රනුලි පවුලේ අය සමග

ලොකුම අභියෝගය වුණේ විශාඛා විද්‍යාලයෙන් අස් වෙන එක

සා.පෙළ උසස් පෙළ එකම වසරේ ලියා ගණිත අංශයෙන් A – 3ක් ගත් රනුලි කියයි

දුව ගණිත ගැටලු විසඳන ක්‍රමයෙන් ඇයට මේ අභියෝගය ජය ගත හැකි බව මට තේරුණා

පියා සඳුන් වානගුරු

පාදුක්ක නගරය පසු වී කිලෝමීටරයක් පමණ ඉංගිරිය දෙසට ගමන් කරන විට හමුවන්නේ සුන්දර පරිසරයකි. මොරගහතැන්න රජ මහා විහාරය සිත නිවන පින්බර දසුනකි. ඉන් මීටර් දෙසීයක් පමණ ඉදිරියට යන විට හමුවන සුන්දර වෙල්යාය මනරම් ය. වෙල්යාය ඉවර වෙනවාත් සමගම වම් පසට ඇති උතුරු අරුක්වත්ත පාරට අපි ඇතුළු වුණෙමු. එය ගමන් කරන්නේ දුම්රිය මාර්ගයට පහළිනි. එම මාර්ගයේ මීටර් 100ක් පමණ ගිය අපට දඟකාර පුස්වැලි ඔය දිස් වෙයි. තව යන්නට ඇත්තේ කිලෝමීටරයක් පමණ දුරකි. මේ ගමන පරිසරය පිළිබඳ චාරිකාවක් නොවේ. අප මේ ආවේ මෙවර උසස් පෙළ විභාගයෙන් වැඩිම අවධානයක් යොමු වූ රනුලි කවිත්‍යා විජේසිරිවර්ධන දියණියගේ පාදුක්ක අරුක්වත්ත ගමේ නිවසටය.

2024 වසරේදී ම අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ‘ඒ’ සාමාර්ථ 8 සහ ‘බී’ සාමාර්ථයක් සහිතව සමත්ව ඉන් මාස හයක් ගතවීමෙන් පසු මෙවර අපොස උසස් පෙළ (2024) විභාගයට පෙනී සිටි රනුලි ගණිත අංශයෙන් ‘ඒ’ සාමාර්ථ තුනක් ලබාගෙන සමත් වූවාය. 2007 වසරේ ඉපදුණු රනුලි හරි නම් උසස් පෙළ විභාගයට පෙනී සිටිය යුත්තේ 2026 වර්ෂයට අදාළවය. තවත් වසර දෙකක් තිබියදී 2024 වසරට අදාළව ගණිතය වැනි සංකීර්ණ අංශයකින් උසස් පෙළට පෙනී සිට මෙවන් ජයග්‍රහණයක් ලැබීම කෙතරම් අභියෝගාත්මකද.

රනුලිගේ පියා ප්‍රවීණ සංයුක්ත ගණිතය දේශක සඳුන් වානගුරු මහතාය. මව වන නිලූකා රාජපක්ෂ මහත්මිය ද උපාධිධාරි ගුරුවරියකි. දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලා වන රනුලි සමග අපි කතාව ආරම්භ කළෙමු.

“අපි දුවගේ ප්‍රතිඵල අහලම කතාව පටන් ගනිමු” ඒ අපගේ යෝජනාවයි.

ඇය පිළිතුරු දීම ආරම්භ කළාය.

සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව යන විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබා ගත්තා. කොළඹ දිස්ත්‍රික්කයේ 217 වැනියා. ලංකාවෙන් ම 963 වැනියා.

සාමාන්‍ය පෙළ විභාගය ලියලා මාස හයක් වගේ කාලයක් ඇතුළත උසස් පෙළ ලියන්න දුවට බය හිතුනේ නැද්ද. ඒ අපේ දෙවන ප්‍රශ්නයයි.

“නැහැ. නවය පංතිය අවසාන වන විට සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සියලු කාරණා මම තනියම අධ්‍යයනය කරලා ඉවර කළා. ඒ කාලෙ ඉඳන්ම උසස් පෙළ ගණිත, විද්‍යා විෂයන්ට අදාළව වැඩි අවධානයක් යොමු කළා. තාත්තා ගණිතය විශේෂවේදී උපාධිධාරියෙක් නිසා සංකීර්ණ ගණිත ගැටලු පවා සරලව විශ්ලේෂණය කර විසඳුම් සොයන ආකාරය මට කියා දුන්නා. ඒ නිසාම මම දැඩි ආශාවෙන් අලුත් අලුත් ගණිත ගැටලු විසඳීමට යොමු වුණා. නිවාඩු දිනවල තාත්තාගේ දේශනවලටත් සහභාගි වුණා. ඒ වගේම උපකාර පන්තිවලටත් ගියා. මට ආත්ම විශ්වාසය තිබ්බා ‘ඒ’සාමාර්ථ තුනක් ගන්න පුළුවන් කියලා. මං එය ජය ගත්තා.”

රනුලි අධ්‍යාපනය ලැබුවේ කොළඹ විශාඛා විද්‍යාලයේය. ඇය එම පාසලට ඇතුළත් වූයේ පාදුක්ක සිරි පියරතන විද්‍යාලයෙන් පහ ශිෂ්‍යත්ව විභාගය ලකුණු එකසිය අනූවක් ලබා එම පාසලේ එම වසරේදී වැඩිම ලකුණු ලාභියා ලෙස සමත් වෙමිනි. රජයේ පාසලක ඉගෙන ගනිමින් අඩු වයසින් සාමාන්‍ය පෙළ විභාගයට හෝ උසස් පෙළ විභාගයට පෙනී සිටිය හැකි ක්‍රමවේදයක් තවමත් ලංකාවේ නැත. ඒ නිසා අඩු වයසින් උසස් පෙළ ලියන රනුලිට විශාඛා විද්‍යාලයෙන් අස්වන්නට සිදුවුණි. ඒ හැඟීම කෙබඳුද. අපි ඇයගෙන් විමසුවෙමු.

“ඒක තමයි මම මුහුණ දීපු ලොකුම අභියෝගය. කවුරුත් කැමති වුණේ නෑ පාසලෙන් අයින් වෙනවට. මාත් කැමති වුණේ නෑ. මම විශාඛා විද්‍යාලයට ගොඩක් ආදරේ කළා. විශාඛා දියණියක් වීමේ අභිමානය මටත් තියෙනවා. ඒත් අඩු වයසින් මගේ ඉලක්කය වෙත ගමන් කිරීමට නම් මා මේ තීරණය ගත යුතුව තිබුණා. ඉතාම දුක්බරව තමයි විශාඛා විද්‍යාලයෙන් අස්වුණේ. තාත්තයි මායි ගොඩාක් සාකච්ඡා කරලා තමයි මේ තීරණය ගත්තේ. තාත්තයි මායි ඇරෙන්න ගෙදර හෝ පාසලේ වෙන කිසි කෙනෙක් කැමති වුණේ නෑ පාසලෙන් අස් වෙනවට. ඒ හැමෝම කිව්වා ලොකු අවදානමක් තියෙනවා ඕක කරන්න එපා කියලා. ඒත් ඒ අවදානම අභියෝගාත්මකව මං භාරගත්තා. අම්මයි තාත්තයි නිතරම මාව දිරිමත් කළා. මම පාන්දර දෙකට තනියම නැගිටලා පාඩම් කළා.”

ඒ රනුලිගේ උත්තරයයි.

“රනුලි පාඩම් වැඩ විතරමද කළේ. බාහිර වැඩ කළේ නැද්ද. ටී.වී. බැලුවෙ නැද්ද.” අපි මීළඟ පැනය ඇයට යොමු කළෙමු.

“අපේ අම්මයි තාත්තයි ටීවී බලන්න කාලය වෙන් කරන්නෙ නෑ. විවේක වේලාවක් හමුවූ විට නංගියි මල්ලියි අම්මයි තාත්තයි මමයි එකට එකතු වී සතුටු සාමීචියේ යෙදෙනවා. මාත් ඒක නිසා ටීවී බලන්න පුරුදු වෙලා නෑ. හැබැයි මම බැඩ්මින්ටන් ක්‍රීඩාව, පිහිනීම, චෙස්, ගිටාර් වාදනය, ගීත ගායනය වගේ බාහිර දේ කළා. ඒ වගේම අපි වත්තේ වගා කරනවා. අම්මගේ ඉවුම්පිහුම් වැඩවලට උදව් කරනවා. මල්ලිව බලා ගන්නවා.”

මෙවර උසස් පෙළ ප්‍රශ්න පත්‍ර අතට ගත්තහම ළාබාල රනුලිට මොන වගේ හැඟීමක් ඇතිවෙන්න ඇද්ද. අපි ඇයගෙන් ඇසුවෙමු.

“ඇත්තටම බයක් ඇති වුණේ නෑ. සාමාන්‍ය පේපර් වගේ තමයි දැනුණේ. මම පසුගිය ප්‍රශ්න පත්‍රවලට උත්තර ලියලා පුහුණු වෙලා තිබුණු නිසා මේ උසස් පෙළ ප්‍රශ්න පත්‍රවලටත් සරලව මුහුණ දුන්නා. හරියට කාලය කළමනාකරණය කරගෙන නිසි වෙලාවට පිළිතුරු ලියලා අවසන් කළා.”

රනුලි දැන් රජයේ විශ්වවිද්‍යාලයක ඉංජිනේරු පීඨයකට ඇතුළත් වීමට සුදුසුකම් සපුරා සිටියි. දැන් ඇයට එහිදී හමුවන්නේ තමන්ට වඩා වැඩිමල් පිරිසකි. ඒ ගැන අදහස කුමක්ද අපි ඇයගෙන් ඇසුවෙමු.

“මම 9-10 ශ්‍රේණිවල ඉඳන්ම උසස් පෙළ උපකාරක පන්තිවලට ගියා. එහිදී වැඩිමල් අයියලා අක්කලා එක්ක තමයි වැඩ කළේ. එනිසා ඒක මට පුරුදුයි. එයාලට ඇතැම් ප්‍රශ්න වැරදිච්ච වෙලාට මම කියලත් දෙනවා. සහයෝගයෙන් වැඩ කරනවා. ඒ නිසා ඒක ගැටලුවක් වෙන්නේ නෑ.”

රනුලිගෙ අනාගත බලාපොරොත්තු මොනවද? අපෙන් තවත් කෙටි ප්‍රශ්නයකි.

විශ්වවිද්‍යාල මහාචාර්යවරියක් වෙලා පර්යේෂණ කටයුතුවල නිරතවීම තමයි මගේ බලාපොරොත්තුව. ඉංජිනේරු පීඨයට ඇතුළත් වීමට සුදුසුකම් තිබුණත් කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළු වී විශේෂවේදී උපාධියක් හදාරා මගේ ඉලක්කයට යන්න පසුබිම හදා ගන්නවා.

රනුලි සමග මෙම කටයුත්තේදී දිගටම සිටියේ ඔහුගේ පියා වන සංයුක්ත ගණිතය ප්‍රවීණ දේශක සඳුන් වානගුරු මහතාය. දුවගේ තීරණ ගැන අපි ඔහුගෙන් විමසුවෙමු.

“වසර විස්සකට වඩා වැඩි කාලයක් ගණිතය විෂය උගන්වා මට ඇති අත්දැකීම්වලට අනුව දුව ප්‍රශ්නවලට පිළිතුරු ලියන ආකාරයෙන් මම තේරුම් ගත්තා දුවට මෙම අභියෝගය ජය ගන්න පුළුවන් කියලා. දක්ෂතා ඇති සිසුන්ට අඩු වයසින් ඉහළට ගමන් කිරීමට අවස්ථාවන් තිබිය යුතුයි. එය ළමා මනසට පීඩාකාරී නොවිය යුතුයි. දුවගේ තදබල ආසාව හා හැකියාව නිසා තමයි අඩු වයසින් උසස් පෙළ කරන්න අපි ඉඩ දුන්නෙ. මං කිසි වෙලාවක පාඩම් කරන්න කියලා දුවට කරදර කරලා නෑ. දරුවන් කැමති නම් විතරයි මේ වගේ අභියෝග භාරගන්න ඕන. එහෙම නැතුව දෙමව්පියො දරුවෝ පිට පීඩනය දාන්න හොඳ නෑ.

දක්ෂතාවය තියෙන දරුවන්ට තමන්ගේ කැමැත්තෙන් අඩු වයසින් ඉදිරියට යන්න පුළුවන් ක්‍රමවේදයක් රජයේ පාසල් අධ්‍යාපන ක්‍රමය තුළින් සැකසිය යුතුයි” ඔහු පැවසීය.

අනුරාධ හිරිපිටියගේ


advertistmentadvertistment