මාසයකටත් වැඩියි ඒත්, රටක් නොදන්න සිතුල්පව්වෙ නිධන් හෑරීම

498

කුඩා සිතුල්පව්වේ නිධන් කොල්ලයට ප්‍රධාන දේශපාලන පක්‍ෂ නායකයකුගේ රියදුරෙකුත් ඇවිත්….
යාල වන පෙත මැද ගංජා දුම්කොළ වගාව, දැව ජාවාරම, දඩයම මහා පරිමාණයෙන්ම සිද්ධ වෙනවා…
සිතුල්පව්වේ ආකාස චෛත්‍යය සීගිරිය වගේ විශ්මිත නිර්මාණයක්…
රජ කාලේ සරුසාර යාය සුද්දො යාල කැලය බවට පරිවර්තනය කළා…
සතුන්ට හිරිහැර වන නිසා බෙරයක්, ඝණ්ඨාරයක් නාද කරන්නෙත් නෑ…
මහ කැලේ ඈත ලෙන් කුටිවල වැඩසිටින භික්‍ෂුන්වහන්සේට වළඳන්න
හරිහමන් දාන වේලක්, පිරිසිදු වතුර ටිකක් නෑ…

හිරු මුදුන්ය. අවට දවාලන හිරුගේ රශ්මිය මොහොතකට හෝ නිවාලනුයේ ගිරි, හිස් මුදුන් සිප හමා එන සිහින් පවන් රැලිය. තුරු ගොමු අතරින් මතු වන පිරිත් හඬට විඩාබර සිත සුවපත් කෙරිණි. අපි ගල් පඩි පෙළ නැඟ සිතුල්පව්ව මහා සෑ රදුන් අභියස හිඳ ගත්තේමු.

යුග ගණනාවක ඉතිහාසය සඟවාගත් යාල මහා රක්‍ෂිතය එකම වන පියසක් ලෙස අපූරුවට දර්ශනය වේ. සියවස් විසිදෙකකට පමණ පෙර රුහුණු රට රජ කර වූ කාවන්තිස්ස මහ රජු විසින් ඉදිකර භික්‍ෂූන්වහන්සේට පූජා කරන ලද දාගැබ්, මහ බෝ, ගිරිලෙන්, සංඝාවාස ආදී විහාරාරංග අතරින් බොහෝමයක් නටබුන් ලෙස තැන, තැන විසිරී ඇති අයුරු ද පෙනේ. ඈතින්, ඈතට එකිනෙකට සම්බන්ධ දිය පිරුණු වැව්, පොකුණු, තණ බිම් වන පෙතට අමුතු සුන්දරත්වයක් එකතු කර ඇති බව ද පෙනේ. එකල මේ වන පෙත සශ්‍රීක බෞද්ධ ප්‍රදේශයක් බවට මේ පෙනෙන සාධක හොඳටම ප්‍රමාණවත්ය. එදවස මේ ප්‍රදේශය ‘යාය’ ලෙස හැඳින්වූ බවත් පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි යටත්විජිත සමයේ වල් වැදුණු බෞද්ධ පරිසරය අවසානයේ සුද්දො ‘යාල’ ලෙස නම් පටබැඳි ඇති බවද දැන ගැනීමට ලැබේ. සිත ඉතිහාසයේ දුවන විට මම සිතුල්පව්ව මහා සෑ රදුන් වටා පියවර මනිමින් සිටිමි. සහදේව මහරහතුන් වහන්සේ ප්‍රධාන තිස්දහසක් පමණ රහතුන් වහන්සේලා වැඩ සිටි ලෙන් කුටි යාල වන පියස යට තවමත් ජීවමානය. ඒ ඇතැම් කුටිවල අදට ද ස්වාමීන් වහන්සේ භාවනායෝගීව වැඩ සිටින බව දැන ගැනීමට ලැබෙන විට සිත චිත්ත ප්‍රමෝදයෙන් පිරිණි.

චිත්තල පබ්බත යනුවෙන් මහා වංශයෙහි ද, චිතල පවත යැයි ශිලා ලිපිවල ද සඳහන් මේ පින්බිම වර්තමානයේ සිතුල්පව්ව යැයි ව්‍යවහාරව පවතී. එම පින්බිමට යන ඕනෑම කෙනෙකුගේ සිත් ප්‍රීති ප්‍රබෝධයට පත් කරවන සැනසිලිදායක සුවයකින් ද මනස්කාන්ත දර්ශනයකින් සහ නොපෙනෙන බලවේගයකින් සිත් ඇදගැනීමට සමත් නිසා මේ පින්බිමට චිත්තල පබ්බත යනුවෙන් නම් පටබැඳී ඇති බව ඉතිහාසයේ සඳහන්ය. මේ මොහොතේ ද හිරු රැසින් නැහැවුණු සිතුල්පව්ව මහා සෑ රදුන් අභියස මැවෙන චමත්කාරය මේ යැයි කිව නොහැකි තරම්ය. දේවානම්පියතිස්ස රජු විසින් සිරිමා බෝධියේ අංකුරයක් වඩම්මවා රෝපණය කරමින් පූජනීයත්වයට පත් කළ සිතුල්පව්ව පින්බිමේ විහාරාංගයන් ඉදිකර මහරහතුන් වහන්සේ දොළොස්දහසකට පූජා කරන ලද්දේ කාවන්තිස්ස මහා රජු විසිනි. එපමණක් නොව මෙරට රජවන රජ, යුව රජ මහ ඇමැති, ඈපා මාපා ආදීන් විසින් සිතුල්පව්ව විහාරස්ථානයේ නව කර්මාන්තයක්, ප්‍රතිසංස්කරණයක්, කවර හෝ සිහිවටනයක් කළ යුතු බවට කාවන්තිස්ස රජු විසින් රාජඥාවක් ද පනවා ඇති බව මහාවංශයේ සඳහන් ය. පසුකාලීනව රාජ්‍යත්වයට පත් සියලු රජවරු සිතුල්පව්ව පින්බිමේ මොනයම් හෝ සිහිවටනයක් කර ඇති බවට ද සාධක හමුවෙමින් තිබේ. සිතුල්පව්ව විහාරස්ථානයේ සිට කුඩා සිතුල්පව්වට යන තෙක් එම සීමාව තුළ පමණක් රජවරු තිස්අට දෙනකු විසින් සිදු කළ ඉදිකිරීම් නටබුන්ව පවතී.

යාල වන පියස මැද, සිතුල්පව්ව පින්බිමට යාබද පිහිටි ආකාස චෛත්‍යය ලොව පුදුම අතරට ඇතුළත් විය යුතු විශ්මිත නිර්මාණයකි. ආකාස චෛත්‍යය වහන්සේ පිහිටා ඇත්තේ බැලූ බැල්මට සීගිරි පර්වතයටත් වඩා උසැති මහා පර්වතයක් මුදුනේය. එම චෛත්‍ය වහන්සේ අසලට ගමන් කිරීමට ඇති මාර්ගය පර්වතය තුළින් නිර්මාණය වූ උමං මගකි. මේ වෙනකොට එම චෛත්‍ය වහන්සේ නටබුන්ව ජරාජීර්ණ තත්ත්වයට පත්වෙමින් තිබේ. ලොවම විස්මයට පත් කළ හැකි ආකාස චෛත්‍යය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ වනජීවී නිලධාරීන්ගේ අවසරයක් නොලැබෙන පසුබිමක ආකාස චෛත්‍යයේ ඉතිහාස සිතට නැඟිණි. එය අපූරු කතාවකි.

දුටුගැමුණු කුමරු ලෙස උපත ලබා ඇත්තේ ආකාස චෛත්‍යය වහන්සේ ඉදිකිරීමට රැයක්, දහවලක් නොමැතිව ගඩොල් ඇදීම නිසා රෝගාතුරව අපවත් වූ සාමණේර හිමි නමක් බව ඉතිහාසයේ සඳහන්ය. ඒ කතාව මෙසේය. කාවන්තිස්ස රජුට සහ විහාරමහාදේවියට දරු සම්පත් තිබී නැත. දිනක් රජු සහ බිසව සිතුල්පව්ව විහාරයට පැමිණ සහදේව මහරහතුන් වහන්සේ බැහැදැක කතාබහ කරන අවස්ථාවක දරුවන් නොමැතිවීමෙන් සිත් තැවුලට පත්ව සිටින බව උන්වහන්සේට පවසා තිබිණි.

‘අසවල් ගල්ලෙනෙහි මරණාසන්න සාමණේර නමක් ඉන්නවා. පුතෙක් ලෙස ඉපදෙන්න කියා ආරාධනා කරන්න…’ සහදේව මහරහතන් වහන්සේගේ මුවින් ගිලිහුණු ඒ වචන අසා ප්‍රීති ප්‍රමෝදයට පත් වූ රජු සහ බිසව ඒ මොහොතේම මරණාසන්න සාමණේර හිමි වැඩ සිටි කුටියට ගමන් කළහ.

‘රෝහණ රාජ්‍යයේ මෙච්චර, මෙච්චර රාජ්‍ය සම්පත් තියෙනවා. මේ දේවල්වලට භාරකාරයෙක් නෑ. ඒ නිසා ඔබවහන්සේ අපේ පුතෙක් විදිහට ඉපදෙන්න…’ රජුගේ ආරාධනාවට ගිලන්ව සිටි උන්වහන්සේ කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූහ. කාවන්තිස්ස රජු විසින් දෙවැනි වතාවට ද එම ඉල්ලීම ම කළේය. එහෙත් උන්වහන්සේ ප්‍රතිචාරයක් නොදැක්වූහ.

‘උතුරේ චෝලයන් වෙහෙර විහාර විනාශ කරනවා, මේ දේවල් ආරක්‍ෂා කරගෙන මේ රට එක්සේසත් කරන්න පුතෙක් වෙලා අප අතර ඉපදෙන්න…’ මඳක් සිතමින් කාවන්තිස්ස රජු සහ බිසව එක හඬින් එවැනි ඉල්ලීමක් කළහ. ඒ හඬට ගිලන් සාමණේර හිමි දෑස් විවර කර රජු සහ බිසව සමඟ සිනාසුනහ. උන්වහන්සේට උපස්ථාන කළ රජු සහ බිසව සතුටින් ඉපිලෙමින් අශ්ව කරත්තයේ නැඟ තිස්ස මාගම රජ මාළිගාවට යෑමට පිටත් වූහ. සිතුල්පව්වට යන මාර්ගයේ මඟුල් මහා විහාරය පසුවෙනවාත් සමඟ දේවිය අසුන්ගෙන සිටි පෙදෙස කරත්ත රෝදය කාෂ්ටක පොළොවේ එරිණි. අශ්ව කරත්තය සෙලවීමටවත් නොහැකි විය. රජුට එය මහා ප්‍රෙහේළිකාවක් විය. රාජ පුරුෂයන් විසින් අපහසුවෙන් රෝදය උඩට ගෙන රජ මාළිගාවට ගියහ. එම සිද්ධියෙන් වික්ෂිප්තව සිටි රජු වෙච්ච ඇබැද්දිය පුරෝහිත ඇමැතිවරයාට දැනුම් දුන්නහ. එසැණින් ක්‍රියාත්මක වූ පුරෝහිත ඇමැතිවරයා තත්කාල කේන්දර පරීක්‍ෂා කළේය. ඒ අනුව දේවියගේ කුසේ ගැබක් පිහිටා ඇති බව අවධාරණය කර ගත්තේය. ඒ සමඟම ගිලන්ව සිටි සාමණේර හිමි අපවත් වූ බව සිතුල්පව්වෙන් රජුට දන්වා ඇත. විහාරමහාදේවියගේ කුසේ වැඩෙමින් උපන් කුමරාට දුටුගැමුණු නම පටබැඳිණි. මහා රෑට වන පෙත අතරින් මිහිරි හඬින් පිරිත් ඇසෙන, පාන්දර යාමයට සුදු වතින් සැරසුණු අය චෛත්‍යය වහන්සේ වන්දනා කරන සිතුල්පව්ව හාස්කම්වලින් පිරුණු සිද්ධස්ථානයක් බවට ඉතිහාසයේ මෙන්ම වර්තමානයේ ද කතා එමටය.

‘චෛත්‍යය වහන්සේ වන්දනා කරගන්න අපටත් අවස්ථාවක් ලබාදෙන්න…’ දිනක් මහා රෑක ඉහළ අහස දෙසින් එවැනි ඉල්ලීමක් කර තිබිණි. එම ඉල්ලීම පිළිගත් සිතුල්පව්ව නායක හාමුදුරුවෝ රාත්‍රී 11 න් පසුව පාන්දර 04 වන තෙක් ගිහි පැවිදි කිසිදු පුද්ගලයෙක්ට චෛත්‍ය වහන්සේ අසලට යෑම සපුරා තහනම් කළහ. එමෙන්ම කොටි ත්‍රස්තවාදීන් කොපමණ වලි කෑවද සිතුල්පව්වට හෝ එම පින්බිමේ වැඩසිටින භික්‍ෂූන්වහන්සේ නමකට පහරදීමට නොහැකි විය. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිතුල්පව්ව රජමහා විහාරයට පහරදීමට උත්සාහ කරද්දී, මැටරඹ හේමරතන නායක ස්වාමීන් වහන්සේ විහාරස්ථානය අතහැර නොගියහ. විටෙක හමුදා උපදෙස් පිට විහාරස්ථානයේ වැඩසිටි ස්වාමීන් වහන්සේ සහ කුටි සෙනසුන්වල භාවනායෝගීව වැඩ සිටි සියලු හිමියන් සිතුල්පව්වෙන් පිට වී ආරක්‍ෂිත ස්ථානවලට වැඩම කරද්දී, හේමරතන හිමියන් පමණක් ජීවිතය පරදුවට තබා සිතුල්පව්ව පින්බිමේ වත්පිළිවෙත් කරගෙන විහාරස්ථානයේම වැඩ සිටියහ. දිවි දෙවැනි කොට අදටත් සිතුල්පව්ව පින්බිම ආරක්‍ෂා කරන අපේ නායක, ශාස්ත්‍රපති පණ්ඩිත මැටරඹ හේමරතන හාමුදුරුවෝ දැන් අප අසල වැඩසිටිති. අපි උන්වහන්සේ දෙසට යොමු වුණෙමු.

“මේ බෞද්ධ ස්ථාන අදටත් ආරක්‍ෂා වෙලා තියෙන්නේ භික්‍ෂූන්වහන්සේ වැඩසිටින නිසයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් තිබුණා, නීති පැනෙවුවා කියලා මහා කැලේ පුරාවස්තු ආරක්‍ෂා වෙන්නෙ නෑ. දහසක් දුක් විඳගෙන බෞද්ධ උරුමය ආරක්‍ෂා කරගන්නෙ අපේ හාමුදුරුවෝ. මහා කැලේ ඈත ලෙන් කුටිවල වැඩ සිටින භික්‍ෂුන්වහන්සේට වළඳන්න පිරිසිදු වතුර නෑ. හොඳ ආහාර වේලක් නෑ. ඒත් උන්වහන්සේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් බෞද්ධ උරුමය ආරක්‍ෂා කරගෙන ඉන්නවා. අපේ ආරක්‍ෂාවට තමයි හමුදාව හිටියේ. ඒ දරුවො හොඳ සිංහල ළමයි. බෞද්ධ වෙහෙර, විහාරවලට පරිසරයට, සතා සීපාවට ඒ දරුවො ආදරෙයි. නිතරම කැලය, පුරාවිද්‍යා නටබුන් ගැන හොඳ සෝදිසියෙන් ඉන්නවා. පහුගිය දවසක කුඩා සිතුල්පව්ව චෛත්‍ය ළඟ නිධන් හාරමින් හිටිය අටදෙනෙක්ව අත්අඩංගුවට ගන්න පුළුවන් වුණෙත් ආරක්‍ෂක නිලධාරීන් සෝදිසියෙන් හිටපු නිසයි…” එක දිගට කතා කළ උන්වහන්සේ දිගු සුසුමක් පිට කළහ.

කුඩා සිතුල්පව්ව චෛත්‍යය වහන්සේ පිහිටා ඇත්තේ මහා සිතුල්පව්ව කඳු ගැටයට යාබද කඳුගැටය මුදුනේය. විශාල ගල්ලෙන්, පැන් පොකුණු, සක්මන් මළු, පටිමාඝර, බෝධිඝර සහ උපෝසථාගාර බහුලව පිහිටා ඇත්තේ කුඩා සිතුල්පව්ව ප්‍රදේශයේය. මහරහතන් වහන්සේ ධර්ම සාකච්ඡා පැවැත්වූ ධම් සභා මණ්ඩපය පිහිටි ගල්කුඩේ පිහිටා ඇත්තේ ද කුඩා සිතුල්පව්ව ප්‍රදේශයේය. සිතුල්පව්ව චෛත්‍ය වහන්සේ පිහිටා ඇත්තේ ගල් කුඩෙනුත් ඉහළය. සැදැහැවත් බෞද්ධයන් ලෙසින් වෙස් වලාගත් ප්‍රදේශවාසීන් කිහිපදෙනෙක් විටින්, විට කුඩා සිතුල්පව්ව වැඳපුදා ගැනීමට පැමිණ ඇති බව සැබෑය. එම ප්‍රදේශවාසීන් පිරිස පෙර සිට සැලසුම් කළ පරිදි නිධන් කොල්ලය සිදු කිරීමට පසුගිය දිනෙක සූදානම් වී ඇත. මහා කැලෑවේ වෙනත් මාර්ගයකින් අවශ්‍ය අඩුම, කුඩුම ද රැගෙනැවිත් ඇත. නිධන් තිබෙන ස්ථාන පරීක්‍ෂා කරන ස්කෑන් යන්ත්‍ර පවා ඔවුහු රැගෙනවිත් තිබුණහ. රෑ අඳුරේ වන පෙත ගිලෙනවිට කොල්ලකරුවන් තොවිලෙ පටන්ගෙන තිබිණි. එහෙත් සිතුල්පව්ව පින්බිමේ ආශ්චර්යට ඒ රාත්‍රිය පුරාවට නායක හාමුදුරුවන්ට නින්ද අහලකටවත් පැමිණ නොතිබිණි. පාන්දර දෙකට පමණ කුඩා සිතුල්පව්ව චෛත්‍ය අසල බරක් ඔසවාගත් කෙනෙක් එහා, මෙහා ගමන් කරන අයුරු මුර සක්මනේ යෙදී සිටි හමුදා නිලධරියෙක්ගේ ඇස ගැටී තිබේ. එසැණින් ක්‍රියාත්මක වූ එම හමුදා නිලධාරියා සෙසු ආරක්‍ෂක නිලධාරීන්ව සහ නායක හාමුදුරුවන් දැනුවත් කර තිබිණි. වහා ක්‍රියාත්මක වූ නායක හාමුදුරුවෝ අවට පොලිස් ස්ථාන ද දැනුවත් කර, භික්‍ෂුන්වහන්සේ සහ ආරක්‍ෂක නිලධාරීන් කිහිප දිසාවකින් කුඩා සිතුල්පව්ව වට කරගෙන එම ඉසව්වට ගමන් කළහ. ගල්කුඩේ අසල ජල කරාමයෙන් භාජනයකට වතුර පුරවමින් සිටි පුද්ගලයාව කුදලගන්න තෙක් ඔහුට කොළ පෑගෙන හඬක්වත් නොඇසීම ද පුදුමයකි. අත්අඩංගුවට පත් පුද්ගලයාව ගස් බැඳ, ඉහළට නඟින අතරතුර හමුදා නිලධාරියකු අතේ තිබුණු තුවක්කුවක් වැරැදීමකින් පත්තු විය. එයින් බියට පත් වූ නිධානය හාරමින් සිටි පිරිස හිස් ලූ, ලූ අත දිව ගොස් තිබිණි. එහෙත් පාන්දර 04 වන විට ප්‍රදේශ කිහිපයකින් සිතුල්පව්ව වට කර උදේ 6.30 වන විට නිධන් කොල්ලයට පැමිණ සිටි සියලුම දෙනා ආරක්‍ෂක අංශ අත්අඩංගුවට පත්ව තිබිණි. සේරම අටදෙනෙකි. ප්‍රබල දේශපාලන පක්‍ෂ නායකයකුගේ ප්‍රධාන රියැදුරෙක් ද ඒ අතර සිටී. සිතුල්පව්ව නායක හාමුදුරුවෝ නැවත කතාවට එකතු වූහ.

“වනජීවී මහත්වරුත් දැන් අපිත් එක්ක සහයෝගයෙන් වැඩ කරගෙන යනවා. දැන් අපේ විහාරස්ථානයට ලොකු ගැටලුවක් වෙලා තියෙන්නෙ ඊනියා පරිසරවේදීන්ට. ඔවුන් පෙන්වා දෙන ආකාරයට නිතර සෙනඟ ගැවසෙන නිසා වනසතුන්ට කරදරයක් ලු. ඒත් වන සතුන්ගෙන් එහෙම දෙයක් පෙන්න නෑ. සතුන් වැඩිපුර ගැවසෙන්නෙ විහාරස්ථානය වටේ. හවසට පිරිත් දැම්ම ම සත්තු ඇවිත් ඒ හඬට කන්දීගෙන ඉන්නවා. සතුන්ට හිරිහැර වෙන විදිහට කිසිම දවසක අපි බෙර වාදනයක්වත් කරලා නෑ. පන්සලේ ඝණ්ඨාරයක්වත් නෑ. ලංකාවේ ඝණ්ඨාරයක් නැති එකම පන්සල සිතුල්පව්ව කියලා මම හිතනවා. ඝණ්ඨාරයක් සවි කරන්නෙ නැත්තෙ වන සතුන්ට හිරිහැර වෙන නිසයි. කිසිම දවසක විහාරස්ථානයට එන බැතිතුන්ට වන සතුන් නියපොත්තක්වත් ගහලා නෑ. අරක්කු බීලා, මස්, මාළු පිලී ජාති අරගෙන ජෝගි නටන්න එන බේබද්දන්ට වන සතුන්ගෙන් ගැලවීමක් නෑ. පහුගිය දවසක කොළඹ හතරදෙනෙක් හොඳටම මත්පැන් බීලා ඇවිත් නවාතැන් ගන්න මගෙන් කාමරයක් ඉල්ලුවා. එක පුද්ගලයෙක් කැලණියේ ප්‍රසිද්ධ ලී මුදලාලි කෙනෙක්…”

‘මත්පැන් බීපු අයට මෙහේ නවාතැන් දෙන්නෙ නෑ. ඉක්මනට මේ ස්ථානයෙන් පිට වෙන්න, නැති නම් ඔයාලට කරදර ඇති වෙයි’ කියලා ඒ අයට පැහැදිලිව මම කිව්වා. ඒත් ඒ මිනිස්සු මගේ කීම අහන්නෙ නැතිව පන්සලට එන පාර අයිනෙ ගල් තලාවක් මතට වී තවත් අරක්කු බීලා තිබුණා. කොහේදෝ හිටපු ගැමුණු කියන ඇතා ඇවිත් අරක්කු බෝතලය අතේ තිබුණු කෙනාව අල්ලගෙන තිබුණා. අනිත් අය දුවලා. අල්ලගත්ත කෙනාව පොළවේ ගහලා එක පාරක් පාගාලා. කෑගැහිල්ලට අපි යනකොටත් ඒ පාගපු මිනිහාගේ මූණ පාගන්න ඇතා කකුලක් උස්සගෙන ඉන්නවා…’

‘හා… හා… ඔය මොකද කරන්නෙ ගැමුණු… ඔය අපරාධය කරන්න එපා… පැත්තකට වෙනවා…’ කියලා කෑගහනකොට කකුල පස්සට අරගෙන ඒ සතා කැලේට ගියා. අලියා පාගපු මනුස්සයාව ඉස්පිරිතාලයට අරගෙන යනකොටත් මැරිලා තිබුණා. කරන්න දෙයක් නෑ. ඒ අය විහින් නැහුණේ. මම කියපු වෙලාවෙම පන්සලෙන් පිට වෙලා ගියා නම් කරදරයක් නොවෙන්න ඉඩ තිබුණා. මෙතැන ගැටලුව වෙලා තියෙන්නෙ සතුන්ට තේරෙන ගුණදහම් මිනිසුන්ට නොතේරීමයි. සිතුල්පව්ව වඳින්න එන බැතිමතුන්ට කරදරයක් වුණොත් ඒ වෙන්නෙ හොර සතුරන්ගෙන්. දැන් ඉස්සර වගේ නෙමෙයි සිතුල්පව්වට එන මග දිගට තිබුණු සේරම හමුදා මුරපළවල් ඉවත් කරලා. සිතුල්පව්ව පන්සලේ මුරපළ විතරයි තියෙන්නෙ. මඟ දිගට හද්ද පාළුයි. සිතුල්පව්වට එන මඟ දිගේ සොර සතුරො ගැවසෙනවා. කැලෑවට කිසිම ආරක්‍ෂාවක් නෑ. දඩයක්කාරයන්, දැව ජාවාරම්කාරයො කැලෑව රජදහනක් කරගෙන. ගංජා, දුම්කොළ වැනි නීති විරෝධී වගා කටයුතු, දැව ජාවාරම මහා පරිමාණයෙන් සිද්ධ වෙනවා. නිධන් කොල්ලය වැඩි වෙලා. හමුදාව ඉන්නකොට කැලේ සත්තු හරි සතුටින් හිටියෙ. ඒ නිසා හමුදා කඳවුරු ඉවත් කරන්න එපා කියලා අදාළ බලධාරීන්ට දැනුම් දුන්නා. ඒත් අපි කියන දේ ඇහුවේ නෑ…” අපට ප්‍රශ්න කිරීමට අවැසි නැත. උන්වහන්සේ හරි අපූරුවට සිද්ධි එකෙන් එක ගෙන පැහැදිලි කරන්නාහ.

සිතුල්පව්ව අවට යාල වන පෙත මැද විහාර, චෛත්‍ය ඇතුළු විහාරාරංගවල නටබුන් කොටස් විශාල වශයෙන් තැන, තැන විසිරී තිබේ. ඒ බොහෝමයක් නටබුන් මේ වනවිටත් නිධන් හොරු විසින් විනාශ කර තිබේ. ඒ නිධන් කොල්ලකෑම් ගැන කතා කර ඵලක් නැත. ඒ හොරු රාජ ලේ උරුමක්කරුවන්මය. සොබාදහමෙන් ද ඔවුන්ට අවහිරයක් නැත්තෙ ඒ පව්කාරයන්ට තව, තවත් පව් තර කරගැනීමට ඉඩ හැරීම නිසාය. මෑතක කුඩා සිතුල්පව්වේ නිධන් හෑරීමට පැමිණ අත්අඩංගුවට පත්ව ඇත්තේ ගමේ ම හොරුය. මේ වෙන තෙක් ඒ මහා නිධන් කොල්ලය ගැන මාධ්‍යයේ හෝ හෙළිදරව් නොවීම ද පුදුමයකි. සිතුල්පව්ව ඇතුළු වන මැද පින්බිම්වල වැඩසිටින භික්‍ෂුන්වහන්සේට අවලාද නඟන ‘පරිසරවේදී ඔස්තාර්ලා’ ඒ මහා පුරාවස්තු කොල්ලය ගැන වචනයකින් හෝ විරුද්ධත්වයක් නොදැක්වීම සම්බන්ධයෙන් ද අපට ඇත්තේ පුදුමයකි.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment