වීදියේ රඟපෑවේ නැතිනම් නිකන් කෑවේ නෑ වගේ…

මේ දිනවල හැමෝම වගේ කතාබහවෙන සුපුන් රත්නායකගේ ලලයි ලිලයි ලයි ටෙලි නිර්මාණයේ මෝඩ රවීන් ගැනත් හැමෝම වගේ කතාබහ වෙනවා. ඇත්තටම කවුද මේ මෝඩ රවීන්. ඔහු නමින් මන්රුචි සිරිවර්ධන. මන්රුචි මීට කලින් මීයා ටෙලි නාට්‍යයෙන් ද ප්‍රේක්ෂකයා හමුවට ආවා. ඉතිං මන්රුචි සමග අද දවසේ මේ කතාබහ, ලලයි ලිලයි ලයි වගේම ඔහුගේ අලුත් නිර්මාණ ගැනය.

මන්රුචි සිරිවර්ධන කොහොමද ඉතින්..?

ගොඩක් හොඳයි. මේ දවස්වල ලලයි ලිලයි ලයි නාට්‍යයේ මෝඩ රවීන්ට ලැබෙන සුන්දර ප්‍රතිචාර අත්විඳිමින් ඉන්නවා. මං ප්‍රතිපත්තියක් විදියට පෞද්ගලික ගමනාගමන සේවාවන් අත්විඳින්න කැමැති කෙනෙක්. ඉතින් ඒ නිසා මට මඟතොටේදී හමුවන රසිකයෝ වැඩියි. ඒ ආදරයට ගොදුරු වෙන එක තමයි මේ දවස්වල ගෙවන ජීවිතේ සතුටුම වැඩේ.

මෝඩ රවීන්ට ලැබෙන සුන්දර ප්‍රතිචාර - මන්රුචි සිරිවර්ධන

ලලයි ලිලයි ලයි, කී වැනි ටෙලි නාට්‍යය ද?

ලලයි ලිලයි ලයි කියන්නේ මගේ හයවැනි ටෙලි නාට්‍යය. වීදි නාට්‍ය කරමින් මඟතොටේ ගෙවිච්ච සුන්දර රස්තියාදුව ඉස්සරහින් කැමරාවක් තියලා මාව ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කර ගත්තේ සුපුන් රත්නායක. ඒ ඇට්ටරයා කියන ටෙලි නාට්‍යයෙන්. ඉතින් මාව ක්ෂේත්‍රයට අඳුන්වලා දීපු සුපුන් රත්නායකගේම නිර්මාණයකින් මේ විදිහට ජනප්‍රිය මට්ටමේ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබන්නට පුළුවන් වෙච්ච එක ගැන මට නොසෑහෙන්න සතුටුයි.

මුලදී මේ නාට්‍ය මේ තරම් හිට් වෙයි කියලා හිතුවාද?

ඇත්තටම වැඩේ යනකොට අපි බොහෝ දෙනෙක්ට අදහසක් තිබුණා මේක ලංකාවේ සලකුණක් තියෙන නිර්මාණයක් වෙයි කියලා. මොකද මේ වගේ විනෝදාත්මක වැඩක් මෑත කාලීනව ටෙලි නාට්‍යවලින් අපි දැකලා තිබුණේ නෑ. මේ කතාවේ හැම තැනකම තියෙන්නේ පණ ගැහෙන්න ඇත්තටම සිද්ධ වෙන සිදුවීම්. ඕනෑම පවුලක් ඇතුළේ, ඕනෑම මිත්‍ර සමාගමක් අතරේ මේ වගේ අලකලංචි අනේක සිද්ධ වෙනවා. ඉතින් එහෙම දේවල් සමීපතමයන් එක්ක ස්මරණය කරනවාට වැඩිය විනෝදයක් ආයේ ආයෙත් රූගත කරලා පෙන්නද්දි ලැබෙනවා. ඉතින් මිනිස්සු ඒක විඳිනවා. ඒකෙන් මේ කාලේ අපිට අත්විඳින්න වෙලා තියෙන පීඩනය යම්තාක් දුරකට හරි සමනය වෙනවා. ඉතින් මිනිස්සු ඒ සතුට ලලයි ලිලයි ලයි බලලා ගන්නවා.

මෝඩ රවීන්ට ලැබෙන සුන්දර ප්‍රතිචාර - මන්රුචි සිරිවර්ධන

මන්රුචි කාලයක් පත්තරකාරයෙක් විදියටත් වැඩ කලා නේද?

අපි ඒලෙවල් කරන කාලේ අපි අතරේ ජනප්‍රිය වෙච්ච ටැබ්ලොයිඩ් අතිරේකයක් තිබුණා ‘යං‘ කියලා. සංජක ප්‍රසාද් දොලේවත්ත තමයි ඒ කාලේ ඒ පත්තරේ ප්‍රධාන කර්තෘ. ඒ දවස්වල ඔය පත්තරේ අපිට විලාසිතාවක් වුණා. මට කොහොමත් ලියන්න උණ තිබුණු නිසා මං යං එකට ලිව්වා. ඒවා කොහොමින් කොහොම හරි පළවුණා. ඒ දවස්වල ඒ පත්තරේම සින්දු ආදරේ කියලා ලිපි පෙළකුයි, ඔයයි මමයි තව දෙන්නෙක් කියලා නවකතාවකුයි පළවුණා. ඒවා ලිව්වේ සුපුන් රත්නායක. ඒ කියන්නේ ලලයි ලිලයි ලයි කතාවේ අපේ අධ්‍යක්ෂකතුමා. ඔන්න ඔය පත්තර ලියවිල්ලෙන් තමා සුපුනුත් මමත් දැන අඳුන ගන්නේ. අන්තිමට මට යං පත්තරයත් ඇතුළුව තවත් පත්තර කීපයකම වැඩ කරන්න අවස්ථාව ලැබුණා.

වීදි නාට්‍ය පෙන්නන වැඩේ තවම කරගෙන යනවද..?

වීදි නාට්‍ය කියන්නේ මං කරමින් ඉන්න සියලුම වැඩ අතරින් උඩින්ම තියෙන කලාව. අවුරුදු එකොළහක් තිස්සේ මම සහ අපේ කණ්ඩායම ලංකාව පුරාම සිංහල සහ දෙමළ භාෂාවන් දෙකෙන්ම වීදි නාට්‍ය දර්ශනවාර පවත්වනවා. මේ වෙනකොට අපි ගොඩක්ම මැදිහත්වෙලා ඉන්නේ ප්‍රචාරණ අවශ්‍යතාවයන් වෙනුවෙන් අවශ්‍ය වීදි නාට්‍ය දර්ශනවාර සංවිධානය කරන්න. ඉතින් මොන වැඩ තිබ්බත් මාසෙට දවස් කීපයක් අනිවාර්යයෙන්ම මං අපේ යං ප්ලෙයර්ස් වීදි කණ්ඩායමත් එක්ක වීදි නාට්‍ය දර්ශනවාරවලට සම්බන්ධ වෙලා වැඩකටයුතු කරනවා. වීදියක රඟපෑවේ නැති වුණාම කොච්චර කොතැනක රඟපෑවත් නිකන් කෑවේ නෑ වගේ දැනෙන්නේ.

මෝඩ රවීන්ට ලැබෙන සුන්දර ප්‍රතිචාර - මන්රුචි සිරිවර්ධන

ඇයි වැඩිපුර වීදි නාට්‍යවලට කැමති?

වීදි නාට්‍ය දර්ශනවාර සංවිධාන කරනවා කියන එක ඇත්තටම මගේ රස්සාව. අපි වසර ගණනාවක් තිස්සේ මහන්සි වෙමින් සහ විවිධ අත්හදා බැලීම් කරමින් තමයි ප්‍රචාරණ අවශ්‍යතාවයන් වෙනුවෙන් ගැළපෙන වීදි නාට්‍ය මාදිලියක් නිර්මාණය කර ගත්තේ. සාමාන්‍යයෙන් අපි දකින සාම්ප්‍රදායික වීදිය ගොඩක් දුප්පත්. ඇත්තටම ඒ තමයි වීදියේ සාම්ප්‍රදායික හැඩය. ගොඩක් වෙලාවට ඒවායින් මැදිහත් වෙන්නේ දේශපාලනික හෝ සාමාජීය කාරණාවලට. ඒ නිසා නාටකීය සන්දර්භය ඒවායේ පොහොසත්. නමුත් එළියට පේන්නේ හරි සරල දුප්පත් ආකෘතියක්.

අපි ඒක වැඩිදියුණු කළා. අපි යුරෝපයේ දකින පාරවල්වල වීදියේ කලාව හරි දියුණුයි. ඒවාට තියෙන්නේ විවිධ වර්ණ සහ හැඩතල. අපි එතැනින් පටන් ගත්තා. අපේ නාට්‍ය ලියැවෙන්නේම කාගේ හෝ ප්‍රචාරණ අවශ්‍යතාවයක් අනුව. ඒ ලියැවිල්ල ඇතුළේ දේශීය ජනශ්‍රැතියට අදාළ කාරණා සම්බන්ධ වෙනවා. තත්කාලීන දේශපාලනය කතා බහ වෙනවා. ඒ සිදුවීම් අනාවරණය වන චරිතවලට පවා පෙර නොවූ විරූ හැඩයන් අපි හදනවා. ඒ චරිතවල ඇඳුම් පැලඳුම් පවා වර්ණවත් සැණකෙළි ස්වරූපයකට ඉදිරිපත් වෙන්නේ. පාරේ යන මිනිස්සු නවත්ත ගන්න පුළුවන් තරම් වාව් එකක් අපි හැම වෙලාවකම ක්‍රියේට් කරන්න ඕනෑ. එහෙම වැඩකට පිටපතක් ලියලා ඒක නිර්මාණ කාර්යය දක්වා මෙහෙයවනවා කියන්නේ මං ආසම වැඩක්. ඒකට මං අහුවෙලා ඉන්නේ. මං ආස නෑ මේකෙන් ගැළවෙන්න.

මන්රුචිගේ ගම් පළාත එහෙම?

මගේ ගම අම්පාර. ඒත් මං ගොඩක්ම හැදුණේ, වැඩුණේ කැලණිය, ගම්පහ වගේ නගරවලට ආසන්නව. මගේ පාසල් සහ උසස් අධ්‍යාපන කටයුතුවලට සමීප වෙන්නේ ඒ නගර. මට කොන්ක්‍රීට් දකිද්දි ඔළුවට අමාරු පොඩි ලෙඩක් තියෙනවා. මං ආස ගහ කොළ පේන පරිසරවල ඉන්න. ඒ නිසාම මගේ දැන් පදිංචිය කොළඹට තරමක් දුරින්, ගණේමුල්ලේ.

පවුලේ විස්තර එහෙමත් කිව්වොත්..?

මගේ තාත්තා විදුහල්පතිවරයෙක් විදියට සේවය කළේ. දැන් නම් තාත්තා විශ්‍රාමිකව කල් ගෙවනවා. අම්මා තමයි අපිව උස් මහත් කරන්න මහන්සි වුණේ. නංගිලා දෙන්නෙක් ඉන්නවා. එක නංගි කෙනෙක් කොළඹ සරසවියේ නීති පීඨයේ අවසන් වසරේ. අනිත් නංගි තවමත් පාසල් යනවා. තවත් පවුලේම කියලා අපිට පූස් පරම්පරාවක්ම ඉන්නවා. ග්‍රේ මැඩම්, මනියා මහත්තයා එහෙම විශේෂයෙන්ම මතක් කරන්න ඕනෑ.

වීදි නාට්‍ය නොකළා නම් මොනව කරාවිද..?

එහෙම වුණා නම් මං කොහේ හෝ මාධ්‍ය ආයතනයක මගේ කටහඬින් වැඩක් ගන්නවා වෙන්න තිබ්බා. සමහර විට පත්තරේකටම සම්බන්ධ වෙලා ඉන්නත් ඉඩ තිබ්බා. ඒත් මට උදේ – හවස රස්සාවට යනවා වගේ ක්‍රමවත් පද්ධතියකට ඇතළු වෙන්න හරි අමාරුයි. ඒකෙන් මාව කම්මැළි කරවනවා. මං ආස එක එක ජාතියේ වැඩ කරන්න. ඒකෙන් මාව පිරෙනවා. වඩු වැඩ, මේසන් වැඩ, වයරින් වැඩ, උයන පිහන වැඩ විතරක් නෙවෙයි, ගස් නැඟලා පොල් කඩන්න පවා මට පුළුවන්. ඒ නිසා මං ඔය මොකක්ම හරි අමුතුම ජාතියක වැඩක් කරමින් ඉන්න ඉඩ තිබ්බා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment