පාසල් දහසක් වැහිලා – අගමැති දිනේෂ් ගුණවර්ධන

41

රට තුළ විද්‍යාල ඇරඹෙනවාට වඩා විද්‍යාල වැසීයෑමේ අභියෝගයට මුහුණ දෙන යුගයක් විදියට මේ කාල පරිච්ඡේදය හඳුන්වා දෙන්නට පුළුවන්. හිටපු අධ්‍යාපන ඇමතිවරයෙක් ලෙස අපිට තොරතුරු තියෙනවා 1000ට වැඩි විද්‍යාල ප්‍රමාණයක් අද වන විට වැසී ගොස් තියෙනවා යැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

බස්නාහිර පළාත් සභා ප්‍රතිපාදන මත සීතාවක අධ්‍යාපන කලාපයේ ඉළුක්ඕවිට කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකළ නව දෙමහල් ගොඩනැගිල්ල හා එළිමහන් රංග පීඨය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අගමැතිවරයා මේ බව කීය.

1961 එවක අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය පාසල් රජයට ගැනීමේ පනත ගෙන එනකොට රට තුළ විරෝධතාවක් ගොඩ නගන්නට ඇතැම් අය කටයුතු කළා. මගේ පියාත් මේ පනතට අත ඔසවපු පුද්ගලයෙක්. එදා මැතිනිය ඒ ගෙනා පනත නිසා මේ රටේ ලක්ෂ සංඛ්‍යාත දරුවන් පිරිසකගේ නිදහස් අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය දිනා දීමට හැකිවුණා. කන්නංගර මැතිතුමා ගෙනා නිදහස් අධ්‍යාපන වැඩපිළිවෙළට මැතිනිය හඳුන්වා දුන් මේ පනත මගින් විශාල ශක්තියක් එක් කලා කියලා කියන්න පුළුවන්.

පාසල් දහසක් වැහිලා - අගමැති දිනේෂ් ගුණවර්ධන

එදා මේ ග්‍රාමීය පාසල්වලට නවීන ගොඩනැඟිලි, පරිගණක විද්‍යාගාර වැනි නවීන පහසුකම් කිසිවක් තිබුනේ නෑ.පොල් අතු මඩු විදියට තිබුන මේ පාසල්වලට ආ ගුරු දෙවිවරු සියලු අපහසුතා මධ්‍යයේ මතු පරපුර වෙනුවෙන් තමන්ගෙන් විය යුතු යුතුකම නිවැරදි ලෙස ඉටු කළා. ඒ අඩු පහසුකම් සහිත පාසල් පද්ධතිය වෙනුවට වඩා ශක්තිමත් පාසල් පද්ධතියක් ලාංකීය දරුවන්ට උරුම කර දීම වෙනුවෙන් තමයි සිරිමාවෝ මැතිනිය 1961 මේ කියන පනත ගෙනාවේ. ලාංකීය දරුවන්ගේ අනාගතය වඩා දීප්තිමත් කිරීම වෙනුවෙන් අතීතයේ ගත් විවිධ ක්‍රියා මාර්ග වල ප්‍රතිඵලයක් ලෙස අද දවසේ අපි භුක්ති විදින අධ්‍යාපනය දැයේ දරුවන්ට උරුම කර දීමට අපිට හැකි වෙලා තියෙනවා.

අද මේ ඉළුක්ඕවිට විද්‍යාලයට ලැබෙන පහසුකම් එදා පළාත් ලේකම්වරයා ලෙස වර්තමාන රාජ්‍ය පරිපාලන ලේකම් ප්‍රදීප් යසරත්න මහතා මැදිහත් වෙලා ලබා දුන් දේවල් කියන දෙයත් මතක් කළ යුතුමයි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජයන්ත රෝහණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment