බිත්තරය 70ට ගණන් යනකොටත්

බිත්තර රොටි, බිත්තර ආප්ප, බිත්තර කොත්තු ගණන්…

බිත්තරය රුපියල් හැත්තෑව කාලේ තිබුණු බිත්තර ආප්ප බිත්තර රොටී බිත්තර කොත්තු මිල බිත්තරය රුපියල් තිහ වුණහමත් අඩු කරන්න බැරිද?

පසුගිය කාලයේ රුපියල් 65-70 දක්වා මිල ඉහළ ගිය බිත්තර මේ වන විට ප්‍රවාහන ගාස්තු ද සමග රුපියල් 30කට පාරිභෝගිකයන් අතට පත් වෙමින් තිබේ. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන් ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසා ඇත්තේ ඉදිරි කාලයේ දී මෙම මිල තව දුරටත් පහළ යා හැකි බවකි. මේ අතර දැනටමත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල බිත්තර මිල රුපියල් 28 දක්වා පහළ බැස ඇති බව ද වාර්තා වෙයි.

අප සමාජයේ දෛනික පෝෂණ අවශ්‍යතා සපුරාලනු පිණිස බිත්තර මගින් ඉටුවන මෙහෙය කෙසේවත් සුළු කොට තැකිය නොහැක. විශේෂයෙන් කුඩා දරුවන් ගේ ගැබිනි සහ කිරි දෙන මව්වරුන් ගේ දෛනික පෝෂණ අවශ්‍යතා සංතෘප්ත කරනු පිණිස ඉන් ලැබෙන පිටිවහල ඉමහත් ය.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසන අන්දමට නව ජනාධිපතිවරයා බලයට පත්වීමත් සමග එක්වරම බිත්තර මිල පහත වැටීමට සෘජු දේශපාලන සබැඳියාවක් තිබේ. ඔහු විසින් නිකුත් කොට ඇති නිවේදනයකින් පැවසෙනුයේ පසුගිය කාලය තුළ බිත්තර, සහල් වැනි පාරිභෝගික ද්‍රව්‍ය මිල මෙලෙස ඉහළ නැංවී තිබීමට හේතුව දූෂිත දේශපාලනඥයන් ගේ සාදර අනුග්‍රහය යටතේ මාෆියාවක් පැවතීම බව ය. එහෙත්, එය හුදෙක් ඔහුගේ මතවාදයක් ද නැතහොත් කරුණු සහිතව සනාථ කළ හැක්කක් ද යන්න අපි නොදනිමු. එසේම ඔහු පවසන එම මාෆියාව සම්බන්ධයෙන් සවිස්තරාත්මක අනාවරණයක් කළ හැකි නම් ඊට සම්බන්ධ පාර්ශ්වයන් ඊට අදාළ පුද්ගලයන් ගේ නම් ද සහිතව සමාජය හමුවේ තැබීමේ වගකීමක් ඔහු සතුව තිබේ. මක් නිසා ද යත් වංචා දූෂණ පිටුදැකීම රජයකට තනිවම කළ නොහැකි අතර ඒ සඳහා ජනතා සහයෝගය ද අවශ්‍ය බව නව ජනපතිවරයා ද අවධාරණය කොට ඇති බැවිනි.

මේ අතර පසුගිය සමයේ රුපියල් හතළිහේ සීමාවේ හි පැවැති බිත්තරය එක් වරම රුපියල් 10කින් හෝ ඊට මඳක් වැඩි ප්‍රමාණයකින් පහත වැටීමට හේතුව පසුගිය කාලයේ ජනපතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වූ විවිධ දේශපාලන පාක්ෂිකයන් ගේ සහ ආධාරකරුවන්ගේ ආහාර වේල් සඳහා දිනකට බිත්තර විශාල වශයෙන් යොදා ගැනීම හේතුවෙන් ඒවායේ ඉල්ලුම ඉහළ යෑම නිසා බව ද කියනු ලැබේ. ඒ අනුව ජනපතිවරණයත් සමග එක්වරම එම අධික ඉල්ලුම පහත වැටීමට සාපේක්ෂව බිත්තර මිල ද එක්වරම පහත වැටුණු බවට ද මතයක් ඉදිරිපත්ව තිබේ. ඒ අතර තවත් පිරිසක් පවසනුයේ ගෝඨාභය රාජපක්ෂ සමයේ සිදු කළ රසායනික පොහොර භාවිතය එක් වරම නවතා දැමීම මත කුකුළු ගොවිපළ සඳහා බඩ ඉරිඟු නොමැති වීම මත කුකුළු ගොවිපළ නිෂ්පාදන ක්‍රියාවලිය මුළුමනින්ම බිඳ වැටුණු අතර එම අහේනිය මඟහරින්නට පසුගිය රජයට හැකි වූ බව ය. මෙම කුකුළු ගොවිපළ නිෂ්පාදන මිල අඩුවීම එහි ප්‍රතිඵලයක් බව ද ඇතැමෙක් කියති.

බිත්තර එලෙසින්ම ආහාර පිණිස ගැනීම සේම විවිධ ආහාර නිෂ්පාදනයන් සඳහා බිත්තර එක් කිරීම ද බහුලවම සිදුවන්නකි. ඒ අනුව බිත්තර මිල ගණන් පහළ වැටීමට සාපේක්ෂව එම බිත්තර යොදා සිදු කරන ආහාර නිෂ්පාදන මිල ගණන් ද අඩු විය යුතු බව මූලිකව පෙනී යයි. බිත්තර යොදා සිදු කරන ආහාර බේකරි නිෂ්පාදන සහ බේකරි නොවන නිෂ්පාදන ද වශයෙන් කොටස් දෙකකින් යුතු ය. බේකරි කර්මාන්තයේ ප්‍රධාන අංගයක් වන කේක් නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් බිත්තර තොග සපයාගත නොහැකි වීම මත පසුගිය සමයේ බේකරි නිෂ්පාදන කටයුතු ද බරපතළ ලෙස අඩාල වූ බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයන් ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මාධ්‍යයට පැවසීය. එමෙන්ම ඔහු පවසා සිටියේ එවන් තත්ත්වයක් තුළ පවා ඉහළ යන බේකරි නිෂ්පාදන පිරිවැය මුළුමනින් පාරිභෝගිකයන් මතට පැටවීමට තම සංගමය අදහස් නොකළ බව ය. එසේ වුවද බිත්තර මිල අඩු වීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබාදෙන ලෙස සභාපතිවරයා සියලුම බේකරි හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. එමෙන්ම බිත්තර මිල එකම තත්ත්වයෙන් පවතින දෙයක් නොවන බව පෙන්වා දෙන සභාපතිවරයා මේ දිනවල මිල අඩු වුවද ඉදිරියේදී මිල වැඩිවීමක් සිදුවුවහොත් බිත්තර යොදා නිපදවන බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට නොහැකි බව ද පවසයි. කෙසේ වෙතත් බිත්තර මිල දිගටම පහළ මට්ටමක පැවතුණහොත් බිත්තර යොදා නිපදවන බේකරි නිෂ්පාදන මිල ස්ථිර මිල අඩු කිරීමකට යා හැකි වනු ඇති බවත් කේක් කිලෝවක මිල ද රුපියල් 100 කින් අඩු කළ හැකි බවත් සභාපතිවරයා පවසා තිබේ. නමුදු ඔහුගේ එම ප්‍රකාශය මත මෙම බිත්තර මිල පහත වැටීමට සාපේක්ෂව මේ වන විට බිත්තර යොදා සිදුකරන බේකරි නිෂ්පාදනවල මිල කෙලෙස පහත වැටී තිබේ දැයි අපි නොදනිමු.

බිත්තර 30ට බහින කොට ඒත්,ගණන්?

බිත්තරයක මිල රුපියල් 65-70 වූ සමයේ බිත්තර ආප්පයක සාමාන්‍ය මිල රුපියල් 120ක් දක්වා ඉහළ නැඟ තිබූ බව අපි කවුරුත් දනිමු. ඒ බිත්තරයට රුපියල් 70ක් වශයෙන් හා ආප්පයට රුපියල් පනහක් වශයෙන් යැයි අපි උපකල්පනය කරමු. සාමාන්‍ය ආප්පයක මිල රුපියල් 30ක් වුවද බිත්තර ආප්පයක් දැමීමට යන කාලය මඳක් වැඩිවීම මත එයට රුපියල් 50ක අගයක් ලබා දී ඇතැයි ද මඳකට සිතමු. එමෙන්ම බිත්තරයක් රුපියල් 65-70 කාලයේ බිත්තර රොටියක මිල ද රුපියල් එකසිය පනහ ඉක්මවා තිබූ බව ප්‍රසිද්ධ කරුණකි. එම බිත්තර මිලට සාපේක්ෂව කොත්තු රොටියක මිල ද රුපියල් 100කින් හෝ ඊට වැඩි ගණනකින් ඉහළ ගොස් තිබූ අයුරු ද අපට මතකය. බිත්තර යොදා තනන ෆ්‍රයිඩ් රයිස් වර්ගවල තත්ත්වය ද එයම ය.

ඒ අනුව මේ වන විට බිත්තරයක මිල රුපියල් 30තෙක් පහත වැටීමට සාපේක්ෂව බිත්තර ආප්පයක මිල රුපියල් 80ක් විය යුතුව ඇතත් එවන් තත්ත්වයක් ගැන අපට නම් අසන්නට ලැබී නැත. එමෙන්ම එවක රුපියල් 150කට අලෙවි වූ බිත්තර රොටිය මේ වන විට රුපියල් 100කින් යුතු වුව ද එවැන්නක් ද සිදුව නැත. බිත්තර මිල ඉහළ යෑම හේතුවෙන් රුපියල් 100 ඉක්මවා ඉහළ නැංවුණු කොත්තු රොටියේ මිල ද පැරණි ගණන දක්වා පහතට ගෙන ආ යුතු වුවද එසේ වූ බවක් ද දැන ගන්නට නැත. බිත්තර යොදා තනන ෆ්‍රයිඩ් රයිස් වර්ග ගැන ද කිව යුත්තේ ද ඒ ටිකම ය.

මේ අතර කුකුළු ගොවිපළ වෙතින් ආපන ශාලා සඳහා ඇතැම් බිත්තර සපයන්නවුන් බිත්තර ආප්ප, බිත්තර රොටී සහ කොත්තු රොටී සඳහා ප්‍රමාණයෙන් ඉතා කුඩා බිත්තර සාමාන්‍ය බිත්තරයකට වඩා රුපියල් 5කින් පමණ අඩු මිලකට සපයන බව ද ප්‍රසිද්ධ රහසකි. මෙය සියලුම ආපන ශාලාවල පවත්නා තත්ත්වයක් නොවූවද මේ අන්දමේ අයථා ලාභ ලබන ආපන ශාලා ද අප රට තුළ සුළු පටු නොවන බව නිසැක ලෙසම කිව යුතු ය.

මේ අතර මේ වන විට අප රටේ පාරිභෝගිකයන් බිත්තරවලින් ගසා කෑමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට ඇත. ඉන් පැවසෙනුයේ බිත්තර මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දීමට බේකරි සහ හෝටල් හිමිකරුවන් කටයුතු කළ යුතු බවත් එමෙන්ම බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල පැහැදිලිව ප්‍රකටව පෙනෙන ආකාරයට වෙළෙඳසලේ ප්‍රදර්ශනය කළ යුතු බවත් ය. එමෙන්ම එසේ නොකරන වෙළෙඳුන් සොයා දිවයින පුරා වැටලීම් සිදුකරන බවත් ඒ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. ඒ තත්ත්වය කෙසේ හෝ ජනතාවගේ ජීවන වියදම අඩු කිරීම තම ධුර කාලයේ ප්‍රමුඛතම අවශ්‍යතාවක් බව නව ජනපති අනුර කුමාර දිසානායක මේ වන විටත් පවසා ඇති පසුබිමක අඩු වී ඇති බිත්තර මිල හමුවේ ඒ සම්බන්ධ බේකරි හා බේකරි නොවන නිෂ්පාදන මගින් මෙලෙස එළිපිටම ජනතාව ගසා කෑමට ඉඩ දිය යුතු නැත. එමෙන්ම අදාළ විෂය පථය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යටතේ පවතින්නක් බව ද ජනතාව දනිති. ඒ අනුව බිත්තර මිල අවභාවිතා කරමින් පාරිභෝගිකයන් ගසා කෑම වහාම නතර කිරීම සම්බන්ධයෙන් නව ජනපති, අගමැතිවරිය සහ කැබිනට් මණ්ඩලය හමුවේ පොදු අභියෝගයක් එල්ල වී තිබේ. එය සිදු කෙරෙන ආකාරය අනුව ඔවුන් ගේ ඉදිරි කාර්්‍යක්‍ෂමතාව පිළිබඳ යම් පූර්ව වැටහීමක් ලබා ගැනීමට මෙරට සාමාන්‍ය ජනතාවට ඇති ඉඩ ප්‍රස්ථාව එලෙසම තබමින් අපි මේ සටහනට නැවතුම් ලකුණු තබමු.

රේණුකා දමයන්ති


advertistmentadvertistment