ඉංග්‍රීසි පාලනයෙන් මිදීම සඳහා සිංහලයන් විසින් 1818 දී ගසන ලද ඌවේ කැරැල්ලත්, 1834 දී පැනනැඟුණු මහනුවර කැලඹිල්ලත් සාහසික ලෙසම මැඬපැවැත්වීමෙන් පසු ඉංග්‍රීසීහු තව තවත් තදබල නීති රීති පනවමින් ස්වදේශීන්ගෙන් අයබදු අයකර ගන්නටත්, ඔවුන් පහත්කොට සලකන්නටත් පටන් ගත්හ. හැකි හැම මඟකින්ම මෙරටෙහි ධනය ඉංග්‍රීසීන් වෙත ලැබෙන පරිදි එතෙක් ස්වදේශීන් හට නුපුරුදු කොතෙකුත් බදු පනවන ලදී. පාර බද්ද, තොටුපළ බද්ද හා බලු බද්ද ආදී නොයෙකුත් බදු පැනවූයෙන් ද මේ බදු අසාධාරණ ලෙසත් අයථා ලෙසත් අය කරන්නට වූයෙන් ද දුප්පත් මහජනයාගේ විරෝධය නිතැනින්ම නැඟ ආයේ ය. බොහෝ දෙනකුට මේ බදු ගෙවා නිම කිරීමට පිළිවෙළක් ද නොවී ය.
බෞද්ධ විහාර දේපළවලින් ද සෙස්සන්ගෙන් මෙන්ම කිසි වෙනසක් නැතිව බදු අය කරන්නටත්, බෞද්ධාගමට හා බෞද්ධ භික්ෂුන් වහන්සේලාට රජය විසින් නොසලකා හරින්නටත් වීම බොහෝ බෞද්ධයන්ගේ සිත් රිදවන කරුණක් විය. සිංහල රජුන් දවස නම් බුදු සමයට සිංහල රජුන්ගෙන් ලැබුණු විශේෂ සැලකිලි ගැන මෙනෙහි කරන්නට වූ බොහෝ දෙනා යළිත් කවදා සිංහල බෞද්ධ රජ කෙනකු සහිත රජයක් පිහිටුවා ගත හැකි වේ දෝයි කල්පනා කරන්නට වූහ.
නැවතත් සිංහල රජයක් පිහිටුවා ගැනීමෙහි කැමැති දහස් ගණන් ජනයා මේ සම්බන්ධයෙන් විශේෂ පොතක සිය අත්සන් තැබූහ. වැඩි දිනක් ගත නොවී ය. 1848 ජූලි මස 28 වැනි දින මාතලේ හා සත් කෝරලය කැලඹී ගොංගල්ගොඩ බණ්ඩා ප්‍රමුඛ දහස් ගණන් කැරලිකාරයෝ එක්ව පළමුවෙන් කුරුණෑගල බලා පිටත් වූහ. කුරුණෑගල හා කෑගල්ල අල්ලාගෙන නැවත මහනුවර යටත් කරගැනීම කැරලි කාරයන්ගේ අභිප්‍රාය විය.
රාජ වංශිකයන් හෝ රදලවරුන් හෝ නොව සාමාන්‍ය මහජනයා විසින් අරඹන ලද මේ කැරැල්ලට සෑම පෙදෙසින්ම ඉංග්‍රීසි විරෝධී සාමාන්‍ය ජනතාව එක්වන්නට වූයෙන් කැරැල්ලට බළ හමුදා කීපයක්ම පිළියෙල කරගත හැකි විය. මෙයින් එක් හමුදාවක් කරුණෑගලට සැතපුම් දහයක් පමණ නැඟෙනහිරින් කඳවුරු බැඳ ගත්හ. තවත් හමුදාවක් කුරුණෑගලින් සැතපුම් හයකට පමණ නුදුරින් පොතුහැර වාඩි ලා ගත්හ. කුරුණෑගලට සැතපුම් දෙකක් පමණ දකුණින් වඳුරාගල නොතාරිස් මහතා යටතේ පැමිණි හමුදාවක් සූදානමින් සිටියහ. කුරුණෑගලදී එක්සත් වූ මේ තුන් හමුදාවම මෙහෙයවන්නට වූයේ හඟුරන්කෙත ඩිංගිරාල නම් කැරලි නායකයා ය. මාතලේ හමුදා හා කුරුණෑගල හමුදා එක්ව මහනුවර ජය ගැනීම කැරලි කාරයන්ගේ අවසාන වැඩසටහන විය. එහි නායකත්වය ගොංගල්ගොඩ බණ්ඩා විසින් දැරීම සඳහා කටයුතු පිළියෙල කැරිණි.
කුරුණෑගල රජයේ ගොඩනැඟිලි සුනුවිසුනු කර දමා නගරය අත් කර ගැනීමට කැරලිකාරයන් එතියි දූසමාන ආරංචිවලින් දැනගත් කුරුණෑගල දිස්ත්‍රික් නඩුකාර මහතා හා උප දිසාපති ගැන කැරලිකාරයින් මැඬපැවැත්වීම සඳහා උපකාර ඉල්ලා මහනුවර ලෙප්ටිනන්ට් තැනට වහාම පණිවුඩයක් යැවූහ. එහෙත් එවෙලෙහි ඔවුනට උපකාර එවීමට ඔහුට පුළුවන්කමක් නොවීය.
තත්ත්වයෙහි බරපතළකම දන්වා පසු දින යවන ලද පණිවිඩවලට පිළිතුරු වශයෙන් මහනුවරින් තුවක්කු හමුදාවේ නිලධාරි දෙදෙනෙක් ද යුද සෙබළු විසිපස් දෙනෙක් ද එවන ලදහ. කෙසේ වෙතත් ජූලි 29 වැනි දින බලාපොරොත්තු වූ පරිදි කැරලිකාරයෝ කුරුණෑගලට නොපැමිණියහ. එහෙත් පසු දා උදෑසන ඔවුන් එති යි ඉංග්‍රීසීහු සූදානමින් බලා සිටියහ. ඇතිවිය හැකි සටන් ගැන බිය වූ කුරුණෑගල වැසි බොහෝ දෙනෙක් රැකවරණ සොයාගොස් සැඟවුණහ.
බලාපොරොත්තු වූ පරිදිම පසු දා හෙවත් ජූලි මස 30 වැනි දින උදෑසන හතට පමණ තුවක්කු, කඩු, පොරෝ, හෙල්ල ආදී අවි ආයුධ ගත් අත් ඇති එක් දහස් පන්සියයක පමණ කැරලි කාර පිරිසක් කුරුණෑගල නගරයට කඩා පැන්නෝ ය. මෙයින් එක් කොටසක් උප දිසාපති තැනගේ නිවෙස දෙසටත් තවත් කොටසක් කඩ වීදිය දෙසටත් තවත් කොටසක් අරක්කු තැබෑරුම දෙසටත් දිව ගියහ. නගර දොරටුව රැකීමෙහි යෙදී සිටි යුද්ධ භටයෝ පසු බසින්නට වූහ. උසස් ඉංග්‍රීසි නිලධාරීහු හිස් ලූ ලූ අත දුවන්නට වූහ. එහෙයින් කැරලිකාරයෝ ලෙහෙසියෙන්ම කඩ වීදිය විනාශ කරමින් කොල්ලකන්නට පටන්ගත්හ.
ආරක්ෂක භටයන්ගෙන් බන්ධනාගාරයෙහි යතුරු උදුරා ගත් කැරලිකාරයන් විසින් බන්ධනාගාරය හැර, එහි වූ සිර කරුවෝ නිදහස් කර යවන ලදහ. නිදහස ලැබූ සිරකරුවෝ ද කැරලිකාරයන් හා එක්වූහ. ගණනින් ද, උfiා්ගයෙන් ද වැඩිවූ කැරලිකාරයෝ ඉන් පසු කුරුණෑගල උසාවියට වැද එහි වූ ලියකියවිලිවලටත් බඩුබාහිරාදියටත් ගිනි තබා විනාශ කළහ. දිස්ත්‍රික් නඩුකාර මහතාගේ නිවෙසත්, උප දිසාපති තැනගේ නිවෙසත් කැරලිකාරයන් අතින් විනාශ විය. ගේබි්‍රයෙල් පෙරේරා නීතිඥ මහතාගේ නිවෙසට ද ලැබුණේ මේ ඉරණම ම ය. අරක්කු තැබෑරුමට වන් කැරලිකාරයෝ හැකි තරම් මත් පැන් බී එතැනට ද ගිනි තැබූහ.
කුරුණෑගල නගරයෙහි කැලඹිලි හටගෙන පැය දෙකක් පමණ ගත වන විට ඉංග්‍රීසි නිලධාරීන් බලාපොරොත්තු වූ පරිදි ආධාර භට හමුදා මහනුවරින් එවනු ලැබූහ. ඉංග්‍රීසි භට හමුදා නගරයට ඇතුළුවත්ම කැරලිකාරයෝ ඔවුනට වෙඩි තැබූහ. ඉංග්‍රීසි භටයන් ද සාහසික ලෙස වෙඩි තබන්නට වූයෙන් කැරලිකාරයෝ ටිකින් ටික පසු බසින්නට වූහ. කච්චේරිය බිඳදැමීමෙහි යෙදී සිටි කැරලිකාරයින් සොයා පැමිණි ඉංග්‍රීසි හමුදාව විසින් යළිත් වෙඩි තබන ලදී. මේ සටනේදී සිංහල කැරලිකාරයෝ විසිනව දෙනෙක් ඉංග්‍රීසි භටයන්ගේ වෙඩි පහරවලින් මැරී වැටුණහ.
කෙසේ හෝ වහාම කැරැල්ල මැඬපැවැත්විය යුතු යැයි තීරණය කරගත් ටොරිංටන් ආණ්ඩුකාර තැන විසින් කැලඹිලි හටගත් දිනම හෙවත් 1848 ජූලි 30 වැනි දින සත් කෝරලය පුරා යුද්ධ නීතිය ප්‍රකාශ කරන ලදී. යුද්ධ නීතිය ප්‍රකාශ කරන ලද හෙයින් දෝ පසු දින වැඩි කැලඹිලි ගතියක් පෙනෙන්නට නොවී ය.
එහෙත් අගෝස්තු මස පළමු වැනි දින වඳුරාගල නොතාරිස් මහතා ප්‍රමුඛ හාරදහසකට අධික කැරලිකාර පිරිසක් තුවක්කු, කඩු, පොරෝ හා පොලු මුගුරු රැගෙන කුරුණෑගල නගරයට ඇතුළු වූහ. තුවක්කු ගත් ඉංග්‍රීසි භට හමුදාවක් ඔවුන් හා සටනට වන් හෙයින් සිංහල කැරලිකාරයෙක් ද එක් ඉංග්‍රීසි භටයෙක් ද මියගියහ. කැරලි නායකයා වශයෙන් පැමිණි වඳුරාගල නොතාරිස් මහතා ද මෙදිනම මියගියේ ය. එය සිය දිවි හානි කර ගැනීමකැ’යි පළව ගියේ ය.
මෙදින සැන්දෑවේ තවත් කැරලිකාර කණ්ඩායමක් කුරුණෑගලට පැමිණි නමුදු ඔව්හු ද ඉංග්‍රීසීන් හා කරන ලද සටනෙන් පරාජය වූහ.
මෙයින් පසු කැරලි නායකයන් අල්ලා ගැනීම සඳහා වෙහෙසුණු ඉංග්‍රීසීහු කුරුණෑගල සටන් මෙහෙයවූ කැරලි නායකයා අල්ලා දෙන හෝ අල්ලා ගැනීමට හරි ඔත්තු දෙන අයට පවුම් සියයක තෑග්ගක් දෙන බව ප්‍රකාශ කළහ. එහෙත් ඔහු අල්ලා දීමට කිසිවකු ඉදිරිපත් නොවූයෙන් තෑග්ග පවුම් එක සිය පනහ කරන ලදී. එසේ වුවද තවමත් කැරලි නායකයා අල්වා ගැනීම ලෙහෙසි නොවී ය.
වැඩි දිනක් යෑමට පෙර හෙවත් අගෝස්තු මස හතර වැනි දින කැරලි නායකයා අල්ලා දීම සඳහා බළ සෙනඟක් ද සමගින් පිටත් වූ දොරටියාව රටේ මහතා විසින් කුරුණෑගල සටන් මෙහෙයූ හඟුරන්කෙත ඩිංගිරාලත්, වැහැව අප්පුහාමි, උකුවෙල හිටපු රටේ මහතා හා කලුබණ්ඩා නම් කැරලිකාරයකුත් අල්ලා සිය භාරයට ගන්නා ලදහ. ලුණුකඩවල විහාරස්ථානයේ සාකච්ඡාවක් පවත්වමින් සිටියදී අල්ලා ගන්නා ලද මේ පිරිස පසු දින ඉංග්‍රීසි යුද්ධාධිකරණයක් ඉදිරිපිටට පමුණුවනු ලැබූයේ කැරලි නායක හඟරන්කෙත ඩිංගිරාල එල්ලා මැරීමට නියම විය. එදිනම සවස ඔහු එල්ලා මරණ ලදී.
මේ අතර කැරලි මැඬපැවැත්වීම සඳහා මදුරාසියෙන් ද ආධාර භට සේනා එවන ලදහ. මෙහි රැඳී සිටි ඉංග්‍රීසි භට හමුදා ද මේ හමුදා සමග එක්ව කැරලි මැඬීමේ අදහසින් මහනුවර බලා නික්මුණහ. මදුරා කෝරලය ඇතුළු බොහෝ පළාත්වල ජනයා කවුරුත් පාහේ කැරැල්ලට එකතු වී සිටියහ. කැරැල්ලට එකතු නොවී ඊට සහයෝගයක් නොදක්වන ලද්දේ මරක්කලයන් විසින් පමණකි.
මදුරාසියෙන් ලැබුණු ආධාර නිසා වඩාත්ම බලවත්වූ ඉංග්‍රීසින් හට දැන් කැරැල්ල මැඬපැවැත්වීම ලෙහෙසි වැඩක් විය. වඳුරාගල නොතාරිස් මහතාගේ මරණයෙනුත් මෙතෙක් සටන් මෙහෙයවූ හඟුරන්කෙත ඩිංගිරාල එල්ලා මරනු ලැබීමෙනුත් පසුව කැරලිකාරයෝ ද බෙහෙවින් මන්දෝත්සාහි වූහ. ඉතිරිව සිටි කැරලි නායකයන් ද ඉංග්‍රීසින් විසින් අල්ලා ගනු ලැබීමෙනුත් ඔවුන්ගේ වෙඩි පහරවලින් බොහෝ කැරලිකාරයන් මියයෑමෙනුත්, ඔවුන් විසින් කරන ලද විනාශකාරී ක්‍රියා නිසා ගම් පාළුවී යෑමෙනුත් පසුව කැරැල්ල මඳ දිනකින්ම අවසානයට පත් විය.
කැරලි නායකයන් හට විරුද්ධ චෝදනා ඉදිරිපත් කර මැක්ඩොනල්ඩ් ප්‍රමුඛ යුද්ධාධිකරණ මණ්ඩලයක් වෙත ඔවුන් ඉදිරිපත් කරන ලදින්, ඔවුනට නොයෙකුත් විදියේ දඬුවම් පමුණු වන ලදී. සමහරුන් වෙඩි තබා මැරීමට ද සමහරුන් රටින් පිටුවහල් කිරීමට ද නියම වූ අතර ඇතැම් සාමාන්‍ය ජනයා බන්ධනාගාරයට නියම කැරිණි. තවත් සමහරුනට කස පහර දීමට ද නියම විය.
කුරුණෑගල යුද්ධාධිකරණ මණ්ඩලය ඉදිරියට නොගෙනෙනු ලැබූ තවත් කැරලිකාර පිරිසක් මහනුවර පැවැත්වුණු යුද්ධාධිකරණ මණ්ඩලයක් ඉදිරියට පමුණුවන ලදහ. සර් ඇන්තනී ඔලිපන්ට් අග්‍ර විනිශ්චයකාරතුමා මේ යුද්ධාධිකරණ සභාවේ සභාපති පදවිය දැරීය. නඩු අසනු ලැබීමෙන් පසුව කැරලිකරුවන් දහතුන් දෙනකු චෝදනාවලට වැරදිකරුවන් බවට ජූරි සභාවේ තීරණය විය. එහෙත් ඔවුන් සමාව ලැබීමට සුදුස්සන් බව ද ජූරි සභාව විසින් තීරණය කරන ලදී.
තමන් යටතේ සිටින පොලිස් භටයන් හට ඊට අවශ්‍ය ශක්තිය හා එඩිතරකම නැති බව ඔහු කීයේ ය. එහෙයින් වහාම මහෙස්ත්‍රාත්වරයා කොටහේනට ගොස් එහි වූ යුද්ධ හමුදාවේ භටයන් කීපදෙනකු තම රියෙහි නංවාගෙන පැමිණ, පිරිස ආපසු යවන ලදහ.
බෞද්ධයන්ගේ පින්කම් හා පෙරහැරවලට අබෞද්ධයන් විසින් මෙසේ බාධා කිරීම පිළිබඳව ආණ්ඩුකාර තැන වෙත කරුණු සැලකර සිටියෙන් මේ ගැන විභාග කර බැලීම සඳහා බස්නාහිර පළාතේ දිසාපති තැන්පත් එෆ්.ආර්. සෞන්ඩර්ස් මහතා ද කුරුණෑගල දිස්ත්‍රික් නඩුකාර ජේ.එච්. ද සේරම් මහතා ද ලෙප්ටිනන්ට් කර්නල් ජේ. ඩන්කන් මහතා ද කොමිෂන් සභාවක් වශයෙන් පත් කරන ලදහ.
මේ සංවේග දායක සංසිද්ධිය සම්බන්ධයෙන් බොහෝ දුර කරුණු විභාග කළ කොමිෂන් සභාව බොරැල්ලේ සිට බෞද්ධ පෙරහැර ගමන් ගත්තේ කිසිම අන්‍ය ලබ්ධිකයකු හට අපහාස කිරීමේ හෝ කෝලාහල කිරීමේ හෝ අදහසකින් නොවේ යැයි නිගමනය කළහ.
ඉංග්‍රීසීන්ගෙන් ලංකාව ආපසු උදුරා ගැනීම සඳහා ජාති මමත්වයෙන් ඔද වැඩුණු සිංහලයන් විසින් 1818 දී දැරුණු පළමු වන තැත වූ ඌවේ කැරැල්ල ඉංග්‍රීසීහු කෲර ලෙස මැඬපැවැත්වූහ. කැරැල්ලට සහභාගි වූත්, සහභාගි නොවූත්, සිංහලයන්ගේ ගේ දොර, වතු පිටි ආදී හැමෙකක්ම ගිනි තබා විනාශ කර දම ලද හෙයින් කැරලි පැවැති ඌව – වෙල්ලස්ස ආදී පළාත් ජන ශුන්‍ය පාළු පෙදෙස් බවට පත් විය. ඉංග්‍රීසින්ගේ ගැහැට ඉවසනු නොහැකිවූ පවුල් පනස් දාහක් පමණ ඌව අත හැර බස්නාහිර, සබරගමු හා දකුණු පළාත්වල පදිංචියට ගිය බවද ප්‍රකට ය.
ඌවේ කැරැල්ලෙන් පසුව නැවතත් කැරැල්ලක් ඇති නොවන සේ, නැවතත් කැරලි ගැසීමට ශක්තියක් නැති වන සේ, ස්වදේශිකයන් තළා පෙළා පාගා දැමිය යුතු යැයි ඉංග්‍රීසීහු තීරණය කර ගත්හ. මේ තීරණය ලෙහෙසියෙන්ම ක්‍රියාත්මක කළ හැකි වන්නේ රට වැසියනට හිස ඔසවන්නට නොහැකි පරිදි නීති රීති පනවා ගැනීමෙන් බව ඔවුනට වැටහිණි.
මෙතෙක් දෙරටක් වශයෙන් පාලනය කැරුණු උඩරට හා පහතරට එකම පාලන ක්‍රමයක් යටතට ගැනීමෙන් ද උඩරට නායකයන් හට දී තිබුණු බල තල ක්‍රමයෙන් ඉවතට ඇදදැමීමෙන් ද එතෙක් උඩරට නායකයන් විසින්ම පරම්පරා වශයෙන් දැරූ නිල තල ඔවුන්ගෙන් උදුරා ඒ සඳහා ඉංග්‍රීසි නිලධාරීන් පත් කිරීමෙන් ද බුද්ධාගමට හා බෞද්ධ භික්ෂූන් වහන්සේලාට දැක්වුණු ගෞරව හා සැලකිලි නැති කිරීමෙන් ද ඉංග්‍රීසීන් රට පාලනය අමුතුම නුපුරුදු මඟකට හරවන සැටි සිංහල නායකයන් හටත් බෞද්ධ භික්ෂූන් වහන්සේලාටත් මහජනයාටත් එක සේ පෙනී යන්නට විය.
යළිත් කැරලි ගැසිය නොහැකි පරිදි ඌව – වෙල්ලස්ස හා බින්තැන්න ආදී පළාත් විනාශ කැරුණු නමුදු මහනුවර, ගම්පොළ ආදී කඳුකර පළාත්වල බෞද්ධ භික්ෂූන් වහන්සේලා හා මහජනයා අතර බුර බුරා පැනනැඟෙමින් තිබුණු ජාතිකාභිමානය නැවතත් මතුවන්නට විය.
ඉංග්‍රීසීන්ගෙන් රට ආපසු දිනා ගැනීම සඳහා සිංහලයන් විසින් දරන ලද දෙවැනි ප්‍රයත්නය වූ මේ මහනුවර කැලඹිල්ල, 1818 පැවැති ඌවේ කැරැල්ලට වඩා සම්පූර්ණයෙන් වෙනස් මුහුණුවරක් ගත්තේ ය. ඇත්ත වශයෙන්ම කැරලි ගැසීමට කුමන්ත්‍රණය කර සූදානම් වනවිටම ඒ ගැන රජයට දැනගන්නට ලැබුණෙන් කැරලි ගැසීම එතෙකින් නැවතිණි.
ඉංග්‍රීසින් මේ රටින් පලවා හැරීමේ පරමාර්ථයෙන් කැරලි ගැසීම් සඳහා එක් වූවන් අතර මුල්තැන ගතතෝ හය දෙනෙකි. ඉංග්‍රීසි රජය යටතේ උඩරට රාජ්‍යයේ මහ අදිකාරම් බවට පත්ව සිටි මොල්ලිගොඩ නිලමේත්, දුනුවිල දිසාවේත්, බඹරදෙණියේ බස්නායක නිලමේත්, දෙබෑවේ උන්නාන්සේ, තිබ්බොටුවාවේ උන්නාන්සේ හා කැත්තකුඹුර උන්නාන්සේ යන බෞද්ධ භික්ෂූන් වහන්සේලාත් රජය විසින් චෝදනා නඟනු ලැබූ කැරලිකරුවෝ හය දෙනාය.
කැරැල්ල ඇරඹීමට සූදානම් වූ මේ කැරලි නායකයන් හය දෙනා විසින් ගෙනයන ලද්දේ ඉතා සියුම් වැඩපිළිවෙළකි. ඔවුන් එක්ව කුමන්ත්‍රණය කළේ කෙසේ හෝ ඉංග්‍රීසි රජු සිංහල සිංහාසනයෙන් පහකොට උඩරට රාජධානිය සඳහා යම්කිසි රාජවංශිකයකු හෝ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමන්ගේ නෑදෑ කෙනකු හෝ පත් කර ගැනීමත්, ඉංග්‍රීසීන් විසින් පනවා තිබුණු කොතෙකුත් අලුත් නීති රීති කඩා බිඳ දමා සිංහලයනට සුපුරුදු පාලන ක්‍රමය යළිත් පිහිටුවා ගැනීමත් සඳහා ය.
මේ පිරිස සිංහල රජවරුන්ගේ අභිෂේක මංගල්‍යයන් පිළිබඳ විස්තරත්, නීති රීති අයබදු රැස්කිරීම හා ආදායම් පාලනය කිරීම පිළිබඳ විස්තරත් රජුන්ගේ බලය හා අයිතිවාසිකම් පිළිබඳ විස්තරත් සොයා ගැනීමෙහි යුහුසුලු වූහ.
ගම්පොළ හා තවත් කීපපළක පින්කම් හා ප්‍රසිද්ධ රැස්වීම් පවත්වා ලියුම් හා පණිවිඩ මගින් ඒ ඒ තැන්වලට හැකි තරම් ජනයා කැඳවා ඉංග්‍රීසි පාලනයට විරුද්ධව කතා පැවැත්වීමෙන් වැසියන් ඉංග්‍රීසින් කෙරෙහි කලකිරවීමේ ව්‍යාපාරයක් ද මේ පිරිසේ ඇතැමුන් විසින් රහසිගතව ගෙන යන ලදී.
කැරලිකාරයන් විසින් කුමන්ත්‍රණය කරන ලද ඉතාම සියුම් උපාය වූ කලී මහනුවර දළදා මැඳුරෙහි වැඩ සිටින දන්ත ධාතුන් වහන්සේ වැනි යම් කිසි වස්තුවක් පිළියෙල කරගෙන නියම දළදා වහන්සේ විවෘත කිරීම සඳහා රජයේ දිසාපති තැන කැඳවා එහිදී තිර රෙද්දට ගිනි තබා කලබලයක් කර නියම දළදා වහන්සේ සොරාගෙන එතැනට බොරු දළදාව දමා පසුව රජය කෙරෙහි මහජනයා බිඳවීම ය.
රජය කෙරෙහි මහජනයාගේ සිත් බිඳවා ස්වදේශීන් එක්තැන් කර ගෙන පටන්ගත යුතු වූ මේ කැරැල්ල සඳහා නොයෙකුත් උපකරණ අවි ආයුධ හා භට හමුදා අවශ්‍ය ය. ඒ සඳහා කැරලිනායකයන් කුමන්ත්‍රණය කරන ලද්දේ ලංකා කාලතුවක්කු හමුදාවේ අබ්දුල් පසූල් ප්‍රමුඛ යුද සෙබළුන්ගේ සහාය ලබා ගෙන ඔවුන් එකතු කර ගැනීමට ය.
ස්වදේශීන් විසින් පමණක් නම් කිසිසේත් ඉංග්‍රීසින් දැන් මේ රටින් පලවා හැරීම ලෙහෙසි වැඩක් නොවන බව ඌවේ කැරැල්ලෙන් පසු දැනගත් කැරලි නායකයෝ මේ සඳහා කෙසේ හෝ විදේශයන්ගෙන් උපකාර ලබාගත හැකිදැයි සොයා බලන්නට වූහ. තම කැරැල්ලට උපකාර ලබා ගත හැක්කේ අසල්වැසි බෞද්ධ රාජ්‍යයක් වූ සියමෙන් හා ඉංග්‍රීසින් සමග සතුරුව සිටි ප්‍රංශයෙන් බව ඔවුනට අවබෝධ විය.
සියමෙන් උපකාර ලබා ගත යුතු ආකාරය කැරලි නායකයන්ගේ සාකච්ඡාවට භාජන විය. මෙරට උපසම්පදාව නැති හෙයින් බෞද්ධ භික්ෂුන් වහන්සේලා කීපදෙනකු උපසම්පදාව ගෙනෙන ව්‍යාජයෙන් සියමට ගොස් මෙරට බෞද්ධ කටයුතු පිරිහී තිබෙන ආකාරයත් ඊට හේතුව ඉංග්‍රීසි පාලනය බවත් විස්තර කර, සියම් රජුගෙන් කැරැල්ල සඳහා ආධාර ලබා ගත යුතු යැයි ඔවුන් විසින් සාකච්ඡා කරන ලදී.
බෞද්ධ රාජ්‍යයක් නොවූ ප්‍රංශයෙන් ආධාර ලබා ගත යුතු ආකාරය ද මේ පිරිසගේ කල්පනාවට භාජන විය. ඇත් දළින් කරන ලද වටිනා භාණ්ඩ රාශියකුත් යුරෝපයෙහි නූපදිනා වෙනත් වෙළෙඳ බඩුත් නැවක් පුරා පිළියෙල කරගෙන ඒ නැව ප්‍රංශ භාෂාව හොඳින් දන්නා ඉහගම රාළ භාරේ ඔහු සමගින් ප්‍රංශයට පිටත් කළ යුතු බවද ප්‍රංශ රජයට කරුණු කියා ඔවුන්ගේ ආධාරය කැරැල්ලට ලබාගත යුතු බවද කැරලි නායකයන්ගේ තීරණයක් විය.
සටනක් නොකරම ඉංග්‍රීසීන් විනාශ කර සිංහල රාජ්‍යය ආපසු ලබා ගත හැකි උපක්‍රමයක් ගැන ද සිංහලයෝ කුමන්ත්‍රණය කළහ. ඒ වූකලී ඉතා රහසිගතව පිළියෙල කළ යුතු වැඩක් විය.
ඉංග්‍රීසීන් මෙරට පාලන බලය ලබා ගත් තැන් සිටම ස්වදේශීන් විසින් ඔවුනට කිසිම භෝජන සංග්‍රහයක් නොපවත්වන ලද හෙයින් දුප්පත්, පොහොසත් සියලු ස්වදේශීන්ගේ ආධාර ඇතිව ඉංග්‍රීසි පාලකයනට හා යුද්ධ හමුදාවලට එකවිටම භෝජන සංග්‍රහයක් පැවැත්විය යුතුය. මේ භෝජන සංග්‍රහයේදී හැකි තරම් මත්පැන් පිළියෙල කළ යුතුය. ඔවුන් මත්පැන් බී වෙරි වී සිටින විට බීම භාජනවලට වස දමා එපමණකින් ඔවුන් ජීවිතක්ෂයට පත් කර රට අල්වා ගැනීම මේ රහස් උපාය ය.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා 1834 ජූලි මස 18 වැනි දින විධායක මණ්ඩලය රැස්විය. මෙහිදී ඩේවිඩ් ද සිල්වා මුදලිගෙන් තවදුරටත් කරුණු විමසා බලන ලදී. එයින් පසු මහනුවර, මාතලේ, නුවර කලාවිය හා බදුල්ල යන පළාත්වල බෞද්ධ භික්ෂුන් වහන්සේලා දොළොස් නමක් ද, ගිහි ජන නායකයන් දොළොස් දෙනකු ද, ජා මිසුන් දෙදෙනකු ද හිර භාරයට ගැනීමට තීරණය කර ගන්නා ලදී. යුද්ධ භටයෝ පසු දිනට පහන් වෙත්ම මේ විසිහය දෙනාගේ නිවෙස් වටලා ඔවුන් හිර භාරයට ගත්හ.
හිර භාරයට ගන්නා ලද විසිහය දෙනාට විරුද්ධ චෝදනා ඉදිරිපත් කර නඩු විභාගය පවත්වා දඬුවම් පැමිණවීම වස් 1835 ජනවාරි මස දොළාස් වැනි දින හිරකරුවෝ මහනුවර ශ්‍රේෂ්ඨාධිකරණයේ ඩබ්ලිව්. නෝරිස් විනිශ්චයකාර තුමන් හා දහතුන් දෙනකුගෙන් සමන්විත ජූරි සභාවක් ඉදිරියට පමුණු වන ලදහ. ජූරි සභාව යුරෝපියයන් හය දෙනකුගෙන් ද පහතරට සිංහලයන් හත් දෙනකුගෙන් ද සමන්විත විය. ඉංග්‍රීසි ජාතික හය දෙනා හෙන්රි වයිට්, ඩබ්ලිව්. එච්. වයිටින්, ජෝර්ජ් බර්ඩ්, ජේ. ඩාලි, ඩබ්ලිව්. රිඩ්සි ඩේල් යන මහත්වරු වූහ. ද සේරම් දේවගැති තුමා, දියෙස් දේවගැති තුමා, ජැකොබුස් දියෙස් මුදලි, ජේ.ජේ. ද සේරම් මුදලි, වී. ද සේරම් මුදලි, ජේ.එෆ්. දියෙස් මුදලි හා එල්. ද ලිවේරා මුදලි ජූරි සභාවට පත්වූ පහතරට සිංහලයෝ ය.
නඩුව විභාගයට ගැනීමට පෙර චෝදනා ලැබූ විසිහය දෙනාගෙන් හය දෙනකු හැර සෙසු විසි දෙනම නිදහස් කරන ලදහ. කැරැල්ල මෙහෙයවීමට සූදානම් වීම ගැන චෝදනා කර නඩුව විභාගයට ගන්නා ලද්දේ මොල්ලිගොඩ නිලමේ, දුනුවිල දිසාවේ හා බඹරදෙණියේ බස්නායක නිලමේ යන ජනනායකයන් තිදෙනාට හා තිබ්බොටුවාවේ උන්නාන්සේ, දෙබෑවේ උන්නාන්සේ හා කැත්තකුඹුරේ උන්නාන්සේ යන බෞද්ධ භික්ෂුන් වහන්සේලා තිදෙනාට ද විරුද්ධව ය.
මේ හය දෙනාට විරුද්ධව තිස්එක් දෙනෙක් සාක්ෂි දුන්හ.
දින ගණනක් පැවති නඩු විභාගය කෙළවර වූයේ ජූරි සභාවේ තීරණයෙන් පසුව ය. විත්තිකරුවන් වැරදිකරුවන් බව ජූරි සභාවේ සිටි යුරෝපීයයන් හය දෙනාගේ තීරණය වූවද, ඔවුහු නිවැරදි කාරයෝ යැයි සිංහල ජූරි සභිකයෝ හත් දෙන තම තීරණය දුන්හ. එහෙයින් වැඩි දෙනාගේ තීරණය අනුව කැරලි නායකයෝ හය දෙනාම නිදහස ලැබූහ.
එහෙත් කැරලි ගැසීමට තැත් කිරීම ගැන ඒ හය දෙනා වැරදිකරුවන් බව විනිශ්චයකාර තැනගේ අදහස විය. එසේ වුවද ජූරි සභාවේ තීරණයට ඔහු ඉඩ දුන්නේ ය. ඔවුන් කැරලි ගැසීමට තැත් කළ බව ආණ්ඩුකාර තැනගේ ද විශ්වාසය විය. එහෙයිනි 1835 පෙබරවාරි මස 13 වැනි දින මහනුවර මඟුල් මඩුවේ පැවැති රජ දැක්මේදී ආණ්ඩුකාර තැන මේ බව ප්‍රකාශ කර ඒ ජන නායකයන් හා භික්ෂුන් වහන්සේලා ඔවුන්ගේ තනතුරුවලින් පහකරන ලද්දේ.
ඉංග්‍රීසිනට කේලාම් කීමෙහි යෙදුණු මහවල තැන්නට මහ අදිකාරම් පදවිය ලැබුණේ ය. ඩේවිඩ් සිල්වා පරිවර්තකයාට රජවාසල මුදලිකමක් හා ලොකු මාසික පඩියක් ලැබුණේ ය. මහල, රතනපාල හා ඇඹිලිගම යන පැවිද්දෝ ද නිලතල නොලැබුවත් ඉංග්‍රීසින්ගේ අධික ප්‍රශංසාවට ලක්වූහ. නැති වූ සිංහල රාජ්‍යය ආපසු දිනා ගැන්ම සඳහා සිංහලයන් විසින් දරන ලද දෙවැනි ප්‍රයත්නයේ කෙළවර මෙසේ විය.
‘ලංකාවේ කැරැලි කෝලාහල’ ග්‍රන්ථයෙනි.