ආලෝක පූජාව උපාලි පුවත්පත් සමාගමෙන්…

පොසොන් පින්කම දින තුනයි දන්සල් 30 යි…

බණ මඩුවක් නෑ, උපාසක අම්මලා වැස්සට තෙමෙනවා…

බැතිමතුන්ට වාඩිවෙන්න පුටුවක් නෑ…

සිතුල්පව්වේ වෙසක් දන්සලට අවුරුදු 16ක් වයසයි…

ගිරි හිස් මුදුන් සිප හමා එන සිහින් පවන් රැලි ගත සිසිලෙන් පුරවාලයි. අප වටා දැවටෙන වන සතුන්ගේ ලෙන්ගතුකම සිතට ගෙන දෙන්නේ මහත් වූ ආස්වාදයකි. තුරු ගොමු අතරින් මතු වන පිරිත් හඬ විඩාරබර සිත සුවපත් කරයි. ඒ පින්බිම පුරා විසිරුණු ආශ්චර්යට ගමනේ විඩාව සැණෙකින් දුරු විය. යාල වන පෙත මැද රමණීය පරිසරයක පිහිටි සිතුල්පව්ව පින්බිම මෙරට බෞද්ධ ඉතිහාසයේ අතිශය වටිනා සිද්ධස්ථානයක් බව සැබෑය.

‘චිත්තල පබ්බත’ යනුවෙන් මහා වංශයෙහි ද, ‘චිතල පවත’ යැයි ශිලා ලිපිවල ද සඳහන් මේ පින්බිම වර්තමානයේ ‘සිතුල්පව්ව’ යැයි ව්‍යවහාරව පවතී. එම පින්බිමට යන ඕනෑම කෙනකුගේ සිත ප්‍රීති ප්‍රබෝධයට පත් කරවන සැනසිලිදායක සුවයකින් ද මනස්කාන්ත දර්ශනයකින් සහ නොපෙනෙන ගුප්ත බලයකින් සිත් ඇදගැනීමට සමත් නිසා මේ පින්බිමට ‘චිත්තල පබ්බත’ යනුවෙන් නම් පටබැඳී ඇති බව ද සිහිපත් කළ යුතුය. මේ මොහොතේ ද සැඳෑ හිරු රැසින් නැහැවුණු සිතුල්පව්ව මහා සෑ රජුන් අබියස මැවෙන චමත්කාරය මේ යැයි කිව නොහැකි තරම්ය.

ක්‍රි. පූ. 161ට පෙර යුගයේ රුහුණු රට රජ කර වූ කාවන්තිස්ස මහ රජු විසින් ඉදිකර වන ලද දාගැබ්, මහ බෝ, ගිරි ලෙන්, සංඝාවාස, උපෝසථාගාර, දාන ශාලා, ගිනිහල්, දිවා ස්ථාන, රාත්‍රී ස්ථාන, ධර්ම ශාලා, පැන් පොකුණු, පෙත් මං ආදී විහාරාංග අතරින් බොහෝමයක් අද ද නටඹුන් ලෙස තැන, තැන විසිරී ඇති අයුරු දිස් වේ. දේවානම්පියතිස්ස රජ යුගයේ රෝපණය කර ඇති දෙතිස් මහා ඵලරුහ බෝධීන් වහන්සේ අදට ද සිතුල්පව්ව පුදබිමේ ජීවමානය. මේ දිනවල ඇදහැළෙන මහා වර්ෂාවෙන් ගල් පොකුණු ජලයෙන් පිරී ඉතිරි ගොස් ඇති අයුරු ද පෙනේ. සහදේව මහ රහතුන් වහන්සේ ප්‍රධාන දොළොස්දහසක් මහා රහතුන් වහන්සේ වැඩසිටි ලෙන් කුටි යාල වන පියස යට අද ද ජීවමානය. ඒ ඇතැම් කුටිවල කාලයෙන්, කාලයට භාවනා යෝගීව ස්වාමින් වහන්සේ වැඩ සිටිති. අතීතයේ සිට මහා සංඝරත්නය විශාල පිරිසක් වැඩසිටි බවට ශාසන ඉතිහාසයේ සඳහන් සිතුල්පව්ව පුදබිමේ පසුගිය වෙසක් පුන් පෝය දින වැඩ සිටියේ ස්වාමින් වහන්සේ සිව්නමක් පමණක් බව අපට දැනගැනීමට ලැබිණි. මහ රහතුන් වහන්සේ දොළොස්දහසක් වැඩසිටි සිතුල්පව්ව පින්බිමේ ස්වාමින් වහන්සේ සිව්නමක් පමණක් වැඩසිටින බව කන වැකුණුවිට නම් සිත කම්පනයට පත් විය.

පොසොන් පිංකමත් අත ළඟයි…හිතළු නෙවෙයි සිතුල්පව්වේ අඩුපාඩු ගොඩයි!

ගස් යට හිඳගෙන බණ අහන සිල් ඇත්තන් වැසි පොද වැටෙනවිට නොතැමෙන සෙවණක් සොයාගෙන දුවන හැටි ඇස ගැටුණුවිට පහන් සිත සසල විය. කාවන්තිස්ස රජු විසින් සිතුල්පව්ව පුදබිම සියලු විහාරාංගවලින් සම්පූර්ණ කර මෙරට රාජ්‍යත්වයට පත්වන්නා වූ සියලු රජවරුන් පමණක් නොව, යුව රජුන් මෙන්ම ඈපා, මාපා ආදීන් පවා මෙම ස්ථානය ඉදිරියට පවත්වා ගෙන යෑම සඳහා අනුග්‍රහ දැක්විය යුතු බවට පනවා ඇති නියෝගය සම්බන්ධව මහා වංශයේ (පිටු 22 – 24) සඳහන් පරිච්ඡේදයන් සිහිපත් විය. රජවරු තිස්අට දෙනකුගේ මෙහෙය වීම මත සිතුල්පව්ව පින්බිම සංවර්ධනය වී ඇති බවට ශාසන ඉතිහාසයේ සඳහන් කරුණු මෙනෙහි විය. එමෙන්ම මුල් යුගයේ සිට මේ පින්බිම විදර්ශනා භාවනා මධ්‍යස්ථානයක් මෙන්ම සුප්‍රසිද්ධ සද්ධර්ම දේශිත ස්ථානයක් වශයෙන් ද චිර ප්‍රසිද්ධව පැවැති බව මූලාශ්‍රයන් මගින් තවදුරටත් සනාථ වේ. බොහෝ දුර බැහැර ප්‍රදේශයන්හි සිට පැමිණෙන සැදැහැවතුන් රැය පහන් වන තෙක් ධර්මය ශ්‍රවණය කර දින දෙක, තුන විවේකීයව සිතුල්පව්වේ ගතකර ගම් බිම්වලට ගොස් ඇති බව ඉතිහාසයේ සඳහන්ය. එසේ බණ ඇසීමට පැමිණි සැදැහැවත් එක් මවකගේ පුත්‍රයෙක්ට සර්පයෙක් දෂ්ට කර, ඒ ගැන නොසලකා සද්ධර්ම ශ්‍රවණය කර එකී මව විසින් කරනු ලැබූ සත්‍යක්‍රියා බලයෙන් තම පුත්‍රයා සුවපත් කරගත් සිද්ධියක් ද සිතුල්පව්ව පින්බිම ඇසුරෙන් ඉතිහාසයට එකතු වී තිබේ. සිතුල්පව්ව හා බැඳුණු එවැනි ඉතිහාස කතා එමටය. එහෙත් මේ වෙනකොට සැදැහැවතුන්ට ධර්මය ශ්‍රවණය කිරීමට නොව, සිතුල්පව්ව පින්බිමේ සතර පෝයට සිල් සමාදන් වන උපාසක, උපාසිකාවන්ට නිදහසේ එම කටයුතු කර ගැනීමට ස්ථිර සෙවණක් නොතිබීම මොන සා අවාසනාවක් ද? ඒ මහා ඓතිහාසික පින්බිමේ ධර්ම ශාලාවක් නොමැති වීම ගැන සිතුල්පව්ව රජමහා විහාරය ප්‍රමුඛ අෂ්ට මහා විහාරාධිකාරි, ශාස්ත්‍රපති ලේල්වල සමිත හිමියන්ගෙන් අපි විමසා සිටියෙමු. පහතින් පෙළගැසෙනුයේ ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ දැක් වූ අදහස් ය.

“විශුද්ධි මාර්ග ග්‍රන්ථයේ ලෝක පූජිත ස්ථාන හතරක් ගැන සඳහන් වෙනවා. එම ස්ථාන වෙන්නේ මිහිඳු හාමුදුරුවන්ගේ ජන්ම භූමිය වන වේතිස්ස පුරය, මිහින්තලය, අච්චිකුච්චි විහාරය සහ සිතුල්පව්ව. ඒ වගේම මේ ස්ථානයේ සුවිශේෂීත්වය පැහැදිලි වෙන්න තිබෙන ඓතිහාසික සාධක බොහොමයි. කුඩා සිතුල්පව්ව චෛත්‍ය වහන්සේ පිහිටිලා තියෙන කඳු ගැටය ගුරුත්වාකර්ෂණයෙන් අඩු ස්ථානයක් ලෙස හඳුනාගෙන තියෙනවා. මේ පින්බිම විශ්වයේ තිබෙන අසිරිමත් ස්ථානයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. අතීතයේ මේ පින්බිමේ වැඩසිටි මහා සංඝරත්නය වෙනුවෙන් රෝහල් පවා ඉදි කර තිබුණු බවට සාධක හමු වී තියෙනවා. විවිධ සතුරු ආක්‍රමණ හේතුවෙන් කාලයාගේ ඇවෑමෙන් වනගත වූ සිතුල්පව්ව පුණ්‍ය භූමිය 1915 වර්ෂයේ දී ගාල්ල යටගල රජමහ විහාරයේ විහාරාධිපතිව වැඩ විසූ කලෙහේ සිරි ගුණරතන නායක හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් නැවත සොයාගෙන තියෙනවා. පසු කාලීනව ඉලුක්පිටියේ ශ්‍රී ජිනරතන නායක හාමුදුරුවෝ, වත්තහේනේ පියරතන පණ්ඩිත හාමුදුරුවෝ, වත්තහේනේ රතනසාර හාමුදුරුවෝ, උණවටුනේ රතනජෝති හාමුදුරුවෝ මේ ස්ථානය දියුණු කරන්න උපරිමයෙන් කැප වී තිබෙනවා.

ඒ වගේම මීට මාස හයකට පෙර අපවත් වූ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක මැටරඹ හේමරතන හාමුදුරුවෝ චෛත්‍ය මළුව පුළුල් කර, නව සංඝාවාසයක් සහ විශ්‍රාම ශාලා ඉදිකරමින් සිතුල්පව්ව පුණ්‍ය භූමියට විශාල සේවාවක් ඉටු කර තියෙනවා. උන්වහන්සේ ඉදිකිරීමට පටන්ගත් වාහල්කඩ, ධර්ම ශාලාවේ වැඩ අතරමඟ නතර වෙලා තියෙනවා. ඉදිරි කාලයේ දී වාහල්කඩේ වැඩ නැවත ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරගෙන යනවා. ධර්ම ශාලාවේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට ප්‍රතිපාදනවල ගැටලුවක් තියෙනවා. දෙස්, විදෙස් පින්වත් දායක, දායිකාවන් සහ යම් ආයතනයක් මැදිහත් වෙලා ධර්ම ශාලාවේ ඉදිකිරීම් කටයුතු අවසාන කිරීමට අපට ශක්තිය ලබාදෙන්න කියලා විශේෂයෙන් සිහිපත් කරනවා. ඒ වගේම සැදැහැවත් බැතිමතුන් පැමිණිවිට ගිමන් හැරීමට, අසුන් ගැනීමටවත් ප්‍රමාණවත් පුටු පහසුකම් විහාරස්ථානයේ නෑ. අද දිනයේ සිතුල්පව්ව පින්බිමේ පැවැත්වෙන බත් දන්සැලටවත් පුටු නෑ. මිනිස්සු කෑම කන්නෙ විශ්‍රාම ශාලාවේ වටේට තියෙන පඩි මත වාඩි වෙලා. ඒ වගේම ඇමෙරිකාවේ ධර්ම ප්‍රචාරණ කටයුතුවල නියැළී සිටින සිතුල්පව්ව රජමහ විහාරාධිකාරි, ශාස්ත්‍රපති වේපතඉර බෝධික හාමුදුරුවෝ තමයි මේ වෙනකොට සිතුල්පව්ව විහාරයේ විදුලි බිල ගෙවීමේ කටයුතු සිද්ධ කරන්නේ…” සිතුල්පව්ව රජමහ විහාරය ප්‍රමුඛ අෂ්ට මහා විහාරාධිකාරි, ශාස්ත්‍රපති ලේල්වල සමිත හාමුදුරුවෝ දන්සැල ගැන සිහිපත් කරනවිට කුස ගින්දර දැනිණි. හෝරා කිහිපයක් සිතුල්පව්ව පුදබිම පුරා ඇවිද ගිය මට තෙහෙට්ටුවක් ද දැනිණි. එහෙයින් දන්සැල පැවැත්වෙන විශ්‍රාම ශාලා පරිශ්‍රයට මම ගියෙමි.

‘වාහන නැවතුම්පොළ විවිධ වාහනවලින් පිරී ගොස්ය. ඊට යාබද විශ්‍රාම ශාලාව දිගට මෙන්ම වාහන නැවතුමේ සිට බත් කෑමට පෙළ ගැසී සිටින මිනිසුන්ගේ පෝලිම ඈතට දිගුය. ගැබිනි මවුවරුන් සහ මහලු අය පෝලිමේ නොතැබීමට දන්සැල කාර්යමණ්ඩලය කාරුණික වී තිබෙන බව පෙනේ. එහෙත් ගැබිනි මවුවරුන්ට, මහලු අයටවත් අසුන් ගැනීමට පුටු නැත. ඔවුන් ද කෑම අනුභව කරනුයේ විශ්‍රාම ශාලාව වටා තිබෙන කෙටි සිමෙන්ති පඩිය මත හිඳගෙන ය. එම දන්සැල පරිශ්‍රය තුළ එකඳු පුටුවක් හෝ නැත. නිදන යකඩ ඇඳන් පෙළගස්වා ආසන පහසුකම් සම්පූර්ණ කර ඇති අයුරු ද පෙනේ. වෑංජන හතරක් සහිත බත් බෙදීමට පොඩි මේස දෙකක් සොයාගත්තේ දැඩි පරිශ්‍රමයකින් බව එම බත් දන්සලට පූර්ණ අනුග්‍රහය ලබාදී ඇති ලාල් ප්‍රනාන්දු මහතා අප සමග පැවසුවේය. එමෙන්ම වාර්ෂිකව වෙසක් පෝය දිනය පුරා සිතුල්පව්ව පින්බිමේ පවත්වනු ලබන බත් දන්සැල ගැන ද හේ අප සමග වචන කිහිපයක් කතා කළේය.

පොසොන් පිංකමත් අත ළඟයි…හිතළු නෙවෙයි සිතුල්පව්වේ අඩුපාඩු ගොඩයි!

“අපි කතරගම දන්සැල් දෙන්න පටන් ගත්තේ 1988 අවුරුද්දේ. ආරම්භයේ දී මමයි, අම්මයි දුටුගැමුණු විශ්‍රාම ශාලාවේ නතර වෙලා කෑම පාර්සල් හදලා මිනිස්සුන්ට බෙදා දුන්නා. සිතුල්පව්ව දන්සැල දෙන්න පටන් ගත්තෙ 2007 අවුරුද්දේ. එදා ඉඳලා මේ දක්වා වසර 16ක් බත් දන්සැල දෙනවා. පසුගිය වසර අටක කාලයක ඉඳලා අඛණ්ඩව දන්සැල දෙනවා. මේ වගේ දන්සැලක් තනියෙන් දෙන්න මම කෝටිපති ව්‍යාපාරිකයෙක් නෙමෙයි. පුංචි රටකජු වෙළෙන්දෙක්. පොඩි බයිට් කඩ කිහිපයක් මට තියෙනවා. ඒ සෑම වෙළෙඳසැලකින්ම දවසකට, සිතුල්පව්වෙ දන්සැලට රුපියල් 500ක් වෙන් කරනවා. අවුරුද්දක් තුළ රුපියල් ලක්‍ෂ 8කට වැඩි මුදලක් එකතු වෙනවා. ඒ සියලුම මුදල් මේ දන්සැලට වියදම් කරනවා. මේ වතාවේ හාල් කිලෝ 560ක් ගෙනාවා. දැනටත් හාල් කිලෝ 300ක බත් හදලා තියෙනවා. වෑංජන හතරක් එක්ක මට පුළුවන් උපරිමයෙන් පැමිණෙන මිනිසුන්ට කෑම දෙනවා. වෙසක් පෝය දවසේ සිතුල්පව්ව වඳින්න එන අන්තිම බැතිමතා දක්වා කෑම දෙනවා…” පින්කම් කිරීමට කෝටි, ප්‍රකෝටිපතියන් වීමට ඇවැසි නැත. සසරේ පින් කර ඇති නම් දන් දීමට සිත් පහළ වේ. පින්කම් කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වනු ඇත.

ලාල් ප්‍රනාන්දු මහතා කැස්බෑවේ පදිංචිකරුවෙකි. ඔහුගේ සියලු ව්‍යාපාර ස්ථානගත වී ඇත්තේ කැස්බෑව අවටය. පින්කම් කිරීමට අත දිගහැර වියදම් කිරීමට සසරේ පින් කර ඇති ලාල් ප්‍රනාන්දු මහතාට වයස අවුරුදු 66කි. නිදුක් නීරෝගි සුවයෙන් පසුවන හේ තරුණ ජවයෙන් යුක්තව දුවපැන දන්සලේ වැඩපළවලට සම්මාදම් වන අයුරු ද පෙනිණි. දන්සැලේ වැඩපළවලට තම පවුලේ සාමාජිකයන් ඇතුළු පනහකට වැඩි පිරිසක් රැගෙනැවිත් තිබුණේ ලාල් ප්‍රනාන්දු මහතාගේ වියදමෙනි. එමෙන්ම වෙසක් පෝය දින සිල් සමාදන් වීමට කැස්බෑව අවට ප්‍රදේශවල හැටකට ආසන්න පිරිසකට සිතුල්පව්වට යෑමට නොමිලේ ප්‍රවාහන පහසුකම් සහ කෑම බීම ලබාදීමට ද ඔහු කටයුතු කර තිබිණි. නැවතත් හේ කතාවට එකතු වූයේ ය.

පොසොන් පිංකමත් අත ළඟයි…හිතළු නෙවෙයි සිතුල්පව්වේ අඩුපාඩු ගොඩයි!

“සියයකට වැඩි පිරිසක් අද දවසේ සිල් සමාදන් වෙලා ඉන්නවා. ඒ සියලුම උපාසක, උපාසිකාවන්ට උදේ, දවල් දානය පිළිගැන්නුවේ අපි. දැනට දහසකට වැඩි පිරිසක් දන්සැලෙන් කෑම කාලා තියෙනවා. තව හවස් වෙනකොට විශාල පිරිසක් පැමිණෙතැයි විශ්වාස කරනවා. මේ ස්ථානයේ තියෙන සීමිත පහසුකම්වලින් උපරිමය කරන්න අපි උත්සාහ කරනවා…” ලාල් ප්‍රනාන්දු පෝලිම නිරීක්‍ෂණය කිරීමට ගියේය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තුවේ, කිරින්ද ග්‍රාමසේවා වසමේ, යාල අභය භූමිය තුළ පිහිටි ඓතිහාසික සිතුල්පව්ව රජමහ විහාරයට කතරගම සිට ඇති දුර ප්‍රමාණය කිලෝ මීටර් 18කි. තිස්සමහරාම නගරයේ සිට කිරින්ද දක්වා වැටුණු මාර්ගයේ යෝධකණ්ඩියෙන් වමට හැරී ගමන් කරනවිට සිතුල්පව්වට ඇති දුර ප්‍රමාණය කිලෝ මීටර් 28කි. තිස්සමහරාමයේ සිට පැමිණෙනවිට යෝධකණ්ඩියෙන් හැරුණුවිට සහ කතරගම නගරයේ සිට පැමිණෙනවිට එම නගරය පසු කර සිතුල්පව්වට පැමිණෙන තෙක් කහට කෝප්පයක් බීමට කඩයක් නැත. එහෙයින් සිතුල්පව්වට පැමිණෙන බැතිමතුන්ට කෑම වේලක් ලබාදීම මහා පුණ්‍යකර්මයකි. එළැඹෙන පොසොන් පෝයට සිතුල්පව්වේ දින තුනක පින්කමක් පැවැත්වෙන බවත්, ඊට සමගාමීව දාන, සීල, භාවනා වැඩසටහන් රාශියක් පැවැත්වෙන බවත් එම දින තුන තුළ විවිධ දන්සැල් 30ක් පැවැත්වීමට කටයුතු සංවිධානය වී ඇති බව ද සිතුල්පව්ව විහාරවාසී, ඓතිහාසික මඟුල් මහා විහාරාධිකාරි ශාස්ත්‍රවේදී බෝපාගොඩ නාගිත හාමුදුරුවෝ අප සමග පැවසූහ.

පොසොන් පිංකමත් අත ළඟයි…හිතළු නෙවෙයි සිතුල්පව්වේ අඩුපාඩු ගොඩයි!

“අෂ්ට මහා විහාරාධිපති විශ්‍රාමලත් විදුහල්පති, ශාස්ත්‍රපති තල්පේ අරියජෝති නායක හාමුදුරුවන්ගේ අනුශාසකත්වයෙන් ලබන 20,21,22 තෙදින තුළ පොසොන් පින්කම් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තියෙනවා. 21 දින සීල සමාදානය පැවැත්වීමට කටයුතු සූදානම් කර තියෙනවා. ඒ වගේම උපාලි පුවත්පත් සමාගමේ අනුග්‍රහයෙන් ආලෝක පූජාව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තියෙන අතර කුඩා සිතුල්පව්වේ ආලෝක පූජාව මාතලේ ඩයනා බිස්කට් සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා. කතරගම සිට සහ තිස්සමහරාම යෝධකණ්ඩියේ සිට සිතුල්පව්ව දක්වා මාර්ග දෙකම ප්‍රතිසංස්කරණය කරගෙන යනවා. පින්කම පැවැත්වෙන තෙදින පුරා කතරගම සහ යෝධකණ්ඩියේ සිට ලංගම බස් රථ යෙදවීමට කටයුතු සංවිධානය කර තියෙනවා. පොසොන් උත්සවයට සිල් සමාදන් වීමට පැමිණෙන සැදැහැවතුන්ට සහ සිතුල්පව්ව වන්දනා කර ගැනීමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය සියලු පහසුකම් සම්පූර්ණ කර තියෙනවා. මීට පෙරත් පොසොන් පෝයට සිතුල්පව්වේ විශේෂ පින්කම් මාලාවක් පැවැත්වුණා. ඊට සමගාමීව ගාල්ලේ දායක මහත්මයෙක් ඇතුළු ප්‍රදේශ කිහිපයක දායක මහත්වරු ඇවිත් බත් දන්සැල් ඇතුළු විවිධ දන්සැල් පැවැත්වුවා. ඒ සෑම දන්සැලකම මිනිස්සු ආහාර අනුභව කළේ ගස් යට වාඩි වෙලා. කාලයක ඉඳලා පුටු පහසුකම්වලින් විහාරයට ලොකු අඩුවක් තියෙනවා. මේ පොසොන් පින්කමට පෙර පින්වතෙක් ඉදිරිපත් වෙලා පුටු ටිකක් ලබාදෙනවා නම් බොහොම වටිනවා. සසර ගමනට කර ගන්නා වූ මහා පුණ්‍යකර්මයක්…” නාගිත හාමුදුරුවන්ගේ කෙටි අදහස් දැක්වීම ද අවසානය.

සිතුල්පව්ව විහාරයට ආසන පහසුකම් ලබාදීම මහා ධනස්කන්ධයක් වැය වන පින්කමක් නොවේ. එමෙන්ම සිතුල්පව්වේ දායක සභාවේ සිටින පින්වතුන්ට එය පුංචි පින්කමකි. එහෙත් එම අඩුපාඩුව දැනෙනුයේ දන්සැල්වලින් කන, බොන සාමාන්‍ය බැතිමතුන්ට පමණි. සිතුල්පව්වේ පුටු ගැටලුව මෙතරම් කාලයක් නොවිසිදෙන තත්ත්වයට පත් වී ඇත්තේ කෝටි, ප්‍රකෝටිපති දානපතියන්ට මේ ගැටලුව නොදැනෙන නිසා විය හැකිය. එමෙන්ම විහාරස්ථානයක බණ මඩුවක් නිර්මාණය කිරීම සසර පුරාවට පින් පිරෙන පින්කමකි. එම පින්කම ඔබගේ පින් පොතේ සටහන් කර ගැනීමට ප්‍රමාද නොවන්න.

සිතුල්පව්ව ඓතිහාසික පින්බිම වෙනුවෙන් කළ යුතු යුතුකම අපි ඉටු කළෙමු. බෞද්ධ ඔබ ඊට ප්‍රතිචාර දක්වන අයුරු අපි දැන් බලා සිටිමු.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment