ශ්‍රී ලංකාවේ පිහිටා ඇති විශාලතම සොහොන් බිම ලෙස සැලකෙන සහ සුප්‍රසිද්ධ සුසාන භූමියක් වන බොරැල්ලේ පිහිටි පොදු සුසාන භූමිය වසර 150කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියයි. වර්ෂ 1866 පළමු හා දෙවැනි ලෝක යුද සමයේ මරණයට පත්වූ සොල්දාදුවන්ගේ මෘතදේහ මිහිදන් කිරීමට අක්කර 50ක ප්‍රමාණයක විසිරී ගිය බොරැල්ල පොදු සුසාන භූමිය ස්ථාපිත කර ඇත. වර්තමානය වන විට බෞද්ධ, හින්දු, කතෝලික හා වෙනත් ආගම්වල බොහෝ පිරිසක් මේ භූමියේ මිහිදන්ව ඇත. කනත්ත යන නාමය සුසාන භූමියට සමාන වචනයක් ලෙස භාවිතා වුවත් එය එසේ නොවන බවට හොඳම සාක්‍ෂිය බොරැල්ල සුසාන භූමිය පිහිටි භූමියේ නම කනත්ත වත්ත යැයි 1904දී මුද්‍රණය කරන ලද “ද ලයිෆ් ඔෆ් චාල්ස් හෙන්ද්‍රි ද සොයිසා” නම් ග්‍රන්ථයේ පැහැදිළිව සටහන්වී තිබීමය.

සාහිත්‍ය කලාව තුළ කවියට හා නිසඳැසට හිමිව ඇත්තේ ප්‍රමුඛස්ථානයකි. මන්ද අවියක් වන් වූ කවිය තුළින් ඇතැම් සමාජ පණිවිඩ ජනගත කරන්නද ලේඛකයන්, කවියන් උත්සුක විය. එදා ජන සමාජය තුළ කවි කොළය, කවි කොළකාරයා යන පුද්ගලයාට තිබූ ස්ථානය අනුව කාව්‍ය මාධ්‍යයේ ප්‍රබලත්වය කියාපානා අවස්ථාවක් ය. කවිය, නිසඳැස බොහෝ අවස්ථාවල අතීතයේ පටන් පැවත ආවේ සිය දුක, සතුට, හැඟීම් මේ සියල්ලක්ම ප්‍රකාශ කිරීමට හැකි කලා මාධ්‍යයක් ලෙසිනි. අතීතයේ පටන් මේ දක්වා මුඛ පරම්පරාගතව පැවත ආ ජන කවිය ද මිනිසාගේ දුෂ්කරතා, අත්දැකීම් මේ සියල්ලේ එකතුවක් ලෙස සඳහන් කළාට වරදක් නැත. ඒ සියල්ල අතර කුරුටු ගීය ද වෙනස්ම වූ කලා මාධ්‍යයක් ලෙස හඳුනාගත හැකි ය. එමෙන්ම සුසානයේ කවි කලාව ද ජීවත්ව සිටින මිනිසුන් අභිබවා මියගිය මිනිසුන් වෙනුවෙන් දී ඇති වටිනාකම පිළිබිඹු කරන්නා වූ නිර්මාණශීලී අවස්ථාවක් ලෙස හඳුනාගත හැකි ය.

වියෝවේ දුකින් පිරුණු කවි සිත්තම් ලියැවුණු ප්‍රසිද්ධ සහ අප්‍රසිද්ධ දිවි ගෙවමින් ධවල ධජ පෙරටු පෙරහැරින් සිය අවසන් නිද්‍රාව සුවසේ නිදන සුවිශේෂී බිමක් ලෙස බොරැල්ල කනත්ත සුසාන භූමිය හඳුනාගත හැකිය. අක්කර පනහකට ආසන්න ප්‍රමාණයක විසිරී ඇති බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේ බෞද්ධ, හින්දු, කතෝලික ආදී ආගම්වල පුද්ගලයන්ගේ ද මෘත දේහ විශාල ප්‍රමාණයක් තැන්පත් කර ඇත. බොරැල්ල නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම සොහොන් බිම තුළ අනේකවිධ සැප සම්පත් මැද දිවිගෙවූ සියල්ලන්ටම අවසානයේ සමබිමක නිදන්නට වී ඇත්තේ ලෝක ධර්මතාවය අප සැමට වටහා දෙමිනි.

බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේ සුසානයන්හි ලියැවුණු කවි සොයා ගිය ගමනේදී අපහට අප්‍රසිද්ධ ජීවිත නමින් බැඳි ස්මාරකයන්හි තිබූ හැඟීම්බර පද එක්කොට, වියෝ දුක වෙනුවෙන් ලියවුණු කවි රැසක් හමු විය. දිනෙන් දින දිරාපත් වන රූපකාය සේම අව්වැසි සියල්ලන්ටම හසුවෙමින්, මැකී යමින් පවතින බොඳව ගිය කවි සිත්තම් ද බොරැල්ල සුසාන භූමිය තුළ බොහෝ ඇත.

මවක් සහ දරුවන් අතර පවතින්නේ උපතටත් පෙර බැඳීමක් ය. එසේ වූ කල මවකගේ වියෝව ඔවුන්ට දැඩිව දැනෙන්නේය. සුසානයේ කවි අතර මව් සෙනෙහසේ වියෝව රැඳි කවි කිහිපයක් මෙසේ ය.

“සෙනෙහෙ දියවර
ලොවෙහි පණ නල
සුනිල් සිසිලස
අම්මා !

දිවිය දියකර
දෙනෙත් දී මට
සුවෙන් සැතපෙන
සීත යාමය,

ඔබේ තනියට
මා නොයන දින
නිවන් විල්තර
ගිම් නිවනු මැන.!”

ආදරණීය මවක වූ ඇය නමින් අනුලා කොටුගොඩ ගෝමස්ය. ඇගේ වියෝවේ දුක දරා ගත නොහැකි වූ දරුවන්ගේ හැඟීම් වචන වී පද ගැළපුමක්ව ස්මාරකයෙහි සටහන්ව තිබුණේ එසේය.

හුණුපිටිය ගංගාරාම දහම් පාසලේ විදුහල්පතිනිය වශයෙන් සිටි උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්යවරියක වූ ස්වර්ණ කැලුම් සමූහ ව්‍යාපාරයේ සභාපතිනිය වශයෙන් සිටි ස්වර්ණා මඩියහේවා මැතිණිය වෙනුවෙන් ලියැවී තිබූ කවි සටහන මෙසේය.

“ඔබ රන් ලියකි, සුවියන් සඳකි
සිව් බඹ ගුණැති, සෙනෙහැති මවකි
පින්සරු ලඳකි, මහ උවැසියකි
අප හඳ පිපුණු නොමලන මලකි”

දරුවන්ට මව යනු සිය ලෝකයම හා සමානය. ඇගේ වියෝව දරුවන් පාළු ලොවක අතරමං කළාක් වැනිය. මන්ද දරුවන්ගේ අඳුරු විශ්වයට චන්ද්‍රයා හා සමාන වූ මෑණියන්ගේ වියෝව දරා ගැනීමට නොහැකිව අකුරු වී තිබූ පබැඳුම මෙසේය.

“තනිය පාළුව හුදකලා බව
නිමේෂයකින් සිතින් සඟවා
ලොව්තුරා බුදු සමිඳු පා මුල
පාරමී දම් පිරුව අම්මා….

අමාවක සඳ අවනතයි අද
කෙලෙස මේ අඳුරේ සරන්නා
දුන් කිරට ණය ගෙවන්නට බෑ
බුදුවෙන්න රත්තරන් අම්මා…”

මවකගේ වියෝව දරුවන්ට කෙසේ නමුත් දරා ගැනීමට නොහැකි හැඟීමකි. විටෙක සිය දරුවන්ට පමණක් නොව බොහෝ දරුවන්ට මවක් වන අයකුගේ වියෝව ඒ හිත් කෙසේ නම් දරා ගන්නට ඇත්දැයි ඇතැම් කවි සිතුවම් දකින විට සිතෙන්නේය.

මවකගේ සෙනෙහස මෙන්ම පියකුගේ සෙනෙහස ද අහිමි වී යෑම දරුවන්ට දරාගත නොහැකිය. “පිය සෙනෙහසට කවි ගී ලියවුණා මදි” යැයි කීවාට සුසානයේ තනි වූ පියවරුන්ගේ සොහොන් කොත් නම් අපූරු කවි වලින් සිත්තම් වී පැවති ආකාරයක් දැක ගැනීමට හැකිවිය. මේ එවන් එක් කවි සිත්තමකි.

“ඉරේ එළිය අහසට නොව පොළොවටය
සඳේ සිසිල ඉහළට නොව පහළටය
මලේ සුවඳ ළඟකට නොව දුරකටය
ඔබේ අගය ගමකට නොව රටකටය

භවෙන් භවය එක මඟ සපැමිණි බැවිනි
ළඟින් හිඳින පින අප සැමටම ලැබුණි
උතුම් මිනිස් ගුණ කිසිවිට අඩු නොවුණි
නිවන් දකින තුරු හමුවෙමු හිමි සඳුනි”

ජනාධිපති සම්බන්ධීකරණ අධ්‍යක්ෂකව සිට, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ විශ්‍රාමික පරිපාලන අධ්‍යක්ෂක වූ මුළු දිවයිනටම සාම විනිසුරුවරයකු වූ ශාස්ත්‍රවේදී හේම මාඩිවිල මැතිතුමාගේ වියෝව දරාගත නොහැකි වූ බිරිඳ ඇතුළු දූ දරු පිරිසගේ දුක ඔහුගේ ස්මාරකයේ අකුරු වී ඇත්තේ එසේය.

දෙහිවල නැදිමාලේ පදිංචිව සිටි ගුණදාස සමරවික්‍රම පියාණන් වෙනුවෙන් දරුවන්ගේ හදෙහි පැනනඟින ශෝකය ස්මාරකයේ අකුරු වී තිබුණේ මෙසේය.

“පියාණෙනි ඔබේ ගුණ ගැඹරේ
සුවඳ මහිම දස අත පැතිරේ
පියගුණ කඳ දුබලයි සසරේ
අප හද තුළ ඔබ නිදි සැමරේ

පියාණෙනි ඔබ අප අතරේ
උපදිනු මැන මතු මතු සසරේ
දුක් නිම වන්නට බව කතරේ
පතමු ඔබට අම සුව සතිරේ”

අනේක විධි වූ කවි සිත්තම් මේ බිමේ සොහොන් කොත් හි සටහන්ව ඇත්තේ ජීවත් වන්නන්ගේ කඳුළ ශෝකය මතිනි.

“අමිල සෙනෙහස – රැඳුනු නෙතු යුග
මගේ හිමි සඳ – අපේ පියතුම
ලොවක් එළි කළ – ඔබේ මෙහෙවර
එකට එක්කල – මහරු සිප්හල
කොටහේන කුමර විදුහල

මහඟු මිනිසෙකි – දැයට පහනකි
ඔබේ ගුණ කඳ – අපට දිරියකි
මතුද සසරෙහි හමුව නිරතුරු
ඔබට පතනෙමු අමර මොක් සුව”

අනිත්‍ය ලෝකයේ නිත්‍ය කිසිවක් නැත. ඒ තවත් සොහොන් කොතක වියෝවේ දුක සටහන්ව තිබූ අයුරුය.

සුසාන භූමියට රැකියාව, සමාජ මට්ටම ධනය, බලය ආදී කිසිවක් වැදගත් නැත. උස් මිටි භේද පසෙකලා බොහෝ පිරිසක් මේ බිමෙහි නිසලව වැතිර සිටින්නේය.

දිවියම මිනිසත්කම වෙනුවෙන් වැය කළ කොළඹ මහ නගර සභාවේ සුසාන භූමි පාලවකවරයකු මෙන්ම සුප්‍රීම් අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු, ප්‍රින්සස් ෆ්ලවර්ස් ආයතන ආරම්භ කළ ගඟබඩ ආරච්චිගේ සෝමසිරි පෙරේරා මහතා ද මේ බිමේ නිසලව නිදන්නේය. මේ එහි සටහන්ව පැවැති නිසඳැසයි.

“පන් හිඳින් පත් ඉරුවෙන් උපමා උපමේය යොදමින්,

සුවහසක් අකුරු කළ ද
රන් ගල් කටුවකින් ගැදි පැදියෙන් බැඳෙමින්,
සෙල්ලිපි දහසක කළද
නිහඬ ස්වරයෙන් දනන් අමතන,
සොහොන් කොත් රැස් නඟා
ගුණදම් සත් සරින්
ඔබේ සුදු මුදු පිවිතුරු හදවතේ නැඟි මානවදයා
සමුදා පැවසුව
ඒ කිසිත් නොනිත් වේ
ඔබ මැ තැනූ අප හදවත් වලට
ඔබ හා බැඳුණු සිත් ආත්මීයව පතති සමාධි දැහැනින්
නිවන් දක්නා ජාති දක්වා,
අත් බවින් අත් බවට ඔබ අපේම වන්නට

බෝසත් චරිතයක්, රන්වලා යානාවක නැඟි
මඟ එමින් සිටින වග දෙවියන්ට පවසමින්
කවි සියොත් කැළ ඉගිලෙමින් අහස්තල
මිහිරි ගී ගයන සඳ
වැඳ ඔබේ දෙපා මුල පතන්නෙමු නිවන් සුව”

ඔබ අප කවුරුත් හඳුනන මැලිබන් නාමය කෙසේ නම් අමතක කරන්නද. ඔහු අනේක විධි දුක් විඳ ඒ ගොඩනැඟූ නාමය අද රට පුරා ප්‍රචලිත නාමයකි. මැලිබන් හෝටල් සමූහ ව්‍යාපාරයේ සහ මැලිබන් බිස්කට් මැනුෆැක්ටර්ස් හි නිර්මාතෘ, මැලිබන් මුදලාලි නොහොත් ඒ. ජී. හින්නි අප්පුහාමි මැතිතුමා සිය මැතිනිය සමග සුවසේ නිදන්නේ ද එම භූමියේය. එම ස්මාරකය මැලිබන් මුදලාලි මහතා පිළිබඳ ගුණ පබැඳුමකින් සැරසී තිබුණේ මෙසේය.

“සේසත් නැඟූ අරඹා සුළු විලස මුලින්
කාටත් පිදූ සම කරුණා සුවඳ මලින්
පාමොක් දිවි ගෙවූ දහමට බරව කෙලින්
බෝසත් ගුණය දුටුවෙමු අපි මැතිඳු තුළින්”

ඩී. පී. ජයසිංහ සමූහ ව්‍යාපාරයේ අධිපති ඩී. පී. ජයසිංහ පියාණන්ගේ හා ලීඩින් නෝනා ජයසිංහ මෑනියන් සිහිවීම පිණිස ඉදිකර තිබූ සොහොන් කොත සැරසී තිබුණේ පහත කවියෙනි.

“නිතින් සසර මග පියමැන ආ බැවිනි
ළඟින් හිඳින්නට පින නො අඩුව ලැබුණී
උතුම් මා පියණි ! ලය සොමි ගුණ හිතිනී
නිවන් දකින තුරු හමුවෙමු සෙනෙහසිනි”

පොලිස් නිලධාරීන් අනේක විධි අවමන් විඳින යුගයක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස්. බී. සේනාරත්න මහතාගේ සුසාන සිරස හැඩවී තිබුණේ මෙසේය.

“උස් මිනිසෙක්ව පොලිසිය තුළ කර සේවේ
රස්සාවටයි අභිමානය කැඳ වූවේ
තිස්සෙම නියම උත්තම ගති ගුණ පෑවේ
ලස්සන පරපුරකි මෙලොවට ගෙන ආවේ”

ගුරුවරයෙක් යනු දරුවකුගේ දෙවැනි දෙමාපියන්ය. ඔවුන් යහමග ගෙන යෑමටත් ගෙන නොයෑමටත් හැකියාව ගුරුවරයා සතුය. එවන් නැසී ගිය ගුරුපියකු වූ වයි. ජී. උපාලි පියවර්ධන නොහොත් උපාලි සර් සිහිවීම පිණිස ඉදිකර තිබූ ස්මාරකයේ ඔහුගේ ගුණ අකුරු වී තිබුණේ මෙසේය.

“සිප් කිරි පොවා පියගුණ යහමින් රැගෙන
මිනිස් කමට නිසි අරුතක් දුන් නිතින
රටක් වටින නුඹේ ආදර ගුණ හුස්ම
අනේ හිතින් සඟවා තැබූ වෙද කොතන”

එමෙන්ම මව පියා දෙදෙනාගේම වියෝවෙන් ශෝකයට පත් දරුවන්ගේ කඳුළු වචන වී තිබූ සොහොන් කොත්ද දැකගැනීමට හැකි විය. මේ එවන් කවියකි.

“දස මස කුස දරා දහදුක් විඳි අම්මා
සෙවණට පියස්සක් විලසින් සිටිය පියා
අප රැකගෙන අපේ ලොව රජ කෙරුව පියා
නිවනින් නිවේවා මතු බුදු වී ඔබ දෙදෙනා”

ආදරණීය බිරිඳ වූ රුවනි විජේසේකර බහරේන් රාජ්‍යයේ දී සිය දෑස් ඉදිරිපිටම හදිසි හෘදයාබාධයකින් මිය යෑමේ දුක ස්වාමියකු අකුරු කර තිබුණේ මෙසේය.

“සිනාවේ උල්පත
දයාවේ රන්දිය දහර
මේ මිහි තලය පුරා – ගුණ සුවඳ අතුරා
අකලට පර වුණු මගේ රෝස කුසුම…

ආදරණීය රූ……
සංසාර ගිරි දුර්ගය තරණය කරන තුරා
මතු උපනූපන් ජාති ජාතිත්
යළි යළිත් අප හමුවේවා…..

සහෝදර සහෝදරියන් අතර පවතින්නේ බිඳ දැමිය නොහැකි ආදරණීය සබඳතාවයකි. තම එක කුස උපන් සහෝදර සහෝදරියකගේ වියෝවක් කෙසේ නම් දරා ගත හැකිද. මේ සිය සොහොයුරාගේ වියෝව වෙනුවෙන් දුක වචන වී තිබූ අයුරුය.

“මෙතේ බුදුන් දැක ගන්නට සංසාරේ
පෙරුම් පුරමු අපි එක්වී මතු භවයේ
මගහැරුණත් අපහට ඔබ මේ භවයේ
ඉපදෙමු යළිත් එක මව් කුස මතු බවයේ”

සුසාන ස්මාරකයන් හැඩ වී තිබෙන කවි කියවන විට පියවි ලෝකයේ ජීවත්ව සිටින විට නොතිබුණු බැඳීමක්, වටිනාකමක්, ගෞරවයක් මේ මියගිය පිරිසකට පවතින බවට ජීවමාන සාක්ෂි තවත් අනවශ්‍යය.

අස්ථිර වූ ලෝකය තුළ ජාති, ආගම්, කුල, බල, නිලතල පසෙකලා අප කාට කාටත් මේ අනිත්‍ය දහම පොදුය. මේ නිස්කලංක භූමියට සිය අවසන් නින්ද්‍රාවට යා යුතු දිනයක් නිතැනින්ම අප කාටත් උදාවන්නේය. එනිසා සියලු තරහා මරහ, වාද භේද පසෙකලා ජීවත් විය යුතු වන්නේ අවසන් නින්ද්‍රාවට යන්නා වූ දිනය නිශ්චිතව කිව නොහැකි නිසාමය.

චින්තනී වික්‍රමනායක
ඡායාරූප – රමින්ද මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment