අද මරනවා පරිස්සම් වෙයං sms එකකුත් එවලා
ඝාතන කොන්ත්‍රාත්තුව ලක්ෂ 50යි
රත්ගම විදුරගේ කුඩු හොරකම වහන්න මස්සිනාවත් මරලා
‘අතකොටා’ නමින් හැඳින් වූ කාලකණ්නි අපරාධකාරයකු සිය සහචරයන් පිරිසක් ද සමග දැරණියගල ප්‍රදේශයේ ගම්මානයක අහිංසක ජනතාව භීතියට පත් කරගෙන වෙනම රාජ්‍යයක් පවත්වාගෙන ගියහ.
කෑගල්ල ප්‍රදේශයේ කුප්‍රකට දේශපාලනඥයකුගේ සහ උගේ පුත්‍රරත්නයේ ආශිර්වාදය ලබමින් දැරණියගල පොලිසියේ ද රැකවරණය ලබමින් අතකොටා ඇතුළු පාතාල මැරයන් මේ ප්‍රදේශය පුරා දැඩි භීෂණයක් පවත්වාගෙන ගියහ.
අතකොටාගේ පාලනයට එරෙහිවූ වතු අධිකාරිවරයකු ඉතාම ම්ලෙච්ඡ ආකාරයට ඝාතනය වන්නේ මේ අතරතුරදීය. පණපිටින් සිටියදීම වතු අධිකාරිවරයාගේ පුරුෂලිංගය කපා ඉවත් කර ඔහු ජීප් රථයක පසුපස බැඳ දමා මියයනතුරුම වතුයායේ අතුරුමාර්ග දිගේ ඇදගෙන යන්නට තරම් අතකොටා ඇතුළු සහචරයන් ම්ලෙච්ඡ තත්ත්වයට පත්ව සිටියහ.
‘අතකොටා’ පිළිබඳව පොලිසියේ ඇස් ඇරෙන්නේ ද මේ කාලකණ්නියා පිළිබඳව රටම දැන ගත්තේ ද මේ සහසික ක්‍රියාවෙන් පසුවය. මේ වනවිට අතකොටා සහ උගේ සහචරයන් මරණ දඬුවම බුක්ති විදිමින් සිටිති.
මේ ආකාරයටම වෙනම රාජ්‍යයක් පවත්වාගෙන යමින් අහිංසක ජනතාව භීතියට පත් කරගෙන හා තමන්ට රිසිසේ පාලනයක් ගෙන යන කාලකණ්නීන් රැලක් පිළිබඳ තොරතුරු පසුගිය දිනවල දෙවුන්දර ප්‍රදේශයෙන් කරලියට ආවේය. ‘දෙහිගෙදර පැටිකිරිය’ යන අනවර්ථනාමයෙන් හඳුන්වන පාතාල මැරයන් කණ්ඩායමක් පිළිබඳ තොරතුරු රටම දැන ගන්නේ දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිටදී තරුණයන් දෙදෙනෙක් ඉතාම සහසික අන්දමින් වෙඩි තබා ඝාතනය කිරීමත් සමගය.
දෙහිගෙදර නමින් හඳුන්වන පාතාල මැරයන් ද දේශපාලනඥයන්ගේ පොලිසියේ රැකවරණය ලබමින් දෙවිනුවර වෙනම රාජ්‍යයක් පවත්වාගෙන ගියහ. කොටින්ම උන්ගේ අණසකට ඉහළින් කපුටෙකුටවත් පියාසර කළ නොහැකි තත්ත්වයක් මේ ප්‍රදේශය තුළ පැවතීමෙන් මේ තරුණයන් දෙදෙනා ඝාතනය වන්නේ ද එහි ප්‍රතිඵලයක් ලෙසය.
අදින් වසර 25කට පමණ උඩදි දෙවුන්දර ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වෙමින් එක්තරා පවුලක් ජීවත් වූහ. මේ පවුල හැඳින්වූයේ දෙහිගෙදර කියාය. දෙහිගෙදර පවුලේ ඥාතීන් විශාල පිරිසක් ද මේ ප්‍රදේශයේම ජීවත්වූහ. “දෙහිබාලේ” මේ පවුලේ ප්‍රධානියා වුණේය.
දුප්පත්කම නිසාම මේ දෙහිගෙදර පවුල ධීවර කර්මාන්තයට අමතරව විවිධ ජාවාරම්වල ද නිරත වූහ. ජාවාරම්වලට අමතරව පුංචි පුංචි සොරකම් මෙන්ම දාමරික වැඩ ද කරමින් මුදල් උපයන්න පටන් ගත්හ.
දෙහිබාලේගේ දරුවන් උස්මහත් වෙද්දී මේ තත්ත්වය එන්න එන්නම දරුණු අතට හැරෙන්නට වුණේය. ඒ වනවිට දෙහිගෙදර දාමරිකයන්ගේ ලැයිස්තුවට 300කට අධික මැරයන් පිරිසක් එක්ව සිටියහ.
මේ දෙහිගෙදර පවුලේ මැරයන්ට එරෙහිව වචනයක් කතා කරනවා තබා ඔවුන් දෙසවත් බැලුවේ නම් ඒ පුද්ගලයාට සිදුවන්නේ බඩකටපුරා ගුටි කෑමටය. ඒ තරමටම මේ මැරයන් දෙවුන්දර ප්‍රදේශපුරා සිය ආදිපත්‍ය පතුරුවා හරිමින් සිටියහ.
පොල් ගෝනියෙන් ඇරඹුණු දෙවුන්දර ඝාතන රැල්ල
ඝාතනයට ලක්වූ තරුණයන් දෙදෙනා
ඉකුත් 2004 වර්ෂයේදී සිදුවූ එක්තරා සිදුවීමකින් පසු දෙවිනුවර මිනීමරුවන්ගේ දේශයක් බවට පත් වුණේය. දෙවිනුවර විෂ්ණු දේවාලය අසල පවත්වන සතිපොළේ පොල් විකුණන ඇස් අන්ධ අහිංසක පුද්ගලයකුට සිදුවූ අසාධාරණයක් ඊට හේතු විය.
මේ ඇස් අන්ධ පුද්ගලයා විකිණීමට රැගෙන ආ පොල්ගෝනියක් දෙහිබාලේගේ පවුලේ සාමාජිකයන් විසින් මහ දවල් කොල්ලකාගෙන ගියහ. ඇස් අන්ධ අසරණ මනුස්සයාට සිදු වූ අසාධාරණය එක්තරා තරුණයකු දුටුවේය. ඔහු නමින් ධනුෂ්ක නම් විය. අසාධාරණයට ලක්වූ ඇස් අන්ධ පුද්ගලයා ධනුෂ්කගේ හොඳම මිතුරා වූ ලක්රුවන්ගේ සීයාය. සිදුවූ අසාධාරණය දුටු ධනුෂ්ක දැඩි ලෙස කෝපයට පත්ව දෙහිබාලේගේ නිවසට කඩාවැදුණේය. “යකෝ බලු වැඩ කරන්න එපා. ඒ අහිංසක අන්ධ මිනිහා ජීවත්වෙන්නේ පොල් විකුණලා. තොපි මේ තරම් පහත් මිනිස්සු ද ඒ අහිංසකයගේ පොල් ගෝනිය කොල්ලකන්න.” කෝපයෙන් කෑගෑසු ධනුෂ්ක දෙහිබාලේගේ ගෙදර තිබූ පොල්ගෝනිය කර තියාගෙන ආවේය. එය නැවතත් ඇස් අන්ධ සීයා වෙත භාරදුන් ධනුෂ්ක එතැනින් පිටව යන්නේ දැඩි කෝපය මුසු කළකිරීමකින් යුතුවය.
මේ සිදුවීම දෙවුන්දර මිනිස් ඝාතන ගණනාවක් දක්වා දුරදිග යනු ඇතැයි ධනුෂ්ක එදා සිහිනයකින් හෝ සිතුවේ නැත. මේ සිදුවීම දෙහිබාලේ ඇතුළු සහචරයන් දෙවුන්දර ප්‍රදේශය පුරා පතුරුවාගෙන සිටි අණසකට දැඩි බලපෑමක් එල්ල කිරීමට සමත් වුණේය.
ධනුෂ්කට අමතක නොවන පාඩමක් උගන්වන්න ඕනෙ නැත්නම් ඒක අපේ තත්ත්වෙට හොඳ නැහැ. දෙහිබාලේ තම ඥාති මැරයන් සමග මේ ගැන සාකච්ඡා කළේය. ටික කාලයක් ගත වුණේය. ධනුෂ්කට දෙහිගෙදර මැරයන්ගෙන් දිගින් දිගටම තර්ජන එල්ල වන්නට විය. මේ තර්ජන නිසාම ධනුෂ්ක දෙවුන්දර සිය උපන්ගම අතහැර කොළඹට ආවේය.
2005 වර්ෂයේ ජූලි මස 23 වැනිදා ධනුෂ්ක කොළඹ සිට දෙවුන්දරට එන්නේ සිය මිතුරකුගේ මංගල උත්සවයකට සහභාගිවීම සඳහාය. මේ මංගල උත්සවයට දෙහිගෙදර මැරයන් පිරිසකට ද ආරාධනා ලැබී තිබිණි. මංගල උත්සවයේදී ධනුෂ්ක කොටු කරගත් දෙහිගෙදර මැරයන් ඔහුට පහර දුන්හ. ඒ පහරදීම සිදුවන්නේ ඊට වසරකට පමණ උඩදී සිදුවූ පොල් ගෝනිය සොරාගැනීමේ සිද්ධිය මුල්කරගෙන ඇති වූ වෛරය නිසාය.
දෙහිගෙදර මැරයන්ගෙන් ගැළවුණු ධනුෂ්ක ප්‍රදේශයේ තම මිතුරකුගේ නිවසට යන්නේ සිය ආරක්ෂාව සඳහාය. එහෙත් සිදුවූයේ කිසිවකුත් නොසිතූ දෙයකි. මේ නිවසට කඩා වැදුණු දෙහිගෙදර පාතාල මැරයන් පිරිසක් ධනුෂ්ක කපා කොටා ඉතාම කෲර අන්දමින් ඝාතනය කළහ.
ධනුෂ්කගේ මිතුරකු වූ අජිත් ද එහිදී මේ මැරයන්ගේ ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලැබුවේය. අජිත් මාතර රෝහලට ඇතුළත් කෙරිණි. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අජිත් මරා දැමීමට දෙහිගෙදර මැරයන් පිරිසක් එහි කඩා වැදුණේය. මේ බව කල්තියා දැනගත් අජිත් තම අසාධ්‍ය තත්ත්වය පසෙක තබා මාතර රෝහලෙන් පැන ගොස් දිවි ගලවා ගත්තේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ ගන්දර පොලිසිය දෙහිගෙදර මැරයන් පිරිසක් අත්අඩංගුවට ගත්හ. මැරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණේය. ධනුෂ්ක ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධානම ඇසින් දුටු සාක්ෂිකරු බවට පත්ව සිටියේ අජිත්ය. තවත් සාක්ෂිකරුවන් කියා දෙදෙනෙක් සිටිය ද ඔවුන්ට එල්ල වූ මරණ තර්ජන හමුවේ ඒ සියලුදෙනා නිහඬ වූහ.
අජිත් ලබාදුන් ඇසින් දුටු සාක්ෂි මත දෙහිගෙදර මැරයන් තිදෙනකුට මරණ දඬුවම නියම කෙරිණි. මේ සිද්ධිය දෙහිගෙදර පාතාල මැරයන් වෙත එල්ල වූ මරුපහරක් විය. දෙහිගෙදර මැරයන් අජිත් ලුහුබඳින්න වුණේ ඔහු ඝාතනය කර වෛරය පිරිමසා ගැනීමටය.
මේ අතරතුර ධනුෂ්කගේ වැඩිමහල් සොහොයුරුට විෂ්ණු දේවාලය අසල ක්‍රීඩාංගණයේදී වෙඩි තැබීමට දෙහිගෙදර මැරයන් කටයුතු කළේය. ඒ 2008 ජූලි 10 වැනිදාය. වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලැබුව ද ධනුෂ්කගේ සොහොයුරු දිවි ගලවා ගත්තේය.
දෙහිගෙදර පවුලේ මැරයන්ගේ වෛරය පළිගැනීම නිමක් නැත. ධනුෂ්ක නිසා තම පවුලේ සාමාජිකයන් තිදෙනෙකුටම මරණ දඬුවම හිමිවීම ඔවුන්ට දරාගත නොහැකි වෛරයක් බවට පත්ව තිබුණේය. ඒ වෛරයේ තවත් ප්‍රතිඵලයක් ලෙස ධනුෂ්කගේ පියා දෙවුන්දර ධීවර වරාය ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කළේය. ඒ හරියටම ධනුෂ්ක ඝාතනය වී වසර 3ක් ගෙවී යන දිනයේය.
ධනුෂ්කගේ වසර 3 සිහි කිරීම වෙනුවෙන් නිවසේ පැවති දානමය පිංකමට මාළු රැගෙන ඒමට ධීවර වරාය වෙත ගිය පියා ඝාතනය කරන්නේ දෙහිගෙදර මැරයන් විසින්ය. ටී 56 අවි දෙකක් යොදාගෙන සිදුකළ මේ ප්‍රහාරයෙන් තවත් අයකු බරපතළ තුවාල ලැබුවේය.
මේ සිදුවීමවලින් පසු ධනුෂ්කගේ පවුලේ සියලුදෙනා දෙවුන්දර ප්‍රදේශය අතහැර විවිධ ප්‍රදේශවලට පලා යන්නේ ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම සඳහාය. දෙහිබාලගේ දරුවන් ලොකු මහත් වෙද්දී දෙහිගෙදර පාතාලය තව තවත් ශක්තිමත් වන්න පටන් ගත්තේය. දෙහි පොඩි බාලේ, දෙහිරංග මෙන්ම තවත් සොහොයුරන් කීපදෙනෙකුම මේ පාතාල කල්ලියට ඒමට සිටියහ.
දකුණේ පාතාලයන් රජ වෙන්න ඉව අල්ලන දෙහිබාලේ
සිය පියාගේ මිය යෑමෙන් පසු දෙහිබාලේ නමැති අන්වර්ථ නාමය ඔහුගේ පුත්‍රයාට ලැබී තිබුණේය. දෙහිබාලේට අවශ්‍යව තිබුණේ දකුණේ පාතාලයේ අගරජුවීමටය. ඒ සඳහා ඕනෑම දහදුරා වැඩක් කිරීමට දෙහිබාලේ කටයුතු කළේය.
දෙවුන්දර ජනතාව භීතියට පත් කරගෙන සිය අණසක ප්‍රදේශය පුරා පතුරුවා හරින්නට දෙහිබාලේ ප්‍රමුඛ දෙහිගෙදර පවුල කටයුතු කළහ. ධනුෂ්ක ඝාතනයේ ඇසින් දුටු එකම සාක්ෂිය ලබාදුන් අජිත් ඒ වනවිට සිටියේ හපුතලේ ප්‍රදේශයේ සිය මිතුරකුගේ හෝටලයකය. 2023 වර්ෂය වනවිටත් අජිත්ට දෙහිගෙදරින් මරණීය තර්ජන එල්ල වී තිබූ නිසා ජීවිතය බේරාගැනීමට ඔහු හපුතලේ ප්‍රදේශයට පලා ගොස් සිටියේය.
ධනුෂ්කගේ ඝාතනය කළ දෙහිගෙදර පාතාලයේ සාමාජිකයන් තිදෙනෙකුට මරණ දඬුවම හිමිවීම ඔවුන්ට දරාගත නොහැකි පාඩුවක් විය. ධනුෂ්ක ඝාතනය කළ වසර 19කට පසු එනම් ඉකුත් 2023 වර්ෂයේදී දෙහිබාලේ ප්‍රමුඛ දෙහිගෙදර මැරයන් ක්‍රියාත්මක වූහ. දෙහිගෙදර මැරයන් පිරිසක් හපුතලේ හෝටලය වෙත ගොස් අජිත් කපා කොටා ඝාතනය කරන්නේ තම පවුලේ සාමාජිකයන් තිදෙනකුට මරණ දඬුවම හිමිකර දීමට එකට එක කිරීමක් ලෙසය.
දෙවුන්දර පොළේ අන්ධ සීයගෙ පොල් ගෝනිය හොරකම් කළ සිද්ධිය මිනිස් ඝාතන රැසක් දක්වා දුරදිග ගොස් තිබුණේ මේ ආකාරයටය.
දෙහිබාලේ ඇතුළු පවුලේ සාමාජිකයන් වැඩි දෙනෙක් සිය ජීවිකා වෘත්තිය ලෙස කරගෙන ගියේ ධීවර කර්මාන්තයයි. ට්‍රෝලර් යාත්‍රාවකින් ගැඹුරු මුහුදේ මසුන් මැරීම කරගෙන ගිය දෙහි පවුල ඉන් ලොකු ආදායමක් උපයා ගත්හ. ධීවර කර්මාන්තයට අමතරව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම මෙන්ම නීති විරෝධී භාණ්ඩ මුහුදු මාර්ග ඔස්සේ රැගෙන ඒම දෙහිබාලේ ඇතුළු පාතාල මැරයන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් විය.
රත්ගම විදුර නමැති පාතාල නායකයා රුපියල් කෝටි ගණන් වටිනා හෙරොයින් තොග මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට එවීමේ ප්‍රධාන ජාවාරම්කරුවකු වන්නේය. විදේශගතව සිටින රත්ගම විදුර ශ්‍රී ලංකාවේ ජාවාරම්කරුවන් කීපදෙනෙකුටම හෙරොයින් තොග ලබාදුන්නේය.
කුඩු කමල්ට ඒ ආකාරයට හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් රත්ගම විදුර විසින් එවා තිබුණේය. ඒ හෙරොයින් තොගය තංගල්ල කුඩාවැල්ල මුහුදු තීරය වෙත රැගෙන ආවේ දෙහිගෙදර පාතාලයේ බෝට්ටුකරවකු විසින්ය. හෙරොයින් තොගය කුඩාවැල්ල මුහුදු වෙරළෙන් ලබාගෙන එය රට තුළට ප්‍රවාහනය කිරීමේ කටයුත්ත භාරව සිටියේ දෙහිබාලේගේ නැගණියගේ සැමියා එහෙමත් නැත්නම් ඔහුගේ මස්සිනා වන අයිස්මන්ත විසින්ය.
රත්ගම විදුරගේ කුඩු තොගයක් දෙහිබාලේ පැහැරගනී
මේ වගේ එක කුඩු ලෝඩ් එකක් පන්නා ගත්තොත් පරම්පරා හතකට ඇති දෙහිබාලේ සිය පාතාල සාමාජිකයන් සමග කීවේය. රත්ගම විදුරගේ හෙරොයින් තොගය තමන් සතු කර ගැනීම දෙහිබාලේගේ සැලසුම විය. ඒ සඳහා ඔහු සිය මස්සිනා වන අයිස්මන්ත ද සම්බන්ධ කර ගත්තේය. අයිස්මන්නගේ ද සහාය ඇතිව දෙහිබාලේ ප්‍රමුඛ පාතාල සහචරයන් විසින් රත්ගම විදුරට අයත් හෙරොයින් තොගය අතරමගදී පැහැර ගත්හ. නාඳුනන පිරිසක් විසින් හෙරොයින් තොගය කොල්ලකෑ බව රත්ගම විදුරට සහ කුඩු තමිල්ට දැනුම් දුන් අයිස්මන්න එතැන් සිට අතුරුදන් වුණේය.
රත්ගම විදුරට සහ කුඩු තමිල්ට අයත් කිලෝ 300කට ආසන්න බරින් යුත් හෙරොයින් තොගය කොල්ල කෑ දෙහිබාලේ ඇතුළු දෙහිගෙදර මැරයන් ඒ හෙරොයින් තොගය අලෙවි කර මහා ධනස්කන්ධයක් උපයා ගත්හ.
තමන්ට අයත් හෙරොයින් තොගය දෙහිබාලේ විසින් කොල්ලකෑ බව රත්ගම විදුරගේ සහ කුඩු තමිල්ගේ කන වැකෙන්නට වැඩි කලක් ගත වුණේ නැත. ඉන් රත්ගම විදුර මෙන්ම කුඩු තමිල් ද දැඩි ලෙස කෝපයට පත්වූහ. ඒ වනවිට දෙහිබාලේ මෙන්ම ඔහුගේ සොහොයුරන් ද ඩුබායි රාජ්‍ය වෙත පලා ගොස් තිබුණේ රත්ගම විදුරගෙන් එල්ලවන තර්ජනවලින් බේරීම සඳහාය.
මේ අතර රත්ගම විදුර සිය පාතාල මැරයන් යොදවා දෙහිබාලේගේ පවුලේ සමීපතමයකු පැහැරගෙන යන්නේ තමන්ට සිදුකළ වංචාවට එකට එක කිරීමක් ලෙස ඔහුගෙන් පළිගැනීමටය. පැහැරගත් පුද්ගලයා ඉඳුරුව ප්‍රදේශයේ සිරකරගෙන සිටියදී පොලිසියට ඒ පිළිබඳ ඔත්තුවක් ලැබී තිබිණ.
පොලිසිය ක්‍රියාත්මක වෙද්දි විදුරගේ පාතාල සගයන් දෙහිබාලේගේ ඥාතියා අතහැර දැම්මේය. විදුරගේ කුඩු තොගය කොල්ලකෑමට සම්බන්ධ වූ තම මස්සිනා ද ඝාතනය කර සිරුර පුළුස්සා දැමීමට දෙහිබාලේ ඇතුළු පාතාල සගයන් කටයුතු කරන්නේ මේ පිළිබඳව ඇති සියලු සාක්ෂි වසන් කිරීම සඳහාය.
රත්ගම විදුරගේ හෙරොයින් තොගය කොල්ලකෑමෙන් පසු සුපිරි ධනවතකු බවට පත්වූ දෙහිබාලේ ඩුබායි රාජ්‍යයේ මෙන්ම තවත් රටවල් කීපයක සංචාරය කරමින් අතිශය සුඛෝපභෝගි ජීවිතයක් ගත කරන්නට පටන් ගත්තේය.
සිය දෙහි පවුලේ සාමාජිකයන් වෙනුවෙන් අතදිග හැර මුදල් වියදම් කිරීම ද දෙහිබාලේ පසුබට වුණේ නැත. දෙහි පවුලේ සාමාජිකයන් පමණක් නොව දකුණේ උසස් පොලිස් නිලධාරීන් කීපදෙනකු මෙන්ම පහළ මට්ටමේ නිලධාරීන් රැසක් ලක්ෂ ගණනින් මුදල් වැය කර මිලදී ගන්නට දෙහිබාලේට හැකිවිය.
එසේ දෙහිබාලේගේ මුදලට අලෙවි වූ උසස් පොලිස් නිලධාරීන් අතර දකුණු පළාතේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු, සහකාර පොලිස් අධිකාරිවරයකු මෙන්ම පොලිස් ස්ථානාධිපතිවරයකු ද විය.
එමෙන්ම දකුණු පළාතේ ඇතැම් දේශපාලනඥයන් දෙහිබාලේ ඉදිරියේ දණ්ඩ නමස්කාරකව සිටියි. ඒ දෙහිබාලේගේ මුදල් බලය හමුවේය.
දෙහිබාලේ විදේශගතව සිටිය ද ඔහු සිය දෙහිගෙදර පාතාල මැරයන් යොදාගෙන දෙවුන්දර ප්‍රදේශයේ පාතාල භීෂණය ව්‍යාප්ත කරගෙන සිටියේය. ඊට පොලිසියෙන් ලැබුණේ නොමද සහායකි. දෙහිබාලේගේ මේ භීෂණය හමුවේ අහිංසක ජනතාව සිටියේ දැඩි භීතියෙන් යුතුවය.
දෙහිබාලේ ප්‍රමුඛ දෙහිගෙදර පාතාලයේ කෙරුවාවන් පිළිබඳව මුළු රටම දැන ගන්නේ දෙවුන්දර විෂ්ණු දේවාලය ඉදිරිපිටදී තරුණයන් දෙදෙනකු අමානුෂික අන්දමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසුවය.
දෙහිගෙදර පාතාලයට අභියෝග කළ යොමේෂ්
දෙවුන්දර ජනතාව දෙහිබාලේ ප්‍රමුඛ දෙහිගෙදර පාතාලය හමුවේ දැඩි භීතියට පත්ව සිටිය ද එක්තරා තරුණයකු මේ මැරයන් එකකුවත් තඹ සතයකට මායිම් නොකළේය. ඔහු නමින් යොමේෂ් නදීෂාන්ය. 28 හැවිරිදිය. අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබූවකු වූ යොමේෂ් දෙහිබාලේ ප්‍රමුඛ දෙහිගෙදර පාතාලයට එරෙහිව ප්‍රසිද්ධියේ අභියෝග කළ තරුණයකු විය.
‘දෙහිබාලේ කියන්නෙ මොකෙක්ද? ඌ විදුරගෙයි තමිල්ගෙයි කුඩු ටික මංකොල්ල කාලා කෝටිපතියෙක් වෙලා ඉන්නේ. උගේ සල්ලිවලට අපිව නමන්න බැහැ.’
යොමේෂ් නදීෂාන් නිතර නිතර මේ ගැන කියමින් දෙහිබාලේට අභියෝග කළේය. දෙවුන්දර ජනතාව මේ ආකාරයට දෙහිගෙදර පාතාලය හමුවේ දණින් වැටී සිටීම ගැන යොමේෂ්ට රිස්සුවේ නැත.
‘අපේ ගම්වල උන්ට පිස්සු. දෙහිගෙදර උන්ට ඔළුව නමාගෙන ඉන්නෙ’
යොමේෂ් නදීශාන් මේ ආකාරයට තමන්ට මෙන්ම තම පවුලේ සාමාජිකයන්ට අපහාස කරන බව දෙහිබාලේගේ කන වැකුණේය.
මේ අතර දිනක් යොමේෂ් සහ දෙහිබාලේගේ ඥාති සොහොයුරකු දෙවුන්දරදී පැටලුණේය. මේ ආරවුල කෙළවර වන්නේ දෙහිබාලේගේ සොහොයුරු යොමේෂ්ගේ පහර කෑමෙන් පසුවය.
තම ඥාති සොහොයුරකුට යොමේෂ් පහරදුන් බව ඇසීමෙන් දෙහිබාලේ දැඩි ලෙස කෝපයට පත්වුණේය. ඔහු යොමේෂ්ගේ දුරකථනයට ඩුබායි සිට කතා කළේය.
‘උඹ මහ ලොකු චන්ඩියෙක් ද බොල උඹ කොහොමද අපේ උන්ට ගහන්නෙ. දැන ගණින් උඹට කුඩු වෙන්න දෙනවා. උඹයි උඹේ පවුලෙ උණුයි පරිස්සම්වෙලා හිටපල්ලා…’
දෙහිබාලේ යොමේෂ්ට දිගින් දිගටම තර්ජනය කළේය. එහෙත් ඔහු ඉන් සැලුණේවත් බිය වුණේවත් නැත.
‘හරි උඹ කරන්න පුළුවන් දෙයක් කරපන්කො… උඹවත් උඹේ පවුලෙ උන්වත් මට ලොකු නැහැ…’
යොමේෂ් කීවේය. දෙහිබාලේ දිගින් දිගටම ඇමතුම් ලබාදෙමින් තර්ජනය කළේය. අවසානයේ යොමේෂ් දෙහිබාලේ ලබාදෙන ඇමතුම් ගැනීම නතර කළේය. ඇමතුම් ලබා නොගන්නා තැන එස්.එම්.එස්. පණිවිඩ
මගින් දෙහිබාලේ ඔහුට තර්ජනය කළේය. යොමේෂ්ට පමණක් නොව ඔහුගේ පියා වන ධර්මසිරිටත් එස්.එම්.එස්. පණිවිඩ මගින් දෙහිබාලේ තර්ජනය කළේය.
‘යොමේෂ් කියන එකාට හොඳ පාඩමක් උගන්වන්න ඕනෙ. නැත්නම් අපිට දෙවුන්දර තියන බලය නැතිවෙලා යනවා. අනික් උන්ට උණ ගැනෙන්නත් එක්ක මූව නැති කරලා දාමු’
දෙහිබාලේ සිය දෙහිගෙදර පාතාල මැරයන්ට කීවේය.
විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට දෙහිබාලේ විසින් යොමේෂ් ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදී තිබුණේ බිල්ඩ කසුන්ටය.
තමන් ඝාතනය කරන බවට යොමේෂ්ට දිගින් දිගටම තර්ජනය කළ ද ඔහු එය ගණනකට ගත්තේ නැත. ඔහු සිතුවේ කිසිදිනක දෙහිබාලේ තමන් ඝාතනය නොකරනු ඇතැයි කියාය. එහෙත් යොමේෂ් ඝාතනයට සියලු සැලසුම් සකස් වෙමින් තිබුණේය. පසුගිය 21 වැනිදා පෙරවරුවේ ද දෙහිබාලේ යොමේෂ්ගේ මෙන්ම ඔහුගේ පියාගේ ද ජංගම දුරකථනවලට එස්එම්එස් පණිවිඩ එවා තිබුණේය.
‘අද උඹව මරනවා පරිස්සම් වෙලා හිටපං’ යනුවෙන් ඒ කෙටි පණිවිඩවල සඳහන්ව තිබිණි. එහෙත් ඒ කිසිවක් ගණනකට නොගත් යොමේෂ් එදින රාත්‍රියේ දෙවුන්දර පිහිටි තම මිතුරකුගේ උපන්දින සාදයකට සහභාගි වුණේය. මත්පැන් පානය කර ගීත ගයමින් විනෝද වූ යොමේෂ් නිවසට එන්නට පිටත් වුණේය. ඒ මොහොතේ පසිඳු තාරක ද ඔහුගේ යතුරුපැදියට ගොඩ වුණේ තවත් සුළු මොහොතකින් මාරයා තමන් වෙත ළඟා වනු ඇතැයි නොසිතාය.
‘මාවත් ගේ ළඟින් දාගෙන පලයං. මට යන්න එකක් නැහැ’
පසිඳු තාරක සිය කළ්‍යාණ මිත්‍රයාට කීවේය. යොමේෂ් දෙහිගෙදර පාතාලයෙන් මේ හැටි තර්ජන ඇතැයි පසිඳු දැන සිටියේ නැත. සැබැවින්ම ඔහු අහිංසක චරිතයක් විය.
කලක් විදේශගතව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ පසිඳු තාරක ශ්‍රී ලංකාවට ආවේ මීට ටික කලකට උඩදීය. ඔහු නැවතත් විදේශගත වීමට සිහින මවමින් සිටියේය. කිසිදු අපරාධයකට සම්බන්ධයක් නැති අහිංසක චරිතයක් වූ පසිඳු මාරයා හොයාගෙන යොමේෂ් සමග යන්නට පිටත් වුණේය.
දෙවුන්දර විෂ්ණු දේවාලය අසලදී වේගයෙන් ආ වෑන් රථයක් යොමේෂ් පැදවූ යතුරුපැදියේ ගැටෙන්නට සලස්වා එය පෙරළා දැමුවේය. පසුව ඉන් බැසගත් කුලී ඝාතකයන් දෙදෙනා ටි 56 අවියක් සහ පිස්තෝලයක් යොදාගෙන බිම වැටී සිටි යොමේෂ්ට සහ පසිඳුට වෙඩි වරුසාවක් එල්ල කළේය.
දෙදෙනාගේම හිස් සුණු විසුණු වී යන්නට වෙඩි තැබූ කුලී ඝාතකයන් දෙදෙනා වෑන් රථයේ නැඟී පලා ගියහ. ඔවුන් ප්‍රහාරය එල්ල කර මීටර් 800ක් පමණ දුරට ගොස් වෑන් රථයට ගිනි තබා විනාශ කළහ. ඒ සාක්ෂි වසන් කිරීම සඳහාය. පසුව එහි පැමිණි සිටි වෙනත් මෝටර් රථයක නැඟී කුලී ඝාතකයන් පලා ගියහ. ප්‍රහාරයෙන් යොමේෂ් මෙන්ම පසිඳු තාරක සිද්ධිය වූ ස්ථානයේම මියගොස් සිටියහ. පසිඳුගේ හිසට වෙඩි ප්‍රහාර 9ක් එල්ල වී තිබිණි. ඔහුගේ මුහුණ හඳුනාගත නොහැකි ආකාරයට විකෘති වී තිබුණේය.
පසිඳුගේ පියා ධීවර කාර්මිකයෙකි. මුහුදු රස්සාවට ගොස් ඔහු ගොඩබිමට එන්නේ දින 7-8කට පසුවය. මුහුදේ සිටියදී පියාට මේ අවාසනාවන්ත සිද්ධිය දැනුම් දෙන්නට කිසිවකුත් කටයුතු කළේ නැත.
පසිඳුගේ මුහුණ හඳුනාගත නොහැකි ආකාරයට විකෘති වී තිබුණේය. පසිඳුගේ වැඩිමහල් සොහොයුරිය හඬා වැළපෙමින් තම සොහොයුරාට අත් වූ ඉරණම ගැන කීවාය.
‘මල්ලි ලස්සනට ඉන්න හරි ආසයි. අපිට මේ විදිහට මෙයාගෙ මුහුණ පෙන්වන්න බැහැ. පෙට්ටිය සීල් කරන්නත් බැහැ. ඒ නිසා අපි රුපියල් ලක්ෂ 10ක් වියදම් කරලා මල්ලිගෙ මුහුණ පරණ විදිහටම හැදුවා.
මල්ලිට කළේ මහා අපරාධයක්. එයා කිසිම අපරාධයකට සම්බන්ධ නැහැ. පාතාලෙ අය කියලා දන්නෙ නැතිව ගිහින් මල්ලි නිකන් මැරුම් කෑවා’
පසිඳුගේ සොහොයුරියගේ අඳෝනා අසා සිටිය නොහැක. කොහේවත් යන පාතාලයන් නිසා අහිංසක ජීවිතයක් විනාශ වී හමාරය.
මෙම ද්විත්ව ඝාතනයෙන් දකුණු පළාත පමණක් නොව මුළු රටම උණුසුම් වුණේය. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, මාතර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් විමර්ශන ඇරඹූහ.
ඝාතනය මෙහෙයවූයේ දෙහිබාලේ ප්‍රමුඛ දෙහිගෙදර පාතාල මැරයන් බව සොයාගන්නට පොලිසියට ඒ තරම් කාලයක් ගත වුණේ නැත. ඝාතනය සිදුකළේ බිල්ඩ කසුන් බවට සැක පහළ කළ පොලිසිය ඔහුගේ බිරිඳ සහ පවුලේ සාමාජිකයන් පිරිසක් අත්අඩංගුවට ගත්හ.
එහිදී හෙළිවූයේ ඝාතන සැලැස්ම සඳහා දෙහිබාලේ රුපියල් ලක්ෂ 50ක මුදලක් විසිකර ඇති බවයි. එහෙත් ඒ බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ලැබී තිබුණේ නැත.
කෙසේ වෙතත් මේ ද්විත්ව ඝාතනය සඳහා විවිධ අයුරින් සහාය වූ පුද්ගලයන් 12 දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගන්නට පොලිසිය සමත්ව සිටිති.
මේ ද්විත්ව ඝාතනය මෙහෙය වූ දෙහිබාලේ හෝ ඔහුගේ පාතාල කල්ලියේ කිසිවකුත් මේ වනතුරුත් අත්අඩංගුවට ගෙන නොමැත. ඝාතනය සිදුකළ බව කියන බිල්ඩ කසුන් සහ අනෙක් කුලී ඝාතකයා ද මේ වනවිට අතුරුදන්ව ඇත.
මේ ද්විත්ව ඝාතනයත් සමඟම දෙහිගෙදර පාතාලය සමග සමීප සබඳතා පැවැත් වූ උසස් පොලිස් නිලධාරීන් මෙන්ම පොලිස් පොඩ්ඩන් රැසකගේ නම් ලැයිස්තුවක් එළියට ආවේය.
දෙවුන්දර ජනතාව භීතියට පත්කරගෙන නීතියේ ආධිපත්‍යය සියතට ගෙන සිටින දෙහිගෙදර පාතාලය මට්ටු කළ යුතුය. එසේ නොකරන තාක්කල් දෙවුන්දර ජනතාවට නිදහසක් නැත.
ඩුබායි රාජ්‍යයට හෝ වෙනත් රටකට වී සුරසැප විඳිමින් මේ පාතාලයන් මෙරට අහිංසක ජනතාව පළිහක් කරගෙන ගෙන යන පාපතර ක්‍රියාවන් මර්දනය කළ යුතුය. මේ මැරයන් කඩිනමින් මෙරටට ගෙන්වා උන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන තාක්කල් මේ පාතාලය මර්දනය කළ නොහැක.
හේමන්ත රන්දුණු