කොළඹට ලැබෙන වර්ෂාපතනය වැඩි වෙලා…

එක දිගට පැය දෙකක් වැස්සොත් කොළඹ ස්ථාන 20ක් යට වෙනවා…

වතුර බැහැල යන කාණුවලට දාලා තියෙන යකඩ කටවල් කුඩ්ඩො උස්සගෙන ගිහින්…

නගරයේ සමහර වෙළෙඳසැල්වල කුණු දාන්නෙ වතුර බහින ගලි වළට…

කොළඹ යටවීමත් එක්ක ලෙඩ රෝග වැස්සක් වහිනවා…

පුංචි වැස්සටත් මුළු කොළඹ ම යට වූ කාලයක් තිබිණි. ළමයින්ට පාසලට යා ගන්න, වැඩිහිටියන්ට රැකියා ස්ථානයට යා ගැනීමට පමණක් නොව ජල ගැල්මත් සමඟ කොළඹ අක්‍රීය තත්ත්වයට පත් වූ බව සැබෑය. මහා මාර්ග කැඩී බිඳී ගොස් සිදු වූ ආර්ථික හානිය ද අති විශාලය. කොළඹ වතුවල පැල්පත්වලට පමණක් නොව පැරැණි තට්ටු නිවාසවලට ද එම ජල ගැලීම්වලින් බරපතළ හානි සිදු වූ බව නොරහසකි. ගංවතුර නිසා පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට, යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට රජයට ද අති විශාල වියදමක් දැරීමට සිදු විය. එහෙත් මරදානේ සාන්ත සෙබස්තියන් දකුණු ඇළ මාර්ග පොම්පාගාරය, සාන්ත සෙබස්තියන් උතුරු ඇළ මාර්ග පොම්පාගාරය, කොළොන්නාව කළු පාළම ඇළ මාර්ග ගේට්ටුව ව්‍යාපෘතිය, ගොතටුව ඇළ පොම්පාගාර ව්‍යාපෘතිය සහ අඹතලේ ඇළ මාර්ග පොම්පාගාර ව්‍යාපෘතිවල වැඩ අවසන් කිරීමත් සමඟ වැසි ජලයෙන් කොළඹ යටවීම යම් පාලනයක් සිදු වී ඇති බව සැබෑය.

එහෙත් අදට ද මහ වැස්සට කොළඹ යට වන ස්ථාන විස්සක් හඳුනාගෙන තිබේ. ඒ අතරින් ඩීන්ස් මාර්ග සහ බ්ලූමැන්ඩල් මාර්ගය ප්‍රධානය. එම මාර්ග මහ වැස්සට තනිකරම වාරිමාර්ග බවට පත් වේ. බ්ලූමැන්ඩල් මාර්ගයේ වඩු මඩු අතර අඩි ගණන් ජලයෙන් යට වන අවස්ථා තිබේ. එවැනි අවස්ථාවල එහි පීඩනය දැඩිව දැනෙනුයේ ඒ මගෙහි දෙපයින් ඇවිදගෙන යන මිනිසුන්ට ය. එමෙන්ම කොළඹ ජලයෙන් යට වූ අවස්ථාවල මෙන්ම ජලය බැස ගිය පසු වහනය වන දුගඳ, ගඳ සුවඳ දැනෙන මිනිසුන්ට දරාගැනීමට නොහැකි තරම්ය. ඒ දුගඳ නුපුරුදු කෙනෙක්ට ඉහ, මොළ රත් කර ක්ලාන්ත කරන තරම් ය. කොළඹ ජලයෙන් යට වූ අවස්ථාවක ඒ අත්දැකීම විඳින කෙනෙක්ට දැනෙන පීඩාකාරී බව මේ සටහන කියවන ඔබට නොතේරෙන බව සැබෑය. එහෙයින් වර්ෂා කාලයට නිරන්තරයෙන් පීඩාවට පත්වන කොළඹ වත්තක කාන්තාවක් කියන මේ කතාවට මොහොතක් සවන් දෙනු මැන.

“එක දිගට පැය ගාණක් වැස්සොත් වැහි වතුරෙන් අපේ වත්ත යට වෙනවා. වත්ත වටේ දිය වී ගලන කුණු වතුරෙන් අපේ ගෙවල් පිරෙනවා. වතුර පිරිලා තියෙනකොට වඩා ගඳ වතුර බැහැල ගියාට පස්සෙ. මක්කරලවත් ඉන්න බෑ. කුණු ගඳයි, පිළී ගඳයි මිශ්‍ර වෙච්ච අමුතුම ගඳක්. විෂබීජ නාශක දාලා තුන් හතර පාරක් සේදුවත් ඒ ගඳ නැති වෙන්න නෑ. ටික දවසක් යනකම් ඒ ගඳත් එක්ක අපිට ජීවත් වෙන්න වෙනවා. ඒ වගේම ජල ගැල්මකින් පස්සෙ වත්තෙ පදිංචිකරුවන්ට උණ, සමේ රෝග විවිධ ලෙඩ රෝග හැදෙනවා…” දිවයින ඉරිදා සංග්‍රහයෙහි පළ වූ ‘නෙළුම් කුළුණ යට’ ලිපි මාලාවට තොරතුරු විමසා බැලීමට කොළඹ වතුවලට ගිය අවස්ථාවල එවැනි කඳුළු කතා නිරන්තරයෙන් කන වැකිණි. එහෙත් කොළඹ ජල ගැලීම්වලට එම වතුවල ජීවත්වන මත්ලෝලී කලකණ්ණි ද වගකිවයුතු බව සැබෑය.

පැයක් වැස්සොත් කොළඹ යට කරන කාණු අස්සෙ හදපු බිල්ඩින් 3000

මාර්ගය දෙපස ගලාගෙන යන වැහි වතුර උමං කාණු පද්ධතියට ගලා බහිනා ගලිවලට දමා තිබෙන යකඩ කටවල් මත්ලෝලීන් ගලවාගෙන ගොස් පරණ යකඩවලට විකුණන බව කොළඹ මහ නගර සභාවේ නිලධාරීහු අපට කීහ. එම යකඩ රාමුවක වටිනාකම රුපියල් 35000 ක් බවත් හෙරොයින්, අයිස්, හෝ වෙනත් මත්ද්‍රව්‍යයකට ලොල් වූ කාලකණ්ණි එකී යකඩ රාමු සොරාගෙන ගොස් රුපියල් දහට, දෙදහට පරණ යකඩවලට විකුණන බව ද ඔවුහු අපට පැහැදිලි කළහ. කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය පුරාම ගලි යකඩ කටවල් හොරකම සිද්ධවන බව වාර්තා වේ. බහුලව වාර්තා වනුයේ ආමර්වීදිය, බ්ලූමැන්ඩල් පාර ඒ අවට ප්‍රදේශවලිනි. එමෙන්ම සෑම වසරකම ගලි කවර පන්සියයකට වැඩි ප්‍රමාණයක් සොරකම් කරන බව ද වාර්තා වේ. එකක් 35000 බැගින් 500 ට කීයක් වේද? ඒ වසරක හොරකමය. මේ හොරකම පටන්ගෙන ඇත්තේ අද ඊයේ නොවේ, කොළඹ කාණු පද්ධතිය දැමූ කාලයේ සිටමය. පසු ගිය කාලයේදී රට තුළ උද්ගතව පැවැති ආනයන, අපනයන ගැටලු සමඟ ගලි කවර ආනයනය කිරීමට නොහැකිව මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව ද කොළඹ මහ නගර සභාවේ නිලධාරීහු අපට පෙන්වා දුන්හ. එමෙන්ම ධාරනිපාත වාර්ෂාව ඇද වැටී මඟ දිගට මහ ජල කඳක් ගසාගෙන යන විට මාර්ගයේ ඇවිද යන මිනිසුන් නොදැනුවත්ව එම උමං කටවලින් ඇතුළට වැටී ජීවිත හානි පවා සිදු වූ බව විටින් විට වාර්තා වී තිබේ. එමෙන්ම ජලාපවහන මාර්ග විශේෂයෙන්ම ජලය බැස යන කාණු අවහිර කරමින් විශාල වශයෙන් ඉදිකිරීම් සිදු කර තිබෙන බව ද වාර්තා වේ. ආමර්වීදිය සහ ඒ අවට ප්‍රදේශවල මෙන්ම ඩීන්ස් මාර්ගයේ එවැනි ඉදිකිරීම් බොහෝමයකි. කොළඹ නගර සභා සීමාව තුළ එවැනි අනවසර ඉදිකිරීම් තුන්දහසක් පමණ තිබෙන බවත්, එම ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු කරන බවත් කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පසුගිය දිනෙක මාධ්‍යයට පවසා තිබිණි. වැහි වතුර බැස යන කාණු මත ඉදිකිරීම් සිදු කිරීම නිසා එම කාණු පවිත්‍ර කිරීමේදී අපහසුතා මතු වී තිබෙන බව කොළඹ මහ නගර සභාවේ සැලසුම් ඉංජිනේරු එස්. පී. සී ඉලුක්කුඹුර මහතා ද අප සමඟ පැවසුවේය.

“2014 අවුරුද්දෙ ඉඳලා කොළඹට ලැබෙන වර්ෂාපතනය එකට එකක් වැඩි වෙලා තියෙනවා. පැයට මිලිමීටර් 30 ක් තිබුණු වර්ෂාපතනය දැන් පැයට මිලිමීටර් 60 ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම පැය ගණන් එකදිගට ඇදහැළෙන වැස්සෙන් එකතුවන ජලය පවතින කාණු පද්ධතියට දරාගන්න බෑ. ඒත් ලංකාවේ වෙන ප්‍රදේශ වගේ කොළඹ යට වෙලා දවස් ගණන් වතුර රැඳෙන්නෙ නෑ. පැයෙන්, දෙකෙනේ බැහැලා යනවා. වතුර බැහැලා යන කාණු පද්ධතිය සහ කාණුවල වතුර බැහැලා යන ඇළ පද්ධතිය නිසියාකාරව නඩත්තු කරනවා නම් කොළඹ යටවීම සැලකිය යුතු මට්ටමකින් පාලනය කරගන්න පුළුවන්. පහුගිය කාලේ එකදිගට පැය දෙකක් වහිනකොට තුන්මුල්ල හන්දිය යට වෙනවා. ටොරින්ටන් කාණු පද්ධතිය ප්‍රතිසංස්කරණය කළාට පස්සෙ තුන්මුල්ල යටවීම පාලනය වුණා. පිටකොටුවේ කාණු පද්ධතිය සුද්ධ පවිත්‍ර කරලා නඩත්තු කරගෙන යන නිසා කොච්චර වැස්සත් පිටකොටුව වතුරෙන් යටවීම පාලනය වෙලා තියෙනවා. ඩීන්ස් මාර්ගය ජලයෙන් යටවීම පාලනය කරන්න ලෝක බැංකු ආධාර යටතේ ව්‍යාපෘතියක් ආරම්භ කළා. ගොඩක් දුරට වැඩ අවසානයි. ඉතිරි වැඩ නතර වෙලා තියෙන්නෙ ව්‍යාපෘතිය ක්‍රියාත්මක ආනෝල්ඩ් රත්නායක මාවතේ මහල් නිවාස සංකීර්ණයක ජීවත් වෙන පවුල් නවයක් නිසයි. ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යන්න ඒ මහල් නිවාස සංකීර්ණය ඉවත් කරන්නම වෙනවා. නැතිනම් එතැනින් එහාට කැණීම් කරන්න බෑ. ඒ මහල් නිවාස සංකීර්ණය ගොඩක්ම අබලන්. ඒ තත්ත්වයෙන් කැණිම් කළොත් ගොඩනැඟිල්ල ගිලා බහිනවා. ඒත් එම නිවාස සංකීර්ණයේ පවුල් නවයට කොච්චර කිව්වත් තේරුම් ගන්නෙ නෑ. ඒ පවුල් නවයට වෙනත් මහල් නිවාස සංකීර්ණවලින් නිවාස ලබාදීලත් යන්නෙ නැතිව නීති මාර්ගයට ගිහින් තියෙනවා. නඩුව ඇදෙමින් පවතිනවා. ව්‍යාපෘතිය නතර වෙලා තියෙනවා. එක දිගට පැයක් වැස්සොත් ඩීන්ස් මාර්ගය යට වෙනවා. ඒ වගේම බ්ලූමැන්ඩල් පාරෙ අනවසර ඉදිකිරීම් ඉවත් කරලා කාණු පද්ධතිය සුද්ධ පවිත්‍ර කිරීමේ වැඩ ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. තව සතියක් දෙකක් යනකොට අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ වැඩ පටන් ගන්නවා. ඊට අමතරව ආමර්වීදිය සහ ඒ අවට ජලයෙන් යටවීම පාලනය කිරීමට සුගතදාස ක්‍රීඩාංගණය ඇතුළතින් අලුතින් කාණු පද්ධතියක් ස්ථාපනය කරන්න කටයුතු කරගෙන යනවා. ඒ වගේම ආමර්වීදිය අවට ප්‍රදේශ පවතින්නෙ මුහුදු මට්ටමේ සිට මීටර් තුනක් විතර උසින්. ඒ නිසා වැහි වතුර වේගයෙන් බහින්නෙ නැති ගැටලුවත් තියෙනවා…”

පැයක් වැස්සොත් කොළඹ යට කරන කාණු අස්සෙ හදපු බිල්ඩින් 3000

“ඒ වගේම කොළඹ මහල් නිවාසවල, වතුවල සමහර පදිංචිකරුවො කැළි කසළ බෑග් මලුවල දාලා මාර්ගය අද්දරට ගෙනත් තියනවා. වැහි වතුරට ගසාගෙන ගිහින් ඒ බෑග් මලු කාණුවල හිර වෙනවා. සමහර කඩකාරයො වෙළෙඳසල අතුගාගෙන ඇවිත් කුණු ටික ගලි කටට දානවා. ඒ කුණු ගසාගෙන ගිහින් උමං ඇතුළෙ හිර වෙනවා. එවැනි කුණු ගොඩවල්වලට වැලි, මඩ තැන්පත් වෙනවා. එහෙම වුණාම වතුර බහින්නෙ නෑ. ඒ වගේම කොළඹ වැහි වතුර බහින නළ පද්ධතියක් වගේම මළාපවහන පද්ධතියකුත් තියෙනවා. කොළඹ සමහර පදිංචිකරුවො කිසිදු අවසර ගැනීමකින් තොරව දැන හෝ නොදෙන ගෙවත්තෙ එකතුවන වැසි වතුර ගලාගෙන යන කාණු පද්ධතිය මළාපවහන ලයින් එකට සම්බන්ධ කරලා තියෙනවා. වැහි වතුර ගලා යන නළ පද්ධතියට සාපේක්‍ෂව මළාපවාහන පද්ධතිය කුඩායි. එවැනි කුඩා නළයකට ලොකු ජල කඳක් දරාගන්න බෑ. එතකොට මළ නළ ලයින් එක උතුරනවා. ඒකෙන් ලොකු හානියක් වෙනවා. මේ අකටයුත්ත බහුලව සිද්ධ වෙන්නෙ කොළඹ වතුවල. ඒ නිසා මොනයම් හෝ ඉදිකිරීමක්, අලුතින් නළ මාර්ගයක් ස්ථාපිත කරනකොට අනිවාර්යෙන්ම අදාළ ආයතනවල අවසරය ගත යුතුමයි. එහෙම නොවෙන්න කෙනෙකුගේ හිතුමතේ කරන වැඩ නිසා විශාල පිරිසකට පීඩා විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේදී කොළඹ ප්‍රදේශවාසීන්ගෙන් විශාල සහයෝගයක් අවශ්‍යයි. ගලිවලට කුණු එකතු කිරීම නතර කරන්න ඕනෑ. ජලයෙන් යටවීම පාලනයවීමේ වාසිය තියෙන්නෙ අපිට නෙමෙයි, කොළඹ ජීවත්වන ඔබටයි…” කොළඹ මහ නගර සභාවේ සැලසුම් ඉංජිනේරු එස්. පී. සී. ඉලුක්කුඹුර මහතාට අපි විරාමයක් ලබා දුන්නෙමු.

කොළඹ යනු මෙරට විශාලතම නගරය මෙන්ම වාණිජ නගරයයි. මෙරට ජනාකීර්ණම නගරය ද කොළඹය. කොටුව, කොම්පක්‍ඳ්ක්‍ඳවීදීය, යූනියන් පෙදෙස, කොල්ලුපිටිය, බම්බලපිටිය, තිඹිරිගස්යාය, කිරුළපන, නාරාහේන්පිට, වැල්ලවත්ත, පාමංකඩ, කුරුඳුවත්ත, බොරැල්ල, දෙමටගොඩ, මරදාන, පංචිකාවත්ත, මාලිගාවත්ත, පිටකොටුව, අලුත්කඩේ, කොටහේන, බ්ලූමැන්ඩල්, තොටළඟ, මෝදර, මට්ටක්කුලිය සහ මාදම්පිටිය ඇතුළු කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ පහළොවකි. කොළඹ ජනගහනය 752,993 කි. මේ වෙනකොට එම ජනගහනය අඩු, වැඩි වෙමින් වෙනස් වී ඇත. මෙරට සමස්ත ජනගහනයෙන් 10% ක් කොළඹ නගරයේ ජීවත් වන බව සැබෑය. එහෙත් කොළඹ නගරයේ භූමි ප්‍රමාණය මෙරට සමස්ත භූමි ප්‍රමාණයෙන් 1% කි. එහෙයින් අති විශාල ජනගහනයට ජීවත්වීමට ප්‍රමාණවත් ඉඩකඩ කොළඹ නගරය තුළ නැත. එහෙත් බහු වාර්ගික, බහු සංස්කෘතික නගරයක් වන කොළඹ විවිධ ජන වර්ග ජීවත් වෙති. ඒ අතර ප්‍රධාන ජන කොට්ඨාසය සිංහල වන අතර මුස්ලිම්, දෙමළ ජනතාව මෙන්ම චීන, පෘතුගීසී, ඕලන්ද, මැලේ සහ ඉන්දියානු ජාතීන් ද අඩු වැඩි වශයෙන් ජීවත් වෙති. මෙරට සතරදිග්භාගයෙන්ම කොළඹට පැමිණ නවාතැන්ගෙන රැකියාවල නිරතව සිටින ජනගහනය ද අති විශාලය. දිළිඳු, මධ්‍යම පාන්තික, ධනවත් විවිධ සමාජ පන්තිවල මිනිසුන් ජීවත්වන කොළඹ, වතු, සාමාන්‍ය ජනතාව ජීවත්වන මහල් නිවාස සහ ලක්සිරි මහල් නිවාසවලින් ද පිරී තිබේ. ලෝකයේ උසම ගොඩනැඟිලි සැලසුම් කළ ඉංජිනේරුවරු සහ වාස්තු විද්‍යාඥයන්ගෙන් සැදුම්ලත් ‘ද ස්කයිප් ෆෙපර් සෙන්ටර්’ වාර්තා කරන ආකාරයට මීටර් 150 ට වැඩි ඉදිකිරීම් කර ඇති ලෝකයේ රටවල් අතර ශ්‍රී ලංකාව 30 වැනි ස්ථානයේ සිටී. ආසියාවේ උසම ගොඩනැඟිලි සහිත රටවල් අතර 12 වැනි ස්ථානයේ හිමි කරගෙන සිටින්නේ ද ශ්‍රී ලංකාවය. ඒ සියලුම උස් ගොඩනැඟිලි කේන්ද්‍රගත වී ඇත්තේ කොළඹ නගරය තුළය. දැන් කොළඹ කොන්ක්‍රීට් පුරවරයකි.

එහෙත් ඉංග්‍රීසි පාලනය යටතේ පැවැති කොළඹ පරිපාලන නගරය ලෝකයේ සුවිශේෂී සැලසුම් සහගත නගරයකි. එකළ කොළඹ කොටුව ප්‍රදේශයේ ඉදිකර ඇති ගොඩනැඟිලි ආකර්ෂණීය මෙන්ම සැලසුම්සගත නිර්මාණ බව අදට ද එම ගොඩනැඟිලි තුළින් විද්‍යමාන වේ. ඉංග්‍රීසි ආණ්ඩුව විසින් මෙරට නිදහස ලබාදීමත් සමඟ කොළඹ ගොඩනැඟිලි ඉදිවීම වේගවත් විය. රණසිංහ ප්‍රේමදාස, පීටර් කේනමන් යන නිවාස සංවර්ධන අමාත්‍යවරුන් යටතේ කොළඹ නිවාස පොකුරු පිටින් නිර්මාණය වූ බව සැබෑය.

හල්ගහකුඹුරවත්ත ආදී කොළඹ වතු රාශියක්ම පහත්බිම් ගොඩකරමින් නිර්මාණය වී ඇති බව ද සැබෑය.

උස්, නොඋස්, වතු සියලු ඉදිකිරීම් හේතුවෙන් මේ වන විට කොළඹ ජලය බැස යන බොහෝ මාර්ග අවහිර වී ඇති බව සැබෑය. එමෙන්ම කොළඹ වටා තිබෙන ඇළ මාර්ග ද නිසියාකාර අයුරින් නඩත්තු කටයුතු සිදු නොවේ. එහි අඳුරු ප්‍රතිඵලයක් ලෙස පැයක, දෙකක වැස්සටත් කොළඹ ඇතැම් ප්‍රදේශ වැහි වතුරෙන් යට වේ. එම ජල ගැලීම්වලින් පීඩා විඳිනුයේ අදාළ ආයතනවල බලධාරීන් හෝ නිලධාරීන් නොවේ. පෞද්ගලික වාහනවල ගමන් බිමන් යන මිනිසුන්ට ද කොළඹ යටවීම නිසා ගමන බිමන ප්‍රමාදවීමෙන් ඇතිවන අපහසුතාව හැර වෙනත් කරදරයක් නැත. කොළඹ යටවීම නිසා බරපතළ ලෙස පීඩා විඳිනුයේ කොළඹ ජීවත්වන දුප්පත් සහ මධ්‍යම පාන්තික ජනතාවය. පොදු ප්‍රවාහනයේ පිහිට පතන දුප්පත් මගීන්ය. පාසල් දරුවන්ය. එහෙයින් නොදැනුවත්ව ඔබෙන් සිදුවන වැරැදි අවබෝධ කරගෙන, එයින් වැළකී පුංචි වැස්සටත් කොළඹ යටවීම පාලනය කරගැනීමට ඔබෙන් විය යුතු යුතුකම ඉටු කළ යුතුය. වතුර ගලා බසිනුයේ පහත් තැනිණි. එහෙයින් පීඩා විඳිනුයේ කොළඹ දුප්පත් මිනිසුන් සහ මගී ජනතාව පමණි.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment