පිතිකරුවන් සියලු දෙනා පරාජයට වගකිව යුතුයි

361

තරගයේ හැරවුම් ලක්‍ෂ්‍යය ෆර්ගසන් පිට පිට ලබාගත් කඩුලු තුනයි
චරිත් අසලංක පරාජයට හේතු කියයි
ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි – 20 තරගාවලිය

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 2කින් සමන්විත විස්සයි – 20 තරගාවලියේ දෙවැනි සහ අවසාන තරගයෙන් ලකුණු 5ක තියුණු ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 19යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 108ක් ලබාගැනීමට සමත්වූ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගැනීමට හැකියාව ලැබුණේ පන්දු වාර 19යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 103ක් පමණක් වීම හේතුවෙන් ලකුණු 5ක තියුණු ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායමට හැකිවිය.

ඒ අනුව තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයෙන් අවසන්විය.

තරගාවලිය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක මෙසේ ද පැවසීය.

මම හිතන්නෙ ඒගොල්ලන්ගෙ දක්‍ෂ පන්දු රැකීමත්, පන්දු යැවීමත් තමයි තරගයේ ජයග්‍රහණයට ගොඩක් බලපෑවෙ. මම හිතනව ගොඩක් අත්දැකීම් තියෙන කණ්ඩායමක් ලෙස අපේ කණ්ඩායමට මම ඇතුළුව අනෙක් පිතිකරුවන්ට තව ටිකක් හිතන්න තිබුණ. අපි පන්දුවට පහරදීමට යනකොටත් කතා වුණ අඩු ලකුණු සංඛ්‍යාවක් වුණාට ලේසියට ගන්න එපා කියල. නමුත් මේ වගේ දවස් එන්න පුළුවන්.

විස්සයි – 20 තරගයක සහ එක්දින තරගයක අතිරේක ලකුණු ලබාදීම අවම කරන්න ඕන. අපි ටීම් මීටින්වලදි වුණත් ඒක ගොඩක් කතා කරනවා. කලින් තරගයෙදිත් අතිරේක ලකුණු ටිකක් වැඩිපුර ගියා. මේ තරගයෙදිත් අපි කතා වුණේ අතිරේක ලකුණු අවම කරමු කියල, නමුත් කණ්ඩායමක් ලෙස මීට වැඩිය දෙයක් පන්දු යැවීමකින් බලාපොරොත්තු වෙන්න අමාරුයි. මොන තණතිල්ලක වුණත් කණ්ඩායමක් ලකුණු 108කට සීමා කරනව කියන්නෙ ඉතාම හොඳ දෙයක්. මම හිතන්නෙ මම ඇතුළුව පිතිකරුවන් සියලු දෙනා පරාජයේ වගකීම භාරගන්න ඕන.

මම මගේ ඉන්න හොඳම පන්දු යවන්නන් යෙදෙව්ව. විශේෂයෙන් දඹුල්ල තණතිල්ලෙ බෝලෙ ටිකක් සෙල්ලම් කරනකොට ටිකක් ලේසි ගතියක් එනව පිතිකරුවන්ට ක්‍රීඩා කරන්න. ඒකොල්ලෙ පිතිකරණයෙත් හොඳට යෙදුන, විශේෂයෙන් අවසාන පිතිකරුවො ඇවිල්ල ලකුණු 15- 20 ගත්ත. ඒ වුණාට ලකුණු 108ක් කියන්නෙ ලේසි ලකුණු සංඛ්‍යාවක්. ඒක අපිට ලබාගන්න බැරිවුණා.

දැන් තියෙන තරගාවලිවලින් වැදගත්ම තරගාවලිය තමයි ටෙස්ට් ලෝක ශූරතාවය. වාසනාවට වගේ අපේ ටෙස්ට් කණ්ඩායමේ පමණක් ක්‍රීඩා කරන ක්‍රීඩකයො කීප දෙනෙක් ඉන්නව. විස්සයි – 20 සහ ටෙස්ට් ක්‍රීඩා කරන ක්‍රීඩකයො කීප දෙනෙක් ඉන්නව. අද ඉඳන් ඒකොල්ලෙ එකතු වෙනව ටෙස්ට් සංචිතයට. ඒකොල්ලෙ කලින් දකුණු අප්‍රිකාවට ගිහින් පුහුණුවීම්වල යෙදෙනව. ඒ පුහුණුවීම්වලට යන්න බැරි වෙන්නෙ කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු සහ පැතුම් නිශ්ශංකට විතරයි. ඒ අයට ගොඩක් අත්දැකීම් තියෙනව. ඒ අයට ඒ තරග රටාවට අනුගත වෙන්න පුළුවන් වෙයි ඉක්මනට. ඒ හතර දෙනාගේ මූලික බලාපොරොත්තුව තමයි එක්දින තරගාවලිය හොඳින් ඉවර කරන එක.

ලකුණු ගහන්න අමාරු තණතීරුවක් කියල මම පිළිගන්නව. අපි නිතරම කතා කරන්නෙ හරි තීරණ ගන්න ඕන හැම තිස්සෙම. එංගලන්තයට, ඔස්ටේ්‍රලියාවට වගේ ගියාම අපිට හම්බවෙන්නෙ දෝලනය වෙන තණතිලි. ඒවගෙත් ලකුණු ගහන්න අමාරුයි. ඒ තණතිලිවල සෙල්ලම් කරනකොට අපි හරි තීරණ ගන්න ඕන. ඒ වගේම තමයි ලංකාව, බංග්ලාදේශය වගේ තණතිලි ගොඩක් දඟ කැවෙනව. අපි හැම තිස්සෙම බලන්න ඕන කොයි වෙලාවෙත් ලකුණු ගහන්න. මෙහේ සෙල්ලම් කරන කොට ස්විප් සහ රිවර් ස්විප් ගොඩක් ගහන්න වෙනව. අනෙක් රටවල ගහද්දි ගොඩක් මේ පහරවල් ගහන්නෙ නෑ. ඒක නිසා අපි හිතල තීරණය කරන්න ඕන කොයි විදියටද ක්‍රීඩා කරන්න ඕන කියල. අපිට මේ තණතීරුවල ලකුණු 200ක් බලාපොරොත්තු වෙන්න බෑ, නමුත් 160-170 වගේ ලකුණු සංඛ්‍යාවක් අපිට ගහන්න පුළුවන් කියන මතයෙ තමයි මම ඉන්නෙ.

වනිඳු හසරංග සහ මහීෂ් තීක්‍ෂණ කියන්නෙ නවසීලන්තයෙ ඉන්න දඟ පන්දු යවන්නන්ට වැඩිය උඩින් ඉන්න දෙන්නෙක්. මම හිතන්නෙ අපේ කණ්ඩායම ගොඩක් වෙලාවට තරග දිනන්නෙ දඟ පන්දුවෙන්. අද තරගය ගැන කතා කළොත් සම්පූර්ණ වගකීම මම ඇතුළුව පිතිකරුවන් භාරගන්න ඕන. කොහොම හරි ඉදිරියෙදි බලාපොරොත්තු වෙනව මේ වගේ තරග ජයග්‍රහණය කරන්න.

මම හිතන්නෙ ලොකී ෆර්ගසන්ගෙ පිට පිට ලබාගත් කඩුලු 3 තමයි තරගය වෙනස් කළේ කියල. කුසල් පෙරේර, කමිඳු මෙන්ඩිස් සහ මම පන්දු 3කින් දැවී ගිය. අපේ ඉන්න වමත් පිතිකරුවන් තුන් දෙනෙක් පන්දු 3ක් තුළ දැවී යෑම තරගයට ලොකු බලපෑමක් කළා. මම හිතන්නෙ තරගයේ ටර්නින් පොයින්ට් එක තමයි ඒක.

මම දැනට බලාපොරොත්තු වෙනව කුසල් මෙන්ඩිස් එක්දින තරග ක්‍රීඩා කරයි කියල. ඔහු මේ වන විට සූදානමින් ඉන්නෙ එක්දින තරගාවලියට.

සිසිර ඉන්ද්‍රජිත්


advertistmentadvertistment