1973 මුලදී පාකිස්තානය න්‍යෂ්ටික අවි පර්යේෂණයක් කරන බව ඉන්දියාවට ආරංචි විය. මේ ආරංචිය දෙන ලද්දේ එවකට පිහිටුවා තිබූ ඉන්දියාවේ අලුත්ම ඔත්තු සේවය වන රෝ සංවිධානය විසිනි. මෙයට පිළිතුරු වශයෙන් තමන් ද න්‍යෂ්ටික පිපිරීමක් කළ යුතු බව එවකට ඉන්දීය අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධිගේ අදහස විය. ඒ අනුව 1974 මාර්තු 18 වැනිදා ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ දී ඉන්දියානු න්‍යෂ්ටික බලඅධිකාරිය විසින් න්‍යෂ්ටික බෝම්බයක් අත්හදා බලන ලදී. රාජස්ථානයේ පැත්තක විශාල කාන්තාරයක් තිබේ. මෙහි නම පොකාරාය. 1974 මාර්තු 18 වැනිදා මේ න්‍යෂ්ටික බෝම්බය අත්හදා බැලිය යුතු විය. පිපිරවීම සාර්ථක නම් නවදිල්ලියේ සිටින අගමැති ඉන්දිරා ගාන්ධිට ඒ බව දැනුම් දෙන්නේ සංකේත නාමයකිනි. “බුදුහු සිනහසුණහ” යන්න එම සංකේත පදය වේ. බෝම්බ පිපිරීම සාර්ථකව සිදු කළ අතර ඒ බව නවදිල්ලියේ සිටින රෝ සංවිධානයේ ප්‍රධානියා වූ එන්. කේ. කාවෝට දැනුම් දෙන ලදී. ඔවුහු ඒ වන විට උත්සවයකට සහභාගි වෙමින් සිටි අගමැතිවරිය වෙත ගොස් “බුදුහු සිනාසුණහ” යනුවෙන් කීවේය. මේ අනුව පිපිරීම සාර්ථක වූ බව ගාන්ධි මහත්මිය දැන ගත්තාය. එහෙත් පසුව මේ සංකේත නාමය සම්බන්ධයෙන් විශාල ගැටලුවක් මතු විය. න්‍යෂ්ටික පිපිරීමක් වැනි හානිකර දෙයකට බුදුන් වහන්සේ පටලවා ගන්නේ මන්දැයි ලෝකවාසී බෞද්ධයෝ ප්‍රශ්න කළහ. එවිට ඉන්දියානු රජය විසින් මේ නිවේදනය නිකුත් කරන ලදී. නිවේදනයට අනුව, මෙයට වසර දහස් ගණනකට පෙර බුදුරජාණන් වහන්සේ ජීවතුන් අතර සිටි කාලයේ දී ශාඛ්‍ය සහ කෝලිය වංශිකයන් අතර ජල ප්‍රශ්නයක් මතු විය. එනම් එකම ගංගාවකට පාර්ශ්ව දෙකම අයිතිවාසිකම් කියන්නට වූහ. ජලය සමානව බෙදාගැනීමට කවුරුත් සූදානම් වුණේ නැත. ඇති වීමට යන යුද්ධය වළක්වනු සඳහා බුදුරජාණන් වහන්සේ ගඟ දෙපස රැස්ව සිටින ශාඛ්‍ය සහ කෝලිය වංශිකයන් අතරට ගොස් යුද්ධය සමාදාන කළ සේක. ඉන් පසු උන්වහන්සේ ධර්ම දේශනාවක් කළහ. මෙය යුද උපක්‍රම සම්බන්ධයෙන් කිසියම් කෙනකු විසින් ඉදිරිපත් කරන ලද විශිෂ්ටතම අදහස වේ. බුදුන් වහන්සේ මෙහිදී දේශනා කළ පරිදි රටවල් දෙකක් අතර සමගිය පැවැතීමට නම් එක්කෝ ඒ රටවල් දෙක සම්පූර්ණයෙන්ම නිරායුද විය යුතුය. නැතහොත් ඒ රටවල් දෙක සම්පූර්ණයෙන්ම සන්නද්ධ විය යුතුය. ඒ නිසා “බුදුහු සිනාසුණහ” යන සංකේත නාමය උන්වහන්සේට ගෞරව පිණිස සඳහන් කළ බව ඉන්දියානු රජයේ නිවේදනයෙහි සඳහන් විය.
පාකිස්තානය සහ ඉන්දියාව නැවතත් යුද්ධයකට සූදානම් වෙමින් සිටී. පාකිස්තානය සහ ඉන්දියාව අතර බෙදී පවත්නා ජම්මු කාශ්මීරයේ ඉන්දියාවට අයත් කොටසට කඩාවැදුණු කාශ්මීර ගරිල්ලන් සිවුදෙනකු හින්දු සංචාරකයන් 27 දෙනකු ඝාතනය කර තවත් විශාල පිරිසකට තුවාල කරන ලදී. මේ සංහාරයේ දී ඔවුන් මුස්ලිම් සංචාරකයන්ට අත තැබුවේවත් නැත. හින්දුවරුන් සහ මුස්ලිම්වරුන් වෙන් කර හඳුනාගැනීම සඳහා පිරිමින්ගේ චර්ම ඡේදන පරීක්‍ෂණය පවා සිදුකළ ත්‍රස්තවාදියෝ චර්ම ඡේදනය නොකළ සියලුම දෙනාට වෙඩි තැබූහ. සාමාන්‍යයෙන් ඉස්ලාමීය පිරිමි ස්ථිර වශයෙන්ම චර්ම ඡේදනය සිදු කරති. මේ සිද්ධිය නිසා බලවත් සේ කෝපයට පත් ඉන්දියාව මෙම සංහාරය පිටුපස පාකිස්තානය සිටින බවට චෝදනා කළේය. මේ ඝාතනය සිදුවීමට දවස් දෙකකට පෙර පාකිස්තානයේ හමුදාපතිවරයා දරුණු බෙදුම්වාදී කතාවක් කළේය. කාශ්මීරයේ ඉන්දියානු කොටසේ සිටින ඉස්ලාමීයයන් කෙසේවත් තනි නොකරන බව ඔහු කීවේය. එසේම ඉන්දියාව සහ පාකිස්තානය රටවල් දෙකක් බවත්, ඒ රටවල් දෙක වෙන් විය යුතු බවත් නිදහස් පාකිස්තානයේ නිර්මාතෘ වූ මොහොමඩ් අලි ජින්නා එම අදහස තරයේ පිළිගත් නිසා ඉන්දියාව සහ පාකිස්තානය වෙන් කරන ලද බවත් හමුදාපති කීවේය. ඔහුගේ මතය වූයේ ඉන්දියාවේ තිබෙන කාශ්මීර කොටස පාකිස්තානයේ තිබෙන කාශ්මීර කොටසට ඈඳා ගත යුතුම බවය. පාකිස්තානයේ යුද හමුදාව ඒ රටේ ආණ්ඩුවට වඩා බලවත්ය. මේ යුද හමුදාව තුළ ඉස්ලාමීය අන්තවාදී නිලධාරී කල්ලි සිටිති. මේ කල්ලි ඉන්දියන් විරෝධී ත්‍රස්තවාදීන්ට උපකාර කරති. එම උපකාර මර්දනය කිරීමට පාකිස්තාන ආණ්ඩුව සූදානම් වුණොත් එම ආණ්ඩුවේ නායකයා වන අගමැතිට වෙඩි කෑමට සිදුවෙයි. මේ නිසා හැම පාකිස්තාන් ආණ්ඩුවක්ම වැඩ කරන්නේ හමුදාවේ අවශ්‍යතාව පරිදිය. සංචාරකයන් සංහාරය කිරීමෙන් පසු බලවත් කෝපයෙන් පසුවන ඉන්දියාව ඕනෑම විටෙක පාකිස්තානයට විරුද්ධව යුද්ධයක් පටන් ගැනීම සඳහා එරට ඉන්දීය හමුදාවලට විවෘත අවසරයක් ලබාදී තිබේ. මේ අනුව ඕනෑම අවස්ථාවක දී ඉන්දියාව විසින් පාකිස්තානය ආක්‍රමණය කරනු ලැබීමට නියමිතය. පාකිස්තානය තුළ ද ඉන්දියාවට එරෙහිව යුද සූදානමක් පවතී. ඉන්දියාව තමන්ට ගැහුවොත් කුඩුවෙන්නට ආපසු ගහන බව පාකිස්තානයේ මතය වේ. ඉන්දියාව සතුව න්‍යෂ්ටික අවි 180 ක් තිබේ. පාකිස්තානය සතුව න්‍යෂ්ටික අවි 173 ක් තිබේ. පාකිස්තානය මේ වන විටත් ස්වකීය න්‍යෂ්ටික අවි ඉන්දියාව දෙසට හරවා ඕනෑම වෙලාවක ඒවා මුදාහැරීමට සූදානමින් සිටිති. ඉන්දියාව සහ පාකිස්තානය අතර න්‍යෂ්ටික යුද්ධයක් හටගතහොත් පාර්ශ්ව දෙක හුවමාරු කර ගන්නා පළමු වන න්‍යෂ්ටික අවි දහයේදී දෙරටම විනාශයට පත් වෙනවා ඇත. මෙහිදී පාකිස්තානයේ කොයි කොයි තැන්වලට න්‍යෂ්ටික අවිවලින් පහරදිය යුතු ද යන්න ඉන්දියාව හඳුනාගෙන තිබේ. එසේම ඉන්දියාවේ කොයි කොයි තැන්වලට න්‍යෂ්ටික අවිවලින් පහර දිය යුතු ද යන්න පාකිස්තානය හඳුනාගෙන තිබේ. ඉන්දියාව යනු ලෝකයේ හතරවන යුද බලවතාය. පාකිස්තානය ලෝකයේ 23 වන යුද බලවතාය. පාකිස්තානයේ ජනතාවට කන්න නැත. එහෙත් ඔවුන් ඩොලර් බිලියන ගණන් වියදම් කර න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කර ඇත. එය සමාන වන්නේ කඩා වැටෙන්නට යන පැල්පතක දිරාපත් වූ දොරට රුපියල් කෝටි ගණනක් වැය කර අගුලක් සවිකළා හා සමාන ක්‍රියාවකි. පාකිස්තානය යනු ශ්‍රී ලංකාවේ ඉතාම කිට්ටු මිතුරෙකි. ලංකාවේ පැවැති වර්ගවාදී යුද්ධයේ දී මේ රට අපට විශාල වශයෙන් උදව් කළේය. ඉන්දියාව ද එසේමය. ලංකාවට කරදරයක් වන අවස්ථාවක දී මුදල්, ආහාර, බෙහෙත් ඇතුළු සියලුම දේ නැව් පිටින් එවන්නේ ඉන්දියාවය. ඒ නිසා අපගේ ප්‍රාර්ථනය වන්නේ මේ රටවල් දෙක මොනම හේතුවකටවත් යුද්ධයකට නොයා යුතු බවය. පාකිස්තානය සහ ඉන්දියාව යන රටවල් දෙකම බුදුදහමට අයත් බොදු භූමියක් වේ. ඒ නිසා බුදුදහමේ නාමයෙන් මේ යුද්ධය ඇති නොවේවා.