මහියංගණේ මහඟු සම්පතක්

68

මහ විනාශයක රජයේ යන්ත්‍ර සූත්‍ර රැසක් පොළොවට දිරාපත් වෙයි

සේවක වැටුප් පමණක් ගෙවන ආයතනයක්

ශ්‍රී ලංකා රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවට අයත්, මහියංගණ නගරයේ ගම්උදා භූමියේ පිහිටුවා ඇති රජයේ යන්ත්‍රෝපකරණ අංගණය සහ මධ්‍යම වැඩපළ කොවිඩ් වසංගතයෙන් පසු මේ දක්වා අක්‍රීය ආයතනයක් බවට පත්ව තිබේ. මෙය රජයට කිසිදු ආදායමක් නොලැබෙන, සේවකයන් කිහිපදෙනකුට පමණක් වැටුප් ගෙවන ආයතනයක් බවට පත්වෙමින පැවතීම හේතුවෙන් එම ස්ථානයෙහි ඇති භෞතික සම්පත් යන්ත්‍රෝපකරණ රාශියක් විනාශයට පත් වෙමින් ඇත.

මෙම ස්ථානය කොවිඩ් වසංගතයට පෙර ක්‍රියාකාරීව පැවැති කාලය තුළදී ප්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික අංශ වෙත යන්ත්‍රෝපකරණ සේවා ලබාදෙමින් සංවර්ධන කටයුතුවලට විශාල දායකත්වයක් ලබාදුන් ආයතනයක් ලෙස පැවැතියද, මේ දක්වා කිසිදු සේවාවක් ඉටු නොවෙමින් යන්ත්‍රෝපකරණ සහ වාහන 10ක් පමණ දිරාපත්වීමට ලක්වෙමින් පවතී.

මහියංගණේ මහඟු සම්පතක්
මහියංගණේ මහඟු සම්පතක්

එලෙස වසර ගණනාවක් තිස්සේ එම ආයතනය අක්‍රිය තත්ත්වයේ පැවැතිය ද මේ දක්වා එහි ආරක්ෂක සේවකයන් 04 දෙනකු සඳහා ද, එක් ලිපිකරුවෙක් සහ ගබඩා පාලකයකු වෙනුවෙන් රජයේ වැටුප් ගෙවීම් සිදු කෙරේ. එම ආයතනය 1993 වර්ෂයේදී සේවකයන් 40ක පමණ සංඛ්‍යාවකින් ආරම්භ කර ඇත. එම ආයතනය ක්‍රියාකාරී අවධියේදී ප්‍රධාන අංශ දෙකකින් ක්‍රියාත්මක වූ අතර, රජයේ සියලු අමාත්‍යාංශ සහ පුද්ගලික අංශය ද එක්ව ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා එම යන්ත්‍රෝපකරණවල සේවය ලබාගෙන ඇත. කෙසේ වෙතත් එකල සේවක වැටුප් හිඟතාව හේතුවෙන් සේවකයන් පිරිසක් වන්දි මුදල් රැගෙන (ලක්ෂ දොළහක් පමණ) ඉවත්වීම හේතුවෙන් ද එහි සේවා කටයුතු යම් මට්ටමකට අඩාළ වූ බව පැවසේ. විශේෂයෙන් කොරෝනා වසංගතය හේතුවෙන් රජයේ සංවර්ධන කටයුතු ඇනහිටීමත් සමග මෙම ආයතනය ද 2023 වර්ෂයේ අගෝස්තු මස සම්පූර්ණයෙන්ම අක්‍රියවී ඇත.

මහියංගණේ මහඟු සම්පතක්
මහියංගණේ මහඟු සම්පතක්

මෙම ආයතනය සතුව අක්කර 2 2/1 ක පමණ භූමි ප්‍රමාණයක් පවතින අතර එහි ගොඩනැඟිලි 04කින් යුක්තවේ. වැටුප් ලබන සේවයක් නොකෙරෙන අයට අමතරව යන්ත්‍ර සහ වාහන 10ක් පමණ දිරාපත් වෙමින් කිසිදු ඵල ප්‍රයෝජනයක් නොගෙන ඇත. කාමර 10කින් යුත් එක් ගොඩනැඟිල්ලක් දැඩි ලෙස විනාශ මුඛයට යමින් පවතී. එහි ඉදිරිපස වහලයේ තහඩු ගැලවී ගොස් වැස්සට තෙමෙමින් තිබේ. වැසිකිළි පද්ධතිය දැනට අවට සිවිල් වැසියන් භාවිත කරන බවට තොරතුරු ලැබී ඇති අතර ඒවා නිසි නඩත්තුවක් නොමැති කමින් දැඩි ලෙස විනාශයට පත්වෙමින් පවතී. එසේම, ආයතනය වටා ආරක්ෂිත වැට තැනින් තැන කඩා ඉවත්කර ආයතන ඉඩම හරහා කෙටි මාර්ගයක් සාදාගෙන ප්‍රදේශවාසීන් ගමන් කරන බවට ද පැවසේ.

මහියංගණේ මහඟු සම්පතක්

රජයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් දායකත්වය ලබාගත හැකි යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් දිරාපත් වීමට ඉඩ නොතබා, ඵල ප්‍රයෝජන ගත හැකි මෙම ආයතනය පිළිබඳ රජයේ කඩිනම් අවධානය යොමු කර එය ආරක්ෂා කර ගැනීමට පියවර යෙදීම බලධාරීන්ගේ වගකීමකි.

මහියංගණය – රංජිත් කරුණාවීර


advertistmentadvertistment