බෙහෙත් හිඟයේ බය හිතෙන කතාවක්
අමාරුම ලෙඩ්ඩුන්ට දෙන ඉන්සියුලින් නෑ…පිටින් ගන්න වෙලා
2020 වසරේ ඖෂධ ඇණවුම් තවමත් ලැබී නෑ – සෞඛ්‍ය ඇමැති කියයි
දැනට හිඟ ඖෂධ වර්ග 200කට ආසන්නයි
රෝහල් අධ්‍යක්ෂවරුන්ට ප්‍රාදේශීය වශයෙන් බාහිර ඔසුසල්වලින් ඖෂධ මිලදී ගැනීමට උපදෙස් දීලා
සාමාන්‍ය ප්‍රසම්පාදනය යටතේ ලබාගන්නා ඖෂධ මිලදී ගැනීම් වෙනුවට සියයට දහස ඉක්මවා ගෙවීමට රජයට සිදුවෙලා
ඉදිරි මාස තුනකදී ඖෂධ වර්ග 313ක හිඟයක් – රවී කුමුදේශ්
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති
ඇඟ කිලිපොලා යන කතාවක් පසුගිය සතියේ අපට ඇසුණි. ඒ උග්‍ර දියවැඩියා රෝගීන්ට හදිසි ප්‍රතිකාරයක් ලෙස ලබාදෙන ඉන්සියුලින් වර්ගයේ ඖෂධ කිහිපයක් මෙරට රජයේ කිසිදු රෝහලක නොමැති බව විශේෂඥ වෛද්‍යවරුන් කියාසිටීමය. ඒ බව රජයේ වෛද්‍යවරුන් කියාසිටින්නේ මෙරට ජාතික ඖෂධ තොරතුරු අඩංගු දත්ත පද්ධතියේ අදාළ ඖෂධ ශූන්‍ය බව පෙන්නුම් කරන බවය. මේ කතාව අපේ රටේ දියවැඩියා රෝගීන්ට නම් ඇත්තෙන්ම කනගාටුදායක පුවතකි. එය කොතරම් ඔවුන්ට බලපෑවා ද යන්න එම ඖෂධ සොයා රටේ පෞද්ගලික ඔසුසල් පවා පීරන්නට වූයේ එම ඖෂධ හිඟය හමුවේ ඔවුන්ගේ ජීවිත පවා අවදානමකට ලක්වූ නිසාමය. අද පවතින ඖෂධ හිඟය රටේ රෝගී ජනතාවට රතු එළියක් දල්වා ඇත්තේ එසේ ය. අලුත් ආණ්ඩුවක් යටතේ මෙතෙක් පැවැති ඖෂධ හිඟය, බාලබෙහෙත් ප්‍රශ්නය පහව යනු ඇතැයි රටේ ජනතාව සිතුව ද ආණ්ඩුව පත්වී මාස 6කට ආසන්න වුවද එම ප්‍රශ්නය ද තවමත් එකතැනය. එම ප්‍රශ්නයට වරද කාගේද, කොතැනද යැයි හරිහැටි නොදන්නා ජනතාව අද යෙදෙන්නේ ජීවිතයත් මරණයත් අතර සටනකය. අප මේ කියන්න යන්නේ ද තවමත් නොවිසඳුණු ඉන්සියුලින් ඇතුළු අනෙකුත් ඖෂධ හිඟය හා උඩුදුවා ඇති සෞඛ්‍ය අර්බුදය ගැනය.
ඉන්සියුලින් වර්ග 3ක දැඩි හිඟයක්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්වස්ථා දත්ත පද්ධතිය පසුගිය 29 වැනිදා වනවිට දියවැඩියා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ වර්ග තුනක තොග ශුන්‍ය බව පෙන්වාදෙනු ලැබීය. එහි පෙන්වා දෙන්නේ Insulin injection soluble Aspart 30% with Protamine 70% 100U/ml, pre-filled syring, Insulin injection (soluble Insulin) 300 IU in ml Cartridge යන ඉන්සියුලින් වර්ගවල තොග අවසන්ව පවතින බවය. රජයේ රෝහල්වල වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ එම ඖෂධ රෝහල් පද්ධතිය තුළ නොමැතිවීමෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බවය.
අප මේ කියන්නේ හිඟ ඉන්සියුලින් ඖෂධ ගැන පමණක්ම නොවේ ය. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් කියා සිටින්නේ ඉදිරි මාස තුන සඳහා අවශ්‍ය ඖෂධ වර්ග 313ක හිඟයක් ඇති බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය කැබිනට් පත්‍රිකාවක් මගින් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමේ සූදානමක් ද පවතින බවය. රටේ සෞඛ්‍ය පද්ධතියේ සැබෑ තත්ත්වය එසේය. මේ කියන ඖෂධ තොග ශූන්‍ය වනතුරුම අපේ රටේ සෞඛ්‍ය ඇමැතිවරයාත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත්, ඖෂධ සැපයුම් ඒකකයත් උඩබලාගෙන සිටියා ද යන්න ද අප ඇසිය යුතුය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්වස්ථා දත්ත පද්ධතියේ ඖෂධ තොග ශූන්‍ය වනතුරු ඔවුන් සිදු කළේ කුමක්ද යන්න හරි හැටි අප දන්නේ නැත. එහෙත් මේ වනවිට රටේ දියවැඩියා රෝග, හෘද රෝග, වකුගඩු ආදී රෝග බොහෝමයකට දෙන ඖෂධ රටේ රෝහල් පද්ධතිය තුළ නැති බව දැන් රජයේ වෛද්‍යවරුන්ම කියන්නේය. තවද මෙරට රෝහල් පුරා සායනවල රෝගීන් පෝළිම් තුළ දුක්විඳින ආකාරය දෙස බැලූ විට හැඟීයන්නේ අලුත් ආණ්ඩුවට ද සෞඛ්‍ය ප්‍රශ්නය විසඳාගත නොහැකි බවය.
මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ දත්ත අනාවරණය කරන පරිදි අපේ රටේ ජනගහනයෙන් සියයට 14.6ක් සිටින්නේ දියවැඩියා රෝගීන් ය. ඒ නිසා මෙරට වාර්ෂික ඉන්සියුලින් අවශ්‍යතාවය ද මිලියන තුනක පමණ අගයක් ගනී. අවාසනාවකට මෙන් රජයේ රෝහල්වල දියවැඩියා රෝගීන්ට වැඩි වශයෙන් ලබාදෙනු ලබන ඖෂධ දෙකක්ම මේ ශූන්‍ය යැයි කියන ඉන්සියුලින් අතරය. එනිසා රජයේ රෝහල්වල ප්‍රතිකාර සඳහා යන රෝගීන්ට සිදුවන්නේ මේ කියන ඉන්සියුලින් ඖෂධය පෞද්ගලික ඔසුසලකින් අධික මුදලක් වැය කර මිලදී ගන්නට ය. නැත්නම් ඖෂධ නැතිව අකාලයේ මියැදෙන්නට ය. ආණ්ඩුව වෙනස් වූවාද ඖෂධ ප්‍රශ්නය පරණ යැයි අප නිතරම කියන්නේ ඒකය. අද වනවිට ආණ්ඩුවේ ඉස්පිරිතාලයක තබා පෞද්ගලික ඔසුසල්වලද ඖෂධ හිඟයක් පවතින බව දැන් හෙළිවී ඇත්තේ ය. එහෙත් අලුත් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිවරයා කියන්නේ මේ ප්‍රශ්නයට වත්මන් ආණ්ඩුව මුහුණ පා ඇත්තේ මින් පෙර පැවැති රජයන් ඖෂධ ඇණවුම් කළ ද මේ දක්වා එම ඖෂධ තොග මෙරට සෞඛ්‍ය පද්ධතියට නොලැබී ඇති නිසා බවය. ඔහු කියන ආකාරයට උද්ගතවී ඇති ඖෂධ ප්‍රශ්නයට වගකිවයුත්තේ හිටපු ආණ්ඩුවද, නොඑසේ නම් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පරිපාලනමය දුර්වලතාද යන්න ප්‍රහේළිකාවකි. ඒ ගැන හරිහැටි දැන ගැනීමට නම් වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා කියන කතාව ඇසිය යුතුමය.
ඖෂධ ප්‍රශ්නය ගැන සෞඛ්‍ය ඇමැති කියන දේ
වත්මන් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිවරයා ඉකුත් 29 දා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කියන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කටයුතු මේ වනවිට පිළිවෙළකට සිදුකරමින් පවතින බවය. ඇමැතිවරයා වැඩිදුරටත් කියන්නේ පවතින ඖෂධ ගැටලු ඖෂධ සංස්ථාව තුළ ගොඩගැසී ඇත්තේ දැනට අවුරුදු හතරක පහක සිට බවය. ඔහු ඒ බව කියන්නේ ඉකුත් 2020 වසරේදී ලබාදෙන ඖෂධ ඇණවුම් පවා තවමත් ඇත්තේ පොරොත්තු ලේඛනයේ බව පෙන්වා දෙමින්ය.
ඔහු එසේ කියන්නේ මෙරට මුහුණ පා ඇති සෞඛ්‍ය ප්‍රශ්නයට පසුගිය කාලයේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සිදුවූ පරිපාලනමය දුර්වලතා රැසක් තිබූ බව පෙන්වා දෙමිනි. ඇමැතිවරයා කියන හැටියට අවුරුදු හතර පහක කාලයක් කියන්නේ ද සුළුපටු කාලයක් නොවේ. එතරම් කාලයක සිට ඇණවුම් කළ ඖෂධ තවමත් ඇත්තේ පොරොත්තු ලේඛනයේ නම් අපේ රටේ රෝගීන්ට දෙයියන්ගේම පිහිට මිස වෙන පිහිටක් නැත. එසේ නම් අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය ගැන සිතූ විට රෝගියකුට තම ජීවිතය පිළිබඳව බලාපොරොත්තුවක් තබාගත හැකි ද යන්න දැන් ප්‍රශ්නයක් මතුව ඇත. එහෙත් පසුගිය 29 දා සෞඛ්‍ය ඇමැතිවරයා කියන්නේ වෛද්‍ය සැපයුම් අංශය විසින් නිතිපතා පවත්වනු ලබන සමාලෝචනයේදී එක්වරකදී ඉන්සියුලින් සම්බන්ධව ගැටලුවක් මතුවූ බවය. එයට හේතුව සැපයුම්කරු අවශ්‍ය ප්‍රමාණය ලබානොදීම බවත් උද්ගතවී ඇති ඉන්සියුලින් හිඟය නිසාවෙන් රෝගීන්ට ලබාදෙන ඉන්සියුලින් ප්‍රමාණය අඩුකිරීමට සිදුව ඇති බවද ඔහු කියයි. ඇමැතිවරයා වැඩිදුරටත් කියන්නේ පසුගිය මස 12 වැනිදා මාස තුනහමාරකට අවශ්‍ය ඉන්සියුලින් මෙරටට ගෙන්වීමට කටයුතු කළ බවත්, තවත් මාස දෙකකට අවශ්‍ය ඉන්සියුලින් ප්‍රමාණය ඉදිරි සති දෙකක් ඇතුළත මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවය.
“අපේ රටේ ඖෂධ සම්බන්ධව ගැටලුවක් තිබෙනවා. අපිට මේකට මුහුණදීමට සිදුවී තිබෙන්නේ මීට පෙරදී කරන ලද ඇණවුම්වල ප්‍රශ්නවලටයි. ඖෂධ ඇණවුම් කළ පමණින්ම ඒවා ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ටෙන්ඩර් ක්‍රියාවලියට මාස තුනේ සිට හය දක්වා කාලයක් ගතවෙනවා. එම ඖෂධ නිෂ්පාදනයටත් මාස තුනක් හෝ හතරක් ගතවෙනවා. මේ අනුව දළ වශයෙන් මාස 09ක පමණ කාලයක් ගතවෙනවා.” වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා එසේ කියන්නේ ය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවතින ගැටලු ගැන අපට කියන්නේ මෙවැන්නකි.
“ඉන්සියුලින් කියන්නේ දියවැඩියා රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධයක්. ඉන්සියුලින් හිඟයක් ගැන රෝහල් ගණනාවකින් අපට වාර්තා වෙනවා. දියවැඩියා රෝගීන් කාණ්ඩ කිහිපයක් ඉන්නවා. ඒ අය අතරේ ඉන්සියුලින් ඖෂධ අත්‍යවශ්‍ය පිරිසක් සිටිනවා. එහෙත් ඉන්සියුලින් ඖෂධය මෙරට රෝහල් පද්ධතිය තුළ හිඟවීමෙන් සායනවලට එන රෝගීන්ට පිටින් ගන්න වෙන වාතාවරණයක් ඇතිවෙලා තිබෙනවා. ඉන්සියුලින් කියන්නේ ලොකු මිලක් තියෙන ඖෂධයක්. වත්මන් ආණ්ඩුව ඖෂධ මිල පාලනයට සෑහෙන්න උත්සාහයක් දරනවා. ඒත් නීතිමය කරුණු ගණනාවක් තිබෙන නිසා එතනත් ගැටලුවක් මතුවෙලා තිබෙනවා. මේ නිසා ජනතාවට සිදුවෙලා තියෙනවා වැඩි මිලට ඖෂධ මිලදී ගන්න. පසුගියදා සෞඛ්‍ය ඇමැතිවරයා කියනවා මාස හතරකට අවශ්‍ය බෙහෙත් තොග ගෙනාවා කියලා. ඇමැතිතුමා එහෙම ඖෂධ ගෙනාව කිව්වට ඉන්සියුලින් ටික අදාළ රෝහල් වලට ගිහින් නැත්නම් එතන ප්‍රශ්නයක් තිබෙනවා. ඒක අපේ රටේ ඖෂධ හිඟයේ අපි දකින නරක කාරණාවක්. අපි කියන්නේ මේක ඇමැතිතුමාම සොයාබලා කඩිනමින් විසඳිය යුතුයි කියලයි.
ඖෂධ හිඟය ගැන වෛද්‍ය සැපයුම් අංශයෙන්ම කියපු කාරණාවක් තමයි එම අංශය තුළම ඖෂධ වර්ග 180ක හිඟයක් පවතින බව. අපි රජයට කියන්නේ වඩා වැදගත් වන්නේ ජනතාවට ඇත්ත කීමයි. නැත්නම් වෙන්නේ ජනතාව අනවශ්‍ය බියක් කලබලයක් ඇතිකර ගැනීමයි. මේ නිසා සෞඛ්‍ය පද්ධතියේ තියෙන ගැටලුවලට කෙටිකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් සැලසිය යුතුයි. සෞඛ්‍ය පද්ධතියේ තියෙන කාර්යක්‍ෂමතාවයේ ගැටලු, සන්නිවේදනයේ ගැටලු, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ගැටලු ගොඩක් තිබෙනවා. මේවා ඩිජිටල්කරණය විය යුතුයි.”
ඉන්සියුලින් හිඟයක් ගැන රෝහල් ගණනාවකින් අපට වාර්තා වෙනවා
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ
ඖෂධ හිඟයෙන් රෝගීන්ට පීඩා..
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එම ධුරයෙන් නික්ම ගොස් දැන් තුන් වසරකට වඩා වැඩිය. ඔහු යන විට මෙරට සෞඛ්‍ය පද්ධතියේ හිඟ ඖෂධ ගණන 80 කි. එහෙත් දැන් ඇත්තේ අලුත් ආණ්ඩුවකි. අලුත් සෞඛ්‍ය ඇමැතිවරයෙකි. එහෙත් මේ වනවිට ඖෂධ හිඟය 180 සීමාවද ඉක්මවා ගොසිනි. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව කියන්නේ අයවැය ඉතිහාසයේ වැඩිම මුදල සෞඛ්‍යයට වෙන් කළ ද සෞඛ්‍ය අර්බුදය විසඳීමට රජය පෙනෙන තෙක් මානයේ සූදානම් වන බවක් පෙනෙන්නට නැති බවය.
ඔහු පෙන්වා දෙන්නේ අද වන විට ඖෂධ හිඟය දෙසීයකට ආසන්නව ඇති බවත් ඒ අතර අත්‍යවශ්‍ය ජීවිත ආරක්ෂක ඖෂධ, ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ, කුඩා දරුවන්ට ලබාදෙන ඖෂධ, ස්වසන රෝග සඳහා ලබාදෙන ඖෂධ ඇතුළු ඖෂධ රැසක් අඩංගු වන බව ය.
එම හිඟ ඖෂධ අතර Flucloxacillin, Co Amoxyclave, Cefuroxime, CEFOTAXIME, CEFTRIAXONE, CEFTAZIDINE, AMIKACIN,Vancomycin යන ප්‍රබල ප්‍රතිජීවක එන්නත් ඖෂධ හා නිර්වින්දනය සඳහා ලබාදෙන Lignocaine එන්නත ද, හෘද රෝගීන් සඳහා ලබාදෙන Streptokinase එන්නත ද වෛද්‍ය සැපයුම් ඒකකය තුළ උග්‍ර හිඟයකට ලක්ව ඇති බවද වෛද්‍යවරයා කියයි.
වර්තමාන රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ ඖෂධ නියාමන අධිකාරියේ වර්තමාන දුර්වල පරිපාලනයත් ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ පාලන කාලයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට පත් කරන ලද ඉහළ නිලධාරීන් මෙම ඇතිවී තිබෙන තත්ත්වයට ඍජුව වගකිවයුතු බවද වෛද්‍ය චමල් සංජීව කියයි.
හෘද කැතීටර්, ස්ටෙන්ට් හා ශල්‍ය උපකරණත් හිඟයිලු
අද වනවිට ඇත්තේ අත්‍යවශ්‍ය ඖෂධ හිඟය පමණක් නොවේය. රටේ පුරා බරපතළ ශල්‍යකර්ම සිදු කරන රෝහල් රැසක ශල්‍යකර්ම සඳහා අවශ්‍ය කරන මූලික ශල්‍ය උපකරණ හිඟයක් පවතින බවද වෛදවරු සඳහන් කරති. එසේ හිඟව ඇති ශල්‍ය උපකරණ අතර හෘද ඇන්ජීයොග්‍රෑම් පරීක්ෂණ සඳහා අවශ්‍ය කරන කැතීටර් සහ ස්ටෙන්ට් වර්ග රැසක් පවතින බැවින් රෝගීන්ට අවශ්‍ය කරන ස්ටෙන්ට් වර්ග නොමැති වීම නිසා රෝගීන්ට වැඩි මිලට බාහිරින් මිලදී ගැනීමට සිදුව ඇති බවද වෛද්‍ය චමල් සංජීව කියයි. ඔහු වැඩිදුරටත් කියන්නේ වෛද්‍ය සැපයුම් ඒකකය දත්ත පද්ධතියට අනුව මෙම ස්ටෙන්ට් වර්ග හිඟය දැඩි ලෙස පෙන්නුම් කරන අතර මේ තත්ත්වය පිළිබඳව කඩිනමින් වත්මන් රජය අවධාන යොමුකළ යුතු බවය.
වැඩිමිලට ඖෂධ මිලදී ගැනීම සඳහා අවස්ථාව ලබාදීම අල්ලස් සහ දූෂණ ක්‍රියාවක්
වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව
වැඩි මිලට ඖෂධ මිලදී ගැනීමේ ජාවාරමක්
දිනෙන් දින ඉහළ යන ඖෂධ ප්‍රශ්නය නිසා සාමාන්‍ය ඖෂධ මිලදී ගැනීම් වෙනුවට රෝහල් අධ්‍යක්ෂකවරුන්ට ප්‍රාදේශීය වශයෙන් බාහිර ඔසුහල්වලින් ඖෂධ මිලදී ගැනීමට උපදෙස් ලබාදී ඇත. එසේ මිලදී ගන්නා ඖෂධ සාමාන්‍ය ප්‍රසම්පාදනයට ලබාගන්නා ඖෂධ සඳහා ගෙවන මිල මෙන් කීප ගුණයක් ඉහළ යෑම නිසා ඇතැම් ඖෂධවල මිල සඳහා රජයට සියයට දහස ඉක්මවා ගෙවීමට සිදුව ඇති බවද වෛද්‍යවරු හෙළිකරති. සාමාන්‍ය ඖෂධ මිලදී ගැනීමේ යාන්ත්‍රණය පසුගිය පාලන සමයේදී බිඳ වැටුණ බව අපට මතකය. එහෙත් වෛද්‍යවරු පවසන්නේ වර්තමාන ආණ්ඩුව පැමිණ මාස හයකට අධික කාලයක් ගත වුවද මේ දක්වා ඒ සඳහා කාර්යක්ෂම වැඩසටහනක් ඉදිරිපත් කිරීමට රජය අසමත් වී ඇති බවය.
එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රාදේශීය මිලදී ගැනීම්වලදී සාමාන්‍ය ඖෂධයක් මිලදී ගැනීමට වැය වන මුදල මෙන් කිහිප ගුණයක් ගෙවීමට රෝහල් අධ්‍යක්ෂකවරුන්ට සිදුව ඇති අතර, එසේ ප්‍රාදේශීය මිලදී ගැනීම් රැසක් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විනය පරීක්ෂණයන්ටද ලක්ව ඇති බවද වෛද්‍යවරු පෙන්වා දෙති. මේ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි ක්‍රමවේදය යටතේ සාමාන්‍ය මිලට ඖෂධ මිලදී ගැනීම වෙනුවට වැඩි මිලට ඖෂධ මිලදී ගැනීම සඳහා අවස්ථාව ලබාදීම අල්ලස් සහ දූෂණ ක්‍රියාවක් බැවින් එමගින් රජයට බරපතළ ආර්ථික අලාභයක් සිදුවන බැවින් මේ සම්බන්ධව පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙසද වෛද්‍ය චමල් සංජීව ඉල්ලා සිටියි.
වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා කියන්නේ මාස තුනහමාරකට අවශ්‍ය කරන අවශ්‍ය ඉන්සියුලින් මෙරටට ගෙන්වා ඇති බවයි. එහෙත් වෛද්‍යවරුන් කියන ආකාරයට එම ඖෂධ රෝහල් පද්ධතියට කඩිනමින් එන ක්‍රමවේදයක් කඩිනමින් සැකසිය යුතුය. තවද වෛද්‍යවරුන් පෙන්වා දෙන පරිදි සෞඛ්‍ය පද්ධතියේ තියෙන ගැටලුවලට කෙටිකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් සැලසිය යුතුය. එමෙන්ම සෞඛ්‍ය ඇමැතිවරයා කියන පරිදි ඇණවුම් කළ ඖෂධ එනතුරු රෝගීන් මාස 09ක් බලාසිටිය යුතු ද යන්න ද ප්‍රශ්නය දැන් මතුවී ඇත. එහෙත් අවාසනාවක මහත යන්න මේ වනවිට අපේ රටේ දියවැඩියා රෝගීන් හා විවිධ රෝග වලින් පෙළෙන රෝගීහු සිටින්නේ ජීවිතයත් මරණයත් අතර සටනකය. එවන් වාතාවරණයක් රටේ තිබියදී දුර්වල සෞඛ්‍ය පරිපාලන හේතුවෙන් මෙතෙක් පැවැති සෞඛ්‍ය ප්‍රශ්නයට අලුත් ආණ්ඩුවට ද තවමත් හරිහැටි විසඳුමක් නොවීම බලවත් ගැටලුවකි.
රමින්ද මාවතගේ