ආණ්ඩුව සහල් ආනයනයට බද්දක් අය කරනවා…ඒ නිසා කිලෝ එකක් ගේන්නම රුපියල් 220ක් වැයවෙනවා
සහල් ආනයනකරුවෙක්
හාල් නැති නිසා අපි කරන්නේ කෑම වේල් අඩුකරන එක
පාරිභෝගික ජනතාව
ආනයනික සහල්වලට රුපියල් 65ක බද්ද නිසා සහල් ආනයනයත් නවත්වන තත්ත්වයක තියෙන්නේ
සහල් ආනයනකරුවන් කියන්නේ සහල් ගෙන්වනකොටම 210-220ක් වෙනව කියල
සිල්ලර වෙළෙඳසල් හිමියෝ ලක්‍ෂ පහකට අධික පිරිසක් සහල් අලෙවියෙන් ඉවත් වෙලා
ගැසට් එකේ අවුල හින්ද වෙළෙඳපොළේ දේශීය හාල්වත් නෑ
ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්
හැම ගින්නකටම වඩා කුසගින්න මෙලොව සත්වයින්ට දරාගත නොහැක්කකි. මිනිසුන් වන අප බොහෝ දෑ කරන්නේද ජීවත්වන්නට ය. එහෙත් අද වනවිට බඩට කන්නට ද මිනිසුන්ට අහිමිව ඇත්තේ භාණ්ඩ මිල ඉහළ යෑම නිසාය. නගරයේ මෙන්ම අද වනවිට ගම්බද ජනතාව පවා තමන්ගේ ආහාර වේල සපයා ගැනීමේ දුෂ්කරතාවයට මුහුණ පාමින් සිටින්නේ ය. තම ආහාරවේල් පවා මඟහැර දමන තත්ත්වයට අද රටේ ජනතාවට සිදුවී ඇත්තේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලේ වැඩිවීම මෙන්ම වෙළෙඳපොළ තුළ පවතින සහල් හිඟය නිසාය. මේ තත්ත්වය අවබෝධ කරගත් වත්මන් ආණ්ඩුව සිදුකළේ වෙළෙඳපොළේ ඇති සහල් හිඟය හා මිල පාලනය කරන්නට කඩිනම් වැඩපිළිවෙළක් සැකසීමය. එහිදී කිහිපවරකදීම මෙරට සහල් මෝල් හිමියන් ගෙන්වා සාකච්ඡා පැවැත්වීය. එහෙත් පවතින ගැටලුවට පිළිතුරු නොලැබුණ හෙයින් ආණ්ඩුව සිදුකළේ රටේ මිනිසුන්ගේ කුසගින්න නිවීමට පිටරටින් සහල් ගෙන්වීමට පියවර ගැනීමය. ඒ සමගම රජය මගින් සහල් මිල සඳහා ද උපරිම මිලක් පනවා ගැසට් එකක් ද නිකුත් කළේය. එහෙත් සහල් අර්බුදය තවමත් එසේමය. ඒ පිළිබඳව නැවතත් අප විමසීමක් සිදුකරන්නේ ආණ්ඩුව හුදෙක් අපහසුතාවට පත් නොකර පවතින තත්ත්වය පෙන්වා දීමටය.
ගම්බද හා වතුකරයේ ජනතාව කන්නේ එකවේලයි
රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධව පසුගියදා ජාතික ගොවිජන එකමුතුවේ සභාපතිවරයා මාධ්‍යයට කියා ඇත්තේ වත්මන් සහල් අර්බුදය හේතුවෙන් මිනිසුන්ගේ ආහාරවේල් පවා අහිමි වී ඇති බවය. ඒ උද්ගත වී ඇති සහල් අර්බුදයේ අනිටු විපාක ලෙසය. එනම් ජාතික ගොවිජන එකමුතුවේ සභාපතිවරයා කියන්නේ ගම්බද හා වතුකරයේ ජනතාවගෙන් ලක්‍ෂ තිහකට වැඩි පිරිසක් දෛනික බත්පත වේලකට හෝ දෙවේලකට සීමාකර ඇති බවකි. එයට හේතු ලෙස ඔහු පෙන්වා දෙන්නේ වතුකරයේ හා ගම්බද සිල්ලර වෙළෙඳසල් හිමියෝ ලක්‍ෂ පහකට අධික පිරිසක් සහල් අලෙවියෙන් ඉවත් වී ඇති බවය. එයට හේතුව රජය මගින් සහල්වලට පාලන මිලක් නියම කිරීමෙන් පසු සිල්ලර වෙළෙන්දාට එහි වාසිය නොලැබී යෑමය.
පසුගියදා රජය විසින් සහල් අලෙවිය සඳහා පාලන මිලක් පැනවීය. ඒ නාඩු කිලෝවක තොග මිල රු.225ත් සිල්ලර මිල 230ක් ලෙසත්, (පෙර මිල රු.220කි.) සුදු කැකුළු සහල් තොග මිල 215ත් සිල්ලර මිල 220ක් ලෙසත් (පෙර මිල රු.210) සම්බා සහල් කිලෝවක තොග මිල රු.235ක් වන අතර සිල්ලර මිල රු.240ක්ද, (පෙර මිල රු.230) කීරි සම්බා තොග මිල රු.255ක් සිල්ලර මිල රු.260ක් හා ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රු.220 ක් ලෙසය. ඒ මෙතෙක් පැවැති සහල් හිඟයට රජය ලබාදුන් උත්තරය එයය.
ආණ්ඩුවෙන් මෝල් හිමියන්ට සහන
පසුගිය කාලය තුළ වෙළෙඳපොළට සහල් සැපයුම සීමාකරමින් කෘතිම සහල් හිඟයක් වී මෝල් හිමියන් නිර්මාණය කළ බව සැබෑය. ඔවුන් කියා සිටියේ නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති හෙයින් 2020 වර්ෂයේ ගැසට් කළ සහල් පාලන මිලට ලබාදිය නොහැකි බවය. මේ සහල් ප්‍රශ්නය අවසානයේදී සිදුවූයේ රජය මගින් නාඩු සහල්, සුදු සහල්, කැකුළු සහල් හා සම්බා යන සහල් වර්ග කිහිපයක සිල්ලර මිල තවත් රුපියල් 10 කින් ඉහළ දැමීමය. සිදු වූයේ දැන් අඬන්න හිටි එකාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වැන්නකි. අවසානයේ පාරිභෝගිකයාට සිදු වූයේ රුපියල් 220 ට තිබුණු නාඩු සහල් 230ට ගන්නට ය. රුපියල් 210 තිබුණු සුදුකැකුළු සහල් 220 ට ගන්නට ය. රුපියල් 230 හේ සම්බා 240 ක් විය. මේ අන්දමින් සිදු වූයේ මෝල්කරුවන්ට රුපියල් 10ක වාසියක් ලබාදීමය. අද වනවිට එසේ වැඩි ගාණටත් කන්නට වෙළෙඳපොළේ හාල් නැති ගාණය.
රටින් හාල් එනකන් බලාසිටීම
රට හාල් අපේ රටට නුපුරුදු දෙයක් නොවේය. මීට පෙර ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩු කාලයේද ඇති වූ සහල් හිඟයට එවක රජය පිළිතුරු සෙව්වේ ද රටින් හාල් ආනයනය කිරීමෙනි. වත්මන් ආණ්ඩුව ද පසුගිය 04දා නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව මෙරට සහල් හිඟයට විසඳුම් ලෙස ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට ද පසුගිය 20 දාතෙක් අවස්ථාව ලබාදුන්නේය. එහෙත් 19 වැනිදා වනවිට සහල් ආනයනය කිරීමට හැකිවී තිබුණේ ද මෙට්‍රික් ටොන් දහසයදහසක් පමණකි. ඒ අනුව බලන විට පෞද්ගලික අංශ මගින් ආනයනය කරනු ලබන සහල් වෙළෙඳපොළට පැමිණිය ද රජය මැදිහත්ව ආනයනය කරන සහල් තොග මෙරට වෙළෙඳපොළට ලැබී ඇති බවක්ද පෙනෙන්නට නැත.
පසුගියදා ඒ පිළිබඳව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්නගෙන් ආනයනික සහල් තොග ලැබෙන්නේ කවදාද යන්න විමසූ විට ඔහු පවසා ඇත්තේ තමන්ට ඒ පිළිබඳව හරියටම එන දිනයක් ගැන පැවැසිය නොහැකි බවය. අද වනවිට වත්මන් ආණ්ඩුව නැවත වතාවක් සහල් ආනයනය සඳහා ලබාදී තිබූ කාලසීමාව ලබන ජනවාරි 10 වැනිදා දක්වා දීර්ඝ කිරීමට සූදානම් වන බවට ද වාර්තා වී ඇත. ඊට අදාළ ගැසට් නිවේදන එළැඹෙන සති අන්තයේදී නිකුත් කිරීමට නියමිතව ඇත්තේය.
ජනතාව අඩුවට රටහාල් කන්නට බලාසිටියද දැනට වෙළෙඳපොළේ ඇති ආනයනික සහල්ද දේශීය සහල් තරමටම මිලය. කැකුළු සහල්, සුදු කැකුළු සහල්ද වෙළෙඳපොළෙහි සොයා ගැනීම කළුනික සොයනවාටත් වඩා අමාරුය. ඇත්තේ රටින් ආ නාඩු හාල් හා දේශීය කීරි සම්බා හා සම්බා සහල් පමණකි. දේශීය නාඩු කිලෝවද රුපියල් 230 කි. කීරි සම්බා 260 කි. සම්බා සහල්ද 240 කි. පසුගිය 18 පස්වරුව වනවිට මෙරට පෞද්ගලික ආනයනකරුවන් ආනයනය කළ සහල් මෙට්‍රික් ටොන් 16,000 ක් කොළඹ වරායට ළඟාවී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත. එම සහල් මෙට්‍රික් ටොන් 16000 තුළ කැකුළු සහල් මෙට්‍රික් ටොන් 600ක් හා නාඩු සහල් මෙට්‍රික් ටොන් 10,000 ක් අඩංගු වූ බවද මෙම සහල් තොග හැකි ඉක්මනින් නිෂ්කාශනය කර නිදහස් කරන බවද ඔහු පවසා ඇත. මෙරට සහල් ප්‍රශ්න විසඳීමට පිටරටින් සහල් ගෙනඒමේ වරදක් නැත. වරද වන්නේ ඇතැම් ආනයනකරුවන් මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ සහල් මෙරටට ආනයනය කිරීම ය. අන්තිමේදී සිදුවන්නේ අඩුවට කන්න රටින් හාල් ගෙනත් ලෙඩ හදාගැනීමටය.
රටින් ගෙනාපු කන්න බැරි සහල්
සහල් ආනයන සීමා ඉවත් කොට පසුගිය 4 වැනිදා සිට ඕනෑම ආනයනකරුවකුට පසුගිය 20 වැනිදා දක්වා සහල් ආනයනයට අවසර දුන්නේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙසය. එය ලබන වසරේ ජනවාරි 10දා තෙක් දීර්ඝ කිරීමටද නියමිතය. පසුගිය දින කිහිපය තුළද මෙරටට ආනයනය කරන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු ගුල්ලන් සහිත මෙට්‍රික් ටොන් 50ක සහල් තොගයක් සහිත බහලුම් දෙකක් සහ කල් ඉකුත්වූ දිනය වෙනුවට ව්‍යාජ දින යොදා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙට්‍රික් ටොන් 25ක සහල් තොගයක් සහිත බහාලුමක් වහාම ප්‍රතිඅපනයනය කිරීමට රේගුව නියෝග කර ඇත. මෙරටට ආනයනය කරන සහල් තොග රේගුවෙන් නිදහස් කර ගැනීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර හා ඖෂධ පරීක්‍ෂකවරුන්ගේ පරීක්‍ෂාවට ලක්නොවුණේ නම් ඒ සියලු සහල් තොග වෙළෙඳපොළට පැමිණෙනු ඇත. ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් කියන්නේ ද ආණ්ඩුවේ ගැසට් නිසා සිල්ලර වෙළෙඳුන් පවා සහල් වෙළෙඳාමෙන් ඉවත්ව ඇති බවය. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රජය මගින් ආනයනික සහල් සඳහා පනවා ඇති රුපියල් 65 ක බද්ද නිසා ආනයනකරුවන්ද සහල් ආනයනයෙන් ඉවත්වී ඇති බවය.
“ආණ්ඩුවේ ගැසට් එක නිසා දැන් විදේශ සහල් ආනයනයත් නවත්වන තත්ත්වයක තියෙන්නේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා බදු ගහලා තියෙන්නේ. විශේෂයෙන්ම ආනයනික සහල්වලට රුපියල් 65 ක බද්දක් ගහලා. සහල් ආනයනකරුවන් කියන්නේ මෙරටට සහල් ගෙන්වනකොටම 210-220 ක් වෙනව කියලයි. ඒ අය කියන්නේ ඒ මිලට ගෙනල්ලා ආණ්ඩුව කියන ගණන්වලට දෙන්න බැහැ පාඩුයි කියලා. අනිත් එක තමයි ආණ්ඩුව මුලදී පැහැදිලිව කිව්වේ නැහැ රට සහල් ආනයනයට රුපියල් 65 ක බද්දක් ගහනවද නැද්ද කියල. අපට දැනගන්න තියෙන තොරතුරු අනුව ආනයනකරුවන් සමග සිදුකරපු සාකච්ඡාවේදී පැහැදිලිව කියලා නැහැ බද්ද අයින් කරනවද බදු සහනය දෙනවද නැද්ද කියලා. ආණ්ඩුව කළේ හාල් අර්බුදය නැති කරන්න පැවැති කොන්දේසි අයින් කරපු එක. ගැසට් එකේ අවුල හින්ද වෙළෙඳපොළේ දේශීය හාල්වත් නැහැ. සිල්ලර වෙළෙන්දෝ සහල් වෙළෙඳාමෙන් ඉවත් වෙලා. පාරිභෝගික අධිකාරියත් වටලන්නේ සිල්ලර වෙළෙන්දන්ව. සිල්ලර වෙළෙන්දන්ටත් තොග වෙළෙන්දෝ නාඩු කිලෝවක් රුපියල් 225 ට නිකුත් කරන්නේ. සිල්ලර වෙළෙන්දා තොග වෙළෙන්දන් ළඟට ගිහින් තමයි ප්‍රවාහන වියදමත් දරල හාල් ගේන්නේ. සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් පවා සහල් නිෂ්පාදනයෙන් ඉවත් වෙලා ඉන්නේ. දැන් ඔවුන් ළඟ වී නැහැ. වී ටික තියෙන්නේ මහා පරිමාණ මෝල් හිමියන් ළඟ. අපේ රටේ වැඩිපුරම වී නිෂ්පාදනය කරන්නේ නැගෙනහිර පළාතේ. ඒ කියන්නේ අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය වගේ. ඒ පැත්තෙත් මහා පරිමාණ මෝල් තිබෙනවා. ඒත් ඒවා පාරිභෝගික අධිකාරිය වැටලීම් කරන්නේ නෑ.
රට සහල් පිළිබඳව පිටකොටුව තොග ආනයනකරුවන්ගෙන් විමසීමේදී ඔවුන් කියා සිටින්නේ පසුගිය 04දා රජය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව මෙරටට සහල් ආනයනය කිරීමට පසුගිය 20 දා දක්වා අවසර ලැබුණු බවත් මේ වනවිට ද එසේ ඇනවුම් කළ සහල් තොග ලැබෙමින් පවතින බවය. ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ රජය මගින් හාල් සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවලට පනවා ඇති බදු මුදල හේතුවෙන් ඔවුනට මෙරටට පිටරටින් සහල් ආනයනයේදී එම බදු මුදලත් එකතු වූ විට සහල් කිලෝවක් රුපියල් 220 ක් පමණ වන බවය.
“භාණ්ඩ ආනයනයේදී ආණ්ඩුව හාල් කිලෝ එකකට රුපියල් 65 බැගින් බද්දක් අය කරනවා. අපේ ආනයන වියදම්, බදු මුදල් වරාය රඳවා තැබීමේ ගාස්තු එක්ක බැලුවහම හාල් කිලෝඑක රුපියල් 220ක් විතර වෙලා. අපි කියන්නේ මේ ආණ්ඩුවෙන් ආනයනය කරන ලද භාණ්ඩවලට පනවා තිබෙන බදු අඩු කරන්න. එතකොට අපට පුළුවන් ඔය කියන පාලන මිල ගණන්වලට සහල් ටික බෙදාහරින්න” පිටකොටුව සහල් ආනයනකරුවකු එසේ කීවේය.
සිල්ලර වෙළෙන්දන් කිහිපදෙනකුගෙන් පවතින සහල් හිඟය ගැන විමසීමේදී ඔවුන් කියා සිටියේ සහල් සැපයුම්කරුවන් හා තොග වෙළෙන්දා අතර පමණක් ලාභය ඇති බැවින් එය සිල්ලර වෙළෙන්දාට නොලැබෙන බවකි.
“අපි තොග කඩේට ගිහින් හාල් මිටි දෙකක් ගේන්නම අපිට ප්‍රවාහනයට මුදල් වැයවෙනවා. ඒ විතරක් නෙවේ. මේ හාල් කිරලා පොලිතින් බෑගයකට දැම්මාම එතනත් රුපියල් 3ක් අපට වැයවෙනවා. ඉතින් ආණ්ඩුව කියන ගාණට අපට හාල් දෙන්න බෑ. ඒ නිසා අපි හාල් විකිණීමෙන් ඉවත් වුණා.” සිල්ලර වෙළෙන්දකු පැවසුවේ එවැනි කතාවකි.
පාරිභෝගියකු හාල් ගැන කියන්නේ තවත් කතාවකි. ඔහු කියන්නේ සහල් මේ වනවිට වෙළෙඳපොළේ නොමැති බවය.
“ආණ්ඩුව කිව්වට සතොසෙත් හාල් නෑ… සුපර් මාර්කට්වලත් බක්කි හිස්. කීරි සම්බා හාල් තිබෙනවා. ඒවා අපට කන්න බෑ. රතු කැකුළු, සුදු කැකුළු හාල් හොයාගන්න හරිම අමාරුයි. කඩවලිනුත් ඒවා විකුණන්නේ කොන්දේසි දාලා. රුපියල් පන්සියයක බඩු ගත්තොත් එකක් දෙනවා කියනවා. රතු කැකුළු, සුදු කැකුළු හාල් කඩේ දැන් රුපියල් 260ක් වෙනවා. හැම තැනම තියෙන්නේ කළුකඩ මිල. මෙහෙම ගියොත් අපිට කන්න වෙන්නේ නෑ…” පවතින සහල් හිඟය ගැන ඔහු එසේ කීය.
“අපි හැමදාම බඩු ගන්නේ එක කඩේකින් පොතට. මාසෙන් පඩි ගත්තම බේරෙනවා. දැන් අපි ගන්න කඩේ හාල් නෑ. වැඩි ගාණට ගන්නත් නෑ. ආණ්ඩුව කියනවා හාල් එනවා කියලා. ඒත් කඩේ බැලුවම හාල් නෑ. අපි කරන්නේ කෑම වේල් අඩුකරන එක තමා වෙන කරන්න දෙයක් අපිට නෑ..” වතු ආශ්‍රිත දමිළ ප්‍රජාව කියන්නේ එවන් කතාවකි. ඔවුන් කියන්නේ තමන්ට අද හාල් ටික ගන්නට තැනක් නැති හෙයින් දවසේ ආහාර වේල් පවා සීමාකර ඇති බවය. අද පවතින සහල් හිඟයේ හා එහි පිටුපස සත්‍ය කතාව එසේය.
රමින්ද මාවතගේ