සම ශක්තිමත් කර ගැනීම

441

අපගේ සිරුරේ ඇති විශාලතම ඉන්ද්‍රිය වන්නේ සමය. හිස සිට දෙපතුළ දක්වා එය පැතිර ඇත. සිරුරේ බාහිර අලංකාරය ඇති කිරීමටත් අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ගේ ආරක්‍ෂාව සැලසීමටත් සමෙන් ඉටුවන කාර්යය සුළු පටු නැත. එනිසා සම රැක ගැනීම රූ සපුවේ පැහැපත් බවටත් අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ගේ රැකවරණයටත් වැදගත්ය.

සම රැක ගැනීම

අප සෑම පුද්ගලයකුගේම සම රෝහිණී, වේදනී, තාමිලා, අවභාෂණී ආදී ලෙසින් සිවි හතකින් යුක්තය. මෙම සිවි හතකින් යුත් සමේ නිරෝගී බව සඳහා නිසි පෝෂණය අවශ්‍ය වේ. එහිදී ආහාර පාන මගින් ලබාගන්නා පෝෂණය, සම පවිත්‍රව තබා ගැනීම සඳහා දිනපතා ගල්වන ආලේපන වර්ග, හිරුඑළිය ආදී බොහෝ කරුණු කාරණා මගින් ලැබෙන පෝෂණය සමේ නිරෝගී බව සඳහා බලපානු ලබයි.

සම නිසි පෝෂණයෙන් යුක්ත නොවූ විට රෝගී වේ. එවිට සම මත, අලුහම්, කුෂ්ඨ, දද, බිබිලි හට ගැනීම, සම අව පැහැවීම ඉරිතැලීම, කොරපොතු ඇතිවීම ආදී ලෙසින් රෝගවලට ගොදුරු වේ. මෙලෙස රෝගී සමක් සහිතවූ විට සමෙන් සිරුරට ලැබෙන ආරක්‍ෂාව අඩු වේ. එවිට ඉතා පහසුවෙන් සම හරහා සිරුර ඇතුළට විෂ බීජ ගමන් කළ හැකිය. එනිසා සම මත ඇතිවන රෝග තත්ත්ව හමුවේ වහා ඊට නිසි ප්‍රතිකාර ලබාගත යුතුය. මන්දයත් සම ශක්තිමත් නම් සහ නිරෝගී නම් අපගේ සිරුර අභ්‍යන්තරයේ හටගන්නා ලෙඩ රෝග ද අඩුවේ.

සම ශක්තිමත් කර ගැනීම

සම ශක්තිමත් කර ගැනීම සඳහා නිසි පෝෂණය සහිත ආහාර පාන ගත යුතුය. ඒ සඳහා කොළ පැහැති එළවළු, විටමින්, ඩී. බහුල කහ පැහැති එළවළු වර්ග ආහාරයට එක්කර ගත හැකිය. වට්ටක්කා, කරවිල, පතෝල, පුහුල්, කැකිරි, ගොටුකොළ, කතුරුමුරුංගා කොළ, මෑ, දඹල ආදී ලෙසින් එළවළු වර්ග ආහාරයට ගැනීම කළ යුතුය. පළා වර්ග ගැනීම තුළින් සමට අවශ්‍ය විටමින් ‘ඊ’ ලබාගත හැකිය.

සමේ ශක්තිමත් බවට කැල්සියම් ද අත්‍යවශ්‍යමය. මස්, මාළු, හාල්මැස්සන් ආදිය මගින් එම පෝෂණය ලබාගත හැකිය. මස් මාංශ අනුභව නොකරන අයට අලිගැට පේර, කෙසෙල් මුව ආදී ආහාර මගින් විටමින් ‘ඊ’ සිරුරට එක්කර ගත හැකිය. පලතුරු වර්ග මගින්ද විටමින් ඩී. ඊ. සී. ආදිය ලබාගත හැකිය. මස් මාංශ අනුභව නොකරන අයට අලිගැට පේර, කෙසෙල් මුව ආදී ආහාර මගින් විටමින් ඊ සිරුරට එක්කර ගත හැකිය. පලතුරු වර්ග මගින්ද විටමින් ඩී. ඊ. සී. ආදිය ලබාගත හැකිය.

ආහාර මගින් සම ශක්තිමත් කර ගන්නා අයුරින්ම බාහිරින් සමට ගල්වන ආලේප මගින්ද සම ශක්තිමත් කරගත යුතුය. එහිදී සමට අහිතකර නොවන ආලේප වර්ග භාවිත කළ යුතුය. තල තෙල්, ඔලිව් තෙල්, පිරිසිදු පොල් තෙල්, මී තෙල් ආදිය ගැල්වීම සුදුසුය.

පෙට්‍රෝලියම් සහිත කෘතිම ආලේප වර්ග ගැල්වීම මගින් සම හානියට ලක් වේ. එවිට සමෙහි ශක්තිමත් බව අඩුවී ඉතා පහසුවෙන් සම මත දිලීර වර්ග ආසාදනයට ලක් වේ. අළුහම්, ඉන්නන්, දද, කුෂ්ඨ ආදිය හට ගන්නේ මෙවැනි අවස්ථාවලදීය.

සම ශක්තිමත් නොවීම නිසා පිළිකා වර්ග හට ගැනීම ද සිදු වේ. හිරුඑළියට නිරාවරණය වූ විට සම මත පිළිකා හට ගන්නේ එවැනි අවස්ථාවලදීය.

සමෙහි ශක්තිමත් බව ඇතිවීම සඳහා දිනපතා පානය කරන පිරිසිදු ජලය ද උපකාරී වේ. එසේම පිරිසිදු ඇල් ජලයෙන් සම සෝදා, පිරිසිදු කර ගැනීම ද දිනපතා සිදුකළ යුතුය. එසේ නොවුණහොත් සම මතට ඉතා පහසුවෙන් ක්‍ෂ්ද්‍ර ජීවී බලපෑම් ඇති වේ. සම කැසීම, බිබිලි හට ගැනීම කුෂ්ඨ දැමීම ආදිය සිදුවන්නේ එවැනි අවස්ථාවලදීය.

සම පිරිසිදු කිරීමේදී සතියකට වරක් පිරිසිදු ඇල් ජලය සමග දෙහි යුෂ, කොහොඹ කොළ යුෂ, සමන් පිච්ච, රත්මල් ආදී වර්ගවලින් එකක් මිශ්‍රකර සාදාගත් ජලය මගින් ස්නානය කිරීම හෝ ඇඟ සේදීම මගින් සමේ ප්‍රතිශක්තිය වර්ධනය වේ.

කුඩා කාලයේදී දරුවන්ට ලබාදෙන රත කල්කය මගින්ද සම ශක්තිමත් වේ.

උණු වතුර පානය මගින් ආහාරවලින් සිරුරට එක්වන අනවශ්‍ය මේදය දහනය කළ හැකිය. එවිට සම මත වැඩිපුර තෙල් තැන්පත් වීමද අවම කරගත හැකිය.

සම පිරිසිදු කර ගැනීම සඳහා සබන් වර්ග භාවිතයේදී සිරුරට අහිතකර කෘතිම රසායන ද්‍රව්‍ය බහුල සබන් වර්ග ගැල්වීම නොකළ යුතුය.

ව්‍යායාම කිරීමද සම ශක්තිමත්ව තබා ගැනීමට වැදගත්ය. එනිසා දිනපතා ව්‍යායාම කිරීම ද කළ යුතුය.

සම මත හටගන්නා විවිධ රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී අදාළ රෝගය අනුව ඖෂධීය වර්ග ආලේපය, පානය කිරීම, ඖෂධ වර්ග මිශ්‍ර ජලය මගින් සම පිරිසිදු කර ගැනීම කළ යුතුය. එය නිසි වෛද්‍ය උපදෙස් මත සිදුකළ යුතුය.

බොහෝ දෙනා සමේ පැහැපත් බව ලබා ගැනීමට උත්සාහ කරන්නේ බාහිර ආලේප වර්ග ගැල්වීමෙන් පමණි. නමුත් ඉන් සිදුවන්නේ සම දුර්වලවී හානියට ලක්වීමය. සමේ පැහැය ලබාගත යුත්තේ නිසි පෝෂණය ලබා දීමෙනි.

යම් පුද්ගලයකුගේ සම අකලට අවපැහැගැන්වී ඇත්නම් නිතර දද, කුෂ්ඨ හට ගනීනම් ඒ ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.

වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 011250121 ඇමැතිය හැකිය.

සම ශක්තිමත් කර ගැනීම

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය මහාචාර්ය
කේ. ආර්. අල්විස්
වෙදගෙදර,
සුසිලාරාම පාර, මාලබේ.

advertistmentadvertistment
advertistmentadvertistment