනවා. නමුත් ඉදිරියේ දී මොනව වෙයි ද දන්නෙ නෑ. ඒ වෙනුවෙන් කතා කරන්න හයියක් නැති දෙමව්පියන් සහ ඒ මුදල ගෙවන්න වත්කමක් නැති දෙමව්පියන් මේ නිසා දැඩි අපහසුතාවට පත් වෙනවා.
උසස් පෙළ පන්තිවල ඩෙස් පුටු රැක ගැනීම එම පන්ති භාර ගුරුවරුන්ගේ වගකීමක් බව තමයි විදුහල්පති කියන්නේ. නමුත් මෙවර පන්ති භාරකාරත්වය දරන්නේ ගියවර හිටිය ගුරුවරුන් නෙවෙයි. එතකොට කොහොමද එම ගුරුවරයා ඩෙස් පුටුවලට වගකියන්නේ. ප්‍රතිසංස්කරණය කළ ඩෙස් පුටු ගබඩාවේ තියෙනවා. ඒවා උසස් පෙළ ළමයින්ට නිකුත් නොකරන බව විදුහල්පති දැඩිව කියනවා. පන්තියේ තිබෙන ඩෙස් පුටු සංඛ්‍යාවට පමණක් ළමයින් භාර ගන්න ගුරුවරුන්ට උපදෙස් දුන්න බව තමයි විදුහල්පති කියන්නේ. ඒක දරුවන්ගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝනය කිරීමක්. නගරයේ ජාතික පාසලක විදුහල්පති මේ තරම් දරදඬු ලෙස හැසිරීම පිළිගන්න බෑ.
ඇමැතිටත් වඩා බලවත් පාසල් සංවර්ධන විධායක කමිටුව
එම පාසලේ පමණක් නෙවෙයි දිවයිනේ බොහෝ පාසල්වල තත්ත්වයත් මේකයි. අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක් නිකුත් කළාම චක්‍රලේඛය ඉක්මවා යෑමේ බලයක් පාසල් සංවර්ධන විධායක කමිටුවට හිමි වනවා. එයට අවස්ථාව සැලසී තිබෙන්නේ චක්‍රලේඛයේම ඇති වෙනත් වගන්තියකින්. චක්‍රලේඛය තුළින්ම ඊට ඉඩ ලැබෙන්නෙ කොහොම ද? එහෙම බැලුවම චක්‍රලේඛය තුළත් අපට ගැටලු පෙනෙනවා. මේ නිසා නිලධාරීන් බලධාරීන් සියලුදෙනාම මැදිහත්වී මේ පිළිබඳව ඍජු තීරණයක් ගතයුතුයි. උසස් පෙළ ළමයි එක් අවුරුද්දක් පමණක් පාසල් එන නිසා ඊළඟ අවුරුද්දටත් එම ළමයින්ගෙන් මුදල් අය කරනවා කියනවා නම් ඒ දෙවැනි අවුරුද්දේ මුදල්වලට සිදුවෙන්නේ කුමක් ද කියා සොයා බැලීම බලධාරීන්ගේ වගකීමක්. නිදහස් අධ්‍යාපනය සඳහා සියයට හයක් ඉල්ලා අපිත් සමග එක්ව සටන් කළ ආචාර්යවරියක් දැන් අමාත්‍ය ධුරය දරන්නේ. එතුමිය මේවාට මැදිහත් වී සාධාරණය ඉටු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.
මෙම චක්‍රලේඛය පමණක් නොවෙයි අධ්‍යාපනය සම්බන්ධව තවත් චක්‍රලේඛවල මෙවැනි ගැටලු අපි දකිනවා. ආදි ශිෂ්‍ය සංගම් පිහිටුවීම පිළිබඳව චක්‍රලේඛවල ඇති අපැහැදිලිතාවයන් නිසා දේශපාලන පක්ෂවල සංවිධායකයන් පවා ආදි ශිෂ්‍ය සංගම්වල තනතුරු දරනවා. මේ නිසා පාසල දේශපාලනීකරණය කිරීම වළක්වන්න හරිම අමාරුයි. පසුගිය කාලයේ දී සැහැල්ලු ඇඳුමක් ඉල්ලා සටන් කළ ගුරුවරියන්ට පහර දීම සඳහා නිකවැරටිය සංඝ බෝධි විද්‍යාලයට කඩා වැදුණේ එම පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් ධුරය දැරූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක සංවිධායකවරයෙක්. එවැනි පුද්ගලයන් පාසල් සංවර්ධන සමිතියේ හෝ ආදි ශිෂ්‍ය සංගමයේ ඉහළ තනතුරු දරනවිට විදුහල්පතිවරයාට සිදුවන්නේ ඔවුන් කියන දේ අනුව කටයුතු කිරීමටයි. එම නිසා මෙවැනි අනීතික මැදිහත්වීම් වැළැක්වීමට හැකි පරිදි නීති රීති ගෙන ඒමට බලධාරීන් කටයුතු කළ යුතුයි.”
පනින රිළවුන්ට ඉණිමං බඳින චක්‍රලේඛ
පාසල් පද්ධතිය නිසියාකාරව ගෙන යෑම සඳහා නිකුත් කර ඇති චක්‍රලේඛම ඇතැම් ගැටලු නිර්මාණය වීමට හේතු වී ඇති බව ඔහු පවසයි. ඇතැම් චක්‍රලේඛවල ඇති කොන්දේසි එම චක්‍රලේඛයේම හෝ වෙනත් චක්‍රලේඛවල ඇතුළත් කර ඇති යම් යම් වගන්ති අනුව උල්ලංඝනය කළ හැක. එසේත් නැතිනම් එක් චක්‍රලේඛයක ඇති කොන්දේසියක් උල්ලංඝනය කරන පුද්ගලයන්ට තවත් චක්‍රලේඛයක ඇති වගන්තියක් අනුව ආරක්ෂාව හිමි වේ.
පාසල්වල මුදල් එකතු කිරීම තහනම් වුවද මූල්‍යමය පරිත්‍යාග හා ද්‍රව්‍යමය පරිත්‍යාග භාර ගැනීම විදුහල්පතිවරුන්ට තහනම් නැත. බොහෝ ජනප්‍රිය පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ දී රුපියල් පන්දහසේ සිට ලක්ෂ දහය, විස්ස දක්වා ද නොව ඇතැම් අවස්ථාවල ඊට ඉක්ම වූ පරිත්‍යාග ද ලබාගැනීමට විදුහල්පතිවරු පෙළඹෙන බව නොරහසකි. ඇතැම් පාසල්වල පරිත්‍යාග කළ හැකි අවම අගයක් ද ඇත. එවැනි පාසල් ලබාගන්නේ ද ලබාදිය හැක්කේ ද අවම අගය ඉක්ම වූ මුදල් පරිත්‍යාග පමණි. නමුත් උපරිමයට සීමාවක් නැත.
අයකිරීම් අකැප පරිත්‍යාග කැප පාසල් පද්ධතිය
සාමාන්‍ය පෙළ සමත් වූ දරුවෙක් උසස් පෙළට ඇතුළත් කිරීමට පාසලට මුදල් පරිත්‍යාග කළ මවක් ඉරිදා දිවයිනට අදහස් දැක්වීමට එක් වූවා ය. මේ සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනප්‍රිය බාලිකා පාසලක තත්ත්වයයි. “මගේ දුව උසස් පෙළට කරන්න බලාපොරොත්තු වුණ විෂයයන් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්ත පාසලේ තිබුණේ නැහැ. ඒ නිසා එයාට රත්නපුරේ බාලිකා පාසලකට යන්න සිද්ධ වුණා. දුව පාසලට ඇතුළත් කරන අවස්ථාවේ විදුහල්පතිනිය ආධාර සටහන් කර ගන්න පොත දීලා මගෙන් ඇහුවා පාසලේ සංවර්ධන සමිතියට කුමක් හෝ උපකාරයක් කරන්න කැමැති ද කියලා. එතුමියගේ ඉල්ලීමට පිටුපාන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ. අනිත් එක මට හිතුණා මම ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළොත් දුවට පාසලේ දී වෙනස්කමක් වෙයි කියලා. ඒත් ඒ පොත අරන් බලද්දි මම දැඩි අපහසුතාවට පත්වුණා. මොකද ඒ පොතේ සටහන් කර තිබුණු අවම මුදල රුපියල් විසිදාහක්. ඒ වෙලාවෙ මගේ අතේ ඇත්තටම මුදල් තිබුණෙ නැහැ. උසස් පෙළට ඕන මූලික පොත් පත්, පාසල් උපකරණ ටික ගන්න ඇඳුම්, සපත්තු ගන්න එකතු කර ගත්ත මුදල් ටිකක් විතරයි තිබුණේ. ඒත් මොනවා කරන්නද මමත් රුපියල් විසිදාහක් ලියලා අර වැඩ ටික කර ගන්න තිබුණ සල්ලි ටික ඉස්කෝලෙට දීලා ගෙදර ආවා.
කන කර උකස් කර කරනා පරිත්‍යාග
අන්තිමට කර මාලේ උකස් කරලා තමයි ඒ වැඩ ටික කරගත්තේ. ගෙදර ඉඳන් ඉස්කෝලෙට දිනපතා යන්න එන්න පුළුවන් කමක් නැහැ. බෝඩිමක නතර වෙලා තමයි දුව ඉස්කෝලෙ යන්නේ. උසස් පෙළ කරන දුවට බාල දූලා දෙන්නෙක් ඉන්නවා. බෝඩිං ගාස්තු ගෙවලා, ළමයින්ගේ ඕන එපාකම් බලලා ඉස්කෝලෙ යවන්නේ හරි අමාරුවෙන්. ඒ අතරට මේ වගේ නොහිතන විදිහෙ දරාගන්න අමාරු වියදමක් ආවම කාලෙකට ඔළුව උස්සගන්න වෙන්නෙ නෑ.
දුවගේ පාසලේ ඉන්න බොහෝමයක් දරුවන්ගේ පියවරු මැණික් ව්‍යාපාරිකයන්. එහෙමත් නැත්නම් ඉඩම් හිමි වැවිලිකරුවන්. ඉතින් ඒ අයට ලක්ෂ පහක්, දහයක් කියන්නේ පොඩි ගාණක්. ඒ වගේ ගණන් අතරේ රුපියල් විසිදාහක් කියන්නේ බොහොම සුළුමුදලක්. ඒත් අපි තමයි දන්නෙ ඒ වගේ ගාණක් ඉතුරු කර ගන්නත් කොයිතරම් කැපකිරීම් කරන්න ඕන ද කියලා.”
බොහෝ දෙමව්පියන් උත්සාහ ගන්නේ තමන්ට වඩා දශමයක් හෝ ඉහළට තම දරුවන් ඔසවා තැබීමටය. පාසල්වල ඉල්ලීම් අසාධාරණ වූවද ඊට එරෙහිව විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ හෝ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ එහෙමත් කෙනෙකි. මන්ද පැමිණිලි කිරීමට යෑමෙන් තම දරුවාගේ අවස්ථාව අහිමි වීම හෝ දරුවාට පාසල තුළ දී වෙනස් කොට සැලකීම්වලට ලක්වන්නට සිදු වනු ඇතැයි දෙමව්පියෝ බිය වෙති. ඇතැම් පාසල්වල දරුවන්ට විශේෂ වරප්‍රසාද ලබාගැනීම සඳහාත් පරිත්‍යාග සිදු කරන බව ප්‍රසිද්ධ කරුණකි.
නෑසුණාමෙන් සිටින අමාත්‍යාංශය
පාසල් තුළ සිදු කෙරෙන මෙම අයථා මුදල් අය කිරීම් සම්බන්ධවත්, දෙමව්පියන් පත් වන අපහසුතාව පිළිබඳවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මෙසේ අදහස් දැක්වීය. “ පාසල් ළමුන්ගෙන් මුදල් එකතු කිරීම කිසිසේත්ම කළ නොහැකි දෙයක් සහ නොකළ යුත්තක්. එසේ කිරීම සම්පූර්ණයෙන්ම චක්‍රලේඛවලට පටහැනියි. ජනාධිපතිවරණය අවසන් වූ වහාම පත් වූ වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරිය පාසල්වල මුදල් එකතු කිරීම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කළා. නමුත් තවදුරටත් නොයෙක් හේතු දක්වමින් පාසල්වල මුදල් එකතු කිරීම් සිදු වනවා.
මේ කාරණය සම්බන්ධයෙන් තිබෙන බරපතළම ගැටලුව වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයට මේ සම්බන්ධව කෙතරම් පැමිණිලි කළත් ඒ පිළිබඳ ක්‍රියාත්මක නොවීමයි. අවම වශයෙන් ඒ පිළිබඳ සොයාබැලීමක්වත් සිද්ධ වෙන්නෙ නෑ. දෙමව්පියන් දැඩි පීඩනයට ලක් කරමින් දිගින් දිගටම පාසල් තුළ සිදු වෙන මේ මුදල් එකතු කිරීම් නවත්වන්න රජය ස්ථිර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි.
එක වසරේ දී හය වසරේ දී හා උසස් පෙළ සඳහා ඇතුළත් කිරීමේදීත් විදුහල්පතිවරුන්ට හිතුමතේ මුදල් අය කිරීම කරන්න බැහැ. ඇතැම් පාසල්වල එක වසරේ සිට සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලැබූ සිසුන්ගෙන් පවා උසස් පෙළට ඇතුළත් කර ගැනීමේ දී විවිධ හේතු දක්වමින් මුදල් අයකර ගැනීම් සිදු වෙනවා. පහසුකම් හා සේවා ගාස්තුව අය කළ හැක්කේ ලිත් වර්ෂයක් සඳහා පමණයි. නමුත් බොහෝ පාසල්වල වසර දෙක සඳහා එකවරම එම මුදල අය කර ගන්නවා. එය සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක්. මේක දෙමව්පියන්ට මහා මානසික පීඩනයක්. සමහර දෙමව්පියන්ට මෙවැනි විශාල මුදලක් දරා ගැනීම අසීරුයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ දරුවන් හා දෙමාපියන් පීඩාවට පත් කරමින් කෙරෙන පාසල් තුළ මුදල් එකතු කිරීමේ කටයුතු නතර විය යුතුයි. රජය දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ සැලකිලිමත් වෙනවා නම් මේ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කර එයට අවශ්‍යය පිළියම් යෙදිය යුතුයි.”
පාසල් දරුවන්ගෙන් විවිධ කාරණාවන් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් කෙතරම් චක්‍රලේඛ ඉදිරිපත් කළ ද පාසල්වල මුදල් හා පරිත්‍යාග පිළිබඳ සඳහන් අනෙකුත් චක්‍රලේඛ අහෝසි කිරීමක් හෝ සංශෝධනයක් නොකරන තාක්කල් නිදහස් අධ්‍යාපනය නිදහසේ ලබාගැනීමේ ඉඩ ඇහිරී යනු ඇත.
සෝබා කෝලියවංශ