රනිල්ටත් රතු එළියක්.! සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න විපක්ෂයේ පක්ෂ රැස්වෙලා

712

රටේ පවතින සියලු ප්‍රශ්න විසඳුමක් නොමැතිව තවදුරටත් දිග්ගැසුණු දින කීපයක් ලෙස පසුගිය සතිය ද ගෙවී ගියේය. ආණ්ඩුවේ අගමැතිවරයාගේ පාර්ශ්වයත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයත් එකට එකතු වීත් වෙන් වෙන්වත් මේ ප්‍රශ්න විසඳාගැනීමට කොතෙකුත් උත්සාහ දැරුවත් කල්පවතින නිසි විසඳුමක් නොලැබුණේ ඒ සියල්ලට මහා පොදු සාධකය ලෙස රටේ බලපෑ සමස්ත ආර්ථික පරිහානිය නිසා ය. විශේෂයෙන්ම ඩොලර් හිඟය ඒ කිසිවකට නිසි විසඳුමක් ලබාදෙන්නට රජයට අවස්ථාවක් දුන්නේ ම නැති තරම් ය.

මේ හේතුවෙන් සිදු වූ අනිත් සමාජ දේශපාලන නස්පැත්තිය වූයේ ජනතාව යම් තරමකින් අගමැති රනිල් වික්‍රමසිංහ කෙරෙහි තබා තිබූ විශ්වාසය ද දවසින් දවස පළුදු වන්නට පටන් ගැනීමයි. මේ නිසා රනිල් වික්‍රමසිංහ කෙරෙහි ද පසුගිය සතිය වන විට සමාජයෙන් එල්ල වූ අප්‍රසාදය හා ප්‍රතිරෝධය තීරණාත්මක එකක් විය.

“කිව්වේ නම් රනිල් පත් වුණාම පැය 24න් පෝලිං අහෝසි වෙයි කියලා. මුළු ලෝකෙම ඉන්න ප්‍රජාතන්ත්‍රවාදීන් හා බලවත් රටවල් පොරකාගෙන දුවගෙන ඇවිත් ලංකාවට උදව් කරාවි කියලා. නමුත් එහෙම කිසිම දෙයක් වුණේ නෑ.”

මේ අයුරින් දේශපාලන කරළියේ මෙන්ම සමාජයෙත් රනිල් කෙරෙහි නැගුණු ප්‍රතිරෝධය නම් සුළුපටු නොවීය. මේ නිසාදෝ අගමැති රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ විවිධ පක්ෂවල සහයෝගයවත් නොලැබී යන තත්ත්වයක් පසුගිය සතිය වන විට අපට දැකගන්නට හැකි විය.

අගමැති රනිල් වික්‍රමසිංහ කිසිවෙකුත් රටේ වගකීම භාරගෙන ආණ්ඩුවකට නායකත්වය දීමට ඉදිරිපත් නොවූ අවස්ථාවේ ඒ බරපතළ අභියෝගය භාර ගැනීමට එඩිතර වුවත් විපක්ෂයේ අනෙකුත් පක්ෂවලින් ඔහු වෙත එල්ල වූ විරෝධතාව බලවත් විය. ඔවුන් එල්ල කළ බලවත්ම චෝදනාව වූයේ දේශපාලනයේ ගරා වැටෙන රාජපක්ෂ පවුලේ ආරක්ෂාව පිණිස ලොකු කොන්ත්‍රාත්තුවක් භාරගෙන ඇති බවකි. චෝදනාව බරපතළ විය. එය වඩාත් තීව්‍ර වූයේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් ගණනාවකුත් අපේක්ෂා භංගත්වයට පත්ව රනිල්ට එරෙහිව අවි අමෝරා ගන්නට පටන් ගැනීම නිසා ය. අද වෙන විට අගමැති රනිල්ට සිදුව ඇත්තේ ආණ්ඩුවකුත් භාරගෙන රටෙන්ම බැනුනුත් අසමින් තනිව ගමනක් යෑමටය. මොන තරම් බාධක ආවත් අගමැති රනිල් වික්‍රමසිංහ ඒ කිසිවකින් පසුබාන බවක් නම් පෙනෙන්නට නොවීය. ඔහු පසුගිය සතියේත් සිටියේ රටේ බරපතළ අර්බුද ගැන කතා කිරීමට රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකට සහභාගී වෙමිනි. බටහිර හා බලවත් රටවල්වල තානාපතිවරු හමුවෙමින්, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනෙකුත් තීරණාත්මක සංවිධානවල ඉහළ පෙළේ නියෝජිතයන් හමුවෙමින් සාකච්ඡා කළ රනිල් විවේකයක් ගත්තේ ම නැති තරම් ය.

මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණයට සම්බන්ධ නිලධාරීන් විසින් සම්බන්ධීකරණය කළ සාකච්ඡාවට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත පිරිසක් ඉකුත් ඉරිදා රාත්‍රී ලංකාවට පැමිණියහ. එම පිරිස සඳුදා උදයේ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී අගමැතිවරයා ප්‍රමුඛ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවකට සහභාගී වීමට බලාපොරොත්තු වූහ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සඳුදා උදෙන්ම මුදල් අමාත්‍යාංශයට පැමිණියේ මෙම දුෂ්කර අවස්ථාවේ ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා අතිශයින් තීරණාත්මක සාකච්ඡාවක් වන මෙම රැස්වීම සඳහා පෙර සූදානමක් ඇති කර ගැනීමට ය.

එහෙත් මුදල් අමාත්‍යාංශය වටා පෙරදා රාත්‍රියේ පටන් යම් කලහකාරි උණුසුම් තත්ත්වයක් ඇතිව තිබුණි. ගෝල්ෆේස් පිටියේ සිටින අරගලකරුවන් සඳුදාට පහන් වන්නට පටන් ගනිත්ම උත්සුකව සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවේශ දොරටු මෙන් ම ඊට යාබදව තිබෙන මුදල් අමාත්‍යාංශයේ ද සියලු දොරටු වසා දමා අවහිර කිරීමට ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කරන තීරණාත්මක සාකච්ඡාව අවහිර කරන්නට ඔවුන්ට අවශ්‍යව තිබිණි දැයි කියා සැකයක් ද මේ අවස්ථාවේ මතුවිය. මුදල් අමාත්‍යාංශයට පැමිණි අදාළ නිලධාරීන්ට ඉන්පසුව ඉන් පිටව යන්නට නොහැකි ලෙස සියලු ගේට්ටු අවහිර කර තිබිණි.

නිලධාරීන් කලට වේලාවට නොපැමිණියේ මන්දැයි සොයා බැලූ රනිල්ට මේ අලකලංචිය ආරංචි විය.

“අරගලේ කට්ටිය බලාගෙන ඉන්නෙ මාව කොටු කරගන්න. නිලධාරීන්ට හානියක් කරන එකක් නෑ. පොලිසිය යොදවල හරි තත්ත්වය පාලනය කරලා නිලධාරීන් කොහොම හරි මෙතන්ට ගෙන්න ගන්න…” රනිල් ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

● මන්ත්‍රී සහයෝගය රනිල්ට අවශ්‍ය වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡා ඉතා සාර්ථක වූ අතර දෙවෙනි වටයේ සාකච්ඡාව ඉකුත් සිකුරාදා පැවැත්විණි.

අගමැති රනිල් ඉදිරිපත් කළ මූල්‍ය විනය සහිත සැලසුම සම්බන්ධයෙන් අයි.එම්. එෆ්. නිලධාරීන් සෑහීමකට පත්ව සිටියෝය. මෙම සාකච්ඡාවට ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පැමිණි සිටින ජාත්‍යන්තර සමාගම් දෙකේ නියෝජිතයන් ද සහභාගි වී සිටි අතර ඔවුන්ගේ අදහස් ද සාකච්ඡාව සාර්ථක වීමට තවත් හේතුවක් විය.

අගමැති රනිල් වික්‍රමසිංහ ඉකුත් අඟහරුවාදා උදෙන්ම ගියේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කරන ජාත්‍යන්තර යෝග දිනයට සහභාගීවීම උදෙසාය. නමුත් ඊට පෙර ඔහුගේ ළඟම හිතවතුන් පිරිසක් කීවේ මෙයට නොයන ලෙසය. එහෙත් රනිල් උපදෙස් නොතකා ඊට සහභාගි විය.

“මම කොහොමත් සතියට දින දෙක තුනක් යෝග කරනවා. අනෙක ජාත්‍යන්තර යෝග දිනයක් ගත්තේ ඉන්දියාව මැදිහත් වෙලා. ලංකාවේ යෝග ව්‍යායාම කරන බහුතරයක් ඉන්නවා. මෙතනට මම ගියාම ජාත්‍යන්තරයට පණිවිඩයක් යනවා විදේශිකයන්ට ලංකාවට ඇවිත් යෝග ඉගෙන ගන්නත් පුළුවන් කියලා.” අගමැතිවරයා කීවේ සිනාසෙමිනි.

ඔහු යෝග උත්සවයට යන විටත් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ, අධ්‍යපාන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ද එහි පැමිණ සිටියහ.

කෙසේ වෙතත් රනිල් මෙම යෝග උත්සවයට සහභාගි වීම හා එහි ඔහුගේ හැසිරීම යම් සංවිධානාත්මක පිරිසක් ඔවුන්ගේ සමාජ මාධ්‍ය මෙහෙයුම් හරහා ගර්හාවට ලක්කර තිබෙන ආකාරයක් දැකගත හැකිවිය.

පසුගිය සතියේ අපේ දේශපාලන කරළියේ කතාබහට ලක්වූ තවත් කරුණක් වූයේ මේ දිනවල ලහි ලහියේ සූදානම් කැරෙන 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. පසුගිය සඳුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් මෙම සංශෝධන පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලැබීය.

ඉන් පසු පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ වැඩි වේලාවක් නොසිටි අගමැතිවරයා ඉන් පිටත් වූවේ තවත් සකච්ඡා දෙකක් සඳහා වේලාව වෙන් කර ඇති බව කියමිනි.

අඟහරුවාදා පාර්ලිමේන්තු නොගිය අගමැතිවරයා බදාදා පාර්ලිමේන්තුවට ගියේ පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට තිබූ බැවිනි. ඉන්ධන අර්බුදය, ගෑස් අර්බුදය ගැන මෙන්ම රටේ ආර්ථික තත්ත්වය ගැන ද ඔහු එහිදී කරුණු ඉදිරිපත් කළේය. ඉක්මනින් පැමිණිමට ගියත් ඔහු දිනය පුරාම පාර්ලිමේන්තුවේ ගත කළේය.

අගමැතිවරයාව ලොබියේ දී මෙන්ම ඔහුගේ කාර්යාලයේදී ද හමුවන හමුවන හැම මන්ත්‍රීවරයාම විමසා සිටියේ ආර්ථික අර්බුදය ගැනය. “සර් මේක ගොඩ දාන්න පුළුවන්ද?” හැමෝම ඇසුවේ එකම කාරණය ය.

“ගොඩදාන්න පුළුවන් ඔයාලා හරියට සහාය දෙනවා නම්.” අගමැතිවරයා කීවේ සිනාසෙමිනි.

“තෙල් පෝලිම් නිසා ඒකේ වාසිය ගන්න විපක්ෂයේ කණ්ඩායම් කටයුතු කරනවා. මේකට මොකක් හරි කරන්න වෙනවා.” තවත් මන්ත්‍රීවරයකු අගමැතිට ඉදිරිපත් කළේ එවැනි පැනයකි.

“තෙල් පෝලිම් ටික නැති කරන්න නම් එකවර නැව් 4 ක් වත් ගේන්න අවශ්‍යයි. නමුත් රටේ ඒ තරම් මුදලක් නෑ. මේ අස්සේ කළු කඩත් ක්‍රියාත්මක වෙනවා. ලබන මාසේ ඉඳලා තෙල් පෝලිම් අවම කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. ජනවාරි වෙනකොට රටේ ආර්ථිකය යම් තරමකට පාලනය කරගන්න පුළුවන් වේවි.” අගමැතිගේ පිළිතුර එවැන්නකි.

“ඒ වෙනකම් රටේ ජනතාව බලාගෙන ඉඳීවිද?” තවත් අයෙක් විමසීය.

“ඒක ඉතින් ඔයගොල්ලෝ බලාගන්න ඕනේ. ජනතාවට ඇත්ත කියමු. අනෙක ජනතාව කුලප්පු කරන විපක්ෂයටත් මේ වෙලාවේ ආණ්ඩුව ගන්න අදහසක් නෑ. මොකද එයාලත් දන්නවා රටේ සැබෑ ආර්ථික තත්ත්වය ගැන. මම විතරයි අර්බුදය භාර ගත්තේ.” අගමැති කීවිට සැවොම හිස සැලුවා මිස කිසිවක් කීවේ නැත.

● ආණ්ඩු පක්ෂයත් නවයකට බෙදිලා

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු යම් යම් තීරණාත්මක අවස්ථාවන්වලදී එකට එක් වී කටයුතු කරන්නට පෙළඹ සිටියත් සැබෑ ලෙසම ඔවුන් සිටින්නේ වෙන් වෙන් වූ පිල් කීපයක ය. මාධ්‍යවේදීන්ගේ විග්‍රහය හරි නම් දැන් එය නවයකට බෙදී අවසන්ය.

ජනාධිපති ගෝඨාභයට ද කණ්ඩායමක් සිටී. රමේෂ් පතිරණ, කංචන විජේසේකර, නිමල් සිරිපාල, අමරවීර, නිමල් ලාන්සා, නලීන් ප්‍රනාන්දු ඇතුළු ඇමැතිවරු පිරිසක් එහි සිටිති. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග සිටින කණ්ඩායමක් ද වෙති. ජොන්ස්ටන්, රෝහිත, ප්‍රසන්න, සී බී ඇතුළු සැලකිය යුතු පිරිසක් එහි සිටිති. බැසිල් සමග සිටින පිරිසක් ද වෙති. සාගර, කැටගොඩ, තිස්ස කුට්ටි, රංජිත් බණ්ඩාර, සංජීව එදිරිමාන්න ආදීහු එහි වෙති. රමේෂ් ප්‍රසන්න වැන්නෝ මේ කණ්ඩායම් තුනම නියෝජනය කරන අවස්ථා ද වේ. එහෙත් මේ කණ්ඩායම් තුනටම නැති තවත් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් 6 කි. ඒ තුළ විමල්ලා වාසුලා ගම්මන්පිලලා එකොළොස් දෙනෙක් වෙනමත් ශ්‍රීලනිපයේ පිරිස වෙනමත් ඩලස් ලා ඩිලාන්ලා වෙනමත් අනුර යාපා චන්දිම වීරක්කොඩි ඇතුළු හය දෙනෙක් වෙනමත් පාර්ලිමේන්තුවේ අලුත්ම ආධුනික මන්ත්‍රීවරු පිරිස වෙනමත් රනිල් සමග සිටින මනුෂලා හරීන්ලා ඇතුළු පිරිස වෙනම කටයුතු කරති. මේ කණ්ඩායම් අටටම නොමැතිව තනිවම සිටින කිහිපදෙනෙක් ද ඇති බව කියන්නේ දොලවත්ත මන්ත්‍රීවරයාය.

ආණ්ඩුවේ වර්තමාන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මෙම නවගොල්ල අතර එකඟතාවයක් තිබුණේ ද නැත. මේ සෑම පිරිසක්ම ප්‍රශ්න සම්බන්ධයෙන් සිටියේ වෙන වෙන තැන්වලය. එහෙත් පසුගිය සතිය පුරාම මේ අයගේ වෙන් වෙන් වූ සාකච්ඡා රැසක් පැවැත්විණි.

පසුගිය සතියේ සමගි ජනබලවේගයේ දේශපාලන ක්‍රියාන්විතය රටේ කැපී පෙනෙන වටිනාකමක් හිමිකර ගත්තේය. රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන යන ආණ්ඩුවට ප්‍රබල විවේචනයක් එල්ල කරමින් වුව ද සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය අද රට මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නවලට විසඳුම් සොයන උත්සාහයක ද නිරතව සිටියහ. ඒ අතර විසිඑක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඔවුන් මෙහෙයවූ කතිකාව රට තුළ කැපී පේන එකක් විය. පසුගිය සතියේ ඔවුන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට රටේ විවිධ බුද්ධි මණ්ඩප හා දේශපාලන කණ්ඩායම් වෙන වෙනම හමුවෙමින් සිටියහ. පසුගිය සඳුදා ද ඔවුන් විසින් පවත්වනු ලැබූ එබඳු සංවාදයකට සහභාගි වන්නැයි පාර්ශ්ව ගණනාවකටම ආරාධනා කර තිබිණි. සංවාදය පැවැත්වුණේ කොළඹ කේම්බි්‍රජ් පෙදෙසේ පැවැති විපක්ෂ නායක කාර්යාලයේ දී ය.

මෙම සාකච්ඡාවට ආණ්ඩු පක්ෂයෙන් ස්වාධීන වූ අනුර යාපා, චන්දිම වීරක්කොඩි එක්ව සිටියේ ඔවුන්ගේ හය දෙනා නියෝජනය කරමිනි. මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු කණ්ඩායමක්, ගාලු මුවදොර පිටියේ අරගලය නියෝජනය කරමින් තවත් කණ්ඩායමක්, විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් කුඩා කුඩා කණ්ඩායම් කිහිපයක් මේ සාකච්ඡාවට පැමිණ සිටියහ. මෙහිදී මුලින්ම සාකච්ඡා කළේ රටේ පවතින අර්බුදය හා ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍යවේදී වික්ටර් අයිවන් ප්‍රමුඛ කණ්ඩායම ඉදිරිපත් කරන ලද අදහස් ඇතුළත් යෝජනාවලිය යි.

“ජනාධිපතිතුමා කෙරෙහිත් ආණ්ඩුව කෙරෙහි රටේ ජනතාවගේ විශ්වාසය බිඳ වැටිලා ඉවරයි. ජනතාවගේ විශ්වාසය දිනා ගන්න නම් ජනාධිපති ඉවත් කළ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනඟන්න ඕන. රටේ පවතින නීතිය අනුව ජනාධිපති ඉවත් කරන එක ප්‍රායෝගික නෑ. එහෙම නම් අපි ඊට මෙහා තියෙන විසඳුමක් වන ජනාධිපතිවරයාගේ බලය පාර්ලිමේන්තුවට පවරාගැනීමේ විසඳුමකට යා යුතුයි.” ඒ අයුරින් වික්ටර් අයිවන් ඇතුළු කණ්ඩායම ඉදිරිපත් කරනු ලැබුවේ ජනාධිපති එම තනතුරේ තවදුරටත් සිටියත් ඔහුගේ බලතල පාර්ලිමේන්තුවට ලබාගෙන ඒවා පාර්ලිමේන්තුවේ සර්ව පාක්ෂික නියෝජනයක් සහිත එකඟතාවයකින් ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයක් සාදාගත යුතු බවකි. එම අදහසට බහුතරයකගේ එකඟතාව පළ වුවත් අරගලයෙන් පැමිණි තරුණ පිරිස සිටියේ ජනාධිපතිවරයා තනතුරෙන් ඉවත් කිරීම හැර වෙනත් කිසිදු විකල්පයක් නැත යන ආස්ථානයේ ය. රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ද එම අදහස අනුමත කරමින් කතා කළත් සෙසු බහුතරයක් කීවේ රණ්ඩුවකට හෝ ගැටුමකට ගොස් මෙබඳු ප්‍රශ්න විසඳාගැනීම මේ දුෂ්කර අවස්ථාවේ සුදුසු නැති බවකි.

සංවාදය ඵලදායී ලෙස දුර දිග ගියේය.

මෙතනට සුවිශේෂී නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියහ. රේගුව, දේශීය ආදායම් ආයතනය වැනි තැන් මගින් ලබාගත හැකිව තිබූ ආදායම් පසුගිය කාලයේ රටට අහිමි වී ගිය ආකාරය ඔවුන් පැහැදිලි කළහ.

“රට ගැන හිතලා හරවත් යෝජනාවක් ආණ්ඩුවට කළත් ආණ්ඩුවේ ඉහළම අය ඒවා බාරගන්න කැමති නෑ. අපි කොන්දේසි හතරකට යටත්ව මේ ආණ්ඩුව භාර ගන්න කැමතියි කියන යෝජනාව ජනාධිපතිවරයාට ගිහින් භාර දෙන කොට එතුමා හිටියේ රනිල් එක්ක. අපේ යෝජනාව සැලකිල්ලෙන් භාර ගත්ත බවක් පෙනුනේ නැහැ” සජිත් තමන් මුහුණ පෑ දුෂ්කරතාවක් පැහැදිලි කළේය. සැලකිය යුතු වේලාවකින් පසුව එම සාකච්ඡාව අවසන් විය.

● ජනාධිපති ගෝඨාට වැදගත් දවසක්

පසුගිය විසි වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉතා වැදගත් දවසක් විය. ඒ ඔහුගේ උපන් දිනය එදිනට යෙදී තිබීමයි. එදින උදේ පාන්දර පටන් ඔහුට සුබ පතුම් පණිවිඩවලින් ඉවරයක් ම නොවී ය.

උදේ පාන්දරම අමාත්‍ය ජී. එල්. පිරිස් විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරිය අරුණි විජේවර්ධන සමග ජනාධිපතිවරයා හමුවන්නට ජනාධිපති මන්දිරයට පැමිණියේය. ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති තුමා ඇතුළු නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියේ විශේෂ හමුවකට සහභාගී වීමටය.

ඉන් අනතුරුව 10.40ට පමණ ඔස්ට්‍රේලියානු රජයේ විශේෂ දූත පිරිසක් පැමිණ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවට අසුන් ගත්හ.

ජනාධිපතිවරයාත් විදේශ ඇමැති ඇතුළු නිලධාරීනුත් ආරක්ෂක ප්‍රධානීනුත් ඔස්ට්‍රේලියානු දූත පිරිසත් මෙසේ සාකච්ඡා කළේ පසුගිය දිනවල ඉතා විශාල වශයෙන් වැඩිවූ නීති විරෝධී සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවට ඇතුළු වීම වළකාලනු පිණිසයි. පසුගිය දිනවල ලංකාවේ ඇතිවුණු ආර්ථික අවපාතයත් සමගම මෙම සංක්‍රමණිකයන්ගේ ලොකු වර්ධනයක් දක්නට ලැබුණු බව ඔස්ට්‍රේලියානු බලධාරීන් පෙන්වා දුන්හ. සාකච්ඡාව රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඉතා ඉහළින් කෙරුණු අතර ඉතා ඉක්මනින් එය අවසන් විය.

ජනාධිපතිවරයාගේ උපන් දිනය නිමිත්තෙන් එදින දහවල් ජනාධිපති මන්දිරයේ දානමය පින්කමක් ද පැවැත්විණි. සීමිත මැති ඇමැතිවරු පිරිසක් පැමිණි සිටියේ ඊට සහභාගි වීම පිණිසයි. මහින්දානන්ද අලුත්ගමගේ, සහන් ප්‍රදීප්, ප්‍රසන්න රණතුංග ඇතුළු කිහිප දෙනෙක්ද ඒ අතර වූහ.

● රනිල්ගේ පාලනය ප්‍රතිඵල රහිතයිලු

පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන භූමිකාව ද රට තුළ කැපී පෙනෙන එකක් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සතියේ මාධ්‍ය හමුවකට ගොස් ඔහු රටේ පවතින ගැටලු පිළිබඳව විවෘතව අදහස් පළ කරන්නට පටන් ගත්තේය.

කොහොමටත් ඔහුගේ කතා ඉතා රසවත් ඒවා විය. අතීතයේ තොරතුරු මෙන්ම ඇතැම් දේශපාලන රහස් මේ සාකච්ඡාවලදී එළියට දැමීම ඔහුගේ සිරිත විය.

කෙසේ වෙතත් මේ සාකච්ඡාවන්වලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනට ආණ්ඩුව තුළ අනුගමනය කරන සටන්කාමීත්වය ප්‍රකට විය. ඔහු රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ක්‍රමෝපාය, පිළිවෙත හා ඔහුගේ ආණ්ඩු පාලනය දැඩි ලෙස විවේචනයට ලක් කළේය.

රනිල්ව මෙසේ විවේචනය කළේ මෛත්‍රීපාල සිරිසේන පමණක් නොවේ. ආණ්ඩු පක්ෂය ඇතුළෙන් ද යම් යම් කණ්ඩායම් තුළින් මෙම විවේචනය පසුගිය සතියේ එළියට පැමිණියේය. විපක්ෂය ගෙන ආ විරෝධතාවය හා විවේචනය කොතරම් දැඩි වී ද යත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රමුඛ සමගි ජන බලවේගයේ කණ්ඩායම් කිහිපයක් රනිල්ගේ නිවස වට කරන්නට ගියහ. රනිල්ගේ නිවස ඉදිරියේ විරෝධතාවය දක්වමින් පොලිස් මාර්ග බාධකය මතට නගිමින් පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරිය ද යම් අපහසුතාවයකට පත් කරමින් කාන්තාවක් ලෙසත් මන්ත්‍රීවරියක් ලෙසත් මවක ලෙසත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හැසිරුණු ආකාරය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ද රසවත් විවේචන ඒ මේ අත හුවමාරු වීම පසුගිය සතියේ අප දුටු විශේෂත්වයක් විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා නිමල් සිරිපාල ද සිල්වා අතර නඩුව පසුගිය සතියේ සමථයකට පත්විය.

නිමල් ඇමැතිවරයා මෙම නඩුව පවරා තිබුණේ ඔහු දරනු ලැබූ පක්ෂයේ තනතුරු ඉවත් කිරීමක් සම්බන්ධයෙනි. පක්ෂයෙහි තීන්දුවකට එරෙහිව ගොස් ආණ්ඩුවේ තනතුරු භාර ගැනීම නිසා එබඳු ඉවත් කිරීමක් කරන බවට එක්තරා පුවත්පතක නිවේදනයක් පළව තිබිණි. ඇමැති නිමල් මුල් කරගෙන තිබුණේ එම පුවතයි.

එහෙත් පක්ෂය එබඳු තීන්දුවක් ගෙන තිබුණේ නැති බව කියයි. එබැවින් දෙපාර්ශ්වයේ එකඟතාව මත එම නඩුව සමථයකට පත් කර ගැනීම පසුගිය සතියේ සිදුවිය.

මේ අතර 21 වැනි සංශෝධනය සම්බන්ධයෙන් පසුගිය සතිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගි වූ සාකච්ඡා ගණනාවක්ම විය.

“විසිඑක් වන සංශෝධනය ගැන විතරක් නෙවෙයි. සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ප්‍රතිසංවිධානය විය යුතුයි කියන තැන තමයි අපි ඉන්නේ” මෙම කතිකාවේදී මහලේකම් දයාසිරි ජයසේකර පෙන්වා දුන්නේය.

මේ අතර මෛත්‍රීපාල සිරිසේනගේ අවධානය යොමු වූ තවත් කාරණාවක් විය. වත්මන් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය හා ආර්ථික වැඩපිළිවෙළ තුළ මෙතෙක් කලක් ලංකාවට උදව් උපකාර කළ චීනය, රුසියාව ආදී හිතකර රටවල් අමනාප වී ඇතැයි කියා කතාවක් පහුගිය දිනවල පැතිර ගියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද එම මතයේ දැඩිව සිටියේය. මෙබඳු දුෂ්කර අවස්ථාවකදී එම රටවල උදව් උපකාර අත්‍යවශ්‍ය බව ශ්‍රීලනිපයේ මතය විය. පසුගිය සතියේ ඒ සම්බන්ධයෙන් ශ්‍රීලනිප නායකයා චීනය හා රුසියාව සමග අරඹන ලද සාකච්ඡා වටය ද කැපී පෙනෙන එකක් විය. මෛත්‍රිපාල සිරිසේන මහතා මේ සම්බන්ධයෙන් රුසියානු නායක පුටිං මහතාට යවන ලද ලිපියකට පසුගිය සතියේ ප්‍රතිචාර ලැබී තිබීම හේතුවෙන් රුසියානු තානාපතිවරයා හා අලුත් සාකච්ඡාවක් ද ඇති විය. චීනය සමඟ ද මීට සතියකට පෙර ඔහු සාකච්ඡා කර තිබිණි.

පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ද මෙම කරුණ සාකච්ඡාවට ලක්විය. හිටපු තානාපතිවරයකු ලෙස කලක් සේවය කළ සමන් වීරමන් මහතා මෙහිදී එම සාකච්ඡාවට සහභාගි වෙමින් එක්තරා රහසක් හෙළිදරව් කළේය.

“රුසියානු රජය ලංකාවට උදව් කරන්න අත දිගු කළා. අපේ රජය ඒ උදව් භාරගන්න කැමති වුණේ නෑ. ඇමරිකානු ඩොලර් මිලියන 800 ක් එම රජය ලංකාවට ලබා දෙන්න වෙන් කළා. එම මුදල් එම විදේශ අමාත්‍යාංශය තුළ ඉතිරි වෙලා ආපහු හැරිලා ගියා. අපි සත පහක ප්‍රයෝජනයක් ඒ මිත්‍රත්වයෙන් ලබා ගත්තෙ නෑ. ඒකට හේතුව තමයි අපි අපේ විදේශ ප්‍රතිපත්තිය හදන්න වෙනත් රටකට භාරදී තිබීම. අද අපේ විදේශ ප්‍රතිපත්තිය හදන්නේ අපි නෙවෙයි.”

මෙහිදී ඔහු හෙළිදරව් කළේ ආන්දෝලනාත්මක කාරණාවකි.

● ජානකී හෝටලයේ විද්වත් කතිකාව

වර්තමානයේ රට මුහුණ පා තිබෙන අර්බුදය හා එයින් රට මුදා ගැනීමට ඇති මාර්ගය පිළිබඳ සාකච්ඡා කිරීමට තවත් සුවිශේෂී විද්වත් කතිකාවක් බ්‍රහස්පතින්දා හවස කොළඹ ජානකී හෝටලයේ පැවැත්විණි. මෙම කතිකාව සඳහා විවිධ පක්ෂ නියෝජනය කරමින් දැන උගත් විද්වතුන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ. ඩලස්, ඩිලාන් ආණ්ඩුවේ විකල්ප කණ්ඩායමෙනුත් දයාසිරි ශ්‍රීලනිපයෙනුත් තිස්ස අත්තනායක, බුද්ධික පතිරණ, රෝහිණී කවිරත්න, එරාන් වික්‍රමරත්න, දෙමළ ජාතික සන්ධානෙන් සුමන්තිරනුත,් 43 කණ්ඩායමෙන් කරුණාරත්න පරණවිතානත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් විජේදාස රාජපක්ෂ, චරිත හේරත් ඇතුළු කිහිප දෙනකුත් පැමිණ සිටියහ. මෛත්‍රී ගුණරත්න, ශිරාල් ලක්තිලක වැනි සිවිල් සංවිධාන නියෝජිතයින් ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

මෙහිදී සාකච්ඡාවට බඳුන් වූයේ විසිඑක් වැනි සංශෝධනයට අඩංගු විය යුතු කරුණු හා රට ගොඩ ගැනීමේ දී අනුගමනය කළ යුතු කාරණා පිළිබඳවයි. විජයදාස රාජපක්ෂ මේ ගැන පැහැදිලි කළේය.

සුමන්තිරන් මෙහිදී දැඩි ව පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා ඉවත් කිරීමෙන් තොර මෙබඳු සාකච්ඡාවලින් ඇති ප්‍රයෝජනයක් නොමැති බවය. එහෙත් ඩලස්ලා ඩිලාන්ලා මේ වෙලාවේ ප්‍රජාතන්ත්‍රවාදීව තිබෙන නීතිමය රාමුව යටතේ ව්‍යවස්ථානුකූලව කළ යුතු දේ සම්බන්ධයෙන් කතා කිරීම ඉතා වැදගත් බව පෙන්වා දුන්නේය. ඒ අනුව සාකච්ඡාව ඉතා ඵලදායකව ඉදිරියට පැවැත්වෙමින් තිබිණි.

● පාර්ලිමේන්තුවේ දී රනිල් හමුවූ අමුත්තා

පසුගිය සතියේ පාර්ලිමේන්තුව පැවැත්වුණේ අඟහරුවාදා හා බදාදා දින දෙක පමණි.

බදාදා උදේ පාර්ලිමේන්තුවේ දෙවැනි මහලේ අගමැති කාර්යාලය අභියස එක්තරා පුද්ගලයෙක් පැමිණ කවුදෝ හමුවන්නට බලා සිටියේය. හේ අන් කවුරුවත් නොවේ. පසුගිය සතියේ මුළු රටම කතා කළ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා ය.

ධම්මික පෙරේරා එතන සිටිනු දුටු නිමල් ලන්සා, ජයන්ත කැටගොඩ, නලින් ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් පැමිණ ඔහු සමග යම් වේලාවක් සුහද කතාබහක නිරතව සිටියහ. පාර්ලිමේන්තුවේ නිලධාරීන් කීප දෙනෙක්ද පැමිණ ධර්මික පෙරේරාට සුභ පතනු දැකගත හැකි විය.

ඒ වෙලාවේ කාර්යාලය ඇතුලේ සිටි අගමැති රනිල් වික්‍රමසිංහ සභා ගැබට යන්නට පැමිණියේය.

හලෝ ධම්මික හව් ආ යූ යනුවෙන්…. අගමැති රනිල් ඔහුට සුබ පතමින් කතා කළේය.

ධම්මික පෙරේරා ඊට උචිත පරිදි ඉංග්‍රීසියෙන් පිළිවදන් දුන්නේය.

ඔයා දැන් එනවා නේද පල්ලෙහාට….?

ඔව් සර්… මම දැන් එනවා…. ධම්මික කීවේය. මුළු රටක්ම කුතුහලයෙන් කතා කළ ව්‍යාපාරික ධම්මික පෙරේරා පහත මාලයේ පාර්ලිමේන්තු සභා ගැබට ගොස් මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නේ ඊට ටික මොහොතකට පසුව ය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment