මස්කෙළියේ ගෝර්කි boys cricket match එක

මේ ගොර්කිවත්තේ ළමයින්ට සෙල්ලම් කරන්න අවුරුදු හතළිහක් තිස්සේ බලධාරීන් ළඟ පිට්ටනියක් ඉල්ලා අඬා වැටිලා තියෙනවා…

දැන් අපි ඉල්ලලා අඬා වැටෙන්නේ නෑ… තියෙන දෙයින් ප්‍රයෝජනයක් අරගෙන සතුටු වෙන්න බලනවා..

අපේ වත්තේ සෙල්ලං කරන්න එන කණ්ඩායම් අතරේ අවුරුදු දහතුනේ ඉඳලා අවුරුදු පනහ දක්වා පිරිස් එකතුවෙලා ඉන්නවා.

ක්‍රිකට් ගහන්න කැමතිම කෙනා ධනේෂ් …. ගහකින් වැටිලා කකුල කැඩුණා. දැන් එයා තමයි අපේ ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරක….

හැමදාම හවස අපි මෙතන සෙල්ලම් කරනවා. ඒ විතරක් නෙවෙයි අපි හැමෝම සල්ලි එකතු කරලා මාසෙකට සැරයක් වත්තේ මිනිස්සුන්ට කන්නත් දෙනවා…

අපි හිතනවාටත් වඩා අපූරු මිනිස්සු මේ රටේ ජීවත් වෙති. සිංහල ද දෙමළ ද මුස්ලිම් ද කිසිදු ජාති භේදයක් ඔවුන්ට වැදගත් නැත. ඇවිදින්නට හැකියාව ඇත්ද නැද්ද එයවත් ඔවුනට වැදගත් නැත.

ඔවුනට අවශ්‍යව තිබූ එකම දෙය හදවත තුළ ආදරය පිරී ඇද්ද නැද්ද යන්න පමණකි… හිත තුළ අනිකා පිළිබඳව දයාව කරුණාව සමගිය ඇද්ද නැද්ද යන්න පමණකි..

මේ අපූරු මිනිසුන් පිරිස හමුවූයේ කන්ද උඩරට වතුකරයේදීය. මස්කෙළිය ගෝර්කිවත්ත අංක දෙක වත්ත ප්‍රදේශයේ පදිංචි බාල තරුණ වැඩිහිටි වයස් භේදයකින් තොර තරුණ කැලක් බෑවුමක ක්‍රිකට් පිටියක් තනා තිබෙනු ඈත සිට දුටුවෙමි.

තරුණ පිරිසක් එහි රැඳී සිටිනු දුටු බැවින් අසලටම ගොස් බලන විට දුටුවේ හොඳින් සංවිධානය කරන ලද ක්‍රිකට් තරගාවලියකි.

….මේ ඇල්ලේ කොහොමද ක්‍රිකට් ගහන්නේ?…..?

ඒ වචන පෙළ මගේ මුවින් පිට වෙද්දීම අසල සිටි තරුණයෙක් කියා සිටියේ අපි ක්‍රිකට් ගහන්නේ මෙතන තමයි කියාය.

ඇයි මෙතන ක්‍රිකට් ගහන්නේ පිට්ටනියක් නැද්ද…..?

පිට්ටනි ඉල්ලා හඬා පලක් නෑ…ඇල්ලේ ගහමු ක්‍රිකට්…!
ක්‍රිකට් කණ්ඩායම

නෑ …. අපි පිට්ටනියක් ඉල්ලුවා අවුරුදු හතළිහක් තිස්සේ. ඒත් අපිට පිට්ටනියක් හදාගන්න තැනක් කවුරුවත්ම දුන්නේ නැහැ. සමහර කාලෙට ඡන්ද ඉල්ලන් එනකොටත් අපි මතක් කරා අපිට පිට්ටනියක් ඕනි කියලා. ඡන්දෙන් දිනුවම පිට්ටනියක් දෙන්නම් කියලා කියපු අය හිටියා. ඒත් ඡන්දෙ දිනලා ඒගොල්ලන්ගේ වැඩ කරගත්තා මිසක් අපිට පිට්ටනියක් ලබා දුන්නෙ නෑ…

වයස අවුරුදු පනස් පහකට කිට්ටු පෙනුමක් ඇති පුද්ගලයෙක් කියාගෙන ගියේය.

දැන් මොකක්ද මේ මැච් එක? හොඳින් සංවිධානය කොට කුසලාන කිහිපයක් මේසයක් මත තබා තිබූ බැවින් මම විමසුවෙමි.

මම එම්. එස්. ධනු. මම තමයි මේක සංවිධානය කළේ… අපිත් එක්ක ඉස්සර හවසට ක්‍රිකට් ගහපු යාලුවෙක් හිටියා සුජේන්ද්‍රන් කියලා. එයා 2019 මැයි 11 වතුරෙ ගිලිලා මැරුණා. මේ වත්තේ හැම එකකටම දුවල පැනල වැඩ කරපු සුජේන්ද්‍රන් අපේ හොඳ යාළුවෙක්..

එයා මැරුණ දවසේ ඉඳලා අපි මේ වෙනකන් හැම අවුරුද්දකම සය සාමාජික පන්දු වාර පහක ක්‍රිකට් තරගයක් පැවැත්තුවා. අපි මේ මැච් එකට කියන්නේ සුජේන්ද්‍රන්ගේ මැච් එක කියලා. මොකද අපි හැම මාසෙකට සැරයක්ම මේ විදිහේ මොකක් හරි හේතුවක් මත ක්‍රිකට් මැච් එකක් තියනවා. ඒ විතරක් නෙවෙයි හැමදාම හවසට සෙල්ලම් කරනවා, සෙනසුරාද ඉරිදා හවස් වරුවෙම ජරසජනැඑ ප්එජය තියනවා.

අපිට පිට්ටනියක් නෑ කියල අපි දුක්වෙන්නේ නෑ. මේ ලැබිලා තියෙන තැන අපිට ඉහටත් උඩින්. ඇල්ලෙ ක්‍රිකට් ගහන එකෙත් පොඩි ජොලියක් තියෙනවා. හයේ පාරක් ගහලා බෝලෙ උඩට යනකොටම ඇල්ල උඩ ඉන්න ක්‍රීඩකයෙක් බෝලේ අල්ලනවා.

තවත් වෙලාවක ඇල්ලේ උඩ පන්දුව රැකපු කෙනෙක් වැඩි කරදරයක් නැතුව කඩුල්ලට බෝලේ එවලා විකට් එකක් ගන්නවා.

තවත් වෙලාවක ඇල්ල උඩ ඉඳලා තණතිල්ලට (pitch එකට) දාන බෝලේ පල්ලමට යනවා. සමහර වෙලාවට අපි මේවට හරියන ලකුණු මට්ටම් හදාගන්නවා මොකද පල්ලමට බෝලේ ගිහාම වෙලාවකට ජලාශ පැත්තටම යනවා.. ඒ වෙලාවට හරිම විනෝදයි. ඇත්තටම වත්තේ අපි හරිම විනෝදෙන් ඉන්නවා කියලා මට හිතෙනවා. අවුරුදු දහතුනේ ඉඳන් ඉස්කෝලෙ යන ළමයිත් අපිත් එක්ක සෙල්ලම් කරන්න එනවා හවසට. ඒ අය මුලින්ම කරන්න ඕනේ බෝලෙ අහුලන එක. ඊට පස්සේ තමයි අපි කණ්ඩායමක් හදලා ඒගොල්ලන්ට ටීම් එකක් කියන තැනට එන්න අවසර දෙන්නේ. මේ ඇල්ලේ බෝලෙ අල්ලන එකත් වෙනම අත්දැකීමක්..

ධනු කියා සිටියේය.

පිට්ටනි ඉල්ලා හඬා පලක් නෑ…ඇල්ලේ ගහමු ක්‍රිකට්…!

තරගාවලිය යන අතරතුර විටින් විට ක්‍රිකට් ක්‍රීඩා විචාරයක් සිද්ධවෙන අයුරුද දක්නට ලැබිණි. සාමාන්‍ය ක්‍රිකට් ක්‍රීඩා විචාරයකට සමාන හඬකින් හඬ උස් පහත් කරමින් අපූරුවට ක්‍රිකට් ක්‍රීඩා විස්තරය ගෙන එන පුද්ගලයා කවුදැයි විමසීමි.

“ඒ තමයි ධනේශ්. එයාටත් කරදරයක් සිද්ධ වුණා. මීට අවුරුදු දෙක තුනකට කලින්. ධනේෂ් ක්‍රිකට් ගහන්න හරිම කැමති කෙනෙක්. ඉස්සර එයා තමයි හවසට කට්ටිය එකතු කරගෙන මෙතෙනට ඇවිල්ලා ක්‍රිකට් ගහන්නේ. කෙටියෙන් කිව්වොත් ක්‍රිකට් ගැන උණක් තියෙන කෙනෙක්. ඔය ඉන්න අතරේ දර කඩන්න ගිහිල්ලා ගහකින් වැටිලා මෙයාගේ කකුල කැඩුණා. ඉස්පිරිතාලේ ඉඳලා කරදර ගොඩක් වෙලා යන්තම් මාස ගාණකට පස්සේ මෙයාට හොඳ වුණා. දැන් එයා wheelchair එකේ අපිත් එක්ක එහෙ මෙහෙ යනවා.

හැමදාම හවසට වුණත් අපි ධනේශ්ව මෙතෙන්ට අරගෙන එනවා හවසට මැච් එකක් ගැහුවත් ධනේශ් විස්තර විචාරයක් කරල සතුටු වෙලා අපි එක්ක කාලෙ ගත කරනවා. අපි ධනේෂ් නැතුව කොහෙවත් යන්නේ නෑ… ධනූ කියා සිටියේය.

එය ඇසූ සැණින් මම ධනේශ් වෙත ගියෙමි. ඔහු නිතර සිනහමුසු මුහුණකින් පසුවන අයකු බව දැන ගතිමි. කොහොමද ධනේශ්? මට කියන්නට සිදු වූයේ එපමණකි. ඔහු ඔහුගේ විස්තරය ඔහේ කියාගෙන ගියේය.

“අද කණ්ඩායම් හයක් සෙල්ලම් කරනවනේ. ඉතින් මට වැඩ වැඩියි. මේ කාගේ හරි නමක් කියවුණේ නැත්නම් ඒ අයට දුක හිතෙයි කියලා මම බොහොම ප්‍රවේසමෙන් මේ විස්තරේ කියනවා. ගෝර්කි ඉදහි කියන නම කණ්ඩායමට වැටුණේ මේ විස්තර විචාරය නිසාමයි. මොකද මම මේ අයව හඳුන්වන්නෙ ඒ නමින්. දැන් මං අවුරුදු දෙකක් විතර විස්තර ගේන වැඩේ කරනවා. ඉස්සර මමත් මේ අය වගේ දුවලා පැනලා ක්‍රිකට් ගැහුවා. දැන් ඉතින් කකුල කැඩිල නිසා ඒක කරන්න බැහැනේ. නමුත් මට දුකක් නැහැ.

මේ හැමෝම එදා වගේම අදටත් මට හරිම ආදරෙයි මාව දාලා කොහෙවත් යන්නේ නෑ. වෙලාවකට ගෙදර ඉඳලා මම එන්න බෑ කිව්වත් මාව දාලා එන්නේ නෑ. පුටුවෙ තියාගෙන උස්සගෙන හරි මෙතනට අරගෙන එනවා….”

“කොහොමද ධනේශ් ගේ ගෙදර විස්තර…” මම ඇසුවෙමි.

අම්මයි අක්කයි මල්ලිල දෙන්නයි තමයි ගෙදර ඉන්නේ. මම විවාහ වෙලා පුතෙකුත් ඉන්නවා. නෝනයි පුතයි මමයි අපි තුන්දෙනත් ඒ ගෙදර ඉන්නවා. ඇවිදින්න බැරි වුණත් මම නිකන් ඉන්නෑ. මොනවා හරි කරලා කීයක් හරි හොයන්න තමයි බලන්නේ. අක්කලා මල්ලිලා වත්තේ වැඩට යනවා. නෝනත් එහෙමයි. ඇත්තටම අපි සතුටින් ඉන්නවා. මට ජීවිතයේ වැදගත් වෙන්නෙ සතුට විතරයි… මට මෙහෙම වුණා කියලා මම දුක්වෙන්නේ නෑ. මොකද සමහර මිනිස්සු මීට වඩා ලොකු කරදරවලට මුහුණ දීලා දුක් විඳිනවා මම අහලා තියෙනවා දැකලා තියෙනවා. මට වෙන්න තිබ්බ දෙයක් වෙන්න ඇති. දුක් වෙන්න වෙලාවකුත් නැහැ, මොකද මේ අපේ වත්තේ කවුරු හරි එහෙ මෙහෙ යද්දිත් මාව බලන්න එනවා. කතා කරනවා අඩුපාඩු හොයනවා. ඇත්තටම ඉතින් අපි සතුටින් ඉන්නවා.” ධනේශ් කීවේය..

ගෝර්කිවත්ත රටටම ආදර්ශයක් නොවෙද. උදේ පටන් ඇති පදමට මහන්සි වී අතට කීයක් හරි හොයා ගන්නා මේ වතුකර ජනතාව සවස් කාලයේ වෙහෙස නිවා ගන්නට එකමුතු වී සෙල්ලම් කරමින් එකිනෙකා අතර ඇති බැඳීම් තව තවත් වර්ධනය කර ගැනීමටත් සහයෝගයෙන් එකිනෙකාගේ දුක සතුට බෙදා ගැනීමටත් කටයුතු කිරීම මොනතරම් නම් අපූරුද….? ඒ සිතිවිලිවලින් මිදීමටත් ඉඩක් නොතබා මා අසලට පැමිණියේ ගෝර්කි වත්තේ මිනිසුන් අතර තවත්වාගෙන යන ගෝර්කි සමිතියේ සභාපති සංජය කුමාර් මහතාය.

“අපි ක්‍රිකට් ගහනවා විතරක් නෙවෙයි.. වත්තේ තව තව වැඩ කරනවා.. අපිට පුළුවන් විදියට අපි සල්ලි එකතු කරලා ෆන්ඩ් එකක් (ඉතිරියක්) හදාගෙන ඉන්නේ. වත්තෙ කාටහරි කරදරයක් වුණොත් අපි ඔක්කොම එකතුවෙලා එයාලට උදව් කරනවා. තව දෙයක් කාගෙ හරි මළ ගෙයක් උත්සවයක් එහෙමත් නැත්තං මියගිහින් වසරක් දෙකක් තුනක් යන දිනයක් වගේ දේවල් සිහිකරන්නට වුවමනා වෙන වෙලාවක් වුණහම අපි එකතු කරපු සල්ලි වලින් අපි ගමටම කන්න දෙනවා. අදත් අපි ලෑස්ති කරල තියෙන්නෙ මේ ක්‍රිකට් මැච් එක ඉවර වෙලා ගමටම කන්න දෙන්න. සුරේන්ද්‍රන් මතක් කරලා එයාට පින් දෙන්න.

තවත් වෙලාවල් තියෙනවා වත්තේ ජීවත් වෙන අයට කරදර සිද්ධ වෙන. සමහර අයගේ ගෙවල්වල වහළවල් හුළඟට ගහගෙන යනවා. ගස් කඩාගෙන වැටෙනවා එහෙම අනතුරක් සිද්ධ වෙන වෙලාවට මේ පිරිමි අසූවම එකතු වෙනවා. එකතුවෙලා අපි ඒ අයව කරදරයෙන් මුදාගන්න පුළුවන් තරම් වැඩ කරනවා. වහළවල් හදලා දෙනව, ගස් කපලා අයින් කරලා සුද්ද කරනවා.. වෙලාවකට මටත් හිතෙනවා අපි හැමෝම එකතු වුණේ කොහොමද කියල. අපිට කලින් මේ වත්තේ ජීවත් වුණ වැඩිහිටි පිරිස තමයි අපිට මේ එකමුතුව ගැන කියලා දීලා තියෙන්නේ. හැමෝම එකතු වුණහම ලොකු හයියක් තියෙනවා.

මේ ක්‍රිකට් ක්‍රීඩාව සෙල්ලම් කරන විදිහ වුණත් බලන්න ලංකාවේ කොහෙවත් නැතුව ඇති මෙහෙම ඇල්ලක ක්‍රිකට් ගහන පිරිසක්. මේ අය මේ වත්තෙම රැකියා කරන අය. සමහරු වත්තේ වැඩ කරනවා. සමහරු රියැදුරන් විදිහට වැඩ කරනවා. සමහරු ගෙවල්වල ඉන්නවා. සමහරු ඔය ප්‍රයිවට් බස්වල වැඩ කරනවා.. ඒත් කා අතරවත් කිසිම භේදයක් නෑ. හැමෝම එකා වගේ ඉන්න තමයි උත්සාහ කරන්නේ. මං හිතන්නේ හැමදාම සෙල්ලම් කරන එකත් සමගියට උදව්වක් වෙන්න පුළුවන්. මොකද ජය පැරදුම නේ සතුට සිනහව මේ හැමදේම අපි අතරේ තියෙනවා. ඒ වගේම පුංචි අයත් මේකට එකතු කරගෙන ඉන්න නිසා වැඩිහිටි කවුරුත් වරදක් කරන්න පෙළඹෙන්නේ නැහැ. පොඩි අයත් ඉස්කෝලෙ ඇරිලා ගෙදර ඇවිල්ල වැඩ කරලා හවසට මෙතෙන්ට දුවගෙන එනවා ඒක දැන් පුරුද්දක් වෙලා…” සංජය කුමාර් කියා සිටියේය.

ක්‍රිකට් යනු ධනපති පංතියේ ක්‍රීඩාවක් බවට මතයක් තිබිණි. එහෙත් මස්කෙළියේ ගෝර්කි වත්තේ දමිළ ජනතාව වෙසෙන අපූරුව දුටු කල ඒ මතය සැණින් බිඳී යන්නේය.

මේ පිරිස සෙල්ලම් කරන ක්‍රිකට් තරගාවලි තුළ ද තණ තීරුවක් ඇත. පා ඉන්නක් පිට ඉන්නක් ඇත. දුවද්දී දැවී යෑම්, උඩ පන්දු රැක ගැනීම්, පා ආවරණයේ වැදී කඩුලු බිඳ වැටීම්, කඩුල්ල බිඳ දැමීම්, ලකුණක් කරා දිවයෑම්, හයේ පහර, හතරේ පහර මේ සියල්ලක්මද ඇත. වෙනසකට ඇත්තේ සමතලා බිමක පිහිටි පිට්ටනියක් නැතිවීම පමණකි.

ඔවුන් අතර බොහෝ දෙනාට සිංහල භාෂාව කතා කළ හැකිය. ඉංග්‍රීසි භාෂාවද කතා කළ හැකිය. දමිළ භාෂාව ඉතා හොඳින් කතා කළ හැකිය. සියල්ලෝම එකතුව සතුටු වන අපූරුව දුටු විට සතුට ඇති කරන්නට ජාති භාෂා ආගම් කිසිවක් වුවමනා නැති බව තහවුරු වන්නේය.

අසූවක පිරිසක් වන ගෝර්කි වත්තේ පිරිමි කණ්ඩායම හැකි අයුරින් හෝ හඳුන්වාදීම මගේ යුතුකමක් කොට සලකමි.

දයාලන්, ජගත්, ධනු, සෝල්, රාගු, සංජය කුමාර්, ශිවා, කෝබි, ගුණාඊ, විෂ්ණු, හම්සන්, සූරියා, රවී, නිශාන්තන්, අරොල් රාජ්, චන්ද්‍ර කුමාර්, මෝගන්, ගුණසීලන් ඩිෂාන්, කවීර්, පවිත්‍රන්, ධනේශ්, සිරි කුමාරන්, වඩිවේල්, අරවින්ද කුමාර්, හරිප්‍රසාන්, අරිස්, කුමාරන් ඇතුළු තවත් පිරිසක් මේ අසූවේ කණ්ඩායමට අයත් වෙති.

සැබැවින්ම ඔවුන් කයෙන් මෙන්ම මනසින්ද ශක්තිමත්ව සිටිති.

ජීවිතයේ නොලැබෙන දේ පසුපස හඹා යමින් දුක් වෙනවාට වඩා හිමිව ඇති දෙයින් පලක් ප්‍රයෝජනයක් ගෙන සතුටු වීම තුළ යහපත් මිනිසුන් සමූහයක් එක්කාසු වන බව ඔවුහු රටට කියති. එබැවින්ම මේ ගෝර්කි වත්තේ ගෝර්කි ඉදහි කණ්ඩායම රටට ආදර්ශයකි…

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment