ආචාර්ය ගුණේන්ද්‍ර ගයන්තගේ දේහයට අවසන් ගෞරව දක්වන්න කැලණිය සරසවියට මහ පිරිසක්
“ආචාර්ය ගයන්ත සර්ගේ මේ මරණය විශ්වවිද්‍යාල සිසු දරුවන්ට විතරක් නෙවෙයි සමස්ත විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයටම දරාගත නොහැකි පාඩුවක්…” යැයි කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය මනෝජි හරිස්චන්ද්‍ර මහත්මිය ‘දිවයින’ට දැඩි කම්පාවෙන් යුතුව පැවසුවාය.
මීරිගම මධ්‍යම අධිවේගයේ සිදුවූ මාරක රිය අනතුරින් මියගිය කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත මහතාගේ දේහය කැලණිය විශ්වවිද්‍යාලයට රැගෙනැවිත් තිබූ අවස්ථාවේ ඇය එසේ කීවාය.
ආචාර්ය ගයන්ත මහතාගේ දේහය ඊයේ (20 වැනිදා) පෙරවරු 10.00 පමණ විශ්වවිද්‍යාලයට රැගෙන ආ අතර දේහය පස්වරු 12.30 දක්වා තැන්පත් කර තිබේ. එහිදී කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය, සහෝදර ආචාර්යවරුන්, සිසු දරු – දැරියන්, අනධ්‍යයන සේවක මණ්ඩලය ඇතුළු අතිවිශාල පිරිසක් ආචාර්ය ගයන්ත මහතාට අවසන් ගෞරව දක්වන්නට පැමිණියහ.
අවසන් ගෞරව දැක්වීමට එන සිසුන්ගේ දිගු පෝලිම් දක්නට ලැබුණි. සිය සහෝදර ආචාර්ය ගයන්ත මහතා ගැන තවදුරටත් කතා කළ ආචාර්ය මනෝජි හරස්චන්ද්‍ර මහත්මිය මෙසේ ද කියා සිටියාය. ගයන්ත සර් අපිත් එක්ක බොහොම සුහදව ඉගැන්වීම් කටයුතු කළේ. අවසන් වශයෙන් ඔහු අපිට හමුවුණේ පසුගිය බ්‍රහස්පතින්දා. සර් කිව්වා සිකුරාදා යාපනයේ චාරිකාවක යනවා කියලා. බ්‍රහස්පතින්දත් සර් දරුවන්ට ඉගැන්නුවා. යාපනයේ ගිහින් ආවම හම්බවෙමු කියලත් ඔහු අපිට කිව්වා. ඒ ගිය සර් ආයෙ මේ විදිහට එයි කියලා අපි හිතුවේ නැහැ. සර් දරුවන්ට හරිම ආදරෙයි. ඉතාම හොඳට දරුවන්ට ඉගැන්නුවා. ඒ නිසා දරුවනුත් ගයන්ත සර්ට හුඟක් ආදරේ කළා. සර්ට දේශනයක් තියෙනවා නම් කවදාවත් කැන්සල් කරලා නැහැ. ආචාර්ය මණ්ඩලයත් එක්කත් බොහොම සුහදශීලීව කටයුතු කළා.
සර්ගේ මේ වියෝව ආචාර්ය මණ්ඩලය හැටියට අපිටත් දරාගන්න බැහැ. විශ්වවිද්‍යාලයට රැගෙන ආ ආචාර්ය ගයන්ත මහතාගේ දේහය පසුව දහවල් 12.30ට ඒ මහතාගේ මාකොළ පිහිටි නිවස කරා රැගෙන යන ලදී.දේහය රැගෙන යන අවස්ථාවේ විශ්වවිද්‍යාල සිසු දරු – දැරියන් හඬා වැළපුණු අයුරු සංවේදී දසුනක් විය.
මෙම රිය අනතුරින් ආචාර්ය ගයන්ත මහතාගේ බිරිය සහ තුන් නිවුන් දරුවන්ද රියැදුරු ඇතුළු 6 දෙනකු බරපතළ තුවාල ලැබූ අතර ඔවුහු ඊයේ වනවිටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියහ.
ඡායාරූප කැලණිය විශ්වවිද්‍යාලයීය සන්නිවේදන හා මාධ්‍ය ඒකකයෙනි
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ කමල් බෝගොඩ