ආරක්ෂක සේවා හොකී තරගාවලිය
කොළඹ හතේ රීඩ් මාවතේ පිහිටි කෘතීම ක්‍රීඩා පිටියේ දී දැන් ක්‍රියාත්මක 13 වැනි ආරක්ෂක සේවා හොකී තරගාවලියේ පිරිමි අංශයේ තීරණාත්මක අවසාන තරගයට වරම් ලබා ගැනීමට යුද හමුදාව සමත් විය.
ආරම්භක තරගයේ දී ගුවන් හමුදාවට එරෙහිව ගෝල් 05 – 04 ක අතිශය තියුණු ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට සමත් වූ යුද හමුදාව දෙවන තරගයේ දී ප්‍රතිවාදී නාවික හමුදාව සමග ගෝල් 01 – 01 ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. ඒ අනුව අපරාජිත බව සනාථ කර ගනිමින් අවසන් තරගයට අවතීර්ණ වීමට යුද හමුදාවට හැකියාව ලැබිණි.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර අත්දැකීම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙවර “ආරක්ෂක සේවා” පිරිමි සහ කාන්තා හොකී තරගාවලිය නියෝජනය කරන අතර එහි තෙවන දින තරග අද (21) පෙරවරු 08.00 ට ආරම්භ කෙරේ.
මෙවර තරගාවලිය හෙට (22) දක්වා කෘතීම ක්‍රීඩා පිටියේ දී පැවැත් වීමට ආරක්ෂක සේවා ක්‍රීඩා සංගමය වෙනුවෙන් සත්කාරක ශ්‍රී ලංකා යුද හමුදාව පියවර ගෙන තිබේ.
මෙහි කාන්තා අවසාන තරගය හෙට (22දා) ප.ව. 04.00 ට පැවැත්වෙන අතර පිරිමි අවසන් තරගය ප.ව. 06.00 ට විදුලි ආලෝක ධාරා මැද ආරම්භ කෙරේ.
වත්මන් ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායම නියෝජනය කරන බහුතර ක්‍රීඩකයන් ප්‍රමාණය ත්‍රිවිධ හමුදාව සතු වන අතර ඔවුන් තම සේවා ආයතනය වෙනුවෙන් වෙන් වෙන්ව තරග කරන ආකාරය මෙවර ආරක්ෂක සේවා හොකී තරගාවලියේ දී දැක ගැනීමට හැකියාව ලැබේ.
මෙවර පිරිමි තරගාවලියේ දී යුද හමුදාව ධාරත ප්‍රියභාෂිත බණ්ඩාර තැන්නේගේ නායකත්වයෙන් ද නාවික හමුදාව ගිහාන් ජයරත්නගේ නායකත්වයෙන් ද ගුවන් හමුදාව ෂෙරාන් නිමංකගේ නායකත්වයෙන් පිටියට අවතීර්ණ වෙති.
කාන්තා තරග මාලාවේ දී වයෝමී ප්‍රේමතිලක (යුද හමුදාව), ගීතිකා දමයන්ති (නාවික හමුදාව) සහ ෂෙහානි ප්‍රනාන්දු (ගුවන් හමුදාව) නායකත්වය දරති.
අනුරුද්ධ හේරත් බණ්ඩාර