නොබෙල් ත්‍යාගලාභී කොලොම්බියානු ලේඛක ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් අවසන් වරට ලියා තැබූ අප්‍රකාශිත නවකතාවක් එය විනාශ කළ යුතු ය යන කතුවරයාගේ කැමැත්ත නොතකා ප්‍රකාශයට පත් කිරීමට ඔහුගේ පුතුන් දෙදෙනා මේ වනවිට පියවර ගෙන තිබේ. ඒ, ඔවුන්ගේ පියාගේ මරණයෙන් දශකයකට පසුව එනම්, පසුගිය මාර්තු 06 වන දිනට යෙදුණු මාකේස්ගේ අනූහත් වැනි උපන්දිනය සහ ලබන අප්‍රේල් 17 වන දිනට යෙදෙන ඔහුගේ දසවන ගුණසමරුව නිමිත්තෙනි.

ගාර්ෂියා මාකේස් ‘ඩිමෙන්ශියා’ හෙවත්, මතකය අමතකවීමේ රෝගයෙන් පෙළෙද්දී ලියා ඇති Until August ලෙස නම්කර තිබූ මෙම නවකතාව ගැන විස්තර කරමින් ඔහුගේ පුතුන් දෙදෙනා ප්‍රකාශ කර ඇත්තේ සිය පියා මුහුණ දුන් සියලු කරදරවලට එරෙහිව නිර්මාණකරණයේ යෙදීමේ දී ගන්නා ලද අවසාන උත්සාහයේ ඵලය මෙය බව ය. කැරිබියන් දූපතක පිහිටි තම මවගේ සොහොන වෙත වාර්ෂික වන්දනා ගමනක යෙදෙන කාන්තාවක මුහුණ දෙන අහඹු ලිංගික සිදුවීම් මාලාවකින් එම නවකතාව සමන්විත වන බව ඔවුහු පවසති.

සිය පියාගේ මතක ශක්තිය නැතිවීම වේගවත් වීම නිසා ඔහුගේ කාර්යයන් පිළිබඳ විශ්වාසය ඔහුට නැති වූ හෙයින්, තමාගේ මරණයට පෙර එය විනාශ කරන ලෙස ඔහු ඉල්ලා සිටි බව ඔවුහු පවසති. ඒ බව නොතකා එය ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළේ එය ඔවුන්ගේ පියා විශ්වාස කළාට වඩා හොඳ තත්ත්වයක පවතින්නේ යැයි ඔවුනට දැනුන හෙයින් බව මාකේස්ගේ පුතුන් වන රොඩ්‍රිගෝ සහ ගොන්සාලෝ ගාර්සියා බර්චා යන ලේඛකයන් දෙදෙනා ප්‍රකාශ කර තිබේ.

විද්වතුන්ට පමණක් ලබා ගත හැකි ලෙස එම අත්පිටපත පසුගිය කාලයේ තැන්පත් කර තිබුණේ, ටෙක්සාස් හි ‘හැරී රැන්සම්’ මධ්‍යස්ථානයට අයත් ලේඛක ලේඛනාගාරයේ ය. පසුගිය මාර්තු දහවන දින මුද්‍රණයෙන් එළිදුටු See you in August ලෙසින් නම්කර ඇති එම නවකතාවට මාකේස්ගේ පුතුන් දෙදෙනා සපයා ඇති හැඳින්වීමෙහි මෙසේ සඳහන් කර තිබේ.

‘අපි ඔහුගේ පාඨකයන්ගේ සතුට අනෙකුත් සියලු සලකා බැලීම්වලට වඩා ඉදිරියෙන් තැබීමට තීරණය කළෙමු. එය පාවාදීමක් නොවේ යැයි ඔවුන් සතුටු වන්නේ නම්, අපේ පියා අපට සමාව දෙනු ඇත. ඒ තුළ අපි විශ්වාසය තබා සිටිමු’

තම පියාගේ කැමැත්තට එරෙහිව යෑම දුෂ්කර බව පිළිගත් මාකේස්ගේ එක් පුතකු වන ගොන්සාලෝ ගාර්සියා බර්චා, අත්පිටපත් විනාශ කරන්නැයි ඉල්ලා සිටින ලේඛකයන් පිළිබඳව සාහිත්‍ය ඉතිහාසයේ ඕනෑ තරම් උදාහරණ ඇති බව අවධාරණය කළේ ය. එම ඉල්ලීම් නොතකා ඒවා ප්‍රකාශයට පත්කළ පසු එම නිර්මාණ, සාහිත්‍ය ලෝකයේ වැදගත් ග්‍රන්ථ බවට පත්වන බව ඔහුගේ අදහස වි ය. මෙය තම පියා ලියූ අවසාන නවකතාව බවත්, ඔහු පුවත්පතකට හෝ ලියූ වෙනත් අප්‍රකාශිත එක ම නවකතාවක් හෝ නොමැති බවත් සඳහන් කළ ඔහු, මෙය ප්‍රකාශයට පත් නොකර සිටියේ නම්, ඔහු විසින් රචිත ඔහුගේ ග්‍රන්ථාවලිය සම්පූර්ණ නොවන බවත් සඳහන් කළේ ය.

One Hundred Years of Solitude (1967), The Autumn of the Patriarch (1975) සහ Love in the Time of Cholera (1985) ඇතුළු නවකතා රැසක් සහ කෙටිකතා රැසක් ලියූ කතුවරයකු ලෙස මාකේස් ලොව පුරා ප්‍රසිද්ධියට පත් වී ය. ඔහු වඩාත් පුළුල් ලෙස සැලකෙන්නේ මායා යථාර්ථවාදයේ මනඃකල්පිත සහ අද්භූත අංගෝපාංග එදිනෙදා ජීවිතයේ ප්‍රබෝධයන් සමඟ මිශ්‍ර කළ වඩාත්ම බලගතු ලේඛකයා ලෙස ය. විශේෂයෙන්ම One Hundred Years of Solitude නවකතාව මගින් ‘අරකාටකා’ නම් ග්‍රාමීය නගරය තුළ ඔහු හැදුණු වැඩුණු ආකාරයත්, 1955 පළ කළ ඔහුගේ පළමු පොත වන Leaf Storm නවකතාවේ එන මැකොන්ඩෝගේ චරිතය තුළින් තම ආච්චිලා-සීයලාගේ ඉතිහාසය සහ උරුමය සමඟ කුඩා දරුවකු ලෙස ඔහු ජීවත් වූ ළමා කාලයත් විස්තර කර ඇත. කර්නල් නිකොලස් මාකේස් මෙජියා නම් ඔහුගේ සීයා, 1899 සහ 1902 අතර පැවැති දින දහසක යුද්ධයේ දී සටන් වැදුණු ප්‍රවීණයෙකු වූ අතර, ඔහු තම මුණුපුරා වන මාකේස්ගේ දේශපාලන චින්තනයට සැලකිය යුතු බලපෑමක් කිරීමට කැපවූ ලිබරල්වාදියා ලෙස සැලකේ.

මාකේස්ගේ See you in August නම් මෙම නවතම සහ අවසන් නවකතාව සඳහා මේ වනවිටත් බොහෝ ප්‍රතිචාර ලැබෙමින් පවතී. අයර්ලන්ත නවකතාකරුවකු වන කොලම් මැකන් ඒ සම්බන්ධයෙන් මෙසේ පවසා තිබේ.

මාකේස්ගේ අවසන් කැමැත්තට එරෙහිව ප්‍රකාශයට පත් ඔහුගේ අවසන් නවකතාව See you in August

“ලෝකයේ තවමත් සොයා ගැනීමට දේවල් තිබේ යැයි සිතීම කොතරම් සතුටක් ද? මම මාකේස්ගේ අලුත් පොතක් ලබාගැනීම සඳහා සැතපුම් පන්සියයක් වුව ද, පා ගමනින් යමි. එය දිගු ගමනක් අවසානයේ අයිස් සොයා ගැනීමක් වැනි ය. මාකේස් යනු සාහිත්‍ය ලෝකයේ දුර්ලභ සංයෝගයකි. මාර්කේස් පිළිබඳ මගේ පළමු අත්දැකීම මට සිහිපත් වන්නේ ඔහුගේ The Handsomest Drowned Man in the World නම් කෙටිකතාව කියවන විට ය. එය කියවූ පසු ඉතා ඉක්මනින් හැම දේ ම සම්පූර්ණයෙන් ම අලුත්වන්නට වී ය. මට භාෂාව විවෘත කළේ ඔහු ය. සත්තකින් ම ඔබ මාකේස්ගේ පොතකට ඇතුළුවන වාරයක්-වාරයක් පාසා ඔබ එය හතර පස් වතාවක් කියවා තිබුණ ද, එයින් අලුත් යමක් පැන නගී. නමුත්, යම් දෙයක් පළමු වතාවට ලැබීම යනු කලාතුරකින් ලැබෙන විශේෂ සතුටකි.

පිකෝ අයියර් නම් ඉංග්‍රීසි ජාතික ලේඛකයා ද වෙනස් වන සාහිත්‍ය පරිසරයක් තුළ ගාර්ෂියා මාකේස් විසින් ලේඛකයන් සහ පාඨකයන් කෙරෙහි ඇති කරන ලද බලපෑම ගැන සඳහන් කළේ මෙසේ ය.

“මා සිතන්නේ ගාර්සියා මාකේස් විසින් සිදු කරන ලද විප්ලවයේ කොටසක් වූයේ අපගේ යථාර්ථවාදය පිළිබඳ හැඟීම පුළුල් කිරීමත්, ලෝකයේ අපට අඩුවෙන් හුරුපුරුදු කොටස් සාහිත්‍යයේ විශ්ව කේන්ද්‍රයට ඇතුළු කරගැනීමට අපට උපකාර කිරීමත් ය”

ගාර්ෂියා මාකේස් යනු අපගේ උදාවන ගෝලීය යුගයේ ලොව ඈත කෙළවරින් ලැබෙන ඉන්ද්‍රජාලික ප්‍රවෘත්ති පවා ලන්ඩනයේ හෝ නිව්යෝර්ක් හි සිටින අයට සමීප කරන පළමු අයගෙන් කෙනෙකු බව පැවසූ ඔහු, සාහිත්‍යයට ගාර්ෂියා මාකේස් ලබාදුන් දායකත්වය සල්මන් රුෂ්ඩි සහ ඒබ්‍රහම් වර්ගීස් වැනි පසුකාලීන ලේඛකයන්ට වටිනා අවකාශයක් නිර්මාණය කළ බවත්, එනිසා මෑත දශකවල වඩාත් ම බලගතු නොබෙල් ත්‍යාගලාභී කොලොම්බියානු ලේඛකයා ඔහු ලෙස සැලකීම තර්කානුකූල බවත් ඔහු පැවසී ය.

මියගිය ලේඛකයන්ගේ කෘති ඔවුන්ගේ මරණින් පසු ප්‍රකාශයට පත් කිරීම සාමාන්‍ය දෙයක් නොවන හෙයින්, එය මතභේදාත්මක දෙයක් විය හැකි ය. ගාර්සියා මාකේස් සම්බන්ධ මෙම සිදුවීමට ආසන්නතම අවස්ථාව ලෙස සැලකෙන්නේ රුසියානු ලේඛක ව්ලැඩිමීර් නබොකොව්ගේ පුත් දිමිත්‍රි නබොකොව් සිය පියාගේ මරණයෙන් වසර තිහකට වැඩි කාලයකට පසු ව්ලැඩිමීර් නබොකොව්ගේ අවසාන කෘතිය වන The Original of Laura නම් අසම්පූර්ණ නවකතාව ප්‍රකාශයට පත් කිරීමට ගත් තීරණය යි.

මේ සම්බන්ධ අනෙකුත් මෑත කාලීන උදාහරණ සඳහා ඇමරිකානු නවකතාකරුවකු වූ ඩේවිඩ් ෆොස්ටර් වොලස්, චිලී ජාතික නවකතාකරුවකු සහ කෙටිකතාකරුවකු වූ රොබර්ටෝ බොලානෝ සහ පනස් හැවිරිදි වියේ දී හදිසියේ මිය ගිය The Girl With the Dragon Tattoo නම් නවකතා ත්‍රිත්වයේ කතුවරයා වන ස්වීඩන ජාතික ලේඛකයකු හා පුවත්පත් කලාවේදියකු වූ ස්ටීග් ලාර්සන්ගේ කෘති ගෙන හැර දැක්විය හැකි ය. ලාර්සන්ගේ ප්‍රකාශකයන් එම ‘මිලේනියම්’ කතා මාලාවේ තවත් නවකතා ඉදිරියට ලිවීම සඳහා ඩේවිඩ් ලැගර්ක්‍රාන්ට්ස් සහ කරින් ස්මිර්නොෆ් නම් ස්වීඩන් ලේඛකයන් දෙදෙනා කුලියට ගත් බව ද පැවසේ. වඩාත් ම කුප්‍රකට උදාහරණය වන්නේ, ඇමරිකානු නවකතා රචිකාවක වන හාපර් ලීගේ Go Set a Watchman නම් අවසන් නවකතාව 2016 පෙබරවාරි මාසයේ සිදුවූ ඇගේ මරණයට වසරකටත් අඩු කාලයකට පෙර එනම්, 2015 දී පළවීමත් සමඟ එය නිදහස් කරන ලෙස ඇයට බලපෑම් සිදුකළ බවට චෝදනා එල්ල වීම ය.

ගාර්ෂියා මාකේස්ගේ මෙම අප්‍රකාශිත නවකතාව ඔහුගේ මරණයෙන් වසර දහයකට පසු ප්‍රකාශයට පත් කිරීමට ගන්නා ලද තීරණයේ එක් විචාරිකාවක වන්නේ ‘ද ටයිම්ස්’ සඟරාවේ සාහිත්‍ය අතිරේකයේ ස්පාඤ්ඤය, පෘතුගාලය සහ ලතින් ඇමරිකාව සඳහා උපදේශක කතුවරියක ලෙස කටයුතු කරන මිරැන්ඩා ෆ්‍රාන්ස් ය. එම අත්පිටපත මුලින් ම කියවූ කිහිපදෙනා අතර සිටින ඇය පැවසුවේ, ගාර්ෂියා මාකේස්ගේ සුපුරුදු පොහොසත් වචන මාලාව හා සංසන්දනය කරද්දී ඒ අතින් මෙය තරමක දුප්පත්කමක් පෙන්නුම් කළ ද, මෙම අත්දැකීම සිත් ඇදගන්නාසුලු බව ය.

ගාර්ෂියා මාකේස්ගේ පුතුන් කුඩා කාලයේ දී, මාකේස් තමාගේ ලේඛනවල ඉවත ලන කෙටුම්පත් විනාශ කිරීම සඳහා ඔවුනට ඉඩ ලබා දුන්නේ ය. එහෙත්, ඔහු වසර ගණනාවකට පෙර විනාශ කරන්නැයි ඔවුනට දන්වා තිබූ ඔහුගේ එවන් ලේඛනයක කෙටුම්පතක් ඉන් වසර දහයකට පසු ඔවුහු සුරක්ෂිත කර ලෝකයට දායාද කර තිබේ.

ගාර්ෂියා මාකේස් යනු ඔහුගේ සංස්කාරකවරුන් සහ ප්‍රකාශකයන් සහතික කරන පරිදි ඔහුගේ කෘති තම අතිවිශාල සහ උද්යෝගිමත් පාඨක ප්‍රජාව වෙත යොමු කරන්නට පෙර එම අත්පිටපත්වල විරාම ලකුණු ඇතුළු ඒවායේ භාවිතයේ ඇති සෑම වෙනසක් ම නිරීක්ෂණය කළ පරිපූර්ණවාදියෙකි. එවන් දැඩි වගකීමකින් හා වගවීමකින් යුතුව නිර්මාණකරණයේ යෙදුණු ඔහුගේ අවසාන පරිකල්පන කොටස මෙසේ දිවා ආලෝකය දැකීම කොතෙක් දුරට සාධාරණ ද යන්න විනිශ්චය කිරීමට ඔහුගේ එම පාඨක ප්‍රජාවට දැන් අවස්ථාව සැලසී තිබේ.

එනිසා, ‘කියනු වස් පවතිමි’, ‘මගේ දුක්ඛදායක සුන්දරියන් ගැන මතක’, ‘සියක් වසක හුදෙකලාව’, ‘කර්නල් සහ එරන්දිරා’, ‘කරුම්මක්කාර කතාවක්’, ‘කොලරා කාලේ ආලේ’, ‘විකල් හෝරාව’, ‘මුහුදුබත් වූ ළදරුවකුගේ කතාව’ වැනි සිංහලයට නැගුණු ඔහුගේ නවකතා මෙන් See you in August නම් ඔහුගේ මෙම නවකතාව ද ‘අගෝස්තුවේ දී හමුවෙමු !’ යන නමින් හෝ ඒ හා සමාන වෙනත් නමකින් හෝ සිංහල පාඨකයනට ඉදිරියේ දී සමීපවනු ඇත.

● අනුර බී. සෙනෙවිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment