ශ්‍රී ලාංකීය බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන මහජන බැංකුවේ ඩිජිටල්කරණ ගමන් මඟ තුළ සුවිශේෂි සන්ධිස්ථානයක් සනිටුවහන් කරමින් සිය ඩිජිටල් බැංකුකරණ පහසුකම් සඳහා ලියාපදිංචි වි ඇති ගනුදෙනුකරුවන් පිරිස මිලියන තුන පසුකරයි. මහජන බැංකුව සිය ඩිජිටල් බැංකු සේවා කලඹ යටතේ අන්තර්ජාල බැංකු පහසුකම, ජංගම බැංකුකරණ යෙදවුම සහ People’s Pay Wallet App හරහා ගනුදෙනුකරුවන්ට නව්‍ය හා සුවපහසු බැංකු පහසුකම් ලබාගැනිමේ අවස්ථාව සලසා ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ‘ගනුදෙනුකාර සුවපහසුව, සුරක්ෂිතභාවය සහ එම සේවාවන් වෙත පහසුවෙන් පිවිසීමේ හැකියාව යන කරුණු කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින් අපගේ අන්තර්ජාල බැංකු පහසුකම් සහ ජංගම බැංකුකරණ යෙදවුම් සකසා ඇති අතර, එය මෙම සේවාන්ගේ ජනප්‍රියත්වයට ප්‍රධාන හේතුවක් වුණා. ගනුදෙනුකාර අවශ්‍යතා සපුරාලීම සඳහා සරල ඵලදායී සහ සැබෑ විසඳුම් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ විප්ලවීය පරිවර්තනයක් ඇති කිරීම සඳහා මග පෙන්වීමට ලැබීම පිළිබද අපි ආඩම්බර වෙනවා.’

මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා ‘මෙම සන්ධිස්ථානය අපගේ ඩිජිටල් බැංකුකරණ ක්‍රියාවලියේ බලපෑම හා එහි සාර්ථකත්වය පිළිබඳව හොඳම සාක්ෂියකි. තම බැංකු සහකරු ලෙස මහජන බැංකුව තෝරාගැනීම හා ඒ කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබඳව ‍අපගේ ගනුදෙනුකරුවන්ට අපගේ කෘතඥතාවය ප්‍රකාශ කර සිටිනවා.’

මහජන බැංකුවේ 3,000,000 වැනි ඩිජිටල් බැංකු ගනුදෙනුකරුවා වූ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අංශ ප්‍රධානි – වෛද්‍ය ලක්මාල් හේවගේ මහතා, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුවන් සමඟ. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) නලින් පතිරණගේ, ප්‍රධානි (යෙදවුම් පද්ධති) එස්.ඒ. සමරකෝන් සහ ඩිජිටල් ප්‍රධානි මංගල කාරියවසම් යන මහත්වරුන්ද ජායාරූපයේ වෙති.


advertistmentadvertistment