මුරුන්කන් රෝහල් භූමියේ සෙල් ලිපිය බංකුවක් කරගෙන
මේ ගල්ලෑල්ල සෙල් ලිපියක් කියලා දැනගෙන හිටියේ නෑ…
මුරුන්කන් රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා
උතුරේ පුරාවිද්‍යා විනාශය වැඩිවෙලා තියෙන්නෙ යුද්දෙන් පස්සේ…
මුරුන්කන් පුරාවිද්‍යා ස්ථානය බෞද්ධ සිද්ධස්ථානයක් විදිහට ගැසට් කරලා…
අනුරාධපුර යුගයට අයත්, ගෙඩිගේ සම්ප්‍රදායට නිර්මාණය කර ඇති පිළිම ගෙය කැණීම්වලින් සොයාගැනීමට පෙර සිට මුරුන්කන් කට්කිඩන්දකුලම් පුරාවිද්‍යා ස්ථානය පැරැණි බෞද්ධ සිද්ධස්ථානයක් බව තහවුරු කර ගැනීමට ඇවැසි බෞද්ධ ස්මාරක රාශියක් හමුවී තිබුණි. බුද්ධ ප්‍රතිමා වහන්සේ සිවුනමක් ඒ අතර ශේෂ වී තිබීම සුවිශේෂත්වයකි. පොලොන්නරු යුගයට අයත් හුනු ගලෙන් නිර්මාණය කරන ලද බුදු පිළිම වහන්සේනමක් සහ අනුරාධපුර යුගයට අයත් රෝස පැහැය, කළු පැහැය මිශ්‍ර නයිස් පාෂාණයකින් නිර්මාණය කරන ලද දිලිසෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙනමක් ඒ අතර විය. නටබුන් වූ දාගැබ, පැරැණි බෝධීන් වහන්සේ ළඟ සිටිනවිට ඒ භූමියේ ක්‍රියාත්මක වන ශක්තිය හොඳින් දැනෙන බව ද සැබෑය. පුරාවිද්‍යා කැණීම්වලින් මතු වූ ගොඩනැඟිල්ල පිළිම ගෙයක් බව තහවුරු වීමත් සමග මුරුන්කන් පුරාවිද්‍යා ස්ථානය පුරාවිද්‍යාත්මක වශයෙන් ද ඉපැරැණි බෞද්ධ පුදබිමක් බව සක්සුදක් සේ පැහැදිලි වීම උතුරේ බෞද්ධ උරුමයට අග්‍ර වටිනාකමකි. එවැනි වටිනාකමක් සහිත ‘මුරුන්කන් පන්සල’ කෙසෙල් වත්තක් කරන තෙක් නොපෙනීම අදාළ බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ අඳබාලකමකි.
මෝදරගම් ආර සෙල්ලිපියෙහි දැක්වෙන ‘මගණ නකර’ යනු වාර්තමානයේ මුරුන්කන් ප්‍රදේශය වන බවත්, මහා වංශය ඇතුළු වංශ කතාවන්හි දැක්වෙන ‘මංගන විහාරය’ මුරුන්කන් විහාරය බවත්, සීගිරි කුරුටු ගීවල සඳහන් ‘මගනව’ යන ස්ථාන නාමය ටොලමිගේ සිතියමෙහි දක්වා ඇති ‘මාර්ගන’නම් ස්ථානය හා නම් පොතෙහි සඳහන් ‘මක්කම’ යන ස්ථානයත් වාර්තමාන මුරුන්කන් හැඳින්වීමට අතීතයේ භාවිත කළ නාමයන් බව ඉතිහාසයේ සඳහන්ය. එමෙන්ම මාන්නාරම මුරුන්කන් පුරාවිද්‍යා භූමියේ ත්‍රස්තවාදී අරගල සමයේදී ද විහාරස්ථානයක් තිබූ බව ප්‍රදේශවාසීහූ පවසති. වාර්තා වන ආකාරයට කොටි ත්‍රස්තවාදී අරගල ආරම්භ වීමට පෙර මන්නාරම මුරුන්කන් ගමේ ජීවත් වූ බහුතරය සිංහල මිනිසුන් ය. 1950 ගණන්වල සිට ඉපැරැණි මුරුන්කන් විහාරය සොයාගෙන සංවර්ධනය කිරීමට ඒ ගම්වාසීන් දැඩි උත්සාහයක් ගෙන ඇති බව ද වාර්තා වේ. එම පුරාවිද්‍යා ස්ථානයේ වැඩ සිටින හිඳි පිළිම වහන්සේ ඉදිරිපස ‘ශ්‍රී 1950’ වර්ෂ සටහන සහිත නව ආසනයක් දැකීමත් සමග ඒ බව තහවුරු වන බව ද සැබෑය.
එහෙත් කොටි ත්‍රස්තවාදයේ වර්ධනයත් සමග මුරුන්කන් සිංහල මිනිසුන් ගම අතහැර ආරක්‍ෂිත ප්‍රදේශවලට සංක්‍රමණය වී ඇත. ඉනිඳු වල් වැදුණු මුරුන්කන් විහාරය සහිත භූමිය යුද්ධයේ අවසානයෙන් පසු ප්‍රදේශයේ ගොවියෙක් මිල දී ගෙන කෙසෙල් වගා කිරීමට පටන්ගෙන ඇත. පුරාවිද්‍යා ස්මාරක සහිත භූමියක් විකිණීමට රටේ නීතියට අනුව අවසර නැත. කාගෙන්, කීයකට මිලදී ගත්තේ ද යන්න ඉඩමේ අයිතිකරුගෙන් විමසුව ද නිවැරදි තොරතුරක් නොලැබිණි. බෞද්ධ ස්මාරක සහිත ප්‍රදේශය අතහැර කෙසෙල් වගා කිරීමට තරම් ඔහු යහපත් මනුස්සයෙක් වීම මුරුන්කන් පුරාවිද්‍යා ස්ථානය මේ තරමට හෝ ආරක්‍ෂා වීමට හේතු වී තිබෙන බව සැබෑය. එහෙයින් පුරාවිද්‍යා ස්ථානයේ කෙසෙල් වගා කර ඇති දෙමළ ජාතිකයාට අපි චෝදනා නො කරමු. විහාර භූමියක් ලෙස ලියාපදිංචි කර ඇති, එම බෞද්ධ පුදබිම භාරව සිටින ස්වාමීන් වහන්සේ වගකීම හරිහැටි ඉටු කරනවා ද යන්න හෘද සාක්‍ෂියෙන් විමසා බැලීම උන්වහන්සේගේ යුතුකමකි. ඒ හැර උන්වහන්සේගේ වගකීම සම්බන්ධයෙන් ද අපි කිසිවක් නොකියමු. පුරාවිද්‍යා කැණීම්වලින් මතු කරගත් ප්‍රතිමා ගෘහය නැවත වල් වැදෙන තත්ත්වයට පත්ව ඇත්තේ එම පුරාවිද්‍යා ස්ථානයට කුඩම්මාගේ සැලකිලි හෝ නැති නිසාය. එය ජාතික අපරාධයකි. එම ස්ථානය භාර ගිහි, පැවිදි දෙපාර්ශ්වය වගකීම් පැහැර හැරීම අකුසල් කන්දක් රැස් කර ගැනීමක් බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධනයන් අප සමග පැවසුවේය.
“මේ ස්ථානයේ තිබිල, තියෙන්නේ විශාල විහාරස්ථානයක්. කැණීම් කරලා සොයාගත් පිළිම ගෙය අවට තවත් විහාරංග රාශියක් තියෙන්න ඕනෑ. ඒවා මේ පොළොව යට නිධන්ව ඇති. ඒවා කැණීම් කරලා සංරක්‍ෂණය කරන්න ඕනා. මෙවැනි වටිනා බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන ආරක්‍ෂා කර ගන්න බැරිනම්, සංරක්‍ෂණය කිරීමට වැඩපිළිවෙළක් නැතිනම් කරන්න පුළුවන් භික්‍ෂූන් වහන්සේ නමකට හෝ බෞද්ධ සංවිධානයකට කරන්න ඉඩ දෙන්න ඕනෑ. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිය උදෙසා දිවි දෙවෙනි කොට වැඩ කරන පින්වත් ස්වාමීන් වහන්සේ මේ රටෙත්, ලෝකය පුරාත් වැඩ සිටිනවා. බෞද්ධාලෝක පදනම වැනි බෞද්ධ සංවිධාන තියෙනවා. ඒ සංවිධාන සමග හෝ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කරන ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කර මේ ස්ථාන සංරක්‍ෂණය කරන්න භාරකාර ගිහි, පැවිදි උදවියට ශක්තියක් තියෙන්න ඕනෑ. පින තියෙන්නත් ඕනෑ…” පෙළගැසුණු වචන කිහිපය අගනේය. කළ නොහැකි නම්, කළ හැකි කෙනකුට ලබාදීම උතුම් මනුෂ්‍ය ගුණාංගයකි. එසේ කිරීම සමාජයට ද ආදර්ශයකි. එසේ වෙන්න මන්නාරම, මුරුන්කන් පැරැණි පන්සල වව්නියාවේ ‘සපුමල්ගස්කඩ රජමහා විහාරය’ කුරුන්දි විහාරය මෙන් ප්‍රතිසංස්කරණය කර සම්බුද්ධ ශාසනයට පූජා කෙරුණු ඇත. දෙස්, විදෙස් බෞද්ධ ජනතාව ඉපැරැණි විහාරය වන්දනා කිරීමට පැමිණෙන බැවින් මුරුන්කන් ප්‍රදේශය ද දියුණු වනු ඇත.
මන්නාරම, මුරුන්කන් අවට තවත් පුරාවිද්‍යා ස්ථාන, ස්මාරක රාශියක් දැක ගැනීමට තිබේ. මුරුන්කන් පුරාවිද්‍යා ස්ථානයට කිලෝ මීටර අටක් පමණ, වයඹ දෙසින් වර්තමානයේ මාලිගාපිට්ටි ලෙස හැඳින්වෙන ස්ථානයෙහි ස්තූප ගොඩැල්ලක් ඇතුළුව ඉදිකිරීම් සාධක බොහෝමයක් ශේෂ වී පවතී.
මාලිගාපිට්ටි පුරාවිද්‍යා ස්ථානයට
ගිනිකොණ දෙසින් කිලෝ මීටර් 23ක් පමණ දුරින් මල්වතු ඔය හරස්කොට තනා ඇති තෙක්කම අමුණ පිහිටා ඇත. එම අමුණෙන් ජලය රැගෙන ගොස් ඉදිකර ඇති යෝධ වැව, මුරුන්කන් පුරාවිද්‍යා ස්ථානයට වයඹ දෙසින් කිලෝ මීටර් හතරක් පමණ ඈතින් පිහිටා ඇත. මාලිගාපිට්ටි ස්තූපය කොටවෙහෙර ආකෘතියට අයත් එකක් වියහැකි බව ඉතිහාසඥ සමීර ප්‍රසංගයන් අපට පැහැදිලි කළේය. එහෙත් මාලිගාපිට්ටි ගමේ දෙමළ මිනිස්සු අපට කීවේ එම ස්ථානයේ පැරැණි මාලිගාවක නටබුන් තිබෙන බව ය. එමෙන්ම එය දෙමළ රජ කෙනකුගේ මාලිගාවක් බව ද ඔවුහු පැවසූහ.
“මේ ගම්වල මිනිස්සු චෛත්‍යයක් කිව්වට දන්නෙ නෑ. ඒ අය හිතා ගෙන ඉන්නේ පැරැණි මාලිගාවක් කියලා. මාලිගාපිට්ටි කියන්නෙම සිංහල නමක්. දෙමළ භාෂාවේ මාලිගා කියලා වචනයක් නෑ.
මාලිගාපිට්ටි නමින් එම පුරාවිද්‍යා ස්ථානය හැඳින්වුවට මාලිගාවක නටබුන් නෑ. විශාල චෛත්‍යයක ගොඩැල්ලක් තියෙනවා. මන්නාරම දිස්ත්‍රික්කයේ දැනට සොයාගෙන තියෙන විශාලතම චෛත්‍ය අතරින් එකක් වෙන්න පුළුවන්. ඒ තරමට විශාලයි. චෛත්‍යයට බටහිර දිසාවෙන් කුඩුම්බි සහිත පාදම් ගල් දෙවඩියක් පේන්න තියෙනවා. පිට වඩියක් සහ ඇතුළු වඩියක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ පාදම් ගල්වල හැඩය වෘත්තාකාරයි. මැද පූජා වස්තුවක් තැන්පත්ව තිබූ වෘත්තාකාර ගොඩනැඟිල්ලක් තිබූ ස්ථානයක් බවට අනුමාන කරන්න පුළුවන්. බොහෝවිට ආසනගරයක් වෙන්න පුළුවන්. ආසනගරය කියන්නේ සිරි පතුල් ගල් මැදි කොට නිර්මාණය කරපු ගෘහයට. ඒත් ආසනයක් හෝ සිරිපතුල් ගලක් මේ ස්ථානයෙන් සොයාගෙන නෑ. මේ ස්ථානයේ පුරාවිද්‍යා කැණීම් කරනවානම්, ඓතිහාසික සාධක රාශියක් සොයාගන්න පුළුවන්. විශාල ප්‍රදේශයකට විහිඳුණු ඉපැරැණි විහාරස්ථානයක නටබුන් හමුවෙන්නත් ඉඩ තියෙනවා…” සමීර ප්‍රසංග පෙති ගඩොල් කැබල්ලක් ඇහිඳ ගෙන අප දෙසට දිගු කළේය.
විසල් දාගැබ් ගොඩැල්ල වටා සහ ඒ අවට විවිධ හැඩයේ පැරැණි ගඩොල් විසිරී තිබෙන අයුරු පෙනේ. අපගේ සාමාජිකයන් විසිරුණු නටබුන් පරීක්‍ෂා කරන අයුරු ද ඇස ගැටේ. දාගැබ් ගොඩැල්ල ඡායාරූපගත කරන අතරේ එක් අයෙක් ඩ්‍රෝන කැමරාවක් ද ගුවන් ගත කළේය. අප එම ස්ථානයට පැමිණ හෝරාවක් ගතවූයේ නැත. ප්‍රදේශවාසීහූ අපව වට කර ගත්හ. සිංහල වචනයක් හෝ කතා නොකරන ඔවුන් දෙමළ භාෂාවෙන් උස් හඬින් කතා කරනවිට නීතිඥ සමිත් කල්හාර දෙමළ භාෂාවෙන් අප පැමිණි අරමුණ පැහැදිලි කළේය. ප්‍රදේශවාසීන්ගේ උස් හඬ වියැකිණි. අප ද එම ස්ථානයෙන් පිටත්වීමට කථිකා කළෙමු. නිහඬ වූ ප්‍රදේශවාසීහූ අප එම ස්ථානයෙන් පිට මං වන තෙක් රැඳී සිටියහ. මාලිගාපිට්ටිවලින් පිටත් වූ අපි මුරුන්කන් රෝහල දෙසට ගමන් කළෙමු. ඒ මුරුන්කන් රෝහල් භූමියේ ඇති සෙල් ලිපිය පරීක්‍ෂා කිරීමට ය. මුරුන්කන් රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයාගේ සිට කාර්ය මණ්ඩලයේ බහුතරය අප සමග සුහදශීලීව කතාබහ කරමින් සෙල් ලිපිය සෙවීමට සහාය වූහ. රෝහල් භූමියේ ක්‍රීඩාපිටිය සමීපයෙහි රස්තියාදු බංකුවක් බවට පත් කර ගෙන තිබුණු ගල්ලෑල්ල ‘සෙල් ලිපියක්’ බව රෝහල් කාර්ය මණ්ඩලය හඳුනාගත්තේ ද අප එම ස්ථානයට ගොස් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුවය. එම සෙල් ලිපිය කියැවීමෙන් වටිනා ඓතිහාසික තොරතුරු රාශියක් අනාවරණය කර ගැනීමට හැකි බව එය පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව ඉතිහාසඥ සමීර ප්‍රසංග අප සමග පැවසුවේය.
“නාග නමින් හැඳින්වෙන මහ රජ කෙනෙක් ආසන්නයේ පැවැති විහාරයකට ලබාදුන් ගම්වර ප්‍රධානයක් සම්බන්ධ ලියවිල්ලක්. අපර බ්‍රාහ්මීය සෙල් ලිපියක්. පූර්ව බ්‍රාහ්මීය ශිලා ලේඛනවලින් පසු නිර්මාණය වූ ශිලා ලේඛන හඳුන්වන්නේ අපර බ්‍රාහ්මීය සෙල් ලිපි වශයෙන්. මහාදාඨික මහානාග රජුගේ (ක්‍රි.ව. 9-21) කාලයට අයත් සෙල් ලිපියක් බව හඳුනාගත හැකි සාධක තියෙනවා. මහාදාඨික මහානාග රජු උතුරු පළාතේ ස්ථාන කිහිපයක වෙහෙර, විහාර ඉදි කර ඇති බව මහාවංශයේ සඳහන් වෙනවා. මහාදාඨික මහානාග රජුගේ සෙසු සෙල් ලිපි සමග සසඳනවිටත් මේ සෙල් ලිපිය සමාන වෙනවා. ඒත් මේ සෙල් ලිපියක් බව රෝහල් කාර්ය මණ්ඩලය දැන ගෙන ඉඳලා නෑ. ඒ නිසා තමයි බංකු ලෑල්ලක් විදිහට පාවිච්චි කරලා තියෙන්නේ. නැවත එහෙම වෙන එකක් නෑ. සෙල් ලිපියක් බංකු ලෑල්ලක් කර ගැනීම ගැන ඒ අය පසුතැවුණා…” එම භූමියේ තවත් පුරාවිද්‍යා සාධක තිබේදැයි විපරම් කිරීමට සමීර ප්‍රසංග ක්‍රීඩාපිටිය දෙසට ඇවිද ගියේය.
එම ශිලා ලිපියේ ඉතිරිව ඇත්තේ කොටසක් පමණි. ඉතිරි කොටස් කඩා ඉවත් කර ඇති බව පෙනේ. මේ සෙල් ලිපිය වෙනත් ස්ථානයකින් ගෙන ආ බව කියැවෙන අතර, එම ස්ථානය මෙම රෝහලේ දැනට ශිලා ලේඛනය තබා ඇති ස්ථානයට ඉදිරියෙන් වෛද්‍ය සහ හෙද නිල නිවාස සකස් කිරීමට භාවිත කර ඇත. අතීතයේ එම ස්ථානයේ විශාල ගල් කණු සහිත ගොඩනැඟිල්ලක නටබුන් පැවැති බව ද වාර්තා වේ. එහෙත් වර්තමානයේ එම ස්ථානයේ කිසිදු පුරාවස්තුවක් දැකගැනීමට නොලැබේ. ඒ අවට ප්‍රදේශවල පැරැණි ගඩොල් හා ගල් කණු කොටස් දැකගැනීමට තිබේ. විනාශ මුඛයට තල්ලු වෙමින් තිබෙන සෙල් ලිපිය සංරක්‍ෂණය සඳහා කඩිනමින් ආරක්‍ෂිත ස්ථානයකට රැගෙන යා යුතු බව අපගේ හැඟීමය. එහෙත් එය අපට කළ හැකි කාර්යයක් නොවේ. එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රාජකාරියකි. මන්නාරම් දිස්ත්‍රික්කයේ පැරැණිතම රෝහලක් ලෙස සැලකෙන මුරුන්කන් රෝහලේ කාර්යමණ්ඩලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ගැටලු රාශියක් මතුව ඇති බව ද වාර්තා විය. එය වෙනම කතා කළ යුත්තක් බැවින් අපි රෝහල් පරිශ්‍රයෙන් නික්ම යෝධ වැව ඉස්මත්තට ගියෙමු.
ධාතුසේන රජු මන්නාරම වැව් තුනක් ඉදිකර වූ බව ඉතිහාසයේ සඳහන් ය. ඒ වැව් ත්‍රිත්වයෙන් ප්‍රධානතම වැව යෝධ වැවය. එකිනෙකට අර්ධ වෘත්තාකාර බැමි දෙකක් සම්බන්ධ කර නිර්මාණය වූ වැව් බැම්ම කිලෝ මීටර් දහහතරක් දිගය. බේසමක් ආකාරයට ඉදිකර ඇති යෝධ වැව වටා ම බැම්මක් ඉදිකර තිබීම ද විශේෂත්වයකි. එමෙන්ම වැලි සහිත පොළොවේ ජලය රඳාපැවැත්ම අඩු බැවින් යෝධ වැව වටා කුඩා වැව් සියයකට වඩා නිර්මාණය කර ඇත. එහෙයින් යෝධ වැවේ ජලය නොසිඳේ. මන්නාරම ‘හාල් නැලිය’ නමින් හැඳින්වෙන කුඹුරු යායට යෝධ වැවේ ජලය කලට ලැබේ. හාල් නැලිය ද බලාගෙන අපි මන්නාරම බලකොටුව දෙසට ගමන් කළෙමු.
මෙරට ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන් අතිශය වැදගත් දිස්ත්‍රික්කයක් ලෙස මන්නාරම හැඳින්විය හැකිය. ප්‍රාග් ඓතිහාසික අවධියේ සිට වර්තමානය දක්වා ම මන්නාරම දිස්ත්‍රික්කය තුළ අඛණ්ඩ මානව ක්‍රියාකාරකම් සිදු වී ඇති බවට සාධක හමුවී තිබේ. එහෙත් එම දිස්ත්‍රික්කයේ ප්‍රාග් ඉතිහාසය අනාවරණය කර ගැනීමට ප්‍රාමාණික පර්යේෂණ මෙතෙක් සිදු වී නැත. දැනට සිදු කර ඇති පර්යේෂණ මගින් ප්‍රාග් ඓතිහාසික තොරතුරු රාශියක් අනාවරණය කර ගෙන තිබෙන බව සැබෑය. එම පර්යේෂණ තුළින් බොහෝමයක් මාතොට ආශ්‍රිතව සිදුකොට ඇති අතර, කල්ලාරු හා විල්පත්තු වන රක්ෂිතයන් ආශ්‍රිතව ද ප්‍රාග් ඓතිහාසික ශිලා මෙවලම් සුලබව හමුවී ඇති බව වාර්තා වේ. වේගයෙන් ධාවනය වූ වෑන් රථය මන්නාරම බලකොටුවට ඇතුළු වන තෙක් අපට නොතේරිණි.
ඉතිරි කොටස බලන සතියේ
තරංග රත්නවීර