අකුරු කරන්නට දවසට කිලෝමීටර් 28ක් ඇවිදින දරුවෝ

දෛනික වැටුපෙන් අඩක් වියදම් වන පාසල් ගමන

දෝතළුඔය දෙමළ විදුහලට කුඩම්මාගේ සැලකිලි

වතුකරය හැර නොයන ගුරු හිඟය

“ළඟම පාසල හොඳම පාසල” යනුවෙන් සංකල්ප බිහි වූවාට, ක්‍රියාත්මක වූවාට එයට වතුකරය මග හැරී ඇත. රටේ ක්‍රියාත්මක වන බොහෝ ප්‍රතිපත්ති, සංස්කරණ, සංශෝධන වතුකරය මගහැර යනවා සේම අධ්‍යාපන ප්‍රතිපත්ති ද වතුකරයට වංගු ගසන බව දිවයිනේ වතු පාසල් වල තත්ත්වය නිරීක්ෂණය කළ විට තහවුරු වේ. බොහෝ වතුකරයේ පාසල් ප්‍රාථමික පාසල් ය. එසේත් නැතිනම් නවය ශ්‍රේණියෙන් අවසන් වෙයි. සාමාන්‍ය පෙළ දක්වා පන්ති පැවැත්වෙන පාසල් ඇත්තේ අතලොස්සකි. උසස් අධ්‍යාපන හෝ වෘත්තීය පුහුණුවක් ලබා ගැනීම සඳහා සාමාන්‍ය පෙළ දක්වා හෝ අධ්‍යාපනය ලබා තිබීම සැලකිල්ලට ගනී. වතුකර ප්‍රජාව වතුකරයටම සීමා වීමට හා කම්කරු රැකියා සඳහා පමණක් සීමා වීමට ඔවුන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම උල්ලංඝනය වීම දැඩිව බලපායි. කම්කරුවන් ලෙසින් ලංකාවට පැමිණ වසර දෙසියයක් ගත වුවද ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට පාලන තන්ත්‍රය අපොහොසත් වී ඇත. අවම වශයෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් පිළිබඳව හෝ සැලකිලිමත් වන බවක් පෙනෙන්නට නැත. වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් කෙසේ වුවත් ඉල්ලීම් කිසිවක් නොඉල්ලන කුඩා දරුවන්ගේ අයිතිවාසිකම් අහිමි වීම ඛේදනීය ය. මේ එසේ අධ්‍යාපන අයිතිය අහිමි වූ වතු යායක දරුවන් පිළිබඳ සටහනකි.

අනාගතයට පාර වැසුණු වතුකරය

ළඟම පාසල හොඳම පාසලත් අහිමි දෝතළුඔය ළමයි!

කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දෝතළුඔය දෙමළ ප්‍රාථමික පාසල අයත් වන්නේ මාවනැල්ල අධ්‍යාපන කලාපයට ය. දැනට අඩුපාඩු රාශියක් මධ්‍යයේ ක්‍රියාත්මක වන පාසලක් වන මෙම පාසලේ විශේෂත්වය වන්නේ මෙම කලාප කාර්යාලයට අයත් දෙමළ පාසල් දෙකෙන් එකක් වීමයි. මෙම පාසල අති දුෂ්කර පාසලක් වන අතර මෙම පාසලේ ඉගෙනුම ලබන්නේ වතු කම්කරුවන්ගේ දරුවන්ය. නමුත් මෙම දරුවන්ට නිසි අධ්‍යාපනයක් නොලැබෙන බව ඔවුන්ගේ දෙමව්පියෝ පවසති. මෙයට හේතුව වී ඇත්තේ එම පාසල පහ ශ්‍රේණිය දක්වා තිබුණ ද ඒ ශ්‍රේණීන් සඳහා ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට ප්‍රමාණවත් තරම් ගුරුවරු නොමැතිකමයි. දැනට සිටින ගුරුවරුන් ද නිතර නිතර ලෙඩ නිවාඩු දමන හෙයින් එම දරුවන්ගේ ඉගෙනීම් කටයුතු හරියාකරව සිදු නොවන බව දෙමව්පියන් වැඩිදුරටත් පවසයි. මෙම පාසලේ අධ්‍යාපන ලබන සියලුම දරුවන් හින්දු ආගමික දරුවන් වුවත්, හින්දු විෂය සහ අනෙකුත් ප්‍රධාන විෂයන් හෝ ඉගැන්වීමට සුදුසු ගුරුවරුන් මෙම පාසලට අනුයුක්ත නොකරන බවටත් දෙමව්පියෝ චෝදනා කරති.

පරපුරෙන් පරපුරට උරුම කරුම

තිදරු මවක් වූ ක්‍රිෂ්ණවේනි පවසන්නේ ඇයට අත් වූ ඉරණම ඇගේ දරුවන්ට අත් නොවිය යුතු බවයි. “මම ඉපදුනේ මේ වත්තේ. මං ඉස්කෝලෙ ගියෙත් මේ වත්තේ තියෙන පොඩි ඉස්කෝලෙට. එතකොට තිබුණේ සිංහල මාධ්‍යයෙන්. මං පහ වසර වෙනකල් ඉගෙනගත්තා. ඊට පස්සේ අපිට යන්න ඉස්කෝලයක් නෑ. අපේ දෙමව්පියන්ට ටවුමෙ ඉස්කෝලෙට යවන්න තරම් වත්කමක් තිබුණෙ නෑ. ගොඩාක් දුෂ්කරතා මැද්දේ තමයි අපි ජීවත් වුණේ. ඒත් දැන් මං දුක් වෙනවා මට ඉගෙනගන්න බැරි වුණ එක ගැන. ඊට පස්සේ මම පොඩි කාලෙම වත්තේ වැඩට ගිහිල්ලා දලු කඩන්න පටන් ගත්තා. මට හරියට අධ්‍යාපනයක් නැති නිසා මේ වත්තටම කොටුවෙලා ඉන්න සිදුවුණා. ඊට පස්සේ වත්තෙම කෙනෙක්ව කසාද බැන්දා. දැන් මට ළමයි තුන්දෙනෙක් ඉන්නවා. ඉස්කෝලේ යන වයසේ ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලන්ව යවන්න තියෙන්නෙත් මේ වත්තේ තියෙන පොඩි ඉස්කෝලෙට. දැන් නම් ඉස්කෝලේ දෙමළ ඉස්කෝලයක් කරලා තියෙන්නේ. පහ වසර වෙනකල් තිබ්බත් උගන්වන්න හරියට ගුරුවරු නෑ. ඉන්නේ ගුරුවරු තුන්දෙනයි. ඉස්කෝලෙට කියලා විදුහල්පති කෙනෙකුත් නෑ. වැඩ බලන විදුහල්පති හැටියට එක් ගුරුවරයෙක්ව පත් කරලා තියෙනවා. ඒ ගුරුවරයත් ගොඩාක් ඈත ඉඳලා එන්නේ. ගුරුවරු එනකොට සෑහෙන්න වෙලා යනවා. ඒගොල්ලන්ට එන්න බස් නෑ ඇවිල්ලා උගන්වන්නත් හරියට වෙලාවක් නෑ. ආපහු යන්න ඕනේ. අපේ ගමට එන්න එක බස් එකයි තියෙන්නේ. ඒ නිසා ඒ ගුරුවරුන්ට වෙලාවට යන්න ඕනේ. ළමයි හැත්තෑවක් විතර ඉන්න මේ පාසලේ ඉන්න ගුරුවරු ප්‍රමාණය මදි. අපි මේ ගැන කලාප සහ පළාත් කාර්යාල වලට දැනුම් දුන්නා. අපේ ඉස්කෝලෙට තව ගුරුවරු දෙන්න කියලා. අපිට පහුගිය කාල ආරංචියක් ආවා ගුරුවරු තුන්දෙනෙක් අපේ පාසලට යොමු කරා කියලා. ඒත් ආවේ එක ගුරුවරයයි. අනිත් දෙන්න ආවේ නෑ. පස්සේ හොයලා බලනකොට ඒ දෙන්නා වෙන ඉස්කෝලවලට මාරුවීම් හදාගෙන ගිහිල්ලා කියලා දැනගන්න ලැබුණා. අපිට හරිම කනගාටුයි මේ සිදුවීම ගැන. මොකද පළාත් කාර්යාලයෙන් පත්වීමක් දීලා එවපු ඒ ගුරුවරු කොහොමද මාරුවීම හදාගත්තේ කියලා හිතාගන්න බෑ. මේ ගැන අපි නිලධාරීන්ගෙන් විමසා බලද්දි ඒගොල්ලො දන්නෙත් නෑ මේක කොහොමද වුණේ කියලා.

පහුගිය කාලේ මේ ඉස්කෝලේ ළමයි 18 දෙනෙක් ශිෂ්‍යත්ව විභාග ලිව්වා. ඒ ළමයි ගොඩාක් ලකුණු හැත්තෑවක් අසූවක් වගේ ගත්තා. අපිට ගොඩක් සන්තෝසයි මෙච්චර කාලෙකට මේ ඉස්කෝලේ ළමයි මේ වගේ ලකුණු ගත්තෙ නෑ. මේ පාර ශිෂ්‍යත්වය ලියන්න හිටපු ළමයින්ට ඉගැන්නුවේ එකම එක ගුරුවරයෙක් විතරයි. ඒ ගුරුවරයාගේ හැකියාවෙන් අපේ ළමයි ටික මේ වගේ ලකුණු ගත්තා. මේ ඉස්කෝලෙට ගුරුවරු හරියට ඉඳලා ඒ පාඩම් ටික ඔක්කොම හරියට කියලා දීලා තිබුණා නම් ශිෂ්‍යත්වෙන් අපේ ළමයින්ට හොඳට ලකුණු ගන්න තිබුණා. අපි අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ වත්තේ පාසලට තව පන්ති ටිකක් වැඩි කරලා, මේ පාසල දියුණු කරලා දෙන්න කියලා. අපේ ළමයින්ගේ අනාගතය විනාශ නොවී ඒ ගොල්ලන්ට ඉගෙන ගන්න පහසුකම් ටික සලසලා දෙන්න. නැත්තං ඒගොල්ලොත් අපි වගේ කම්කරුවෝ වෙලා මේ ලයින් කාමර වලටම කොටුවෙලා ඉඳී” ක්‍රිෂ්ණවේනි තම දරුවන්ගේ අනාගතය පිළිබඳ කම්පාවෙන් පවසන්නීය.

වතුකරයේ වැටුප් නැති වගකීම් ඇති පත්වීම්

ළඟම පාසල හොඳම පාසලත් අහිමි දෝතළුඔය ළමයි!

වතුකරයේ බොහෝ පාසල් වල මෙන්ම දෝතළුඔය දෙමළ විද්‍යාලයට ද විදුහල්පතිවරයෙක් නැත. එහි සිටින්නේ වැඩ බලන විදුහල්පති තනතුර ලත් ගුරුවරයෙකි. ඔහුත් ඇතුළුව පාසලේ සිටින්නේ ගුරුවරු තිදෙනෙක් පමණි. මේ පිළිබඳව එම පාසලේවිදුහල්පතිවරයාගෙන් විමසූ විට ඔහු මෙසේ පැවසුවේ ය. “මම මේ පාසලේ විදුහල්පති නෙවෙයි. මේ පාසලට විදුහල්පති කෙනෙක් නැති නිසා මාව වැඩ බලන විදුහල්පති හැටියට පත් කළා. අපේ පාසලේ විදුහල්පති ගැටලුවට නිසි විසඳුමක් ලබා දෙන ලෙසට අදාළ අංශ වෙත කිහිප විටක්ම දැනුම් දුන්නත් තවම මේ සම්බන්ධව ක්‍රියාත්මක නොවීම කනගාටුවට කරුණක්. දැනට මෙම අධ්‍යාපන කලාපයට අලුත් විදුහල්පතිවරු දහතුන් දෙනෙක් බඳවාගෙන තිබෙනවා. නමුත් එයින් එක් අයෙකු මෙම පාසලට අනුයුක්ත නොකරන හේතුව අපිට හිතාගන්න බෑ.” වැඩිදුරටත් අදහස් දැක්වූ විදුහල්පතිවරයා ප්‍රකාශ කළේ මෙම පාසලේ ගුරුවරුන් නොමැති අඩුපාඩුව නිසා දරුවන්ගේ අධ්‍යාපනය ඉතාමත් පහත මට්ටමක පවතින බවයි. ඔහු විසින් නිතර නිතර මේ පිළිබඳව කලාප කාර්යාලයට හා පළාත් කාර්යාලයට ද දැනුම් දී ඇති බවත්, නමුත් ඒ පිළිබඳව මේ වන තුරුත් කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ඔහු පැවසුවේය.

දෙපයේ කරගැට නැගෙන තුරු ඇවිදින දරුවෝ

දෝතළුඔය ප්‍රාථමික දෙමළ පාසලෙන් අධ්‍යාපනය අවසන් කරන දරුවන් 6 වසර සඳහා ඇතුළත් වීමට නගරයේ පාසලක් වෙත යා යුතුය. ඔවුන්ට ඇති පාසල් දෙකම ඇත්තේ ළඟ පාතක නොවේ. කිලෝමීටර් 14 ක් පමණ දුර ගෙවාගෙන පයින් තනිව ගොස් පාසල වෙත ළඟා වීම හෝ කිලෝමීටර් 2ක් පයින් ගොස් තවත් කිලෝමීටර් 14 ක් බස් රථයක ගොස් පාසල වෙත ළඟා වීම සිදු කළ යුතුය. දෛනික වැටුපකට සේවය කරන කම්කරුවන්ට දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන්නට කාලයක් නැත. එසේ කළහොත් යන්තමින් හෝ දරුවන්ගේ කුස පුරවන්නට හැකි නොවනු ඇත. තනිවම නිවසක වගකීම් ඉටුකරන ඥාන සුන්දරී දරුවන්ට සිදු වන අපහසුතා පිළිබඳව සහ පාසල පිළිබඳ බොහෝ පිරිස් ඔවුන් තුළ තබා ගිය බලාපොරොත්තු පිළිබඳවත් මතක අවදි කළාය. “ගමේ ළමයින්ට දිගටම ඉගෙන ගන්න ඕන නම් දොළොස්බාගේ තියෙන දෙමළ ඉස්කෝලෙට යන්න ඕනේ. ඒකට යන්න කිලෝමීටර් 14ක් පයින් යන්න ඕනේ. ඒ පාරේ වාහන වැඩ කරන්නේ නෑ. කැලයක් මැද්දෙන් යන්න එන්න ඕනෙ. ළමයින්ට කිසිම ආරක්ෂාවක් නෑ. මගේ ලොකු ළමයාට දිනපතා ඉස්කෝලෙ යන්න වෙන්නෙ නෑ. මොකද ගේ ගාව ඉඳලා කිලෝමීටර් දෙකක් පයින් යන්න ඕනේ බස් එක එන තැනට.

ගමටම තියෙන්නේ එක බස් එකයි. අපේ ප්‍රදේශයේ අධික නාය යෑම් සිද්ධ වෙන ප්‍රදේශයක්. ඒක නිසා බස් එක එන්නෙ නෑ නිතරම. බස් එක නොතිබුණොත් ආපහු ගෙදර එනවා.

මේ දෝතළුඔය වත්තේ හොඳට ඉගෙන ගත්ත කවුරුත්ම නෑ. ඒකට හේතුව තමා ළඟ ඉස්කෝලයක් නැති කම. දුර යවලා උගන්වන්න තරම් අපිට ආදායම් මාර්ගයක් නෑ. අපි වත්තේ වැඩ කළාට අපිට ලැබෙන්නේ රුපියල් දාහයි. ඒකෙන් අපිට ජීවත් වෙන්නත් හරි අමාරුයි. අපේ ගෙදර හත් දෙනෙක් ඉන්නවා. මම විතරයි වැඩ කරන්නේ. එහෙම තියද්දි අපිට ළමයින්ට ඉගෙන ගන්න වියදම් කරන්න පුළුවන් කමක් නෑ. සීසන් ගත්තොත් රුපියල් 1000කට වැඩිය වියදම් වෙනවා. සීසන් ගත්තේ නැත්නම් දවසකට 400ක් ඕන යන්න එන්න. ඒක නිසා අපිට පුළුවන් දවසට ළමයව ඉස්කෝලෙ යවනවා. බැරි දවසට ළමයා ඉස්කෝලේ යන්නේ නෑ.

ගමේ ඉස්කෝලෙ බලන්න ගොඩක් අය එනවා. ඒ එන හැමෝගෙන්ම අපි ඉල්ලන්නේ අපේ පාසල හදලා ඒකට අවශ්‍ය ගුරුවරු දාලා අඩුපාඩු ටික සම්පූර්ණ කරලා දෙන්න කියලා. ඒත් ඒ නිලධාරීන් ඒ වෙලාවට විතරක් හා කියලා යනවා. ඊට පස්සේ මේක ගැන නිකන්වත් හොයලා බලන්නේ නෑ. අපි සෑහෙන්න මේ ගැන ඉල්ලීම් කරලා ලියුම් දීලා තියෙනවා. එතකොට කියනවා අපි මේ පාර ඔක්කොම කරලා දෙන්නම් කියලා. ඒත් මේ වෙනකල් කිසිම පියවරක් ගත්තේ නෑ. අපි කියන්නේ අපේ ඉස්කෝලෙට හොඳ ප්‍රින්සිපල් කෙනෙක් දාලා හරි ආකාරයෙන් හදලා දෙන්න. අපිට ළමයිව දුර යවලා උගන්වන තරම් හයියක් නෑ. මිල මුදලුත් නෑ. අපි මේ වත්තේ වැඩ කරලා දුක් වින්දා හොඳටම ඇති. අපේ ළමයින්ටත් ඒ තත්ත්වය උදාවෙනවා බලන්න අපි කැමති නෑ. අපේ ළමයිනුත් අනිත් ළමයි වගේ හොඳට ඉගෙන ගෙන හොඳ තත්ත්වයකට එනව දකින්න අපි හරි ආසයි.” ඥාන සුන්දරී බලාපොරොත්තු සහගතව පවසන්නීය.

ගැලවෙන්නට බැරි කම්කරු උගුල්

දෝතළුඔය ප්‍රාථමික පාසලේ ආදි සිසුවෙක් වන සුබකුමාර් ඔහු අධ්‍යාපනය අතහැර දැමූ අතීතය පිළිබඳ මතක ආවර්ජනයක යෙදුණේ කළකිරීමක් ද සමගිනි. “මම ඉපදුනේ මේ දෝතල් ඔය වත්තේ. මට සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. අක්කයි, අයියයි. අපි ඉපදුණු දවසේ ඉඳලා මේ වත්තේ තමයි ජීවත් වුණේ. මගේ තාත්තයි, අම්මයි මේ වත්තේ කම්කරුවෝ හැටියට වැඩ කරා. ඒගොල්ලන්ට පුළුවන් විදියට අපිට උගන්වන්න මහන්සි වුණා. අපි තුන්දෙනා ගියේ මේ ගමේ තියෙන පොඩි ඉස්කෝලෙට. මං පහ වසර වෙනකම් ඉගෙන ගත්තා. ඊට පස්සේ අපිට යන්න ළඟ ඉස්කෝලයක් නෑ. ඒක නිසා අපේ ඉස්කෝලේ ගමන එතනින් නතර වෙලා වත්තේ වැඩට යන්න සිද්ධ වුණා. මගේ සහෝදරයන්ටත් ඒ දේම තමා සිද්ධ වුණේ. අපේ පවුලේ කවුරුත් වැඩිය ඉගෙන ගත්තෙ නෑ. මොකද ළඟ ඉස්කෝලයක් නැති නිසා. අපිට දුර යන්ඩ බෑ. යනවා නම් දොළොස්බාගේ ඉස්කෝලෙට හරි දික්පිටියේ තියෙන මුස්ලිම් ඉස්කෝලෙට හරි යන්න ඕන. අපි ඉස්කෝලෙ යන කාලේ බස් මුකුත් වැඩ කරේ නෑ. ගොඩක් ළමයි පයින් ගිහිල්ලා යන්ඩ බැරුව නතර වුණා. අපි ඒක නිසා ගියේම නෑ. පයින් යන්න බෑනේ ඊට පස්සේ අපි ඉස්කෝලේ යන්නැතුව වත්තේ වැඩට ගියා. මට හරිම දුකයි. ඉස්කෝලේ යන්න බැරි වෙච්ච එක ගැන. අද අපි වත්තේ වැඩ කරනවා. හරියට මහන්සි වෙනවා. කිසි නිදහසක් නෑ.” ඔහු එය වචනවලට පෙරළුවේ නැතත් වයසට වඩා පෙනෙන තලත්තෑනි පෙනුම ඔහු ඕනෑවටත් වඩා දුක් විඳින බවට සාක්ෂි දරයි.

තවමත් පාසල් යන අවධියේ පසුවන පුෂ්ප කුමාර් වත්තේ වැඩට යන්නේ නගරයේ පාසලට යන්නට දැරිය නොහැකි බස් ගාස්තුව නිසාය. “මම ඉස්කෝලෙ ගියේ නවය වසර වෙනකල් විතරයි. මට වැඩිදුර ඉගෙන ගන්න ළඟ ඉස්කෝලයක් නෑ. මම ඉස්කෝලේ ගියේ දුර තියෙන ඉස්කෝලෙකට. හැමදාම පයින් යන්න ඕනේ. මට පයින් යන්න බැරි නිසා මම කිව්වා ඉස්කෝලේ යන්න බෑ කියලා. මට දැන් අවුරුදු දහසයක් වෙනවා. ඉස්කෝලෙ ගියා නම් මම මේ අවුරුද්දෙ සාමාන්‍ය පෙළ ලියනවා. දැන් මම වත්තේ වැඩ කරනවා. දලු කඩනවා. මගේ ජීවිතයේ නිකං නැති නාස්ති වුණා. ළඟ ඉස්කෝලයක් තිබුණා නම් මම තව ඉගෙන ගන්නවා. කොවිඩ් වලින් පස්සෙ දරන්න බැරි තරම් බස් ගාස්තු වැඩි වුණ නිසා තමයි මගේ පාසල් ගමන නතර කරන්න සිද්ද වුණේ. අම්මට දවසකට ලැබෙන සොච්චම් පඩියෙන් බාගයකට කිට්ටු ගාණක් යනවා ඉස්කෝලෙ ගියා නම් බස් එකට. ඉගෙන ගන්න ඕන වුණත් ඒක දැන දැන දිගටම මට ඉස්කෝලෙ යන්න හිතුණෙ නෑ. මම ඉල්ලන්නේ අපේ ගමට හොඳ ඉස්කෝලයක් දීලා ගුරුවරු දාලා මං වගේ අනිත් කට්ටියටත් ඉගෙන ගන්න පුළුවන් විදියට වැඩ කටයුතු සලසලා දෙන්න කියලා.”

දරුවන්ගේ අයිතිවාසිකම් ගැන වද වෙන කලාපය

දෝතළුඔය දෙමළ විද්‍යාලය පිළිබඳව මාවනැල්ල අධ්‍යාපන කලාප කාර්යාලයෙන් විමසූ විට ඔවුන් පවසන්නේ මෙම පාසලේ ගුරුවරුන්ගේ හිඟයක් නොමැති බවත් ප්‍රමාණවත් තරම් ගුරුවරු අනුයුක්ත කර ඇති බවත් ය. ඉතිරි ශ්‍රේණි ආරම්භ කරන ලෙස බොහෝ ඉල්ලීම් ලැබී ඇති නමුත් දෙමළ මාධ්‍ය ගුරුවරුන්ගේ හිඟයත් ගොඩනැගිලි වල ඉඩ කඩ මදි වීමත් මෙම කටයුතු ප්‍රමාද වීමට හේතු වී ඇති බවයි. හය වසර ආරම්භ කරන්නේ නම් විද්‍යාගාරයක්, ගෘහ විද්‍යාගාරයක්, පුස්තකාලයක්, නැටුම්, සංගීත විෂයන් ඉගැන්වීමට ස්ථාන අවැසි බව කලාප කාර්යාලයෙන් පවසයි. එවැනි පහසුකම් නොමැතිව ඉගැන්වීම් කටයුතු සිදු කළහොත් එම දරුවන්ට අසාධාරණයක් සිදු වනු ඇතැයි ද පාසලේ අනෙකුත් ශ්‍රේණි ආරම්භ කළහොත් දරුවන් වත්තෙන් එහා ලෝකයක් පිළිබඳ දැනුවත් නොවන බව ද පවසන ඔවුන් හැකි ආකාරයට දරුවන් කිහිප දෙනකු හෝ නගරයට පැමිණීමත් නතර වනු ඇතැයි සිතන බවත් පවසයි.

දීර්ඝ කාලයක් තිස්සේ වතුකරයේ බොහෝ පාසල් වල තත්ත්වය මෙසේ වන විට දෙමළ මාධ්‍ය ගුරුවරු බිහි වන්නට ඉඩක් තිබේද යන්න ගැටලු සහගත ය. වතුකරයේ ජීවත් වන කම්කරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය ඉතා අඩු මට්ටමක පවතින්නට හේතුවන්නේ එම දෙමව්පියන්ට දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කිරීමට මුදල් නොමැතිකමයි. තවද වතු වල ක්‍රියාත්මක වන වතු පාසල් වල නිසි පහසුකම් නොමැති වීම නිසා පැමිණෙන ගුරුවරු ද බොහෝ දෙනා ඉක්මනින් මාරු වී යයි. රජය විසින් නගරබද ඇති පාසල්වලට වැඩි සැලකිල්ලක් දක්වන අතර මෙවැනි දුෂ්කර පළාත් වල ක්‍රියාත්මක වන පාසල් වල සුළු සංවර්ධන කටයුත්තක් හෝ සිදු නොකරයි. මෙම පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන් අනාගතයේ වතු කම්කරුවන් බවට පත් කිරීමට රජය ද අනියමින් දායක වන බව කිවයුතු ය.

සෙල්වරාජ් සදාසිවම්
සෝබා කෝලියවංශ.

advertistmentadvertistment
advertistmentadvertistment