අලුත් ආණ්ඩුවක් ආවහම මේක හරියයි කියල හිතුවා…දැන් කලින් තිබුණ බිස්නස්වත් නෑ
පදික වෙළෙන්දෙක්
අපේ කඩවලට එන මිනිස්සුත් භාගෙටත් වඩා අඩුවෙලා…ගොඩක් අය ඇවිත් ගණන් විතරක් අහල යනවා
රෙදිපිළි ව්‍යාපාරිකයෙක්
රතිඤ්ඤා වෙළෙදාමත් පහළට
රතිඤ්ඤා අලෙවි සල් හිමියන් කියයි
බඩු ගන්න මිනිස්සු ළඟ සල්ලි නෑ…අලුත් අවුරුද්දට කිරිබතක් කන එකත් ප්‍රශ්නයක් වෙලා…දැන් හාල් කිලෝවකුත් 230යි පොල් ගෙඩියකුත් 250ක්
පාරිභෝගිකයෙක්
අපේ රටේ ජනයාට මීට අවුරුදු කිහිපයක සිටම හිතේ හැටියට අවුරුද්දක් කන්නට නොහැකි විය. ඒ කොරෝනා වසංගතයත් සමඟ මෙරට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදීම නිසාය. එයින් රටෙහි ඇතිවූ ආර්ථික අර්බුදය කොතරම් ජන ජීවිතයට බලපෑවාද යන්න කීවොත් හරි හැටි තුන්වේල කන්න පවා බැරි තත්ත්වයටම රටේ ජනතාව වැටුණි. එහෙත් 2025 අවුරුද්ද ගැන මිනිසුන් සිහින මැව්වේ අලුත් ආණ්ඩුව පැමිණීමත් සමඟ මේ අවුරුද්දේ වෙනදාටත් වැඩියෙන් කිරියෙන් පැණියෙන් උතුරාවි යන්න ය. අවාසනාවකට මෙන් රටේ ප්‍රශ්න තවමත් එකතැනය. එකපැත්තකින් බලවත් විදේශ රාජ්‍යයන්හි බදු ප්‍රතිපත්තීන් නිසා අපේ රටේ ආර්ථිකයටද බලවත් තර්ජනයක් එල්ල වී ඇත්තේ ය. එහෙත් රටේ කොතරම් ගැටලු තිබුණද මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරීමට රටේ ජනතාව සිටින්නේ සූදානමින්ය.
‘දිවයින’ අපි මෙවර අලුත් අවුරුද්ද සැමරීමට රටේ ජනයාගේ සූදානම කෙබඳුද යන්න සොයා බැලීමට මෙරට ප්‍රධාන පෙළේ වාණිජ නගරය වන කොළඹ පිටකොටුවේ සංචාරයක නියැළුනෙමු.
අලුත් අවුරුද්ද උදාවීමට තව ඇත්තේ අතේ ඇඟිලි වලටත් වඩා අඩු දින ගණනකි. ඒ නිසාම අද කොළඹ නගරය වෙනදාටත් වඩා කාර්යබහුල වාතාවරණයක් ගනී. නගරයේ බොහෝ වීථි ජනී ජනයාගෙන් පිරී තිබුණේද එකිනෙකාගේ ඇඟපතද එකට ගැටෙන පරිද්දෙනි. පදික වෙළෙඳුන්ද වෙනදාටත් වැඩියෙන් මේ දිනවල පදික වේදිකාවද ආක්‍රමණය කර ඇති වගක්ද අපි දුටිමු. යටිගිරියෙන් කෑගසමින් වෙළෙඳාමේ යෙදෙන වෙළෙඳුන්ගේ උස් හඬවල්ද නගරයේ රථවාහන ඝෝෂාවද පරදවන ගාණය. වැඩිමනක් පේව්මන්ට් වෙළෙඳුන් සේල් සේල් කියා අලුත් අවුරුද්දට ඇඳුම් විකුණන සැටියක් දක්නට තිබුණි. පිටකොටුව බෝධිරාජ මාවත ඔස්සේ අප ඉදිරියට ඇදුණේ එළැඹෙන අලුත් අවුරුද්ද සැමරීමට රටේ ජනතාවගේ උනන්දුව සොයා බැලීමටය. බැලූ බැල්මට නම් කඩසාප්පු වල වෙනදාටත් වඩා බඩු භාණ්ඩ වලින් පිරී තිබෙන වගක්ද අපට දැකගන්නට හැකිවිය. එහෙත් පිටකොටුවේ වෙළෙඳුන් කියන්නේ මෙවර අවුරුද්ද සමරන්නට තවමත් හරිහැටි ජනතාවගේ ලකලෑස්තියක් නොමැති බවය. ඔවුන්ගේ කියන්නේ මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද කියා තමන්ගේ ව්‍යාපාරවලට කිසිම වාසිදායක තත්ත්වයක්ද නැති වගය.
ඒ ගැන මුලින්ම අපට කියන්නේ පිටකොටුව බෝධිරාජ මාවතේ නිමි ඇඳුම් ව්‍යාපාරයේ නියුතු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි රාජමානික්‍යම් ය. මේ ඔහුගේ හඬය.
“අපි හිතුවා පසුගිය අවුරුදුවලට වඩා මේ අවුරුද්දේ බිස්නස් වැඩිවේවි කියලා. ඒත් මේ අවුරුද්ද ගැන නම් කියලා වැඩක් නෑ. ඒ තරමටම වෙළෙඳාම අඩුවෙලා. අපේ කඩවලට එන මිනිස්සුත් භාගෙටත් වඩා අඩුවෙලා. ගොඩක් අය ඇවිත් ගණන් අහල යනවා. බලන්න තව දවස් කීයද අවුරුද්දට තියෙන්නේ. අදත් ලොකු බිස්නස් එකක් නැහැ. හැම අවුරුදු වලටම අප බැංකුවලට ණය වෙලා තමයි බිස්නස් කරන්න බඩු ගේන්නේ. දැන් බැලුවම සේවක කුලියයි, කඩ කුලියයි, ලයිට් බිලයි ගෙවන්නත් මදි. තව ඉස්සරහට ඉතුරු වෙලා තියෙන්නේ දවස් දෙකක් විතර. ඔය දවස් දෙකේ බිස්නස් කළත් අපිට මේ අවුරුද්දේ නම් ගොඩඑන්න අමාරුයි. මේ අවුරුද්දෙත් වෙන්නේ හතර වටේටම ණය වෙන්නයි.” ඔහු එසේ කියන්නේ තරමක් දුක්මුසු බවකිනි.
කොළඹ නගරයට දිවයිනේ නන්දෙසින් ජනතාව පැමිණියද කොළඹ බොහෝ වෙළෙඳුන් පවසන්නේ වෙනදා මෙන් මෙවර උත්සව සමය වෙළෙඳුන්ට සරු නැති බවකි. ඔවුන් කියන්නේ ඒ සියල්ලටම හේතුව භාණ්ඩ මිල ඉහළ යෑම බවය.
“රටේ හැම පළාතකම වගේ මිනිස්සු කොළඹට එන්නේ අඩුවට බඩුගන්න. සමහරු තොග බඩු ගන්න එන්නේ කොළඹට. අද එහෙම එන අය ගොඩක් අඩුයි. වෙන කාලවල අවුරුදු සීසන් එක කියන්නේ අපිට නිකන් ඉන්න වෙලාවක් නෑ. ඒ තරමට බිස්නස් එක හොඳයි. අද බලන්න අපේ කඩේට එන මිනිස්සු හොඳටම අඩුවෙලා. ඒ අය බලන්නේ ගොඩක් අඩුවට බඩු ගන්න. ඒත් එහෙම බඩු විකුණන්න අපට පුළුවන්කමක් නෑ. මොකද මේ බඩු ගොඩක් ගේන්නේ පිටරටින්. ඒවට ලොකු වියදමක් දරල තමයි අපි ගෙනත් තියෙන්නේ. මිනිස්සු ඇවිත් ගොඩක් බඩු අල්ලල බලල යනවා විතරයි.” බෝධිරාජ මාවතේ සපත්තු හා බෑග් වෙළෙඳාමේ නියුතු සල්තාන් එසේ කියන්නට විය.
චන්ද්‍රසේකරන් පිටකොටුව හතරවන හරස්වීදියේ තොග බඩු වෙළෙඳාමේ නියුතු අයෙකි. ඔහු කියන්නේද මෙවර අවුරුද්ද තොග වෙළෙඳාමටද එතරම් හොඳ නොවූවක් බවය.
“අද තියෙන තත්ත්වයත් එක්ක මිනිස්සු මේ පාර අවුරුදු සමරන්න කවුරුත් සූදානම්ද කියල හිතෙනවා. මේ අලුත් අවුරුද්දක් ලබනවා කියන්නේ හැම බිස්නස් එකටම ජයවෙන කාලයක්. හැබැයි මේ පාර ගිය අවුරුදු වලටත් වඩා බිස්නස් අඩුයි. අපි ව්‍යපාරයක් විදිහට හාල්, සීනි, පරිප්පු, බී ලූනු ඇතුළු තොග බඩු තමයි විකුණන්නේ. ඒත් මේ දවස්වලට අපි හිතුවෙ නැති තරමටම බිස්නස් අඩුවුණා. ඒකට හේතුව මිනිස්සු අතේ සල්ලි නෑ. ගොඩක් අය කොළඹ ඇවිත් තොග බඩු ගන්නව වෙනුවට ළඟ නගරයකින් තමයි බඩු ගන්නේ. මේක අපේ බිස්නස්වලට ගොඩක් බලපාල තියෙනවා.”
අලුත් අවුරුද්දට සාප්පු සවාරියේ ආ තැනැත්තියක ළඟ අපි මොහොතක් නතරවීමු. නම් ගම් හෙළිකිරීමට අකැමැති වූ ඇය කියන්නේ මෙවැනි කතාවකි.
“අලුත් අවුරුද්දට අද කිරිබතක් කන එකත් ප්‍රශ්නයක් වෙලා. මොකද දැන් හාල් කිලෝවකුත් 230 යි පොල් ගෙඩියකුත් 250ක් විතර. ඉතින් අපි කොහොද මේ පාර අවුරුදු කන්නේ. මම අද ආවේ මට ඇඳුම් ගන්න නෙවෙයි. ගෙදර දරුවන්ට ගන්න. දරුවන්ට ඇඳුම් ගත්තම සල්ලි ඉවරයි. අපිට ගන්න සල්ලි ඉතිරිවෙන්නෙ නෑ. මොකද කන්න බොන්නත් කීයක් හරි අපි ඉතිරි කරන්න ඕනෑ.”
“මේ පාර වෙන අවුරුදු වගේ නෙවෙයි. මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. වෙනදා මේ පාරේ යන්නවත් බැරි විදිහට සෙනඟ පිරෙනවා. ඒත් අද බලන්න නගරයට එන මිනිස්සු හරි අඩුයි. ඒ නිසා පේව්මන්ට් එකේ බිස්නස් බැහැල තියෙන්නේ. අපි හිතුව අලුත් ආණ්ඩුවක් ආවහම මේක හරියයි කියලා. බලාගෙන ගියාම කලින් තිබුණ බිස්නස්වත් දැන් අපට නෑ.”
පිටකොටුව පදික වෙළෙඳාමේ නියුතු එච්. පාලිත අපට කිව්වේ එවැනි කතාවකි. ඔහු කියන්නේ මෙවර උත්සව සමය නිමිත්තෙන් භාණ්ඩ මිලදී ගැනීමට කොළඹට පැමිණෙන පිරිසගේද අඩුවක් තිබෙන බවය.
අලුත් අවුරුද්දක් ලබනවා කියන්නේ පිටකොටුවේ, ගෑස්පහ හන්දියේ රතිඤ්ඤා වෙළෙඳුන්ටනම් හරි සාරය. රටේ සතරදිග්භාගයේම වෙළෙඳුන් ගෑස්පහ හන්දියට එන්නේ රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි රැගෙන තොග මිලට රැගෙන යාමටය. එහෙත් අද ගෑස්පහ හන්දියේ රතිඤ්ඤා කඩ වේළෙන ගාණය. වෙනදා සෙනඟින් පිරී ඉතිරී යන ඒ කඩ තුළ අප යනවිට කිහිප දෙනකු පමණක් සිටියේය. ඇතැම් අය රතිඤ්ඤා මිල විමසමින් ආපසු හැරී යන හැටිද අපි දුටුවෙමු. එසේ ගිය විටෙක ගෑස්පහ හන්දියේ රතිඤ්ඤා අලෙවි සැලක හිමිකරුවෙකු අපට කීවේ මෙවැනි කතාවකි.
“ගිය අවුරුදුවලට වඩා මේ අවුරුද්දේ රතිඤ්ඤා අලෙවිය අඩුයි. වෙනදා අවුරුද්දක් ලබනවා කියන්නේ රතිඤ්ඤා තමයි අපේ වැඩිපුරම අලෙවි වන්නේ. ඒත් මේ වෙනකොට අපේ බිස්නස් එක ගොඩක් අඩුවෙලා. අඩුම තරමේ ගෙනාපු ලොට් එකවත් විකුණගන්න පුළුවන් වෙයිද කියල දන්නේ නෑ.” ගෑස්පහ හන්දියේ නමගිය රතිඤ්ඤා වෙළෙඳ සලක හිමිකරුවකු එසේ කීය.
පිටකොටුව ඕල්කට් මාවතේ බලාගත්අතම බලාසිටින වෙළෙන්දෙකි. බැලූ බැල්මටම ඔහුගේ රෙදි පිළි තට්ටුවේ අලුත් සරොම් වලින් පිරී ගොස් තිබිණි. එහෙත් ඔහු දෙනෙත් අයා බලා සිටින්නේ තමා වෙතට කොයි මොහොතක හෝ පාරිභෝගිකයකු දැන් එතැයි සිතමිනි. ඔහුගේ රෙදි පිළි තට්ටුව අලුත් ඇඳුම් වලින් පිරී ගොස් තිබිණද අප එහි යනවිටද කිසිදු ගැනුම්කරුවකුද ඔහු සමීපයේ නොවීය. ඔහු නමින් රනිල් චින්තක ය.
‘කොහොමද බිස්නස්” අප ඔහුගෙන් ඇසුවෙමු.
“බිස්නස් වල ලොකු අඩුවක් තියෙනවා. වෙනදා මේ වෙද්දී අපට තමයි ලොකුම බිස්නස් එකක් තියෙන්නේ. අද අපි වේළෙනවා. හැබැයි මේ පාර ගිය පාරට වඩා සරොම්වල මිල ලොකු අඩුවක් වෙලා තියෙනවා. ඒත් ඒක ගන්නත් මිනිස්සුන්ට ළඟ සල්ලි නෑ. මේවාට වගකියන්න ඕන මේ රට කරපු පාලකයෝ තමයි. අද මිනිස්සුන්ට අඳින්න තියා කන්නවත් විදිහක් නෑ. මම හිතනවා අන්තිම දවසේ හරි පොඩි බිස්නස් එකක් වෙයි කියලා.” ඔහු එසේ කියන්නට ඇත්තේ තමන්ගේ හිත හදාගන්නට යැයි අපට සිතුණි.
කොළඹ නගරයේ කඩසාප්පු අතර බැලූ බැල්මට සෙනඟින් පිරී තිබුණද මෙවර අලුත් අවුරුද්දේ ජනතාවට කිරියෙන් පැණියෙන් උතුරා නැති බව මේ වෙළෙඳුන්ගේ කතාවෙන්ම පැහැදිලිය.
“බඩු වල ගණන් ටීවී එකේ කිව්වට ගන්න ගියාම කඩේ නෑ. තාම ජීවත්වෙන්න පුළුවන් තත්ත්වයක් රටේ නෑ. අපි බලමු ඉතින් ඉස්සරහට. මේ අවුරුද්දත් ඉතින් අමාරුයි තමා. මොකද අලුත් ආණ්ඩුව ඇවිත් තාම මාස හයක් වගේ නේ. එයාලට තාම වැඩක් කරන්න කාලයක් වුණේ නැහැ. අපි ඉස්සරහට බලමු ඊළඟ අවුරුද්දවත් ජයට සමරන්න.” නම් ගම් හෙළිකිරීමට අකැමැති වූ තවත් පාරිභෝගිකයකු අපට කීවේ එවැනි කතාවකි.
මේ අප සඳහන් කළේ අප හා අදහස් දැක්වූ කිහිපදෙනෙකුගේ අදහස් පමණි. බොහෝ දෙනා මේ වනවිටද අලුත් අවුරුද්ද සැමරීමට බලාසිටින බවක්ද එහිදී අපට පෙනී යන්නට විය. අලුත් අවුරුද්ද සැමරීමට නම් ජනතාවගේ අතමිට මුදල් යහමින් තිබිය යුතුය. එහෙත් අප හා කතාකළ බොහෝ දෙනකු අප වෙත කියා සිටියේ ආර්ථික ගැටලු නිසාවෙන් මෙවර අවුරුද්දද සැමරීම තමන්ට බොහෝ අසීරු කාරණයක් බවටය. ඇත්තෙන්ම එය වටහා ගැනීමට නම් රටේ ජනතාව කියන කතාව ඇසිය යුතුම ය.
රමින්ද මාවතගේ
ඡායාරූප: රවී