තමන්ගේ නිරුවත් වීඩියෝවක් ලෙස කෘත්‍රීම බුද්ධිය යොදා සකස් කරන ලද වීඩියෝවක් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වන බව කියමින් ටික්ටොක්හි ප්‍රකට නිරූපිකාවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණේ නොවැම්බර් 18 වැනිදායි. සොයුරියන් දෙදෙනෙකු වන මේ දෙදෙනාම එක හා සමාන පෙනුමක් තිබෙන නිසා, උක්ත නිරුවත් වීඩියෝවේ සිටින කාන්තාව මේ දෙදෙනාගෙන් කවුරුදැයි හාස්‍යජනක ලෙස ප්‍රචාරය වෙමින් තිබුණා.
එවැනි පසුබිමක ඔවුන් දෙදෙනා ඉදිරිපත්ව පැමිණිල්ලක් ඉදිරිපත් වීම අගය කළ යුතුයි. එමෙන්ම තමන්ව අපහසුතාවට පත් කළ ප්‍රවණතාවට එරෙහිව නැඟී සිටීමට ඒ දෙදෙනාටම ශක්තිය ප්‍රකාශ කළ යුතුයි. සහෝදරියනි! ඔබ සමග අප සිටින බවත්, ශක්තිමත්ව මුහුණදීමට ශක්තිය ප්‍රාර්ථනා කරන බවත් ප්‍රසිද්ධියේ අප ප්‍රකාශයට පත් කළ යුතුයි.
ඊට පෙර දින කිහිපයක් තිස්සේ අන්තර්ජාලය තුළ විශාල සංවාදයකට මෙම වීඩියෝව ලක්ව තිබුණා. මෙම නිරූපිකාවන් එය කෘත්‍රීමව සකස් කළ එකක් බව කියද්දී එය පිළිනොගෙන ඔවුන්ට අපහාස කිරීමත්, එම කාන්තාවන්ගේ චරිතයට ප්‍රහාර එල්ල කිරීමත් දිගින් දිගට ම සිදු වුණා. එවැනි පසුබිමක මෙම සිදුවීමෙන් මතු වන නූතනම ප්‍රශ්නයක් කෙරෙහි අපි අවධානය යොමු කළ යුතුයි. මේ අන්තර්ජාල කෘත්‍රීම බුද්ධි යුගයේ අප ආරක්ෂිත ද?
සෑහෙන දුරකට මෙම සිදුවීම පදනම් කරගෙන විශාල අශිෂ්ටත්වයක් අන්තර්ජාලය තුළ ප්‍රකාශයට පත්ව තිබුණා. බොහෝ පුරුෂයන් සමාජ මාධ්‍ය තුළ මෙම සිදුවීම තලු මරමින් විවිධාකාර අදහස්, ඡායාරූප ආදිය හුවමාරු කර ගත්තා. මේ නිසා ම සංවේදී ඇතැම් අය විමසුවා ඔබේ සහෝදරියක්, බිරිඳක්, මවක්, පෙම්වතියක් හෝ මිතුරියක් මෙවැන්නකට මුහුණ දුන්නොත් ඔබේ ප්‍රතිචාරය මෙයමද කියා. ඇත්තෙන්ම කාන්තාවකගේ පුද්ගලිකත්වය පිළිබඳ මෙවැනි කාරණයකදී කෙලෙසෙන්නේ ඇගේ ගරුත්වය නෙවෙයි. ඇගේ සමාජ තත්ත්වය නෙවෙයි. එයට එහා ගිය, සමාජයේ ආත්මය කෙලෙසීමකුයි මෙවැනි සිදුවිම්වලින් අපට දැකිය හැකි වන්නේ.
මෙවැනි සිදුවීම් අපේ සමාජය තුළ තියෙන ගැඹුරු ප්‍රශ්න ඉස්මතු කරනවා. පුරුෂාධිපත්‍යය, ධනවාදය, මනුෂ්‍ය ජීවිතය භාණ්ඩකරණයට ලක් කිරීම වගේ තව ප්‍රශ්න ගොඩක් මතු වෙනවා. ඒ නිසා ම අපට මේ ලීක් වීම් ගැන පුළුල් ලෙස කතා කිරීමට සිදු වෙනවා.
විශේෂයෙන් කෘත්‍රීම බුද්ධිය ඇති යුගයෙහි එය තවත් බරපතළ විය හැකියි. අද කාන්තාවක ඉදිරියේ තියෙන ඉතා බිහිසුණු අභියෝගය. ඔයා තමන්ගේ පුද්ගලික ජීවිතය තුළ තමන්ගේ පුද්ගලික දෙයක් වීඩියෝ කර, පසුව එය අන්තර්ජාලයට මුදාහැරීමෙන් සිදු වන අවදානමටත් එහා තැනක කාන්තාවන් ඉන්නවා. දැන් ඇය තමන්ව වීඩියෝ නොකරම අන්තර්ජාලය තුළ ඇගේ වීඩියෝවක් පැවැතිය හැකියි.
එම නිසා නීතිමය, සංස්කෘතිකමය, තාක්ෂණික හා දේශපාලනික පැතිවලින් මේ ගැන අවධානය යොමු කළ යුතුයි. සමාජය යහපත් දෙසට තල්ලු කිරීමට උත්සාහ කරන අප මනුෂ්‍යයා තිරිසනෙක් ලෙස හුදෙක් පිරිමින්ගේ කාමුක හැඟීම් සාමාන්‍යකරණය වූ සමාජයක් වෙනුවට යම්කිසි ශිෂ්ටත්වයක් අත්පත් කරගත් තැනකට තල්ලු කළ යුතු වෙනවා.
නීතිය, සංස්කෘතිය, තාක්ෂණය, සදාචාරය සහ දේශපාලනය යන පැතිවලින් මේ ගැන අවධානයට ලක් කළ යුතුයි.
නීතිය
මේ ගැන නීතිය ඉතා පැහැදිලියි. ඒත්, නීතිය ක්‍රියාත්මක වෙන ආකාරයයි ගැටලුව. අපි පෞද්ගලිකවම දන්නවා මෙවැනි සිදුවීම්වලට මුහුණදීලා පොලිසියකට පැමිණිලි කිරීමට ගිය විගස මුලින්ම අහන්නේ ඇයි වීඩියෝ කළේ, ඇයි මේක ෂෙයා කළේ, ඒ කරපු එක තමයි වැරදි කියා. එයින් පසු එම නිලධාරීන් ඇතුළු අයත් ඒ වීඩියෝව බලමින් ඒක තලු මරන්නට ඉඩ තියෙනවා. ඒ සියල්ලට වඩා හැංගිලා, ගුලිවෙලා නිහඬව සිටීම බොහෝ අය කරනවා.
බොහෝ දෙනෙකු කල්පනා කරන්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත තුළින් මේවා වැළැක්විය හැකි බව. එහෙත්, එම පනත අපරාධ වැරදිවලට අදාළ අපරාධමය පනතක් නෙවෙයි. එම නිසාම මෙවැනි අපරාධමය ක්‍රියාවලට එරෙහිව ක්‍රියාත්මක වෙන්න බැරි තරම් එම පනත දුර්වලයි. ඒ නිසාමයි, එම පනත තේරුමක් නැති, රජයට එරෙහිවන්නන් මර්දනයට පමණක් පාවිච්චි කළ හැකි පනතක් වෙන්නේ.
එම පනතට අදාළ අපරාධමය වැරදි තියෙන්නේ වෙනත් නීතිවලයි. එයින් දඬුවම් කළ හැක්කේ වෙනත් නීති මත පදනම් වෙලායි.
ලංකාවේ පරිගණක අපරාධ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය මෙවැනි ක්‍රියාවන් අපරාධ ලෙස නම් කරලා තියෙනවා. එම පනත් දෙකම මෙයට අදාළව පියවර ගැනීම සඳහා ප්‍රමාණවත්. සැබෑ ගැටලුව වන්නේ එය ක්‍රියාත්මක වන ආකාරයේයි.
ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුබද්ධව පරිගණක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නම් වූ වෙනම දෙපාර්තමේන්තුවක් පවතිනවා. එම දෙපාර්තමේන්තුව යටතේ අංශ පහක් තියෙනවා. එම දෙපාර්තමේන්තුවට අවශ්‍ය තාක්ෂණික සම්පත් සහ නීතිමය බලය තියෙනවා. ඇත්තටම ඔවුන්ට තාක්ෂණික දැනුම සහ හැකියාව කෙසේ හෝ ලබාගත හැකියි. සැබෑ ගැටලුව වන්නේ සදාචාරමය, නීතිමය සහ අනෙකුත් කාරණාවලට අදාළව විශාල පුහුණුවක් ඔවුන්ට අවැසි වීමයි.
මෙම අංශයේ නිලධාරියෙකුම ලියුම්කරු සමග කියා ඇත්තේ තමන්ට අපරාධ මැඬීමට සහ හොරු ඇල්ලීමට එහා ගිය පුහුණුවක් ලැබී නොමැති බව. විශේෂයෙන් මෙවැනි කාරණයකදී සංවේදී වීම සඳහා ඔවුන්ට වෙම පුහුණුවක් ලැබිය යුතු වෙනවා. කාන්තාවන්ගේ අයිතිවාසිකම් වගේම ඔවුන්ට සංවේදීව ප්‍රතිචාර දැක්විය යුතු වෙනවා. ඇතැම්විට කාන්තාවක තමන්ගේ වීඩියෝවක් අන්තර්ජාලයට එකතු වූ පසු පොලිසියට ගිය පසු එම නිලධාරීන්ගෙන් බැනුම් අසන්නේ ඇය විසින් වැරදි දෙයක් කර එය අන්තර්ජාලයට එකතු වූ පසු දැන් තමන්ට කරදර කරන්නට එනවා වැනි කියමන්වලිනුයි.
සදාචාරය
මෙතැන තියෙන අනෙක් අවුල වන්නේ, කාන්තා ශරීරය ගැන අපේ සංස්කෘතියේ තියෙන සීමාව ඉක්මවූ සාදාචාර වටිනාකම. ඇය කැමැති වුණත්, අකමැති වුණත් ඇගේ ශරීරය මේ ආකාරයෙන් නිරාවරණය වුණොත් ඇයව කෙලෙසුණා කියා විශ්වාස කිරීම ම ඇගේ නිදහස සීමා කිරීමක්.
ඇගේ ශරීරය දැඩිව සඟවාගැනීමට බල කෙරෙන තත්ත්වයක මෙවැන්නක් එළියට ආ විගස ඇගේ චරිතය අල්ලාගෙන ඇගේ ජීවිතය විනාස කෙරෙනවා. පොදු තැනකට ඈ ගිය විගස වපර ඇසින් ඇය දෙස බලන තත්ත්වයක් උදා වුවහොත්, ඇගේ රැකියාවට හානියක් වෙන තත්ත්වයක් ආවොත් ඇයව පීඩාවට පත් වීමට එයම ප්‍රමාණවත්.
මෙවන් සීමා මායිම් නිසා සිදුවීම් ගැන විවෘතව කතා කිරීමේ හැකියාව නැති වෙනවා. අපරාධය කළ අයට එරෙහිව පැමිණිලි කිරීම ආදී පියවර ගැනීමට නොහැකි වෙනවා. යම් කෙනෙකු තමන්ට පහර දුනහොත්, තමන්ගේ දෙයක් සොරකම් කළහොත්, වෙනත් නීතිමය වරදක් තමන්ට එරෙහිව සිදු කළහොත් ප්‍රසිද්ධියේ පැමිණිලි කළ හැකියි. එයින්, අපහසුතාවට පත් කළේ වරද සිදු කළ කෙනායි. එහෙත්, මෙවැනි අපරාධයක් කාන්තාවකට කළහොත් සදාචාර සීමා නිසා අපරාධය කළ කෙනාට වඩා එහි වින්දිත කත පීඩාවට පත් වෙනවා. එවැනි පසුබිමක උක්ත කාන්තාවන් දෙදෙන ඉදිරිපත් වීම අගය කළ යුතුයි.
මතක තබාගන්න, ඇය පුද්ගලික අවකාශයේදී කැමැත්තෙන් පටිගත කළත්, ඇගේ අකැමැත්තෙන් පටිගත කළත්, ඒ වගේම ඇය පටිගත නොකර කෘත්‍රීම බුද්ධියෙන් නිර්මාණය කළත් ඒ ඇගේම සිරුර වුණත් නැතත් ඒ කිසි දෙයක් අදාළ නැහැ. ඇයට ශරීරයක් තියෙනවා. එම සිරුර කාටවත් අයිති නෑ. සමාජයේ පිරිමි හිත්වල තියෙන අදහස් මත නෙවෙයි, මනුෂ්‍යත්වය මත පදනම් වෙලා මේවා ගැන කතා කළ යුතුයි.
භාණ්ඩකරණය
කෙසේ වෙතත්, ඇය කිසිවෙකුට අයත් නැති බව කියද්දී ඇගේ සිරුර භාණ්ඩයක් බවට පත්වීම ගැනත් අපට කතා කරන්න සිදු වෙනවා.
අද සමාජයේ සෑම දෙයක්ම භාණ්ඩකරණය වී හමාරයි. පිරිමි සිරුරත්, කාන්තා සිරුරත්, සුන්දරත්වයත්, ස්ත්‍රී ලාලිත්‍යයත් රාගය සහ ලිංගික ක්‍රියාවනුත් නිෂ්පාදනයන් බවට පත්වෙලා තිබෙනවා. අපේම ශරීර, පැවැත්ම සහ හැඟීම් පවාිපරිභෝජන භාණ්ඩ වෙලා.
ඒ නිසාම වැඩිහිටි චිත්‍රපට කියන්නේත් ලාභ ලැබිය හැකි නිෂ්පාදනයක්. සියලු හැඟීම් ලාබයට යටයි. හැඟීම් පවා නිෂ්පාදනයක් විතරයි. සෑහෙන ඉතිහාසයක් පුරා ඡායාරූප සහ වීඩියෝ අතින් වැඩිහිටි විනෝද කර්මාන්තයක් බිහිවෙලා තියෙනවා. යළි යළිත් දිනපතාම මිනිසුන් රාගයෙන් උද්දීපනය කිරීම එම කර්මාන්තයේ ලාභාපේක්ෂාවට සමපාතයි. මේ වෙද්දී මෙරට කාන්තාවනුත් අන්තර්ජාල වෙබ් අඩවිවලට ස්වෙච්ඡාවෙන් වීඩියෝ එකතු කර ලාභ උපයනවා. නැත්නම් ඔවුන් සජීවීව නිරුවත් විකාශයන් ඉදිරිපත් කිරීමෙන් මුදල් උපයනවා.
සැබෑ ලෙස සිදු වන්නේ එවැනි වීඩියෝ ඇති වෙබ් අඩවිවලට ඔවුන් උපයන ආදායමෙන් විශාල ලාභයක් ලැබීමයි. කාන්තාව උපයන්නේ සොච්චමයි. ඔවුන්ගේ මුළු පුද්ගලික ජීවිතයම එළියට දැමීමෙන් පෙර කී වෙබ් අඩවි සමාගම් මහා ලාභයක් හොයනවා. මේ වෙබ් අඩවි සිදු කරන්නේ පාරේ සිටගෙන සේවයේ යෙදෙන ලිංගික ශ්‍රමික කාන්තාවකගෙන් එහෙම ඉන්නවාට පොලිසිය සහ මැරයන් අල්ලස් ගන්නවා වගේ දෙයක්.
කවුද මේක බලන පාරිභෝගිකයන්? විවාහක පිරිමි, පෙම්වතියන් ඉන්න පිරිමි. හැමෝම මේවා බලනවා. හැමෝම මේවා බලන බව නොකියා ඉන්නවා. ඒත්, ඔවුන් තෙරම් රාගික දර්ශන නරඹන්නේ ඇයි? තමන්ගේම සැබෑ විවාහ ජීවිතය තුළ රාගික සමීපත්වයක් ඔවුන්ට නැත්තේ ඇයි? තමන්ගේම ප්‍රේම ලෝකයක උද්දීපනය වන්නට ඔවුන්ට නොහැකි වී ඇත්තේ ඇයි?
එයට සැබෑ හේතුව සියල්ල භාණ්ඩකරණය වීමයි. කාන්තාව, කාන්තා ශරීරය හෝ රාගය තුළ පවා ඔවුන්ට ඕනෑ ඉහළම ප්‍රමිතියේ නිෂ්පාදන බවට පත් වීමයි.
අනෙක් කාරණය වන්නේ තමන් තමන්වම භාණ්ඩකරණය කිරීමයි. විටෙක අපි අපිව ම වීඩියෝ කර ගන්නවා. තමන්ගේ රුව කැඩපතකින් දකිනවාට වඩා තම රූපයේ ඡායාරූපයක් සංස්කරණය කොට එයට විවිධාකාර ඉෆෙක්ට් එකතු කිරීමෙන් තමන්ගේ රූපය භාණ්ඩකරණයට ලක් කොට එය දෙස බලා ඔවුන් ආස්වාදයක් ලබනවා.
සෞන්දර්ය
මෙම භාණ්ඩකරණය ගැන කියද්දී, අප සෞන්දර්ය ප්‍රතික්ෂේප නොකරන බවත් පැහැදිලි කරන්න ඕනෑ. මිනිසුන්ගේ ලිංගිකත්වය, ශරීර සුන්දරත්වය, රාගය ආදී සියල්ල සෞන්දර්ය මත විඳින්න ඕනෑ. කාන්තාවන් සිය සිරුරු වසාගෙන, සුන්දරත්වය සඟවාගෙන ගෝනි බිල්ලන් වාගේ ජීවත් විය යුතු බව අප ප්‍රවර්ධනය කරන්නේ නෑ. කාන්තාවකට සිය නිදහස මත තමන්ව ප්‍රදර්ශනය කිරීමට අයිතිය තිබිය යුතුයි. ඒ මත ඔවුන්ව සදාචාරමය වශයෙන් පරීක්ෂාවට ලක් නොවිය යුතුයි. උපාසක ජීවිත ගත කළ යුතු නැහැ. අනෙක් පැත්තෙන් තමන් භාණ්ඩයක් බවට පත් විය යුතුත් නැහැ. කොහොම වුණත්, ඔබේ තනිකම, ඔබේ ලාලසාව, ඔබේ ජීවිතේ ඔබට ම දැනෙන හිස්කම පුරවගන්න ඔබ අන්තර්ජාලයට එද්දී ඔබ එක්කෝ නොදැනම භාණ්ඩයක් නැත්නම් පාරිභෝගිකයෙක් වෙනවා. සමහරවිට ඒක ඇතුළේ ජීවිත විනාස වෙන්නත් පුළුවන්.
තාක්ෂණය
අනෙක් කාරණය වන්නේ තාක්ෂණය. බොහෝ අය විමසුවේ මේ තරම් නිරවද්‍ය ලෙස කාන්තාවකගේ නිරුවත් වීඩියෝවක් කෘත්‍රීමව නිෂ්පාදනය කළ හැකිද කියායි. මිතුර! ඔබ නොදැනම ඒ යුගය පැමිණ හමාරයි. කෘත්‍රීම බුද්ධිය තුළින් හෙට දිනයේ ඔබ කැමැතිම රාජ්‍ය නායකයාගේ කටින් ඔබ නොසිතූ තරම් බිහිසුණු ප්‍රකාශයක් කෙරෙන හැටි අන්තර්ජාලයේ දැකගැනීමට ලැබෙන්න ඉඩ තිබෙනවා. පසුව දැනගන්නට ලැබෙන්නට ඉඩ තිබෙනවා. එවැනි කතාවක් එම රාජ්‍ය නායකයා කියා නැති බව. දැන් වුණත් ඔබට අන්තර්ජාලයේ ජෝර්ඩන් පීල් නම් ප්‍රකට හාස්‍ය ශිල්පියාගේ කතාවක් බරක් ඔබාමා හිටපු ජනාධිපතිවරයා විසින් සිදු කරන බව සීයට සීයක් හැඟෙන ආකාරයෙන් කෘත්‍රීමව සකස් කර ඇති හැටි දකින්න පුළුවන්. තව එවැනි වීඩියෝ ගණනාවක් දකින්න පුළුවන්. ඒ නිසාම ඔබ පමණක් නොවෙයි, මුළුමහත් සමාජයක්ම මේ තාක්ෂණික දියුණුව හමුවේ අසීරුවට ලක් වීමට ඉඩ තියෙනවා.
ඕනෑ තාක්ෂණික සොයාගැනීමක් එක්ක එහි විනාසයත් හමුවෙනවා. මෝටර් රථය එන මොහොතේම මෝටර් රථ අනතුරත් එනවා. පරමාණුව සොයාගත් මොහොතේ පරමාණු බෝම්බයත් හමු වුණා. ඕනෑ සොයාගැනීමකදී එහි අනිසි භාවිතාවත් හමුවෙනවා. කෘත්‍රීම බුද්ධියත් එලෙසමයි.
කෙසේ වෙතත්, මේ වීඩියෝවේ කතාව හුදෙක් තනි වීඩියෝවක කතාවක් නෙවෙයි. ලෝකයම අවබෝධ කර ගැනිමට පාවිච්චි කළ හැකි වීඩියෝවක්. මිනිස්සුන්ගේ වේදනාව, ලැජ්ජාව, පුද්ගලිකත්වය පවා භාණ්ඩයක් විධියට ලාභය උදෙසා විකිණෙද්දී, ඒක පරිභෝජනය කරන්නට කෙළ හල හලා බලා ඉන්න සිටින සමාජයක් අනෙකාගේ වේදනාව අමතක කොට පරිභෝජනයෙන් සන්තර්පණය වන දුෂ්ට ලෝකය අප අවබෝධ කර ගතයුතුයි. එය වෙනස් කළ යුතුයි. එයට අදාළව සමාජ තත්ත්වයන්, දැනුම, සදාචාර මිනුම් දඬු මෙන්ම නීතිරීති පවා වෙනස් කරවාගත යුතුයි.
තරිඳු උඩුවරගෙදර