මෙරට ප්‍රථම අභයවාපි වැව බසවක් කුලම ලෙස නම වෙනස් කරලා…

අනුරාධපුර නගරය අවට සියලුම කුඩා වැව්වල නම් වෙනස්

අනුරාධපුරේ සමහර සිංහල පවුල්වල පෙළපත් නාමයත් දෙමළ හුරුවට…

‘අනුරාධපුරය’ මෙරට දීර්ඝතම රජධානියයි. ක්‍රිස්තු පූර්ව හතරවැනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 11 වන සියවස දක්වා පැවැති ප්‍රධාන රාජධානියයි. විජය රජු සමග මෙරටට පැමිණි අනුරාධ නමැති අමාත්‍යවරයා කදම්බ නදිය හෙවත් මල්වතු ඔය ආසන්නයේ ආරම්භ කළ අනුරාධ ග්‍රාමයේ භද්දකච්චානා කුමරියගේ සොහොයුරු අනුරාධ නමැති කුමාරයා ද පදිංචි වී ඇත. පසුව රජ පැමිණි පණ්ඩුකාභය රජු එම ග්‍රාමය නව නගරයක් ලෙස සංවර්ධනය කොට ‘අනුරාධපුර රාජධානිය’ ලෙස නිර්මාණය කර ඇත. නගර ප්‍රතිෂ්ඨාපනය ආරම්භ කර ඇත්තේ ද අනුරාධ නැකැතිනි. එහෙයින් අනුරාධපුරයට ‘අනුරාධ’ නාමය ලැබී ඇතැයි මතයක් පවතී.

එමෙන්ම දේවානම්පියතිස්ස පාලන සමයේ මිහ`ිදු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස මෙරටට වැඩම කොට බුදුදහම හඳුන්වාදීමත් සමග දැහැමි සමාජයක් නිර්මාණය විය. කලාව, සංස්කෘතික, දේශපාලනය වශයෙන් දියුණු සමාජයක් නිර්මාණය විය. අනුරාධපුර යුගයේ ශ්‍රේෂ්ඨතම රජු දුටුගැමුණු රජතුමා ඇතුළු වළගම්මා, ධාතුසේන රාජ්‍ය පාලනයන් තුළ මහ වෙහෙර – විහාර නිර්මාණය කොට ආගමික පුනරුදයක් ඇති විය. වසභ සහ මහසේන යන රජවරු මහ වැව් – අමුණු ඉදිකර කෘෂිකාර්මාන්තයෙන් අනුරපුර රාජධානිය දියුණු කළහ. අදට ද වැඩිම වැව් සංඛ්‍යාවක් පිහිටා ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ය. මහ වැව් 14 ක්, මධ්‍ය පරිමාණ වැව් 84 ක් සහ කුඩා පරිමාණ වැව් 2994 ක් පිහිටා තිබේ.

කාලෙන්, කාලයට වැව් බැඳි රාජ්‍යය ආක්‍රමණය කළ විදේශිකයන් අනුරාධපුරයේ වෙහෙර – විහාර, වාරි කර්මාන්තය මෙන්ම ශිෂ්ටසම්පන්න සංස්කෘතියට ද දැවැන්ත හානියක් සිදු කළ බව ඉතිහාසගත ය. එහි ප්‍රතිඵලයක් ලෙස අනුරාධපුරයේ වැව්, ගම්මාන බොහෝමයක සිංහල නම් පවා වෙනස් කොට ඇති බව වාර්තා වේ. අනුරාධපුර රාජධානියේ ආරම්භක රජු පණ්ඩුකාභය විසින් මෙරට ප්‍රථමයෙන් ඉදිකරන ලද අභයවාපි වැව ද පසුව එය ‘බසවක්කුලම’ ලෙස වෙනස් කර ඇත. එමෙන්ම අනුරාධපුරයේ ‘කුලම්’ නාමය නොමැති තැනක් නැති තරම් ය. අනුරාධපුරයේ වැව් සහ ගම්වල නාමය දෙමළ වූ ආකාරය ගැන සාකච්ඡා කිරීමට කිහිපදෙනෙක්ව අපි සම්බන්ධ කරගත්තෙමු. ප්‍රථමයෙන් හමු වූයේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතාව ය. මේ ඔහු දැක් වූ අදහස් ය.

මැනුමක් නිසා උරුමය අහිමි වූ අනුරපුර වැව්

මේ රටට කිරි ඉතිරෙන්න නම් අනුරාධපුරය අග නගරය කරන්න ඕන…

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මද්දුමබණ්ඩාර

මැනුමක් නිසා උරුමය අහිමි වූ අනුරපුර වැව්

“අනුරාධපුරයේ වැව්වල නම් වෙනස් වෙලා තියෙන්නෙ ඉංග්‍රීසි පාලන සමයේ ගම් සිතියම්ගත කිරීම, වාරි මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කිරීමත් එක්ක. ඒ කාලයේ මැනුම්, වාරි මාර්ග කටයුතුවලට සම්බන්ධ වෙලා තියෙන ගොඩක් අය දෙමළ නිලධාරීන්. ඔවුන්ට සිංහල නම් උච්චාරණය කරන්න අපහසු වෙලා තියෙනවා. එතකොට ඒ අය කරල තියෙන්නෙ සිංහල නම වෙනුවට දෙමළ නාමයක් වැවට ලියාපදිංචි කිරීම. ‘අතලු වැව’ කූඹිච්චන් කුලම විදිහට වෙනස් කරල තියෙන්නෙ ‘අතලු’ වචනය උච්චාරණය කරගන්න බැරි නිසා. ඉංග්‍රීසි පාලන කාලයේ හිටිය ඉංජිනේරුවෝ, වෛද්‍යවරු හුඟදෙනෙක් දෙමළ අය. ඒ බහුතරයකට සිංහල කතා කරන්න බැරි වෙලා තියෙනවා…”. රංජිත් මහතාව මොහොතකට නිහඬ කළ අපි අනුරාධපුර ඉතිහාසය ගැඹුරින් අධ්‍යයන කරන ශාස්ත්‍රපති මේනක රණතුංග මහතා දෙසට හැරුණෙමු. මේ ඔහු දැක්වූ අදහස් ය.

“සිංහල නම්වලින් ප්‍රසිද්ධව තිබුණු වැව්වලට දෙමළ නම් පටබැඳීම අනුරාධපුරය තුළ දෙමළ උරුමය ස්ථාපිත කිරීමට ගත්ත උත්සාහයක් විදිහට තමයි මම දකින්නේ. අතීත අනුරාධපුර යුගයෙත් සිංහල පුරාණ ගම් සමග දෙමළ පුරාණ ගම් පැවැති බව සමාජයට ඒත්තුගැන්වීමට ගත්ත උත්සාහයක්. නොදැනුවත්ව හෝ භාෂා ගැටලුවක් නිසා වෙච්ච දෙයක් කියල හිතන්න බෑ. මේ දේ කරල තියෙන්නෙ හිතාමාතමයි. සිංහල නම් වෙනස් කර, දෙමළ නම් දීලා තියෙන්නෙ වැව් සහ ගම් එකකට දෙකකට නෙමෙයි. අනුරාධපුරයේ ගම්මාන අතිවිශාල සංඛ්‍යාවක් ‘කුලම’ නාමයෙන් හඳුන්වනවා. ඒ වගේම මේ නම් වෙනස් කිරීම විශාල වශයෙන් සිදුකරල තියෙන්නෙ අනුරාධපුර නගරය වටා විතරයි. ඒ තුළින් පෙනීයන්නෙ අනුරාධපුර නගරය කේන්ද්‍රීයව දෙමළ ජනතාව වැඩි වශයෙන් ජීවත් වූ බව සමාජගත කිරීමට ප්‍රයත්න දැරීමක් විදිහටයි. අනුරාධපුරයේ ග්‍රාමීය ප්‍රදේශවල වැව් අදටත් හඳුන්වන්නෙ සිංහල නම්වලින්. මැනුම් කටයුතු නගර ආශ්‍රිත පමණක් සිදුවෙලා තියෙන බවත් ඒ තුළින් පැහැදිලි වෙනවා. ඒ වගේම ‘තන්තිරි ගම’ තන්තිරිමාලේ කියලා වෙනස් කරලා තියෙනවා. තන්තිරි ගම ඓතිහාසික ප්‍රදේශයක් නිසා දෙමළ සම්භවයක් පෙන්වීමට ‘තන්තිරිමාලේ’ විදිහට නම වෙනස් කර ඇති බවටත් මත පළ වෙනවා…”. මේනක රණතුංගව ද අපි නිහඬ කළෙමු.

‘කුලම්’ යනු, වැව හදුන්වන දෙමළ නාමයයි. එහෙත් අනුරාධපුරය වෙනස් කර ඇති බොහොමයක් වැව් නාමයන් ‘කුලම’ ලෙස හඳුන්වනු ලැබේ. එමෙන්ම අනුරාධපුරයේ කුඩා වැව් බොහොමයක් හඳුන්වනුයේ දෙමළ නම්වලිනි. විශේෂයෙන්ම අනුරාධපුර නගරය අවට සියලුම කුඩා වැව්වල නම් දෙමළ වී ඇත. මහ වැව් 14 න් දෙමළ නාමයක් පටබැඳ ඇත්තේ පණ්ඩුකාභය පාලනයේ ඉදිකෙරුණු ලොව ප්‍රථම වැව ලෙස හඳුන්වන අභයවාපි වැවට පමණි. දෙමළ නම බසවක්කුලම ය. ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය තීරණය කර ඇති අභයවාපි වැව නිර්මාණය කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 437 – 367 අතර කාලයේදී ය. ඊට පෙර ඉදිවූ වැව් පිළිබඳ වෙනත් රටකින් වාර්තා වී නැතැයි ශ්‍රී ලංකා යුනෙස්කෝ කාර්යාලය පෙන්වා දී ඇත. අනුරාධපුර පූජා නගරයේ මහ මෙව්නා උයනේ පිහිටා ඇති අභයවාපි වැව ශ්‍රී මහා බෝධින් වහන්සේට, රුවන්වැලි මහ සෑයට හොඳින් දර්ශනය වීම ද විශේෂත්වයකි. එම වැවේ ප්‍රමාණය වර්ග සැතපුම් 3.8 කි. උපරිම ජල ධාරිතාවය අක්කර අඩි 1900 කි. සාමාන්‍ය ගැඹුර අඩි 15 කි. අඩි 3900 ක් පමණ දිග බැම්මකින් සමන්විත අභයවාපි වැවට ඇත්තේ එක් සොරොව්වක් පමණි. කුඹුරු අක්කර 390 කට පමණ ජලය සපයන, වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට ස්නානය කිරීමට භාවිත කරන අභයවාපි වැව පානීය ජල අවශ්‍යතා සපුරන බව ද සැබෑ ය.

අනුරාධපුරේ වැව්වල නම් වෙනස් කරල තියෙන්නෙ මැනුම් කටයුතුවලදී…

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය

මැනුමක් නිසා උරුමය අහිමි වූ අනුරපුර වැව්

එමෙන්ම ‘නෙළුම් වැව’ නෙළුම් කුලම ලෙස වෙනස් කර ඇත. ‘සීක්කු කුලම’ සිංහල නම පානා වැව ය. මහානාග වැව ‘නල්ලපාම්බු කුලම’ ලෙස අද හැඳින් වේ. ගල් කුලම, කවරක් කුලම, කීරක් කුලම, පුවරසම් කුලම, ආත්ති කුලම, ඥානික් කුලම, පාලාඩි කුලම, තෙප්පම් කුලම, බුලම් කුලම, මහ බුලන් කුලම, තැරියම් කුලම, කුරුංදං කුලම, නෙල්ලි කුලම, පුලියම් කුලම, වේරම් කුලම, උක්කුලම් කුලම, කම්මලන් කුලම, කුංචි කුලම, තල්නෑව කුලම, සිවලා කුලම. සිංහල නම් වෙනස් කර දෙමළ නම් පටබැඳි තවත් වැව් බොහෝ ය. ‘ගමයි – පන්සලයි, වැවයි – දාගැබයි’ සංකල්පය මත පදනම් වූ අනුරාධපුර ගම්මානවලට නම් පටබැඳී ඇත්තේ ද වැවක නාමයකිනි. ‘ගමයි – පන්සලයි, වැවයි – දාගැබයි’ සංකල්පය හොඳින් පිළිබිඹු වන පළාතක් ලෙස උතුරු මැද අදට ද හැඳින්විය හැකි ය. සිංහල බෞද්ධ සමාජයේ ප්‍රධාන ජීවනෝපාය වන කෘෂිකර්මාන්තය රඳාපවතිනුයේ වැව් දියවර මත ය. ස්වයංපෝෂිත කෘෂි ආර්ථික රටාවේ පදනම වැව ය. වැව හෑරීමේදී පතුලෙන් කැපුණු පසින් තැනූ ගඩොල් උපයෝගි කරගෙන වැව් ඉස්මත්තේ ඉදි කළ අහස් කුස සිපගන්නා තේජාන්විත දාගැබ ආධ්‍යාත්මික සමෘද්ධියේ, නිර්වාණ මාර්ගයේ සංකේතය වේ. වැවෙත් දාගැබෙත් රැකවරණය හා ආශීර්වාදය මත පැවති ජනපදය ගමයි. ගමේ මුදුන්මල්කඩ විහාරස්ථානයයි. ලොව අන් ජාතියකට නොමැති අපටම ආවේණික වූ ජාතික, ආගමික සබඳියාව අනුරාධපුරයේ ගම් තුළින් අදටත් ප්‍රදර්ශනය වුව ද එම ගම්වල ජීවත්වන බහුතරයක් වූ සිංහල මිනිසුන්ගේ පෙළපත් නාමයන් ද විකාශනය වනුයේ දෙමළ හුරුවට ය. පියාගේ නාමය දරුවන්ගේ වාසගම් බවට පත් කෙරෙන දෙමළ ක්‍රමයට ය. එම ක්‍රමය තුළ එක පරම්පරාවකින් පෙළපත් නාමය අවසාන වනු ඇත. සිංහල පෙළපත් නාමයන් විකාශනය වනුයේ පරම්පරා නාමයක් ලෙස ය.

ආක්‍රමණිකයෙක් ලෙස දකුණු ඉන්දියාවෙන් පැමිණි එළාර අනුරාධපුර රාජධානිය යටත් කර ගෙන අවුරුදු 40 ක් වැනි දීර්ඝ කාලයක් පාලනය කළ බව සැබෑ ය. එළාර පාලනයෙන් ද්‍රවිඩ සංස්කෘතියේ බලපෑම දැඩි ලෙස පැවැති අනුරාධපුරයේ දෙමළ පෙළපත් නාම අදටත් පැවැතීම පුදුම විය යුතු කරුණක් නොවේ. එහෙත් අනුරාධපුරය, පොළොන්නරුව වැනි පැරැණි අගනුවර ආශ්‍රිත විනාශ වෙමින් වල් බිහි වී තිබුණු බෞද්ධ ස්මාරක බොහෝමයක් 19 වන සියවස අග භාගය වන විට නැවත ප්‍රතිසංස්කරණය කර අතීත උරුමයන් රැකගැනීමට ජනතාව උනන්දු කරවමින් අනගාරික ධර්මපාලතුමා, වලිසිංහ හරිස්චන්ද්‍ර යන මහත්වරු බොහෝ කැපකිරීම් සිදු කර අනුරාධපුරයේ ජූජනීය ස්ථාන ආරක්‍ෂා කරගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කළහ. එම ව්‍යාපාරය යටතේ දකුණේ සිංහල පවුල් අනුරාධපුරයේ පදිංචි කරවීම ද සිදු කෙරිණි. ඒ වන විට විශාල දෙමළ ප්‍රජාවක් අනුරාධපුරයේ ජීවත් වූ බව ද වාර්තා වේ. අනුරාධපුර නගරයේ ව්‍යාපාර කරගෙන ගිය බොහෝමයක් ව්‍යාපාරිකයන් දෙමළ ජාතිකයන් ය. 1983 ජූලි කෝලාහලයට මැදිව අගතියට පත් දෙමළ මිනිසුන් බහුතරය පදිංචිය අතහැර උතුරු ප්‍රදේශයට සංක්‍රමණය වූ බව ද සැබෑ ය. එහෙත් අදටත් අනුරාධපුර ප්‍රදේශවල අඩු – වැඩි වශයෙන් සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව ජීවත් වෙති. වට රවුම් හතළිස් ගණනක් තිබෙන අනුරාධපුර නගරයේ යාපනයට වඩා ගණ දෙවි ප්‍රතිමා තැන්පත් කර තිබෙන බව සැබෑ ය. දෙමළ මිනිසුන් හා සමානව සිංහල මිනිස්සු ද ගණ දෙවියන් වන්දනා කරති. ආගමික සහජීවනය, ජාතීන් අතර සංහිඳියාව හදවතින් අපි අගය කරන්නෙමු.

නම් වෙනස් කිරීම දෙමළ උරුමය ස්ථාපිත කරන්න ගත්ත උත්සාහයක්…

පුරාවිද්‍යා ගවේෂක මේනක රණතුංග

මැනුමක් නිසා උරුමය අහිමි වූ අනුරපුර වැව්

එහෙත් උතුම් මහ රහතන් වහන්සේලාගේ අධිෂ්ඨාන ප්‍රාතිහාර්යයත් ඍද්ධිමය අනුභාවය, දෙවියන්ගේ දිව්‍ය තේජානුභාවය, බුදුරාජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයත්, දුටුගැමුණු රජුගේ මහා පුණ්‍ය ශක්තිය කැටි වූ තුන් ලොවේම අග්‍ර වූ ස්වර්ණමාලි මහා සෑය, අභයගිරිය සහ ජේතවනාරාමය මෙරට විශාලතම චෙත්‍ය ත්‍රිත්වය ඇතුළු මහා සෑයන් සහ ශ්‍රී මහා බෝ සමිඳු වැඩහිඳින අනුරාධපුරය බෞද්ධ රාජ්‍යයේ හදවත බව සියලු ජාතීන් පිළිගත යුතු ය. මෙරට බෞද්ධ ඉතිහාසයේ තිඹිරිගෙය අනුරාධපුර රාජධානිය බව ද සැබෑ ය. එමෙන්ම මෙරට පැවති දීර්ඝතම රාජධානිය ද අනුරාධපුරයයි. ඓතිහාසික ලෝක උරුම අනුරාධපුරය මෙරට මාධ්‍ය නගරය ලෙස ද සැලකිය හැකි ය. උතුර, දකුණ, නැඟෙනහිර සහ බස්නාහිර ප්‍රදේශවලට පොදු දිස්ත්‍රික්කය අනුරාධපුරය ලෙස ද හැදින්විය හැකි ය. දියුණු වාරි කර්මාන්තයක්, සවිමත් පාලම්, විධිමත් මාර්ග පද්ධතියක් සහිත හෙළ කලාකරුවන්ගේ නිර්මාණාත්මක හැකියාව මනාව පිළිබිඹු කරන අනුරාධපුර ලොව දර්ශනීය නගරයක් බව විද්වත් අදහසකි. එහෙයින් අනුරාධපුර නගරය මෙරට ‘අග නගරය’ බවට පත් කිරීම රටට ශාන්තියක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති මද්දුමබණ්ඩාර මහතා ද අප සමග පැවසුවේ ය.

එමෙන්ම පණ්ඩුකාභය රජු ඉදි කර වූ ලොව ප්‍රථම අභයවාපි වැව ‘බසවක් කුලම’ ලෙස වැරැදීමකින් නම් කර ඇති බව අන්තර් ජාලයේ ද සඳහන් කර තිබේ. කාලයක් ගත වුව ද එම වැරැද්ද නිවැරැදි කිරීමට මෙතකේ කිසිවෙක් ඉදිරිපත් වී නැත.

මේ කිසිවකින් කිසිවිටෙකත් කිසියම් ජාතියකට හෝ වර්ගයකට අගතියක් ඇති කිරීමේ වුවමනාව අපට නැත.

අප කියන්නේ යම් තැනක යම් වරදක් සිදුව ඇත්නම් එය නිවැරදි කිරීමේ අවස්ථාව බලධරයන්ට ඇති බවය.

මේ සම්බන්ධයෙන් විවිධ මතධාරීන් සිටින බව සැබෑ ය. ඔවුන්ගේ අදහස් ද අප වෙත යොමු කරන්නේ නම් අපි එය කාරුණිකව පිළිගන්නෙමු.

මැනුමක් නිසා උරුමය අහිමි වූ අනුරපුර වැව්

තරංග රත්නවීර


advertistmentadvertistment