අප්සරා සී.අයි,ඩී.යේ හතරවැනි තට්ටුවෙන් පැන්නේ ඇයි?

1419

වංචා කළ මුදල හයකෝටි අසූතුන් ලක්ෂ හතළිස් දහසක් ව්‍යාජ නම් ගම් ඉදිරිපත්කර ලක්ෂ ගණනින් ණය අරන්

‘හතරවැනි තට්ටුව’ කියූ පමණින් බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්නේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයයි. දරුණු ගණයේ අපරාධකරුවන් සුවච කීකරු බලූකුක්කන් බවට පත්කොට අපරාධ රහස් හෙළිකර ගැනීම පිණිස දැනට මෙරට ඇති හොඳම තැනද හතරවැනි තට්ටුවය. එබැවින් හතරවැනි තට්ටුව පිළිබඳ පුවත් නිතර නිතර මාධ්‍ය මගින් වාර්තා කිරීම එය ජනතාව අතර ප‍්‍රසිද්ධවීමට හේතුවූ තවත් කාරණයක් ලෙස ගත හැක.

ඉකුත් 11 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පස්වෙනි මහලේ පිහිටි වැසිකිළියේ කවුළුවෙන් බිමට පැන කාන්තාවක් මියයෑමත් සමඟ මෙතෙක් කල් හතරවැනි තට්ටුව පිළිබඳ පමණක් අවධානය යොමුකළ බොහෝ දෙනෙක් තවත් පියවරක් ඉදිරියට තබමින් පස්වැනි තට්ටුව කෙරෙහි යොමුවූහ. මෙලෙස අකලට මිය පරලොව යන්නේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන සිටි අප්සරා මැණිකේ රාජපක්ෂ (අවු. 46) නමැති කාන්තාවය.

පන්නිපිටිය ප‍්‍රදේශයේ පදිංචිව සිටි ඇය මියයෑමට මත්තෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වන්නේ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලට අනුව සිදුකළ විමර්ශනයකට අනුවයි. එම පැමිණිල්ලේ සඳහන් කරුණුවලට අනුව මියගිය තැනැත්තිය විසින් සිදුකර ඇති බරපතළ මූල්‍ය වංචා පිණිස මෙලොව පමණක් නොව පරලොවද ඇයට දඬුවම් හිමිවිය යුතුය.

පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කර සිටින තොරතුරුවලට අනුව කූට ලිපි ලේඛන සකස්කොට වෙනත් නම් ගම් යටතේ පෙනීසිටිමින් රුපියල් හයකෝටි අසූතුන් ලක්ෂ හතළිස් දහසක පමණ මුදලක් එලෙස වංචාකොට ඇත. සැකකාරිය විසින් කලක් තිස්සේ මෙම ජාවාරම සිදුකර තිබෙන අතර අංගොඩ, රාජගිරිය, වැල්ලම්පිටිය ආදී ප‍්‍රදේශයන්හි පදිංචි දුප්පත් කාන්තාවන් මුළාකොට ඔවුන්ගේ නම් ගම් ලිපිනයන් ආදිය යොදා ගනිමින් සිදුකර ඇති මෙම මූල්‍ය වංචාව හරහා සැකකාරිය විසින් රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 15 දක්වා ණය මුදල් ලබාගෙන ඇති බව ද මේ වනවිට අනාවරණය වී ඇත. එම මුදලින් ණය ඉල්ලූම්කරුවන් වෙත රුපියල් 50000ට නොවැඩි මුදලක් ගෙවා ඇති සැකකාරිය ඉතිරි මුදල් තමන් සන්තක කර ගනිමින් මෙම ජාවාරමේ යෙදී ඇත.

පසුගිය 11දා උදෑසන කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි සැකකාරිය ඊට පැය කිහිපයකට පෙර මෙලෙස පස්වැනි තට්ටුවෙන් පැන දිවි තොරකරගෙන ඇත. දැඩි ආරක්ෂක රැකවල්, මුරකාවල් මැද පසුවන අතරතුර ඇය වැසිකිළි කවුළුවෙන් බිමට පැන මියයෑම සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් පරීක්‍ෂණ ආරම්භකොට ඇත. සැකකාරියගේ ආරක්ෂාව පිණිස සිටි පොලිස් නිලධාරිනියන් විසින් සිය රාජකාරිය අතපසු කිරීමක් හේතුවෙන් මෙම මරණය සිදුවූයේද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීම පිණිස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ අධීක්‍ෂණය යටතේ එම පරීක්‍ෂණ කටයුතු සිදුවෙමින් ඇත.

කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ දැඩි ආරක්ෂක රැකවල් මැද පසුවන සැකකරුවන්, සැකකාරියන්ට දිවි හානිකර ගැනීමට ඉඩකඩක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තුළ නොමැති බවත් එවැනි තත්ත්වයක් තුළ සැකකාරිය පස්වෙනි මහලේ වැසිකිළි කවුුළුවකින් බිමට පැන මරණයට පත්වීම ‘පුදුමය’ උපදවනසුලූ ක‍්‍රියාවක් වන බවය.

මේ අතර සැකකාරියගේ මරණය සම්බන්ධයෙන් වන නිල නොවන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ මියගිය තැනැත්තිය මරණයට පත්ව ඇත්තේ සැකකාරියන්ට හිමි වැසිකිළියෙන් බිමට පැනීමෙන් නොවන බවය. එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ නිලධාරිනියන්ගේ පරිහරණය පිණිස ඉදිකොට ඇති වැසිකිළි කවුළුවකින් බිමට පැන සැකකාරිය විසින් සිය ජීවිතය තොරකරගෙන ඇති බවක්ය.

සිදුවීමෙන් අනතුරුව ඒ පිළිබඳ ආරම්භ කළ පොලිස් පරීීක්‍ෂණයේදී සැකකාර කාන්තාව වැසිකිළි කවුළුවෙන් බිමට පනින්නට තැත්කරන ආකාරය සියැසින් දුටු පොලිස් නිලධාරිනියක් පරීක්‍ෂණ නිලධාරීන් හමුවේ ප‍්‍රකාශ කර ඇත්තේ අදාළ කාන්තාව වැසිකිළි කවුළුවේ එල්ලී සිටින ආකාරය තමන් දුටුව බවත් ඒ සමඟම සැකකාරිය බේරා ගැනීම පිණිස තමන් විසින් උත්සාහ කිරීමත් සමගම සැකකාරිය පහළට පනින ආකාරය තමන්ට දර්ශනය වූ බවත්ය.

බරපතළ මූල්‍ය වංචාවක් සිදුකිරීම හේතුවෙන් ඉකුත් 10 දා කළුබෝවිල ප‍්‍රදේශයේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වන අප්සරා මැණිකේ ඊට පසුදින අලූයම 3.45ට පමණ මෙළොව හැර යන්නේ ඇය විසින් කරන ලද මූල්‍ය වංචාවේ දඬුවම ඇය විසින්ම භාරගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස ද එසේත් නැත්නම් වෙනත් හේතුවක් මතද යන්න පිළිබඳ තවමත් සමාජය තුළ පවතින්නේ පිළිතුරක් නැති පැනයක් ලෙසින්ය. දැනට සිදුකරන කඩිනම් පරීක්‍ෂණවල ප‍්‍රතිඵලයක් ලෙස අප්සරා මැණිකේගේ මරණය සම්බන්ධ ඇත්ත නැත්ත ඉදිරියේදී රට හමුවේ හෙළිදරව්වීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධව කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්‍ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර මියගිය සැකකාරිය භාරව සිටි පොලිස් නිලධාරිනියන් සම්බන්ධයෙන්ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ ප‍්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ව්‍යාජ රංගනයක යෙදෙමින් රුපියල් කෝටි 7කට ආසන්න මුදලක් වංචාකළ අප්සරා මැණිකේ පළමුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවටත් එම සිදුවීමෙන් රැයක් ගතවීමට මත්තෙන් තම ජීවිතය නැතිකර ගැනීමත් අතර කිසියම් හෝ සැකයකට තුඩුදෙන කරුණක් වේ නම් එය රටට හෙළිදරව් කිරීම තුළ අප්සරා මැණිකේගේ මරණයද සැකයකින් තොරව ඇගේ ගිණුමට බැරකළ හැකිය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment