සූරියගොල්ල වැවතැන්න ගම්මානයේ පදිංචි අවුරුද්දකුත් මාස හතරක් වයසැති සිඟිත්තෙකු පෙරේදා (08) දහවල් නිවස අසල තිබූ වතුර වළකට වැටීමෙන් සැක කටයුතු අන්දමින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි.
දරු සිඟිත්තාගේ මව, නිවසේ සිටි තවත් කුඩා දරුවකුට සිඟිත්තා බලා ගන්නට භාරදී තේ දලු කැඩීමට නිවසින් පිටවගොස් ඇති අතර සිඟිත්තා නිවස අසල තිබූ වතුර වළකට වැටී ඇති බවත්, දරුවා බලාගත් කුඩා දරුවා සිඟිත්තා ගොඩට ගෙන වැඩිහිටියන් හා එක්ව ඔහු රොබේරිය ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් දරුවා ජීවිතක්ෂයට පත්ව තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිඟිත්තාගේ මරණය සැක කටයුතු බැවින් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බදුල්ල පළාත් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට පියවර ගත් බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් මඩොල්සිම පොලිසිය පැවසීය.
මියගිය සිඟිත්තාගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය බදුල්ල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විසින්ම ඊයේ (09 දා) දින සිදුකිරීමට නියමිතව තිබිණි
මඩොල්සිම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කන්දකැටිය – ජී. චතුරංග