රටක ශ්‍රී සමෘධිය ඇතිවීමට මංමාවත් මහෝපකාරි වන බව අමුතුවෙන් කිවයුතු නොවේ. ගමක් දියුණු කරනවිට පළමුකොටම ඒ ගමට පිවිසෙන මාර්ගය කෙරෙහි සිත යොමු කිරීම සිරිතකි. ගමක් තබා ගෙයක් දොරක් දියුණු කරන විට පවා පළමුවෙන්ම අපේ සැලකිල්ල යොමු වන්නේ එයට පිවිසෙන මාර්ගය ගැනය. ගෙය සෑදීමට වුවමනා දැවදඬු, සුණු, වැලි, ගඩොල් ආදිය ගෙනඒමට මාර්ගයක් තිබිය යුතුය. නගරයක් දියුණු කිරීමේදී ද එයට පිවිසෙන මාර්ග කෙරෙහි අවධානය යොමු කිරීම මූලික අවශ්‍යතාවක් හැටියට සලකන ලදී. පුරාණ අනුරාධපුර නගරය සැලසුම් කිරීම මෙයට කදිම නිදසුනකි. ඒ සැලසුම අනුව නගරයට සතර වාහල්කඩක් වූ බවත් ප්‍රධාන ද්වාරමුඛ සතරෙන් ප්‍රධාන සතර මාවතක් සතර දෙසට විහිද ගිය බවත් සිතාගන්නට පිළිවන.

ආර්යාවර්තය අනුව යෑම

අපේ පැරණි නගර සැලසුම් විධි ආර්යාවර්තයේ ක්‍රමවලට අනුරූපව සකසාගත් බව සිතිය හැක. එහෙත් ගිරිදුර්ග හෝ පංකදුර්ග තැනීමේදී යුද ශිල්පය අනුව ඇතුළු නුවරට පිවිසෙන ද්වාරමුඛ ගණන සීමා කරන ලදී. කෝට්ටේ පංකදුර්ගය මෙයට නිදසුනකි. පැරණි සැලසුම් ක්‍රමය අනුව එදා අනුරාධපුර නගරයෙහි චන්ද්‍රවංක වීදිය, මහවැලි වීදිය, සිඟුරුවක් වීදිය හා මංගල මහා වීදිය යැයි ප්‍රධාන වීදි සතරක් වූ බැව් පෙනේ. ප්‍රධාන ද්වාරමුඛ සතර හා මේ වීදි අතර ඍජු සම්බන්ධයක් පවතින්නට ඇත. සුළු නගර සැලසුම් කිරීමේදී ද මේ ක්‍රමයම අනුගමනය කරන ලදී. සුළු නගරවලට පිවිසෙන දොරටු කඩවත් නමින් හඳුන්වන ලදී. මාතර කඩවත් සතර මෙයට නිදසුනකි. අද රටේ පවත්නා පුළුල් මංමාවත් දෙස බලා පුරාණ යුගවල එවැනි පහසුකම් කිසිත් නොවී යැයි සිතීම බලවත් මුළාවකි. මාර්ගවලට නම් තැබීම අතිපුරාණ චාරිත්‍රයකි. අනුරාධපුරයේ ප්‍රධාන වීදිවලට දී තිබෙන නම්වලින්ම ඒ කාරණය ඔප්පු වෙයි. කුකුරුමාන්දමන ලිපියෙන් ඒ සලකා ගන්නට පිළිවන. අනුරාධපුරයෙහි දැනට කරගෙන යන පුරාවිද්‍යාමය ගවේෂණවලින් චන්ද්‍රවංක වීදිය එදා පැවති විභූතිය ඔප්පු වී තිබේ. පුරාවිද්‍යාමය ගවේෂණවලින් ඔප්පු වී ඇති තවත් කාරණයක් නම්, අනුරාධපුරයේ ඇතැම් වීදියක පළල අඩි 60කටත් වඩා අධිකතර වූ බවයි. එදා ශුද්ධ නගරයෙහි වූ ජනගහනය කෙතරම් විශාල වන්නට ඇද්දැයි සලකා ගැනීමට මේ කාරණයම ප්‍රමාණ වෙයි. ප්‍රධාන ද්වාරමුඛ සතරෙන් පිවිසුණ සතර මාවත ඇතුළු නුවර සිසාරා ගොස් අනික් පැත්තෙන් පිටි නුවරට පිවිසෙන සේ සැලසුම් කොට තුබූ සේ පෙනේ.

යොදුන-ගව්ව හා එදා පැරණි මංමාවත්

සල් මලේ රේණු වැනි අතුරු වීදි

සල් මලෙක රේණු සෙයින් චන්ද්‍ර වංක වීදියෙහි සිට බෙදීගිය අතුරු වීදි රැසක සලකුණු අදත් තැනින් තැන දැක්ක හැකිය. ප්‍රධාන වීදිය හා මේ අතුරු වීදිවල විසූ ජනගහනය කෙතරම්දැයි සලකා ගැනීමට මේ පැරණි කවෙන් ලැබෙන පිටිවහල අතිමහත්ය.

පවර මෙ ලක්දිව පරසිදු අනුරාධයපුර ඔබින් ට
චන්ද්‍ර වංක නම් වීදියෙ දානේ දී පින් කරන් ට
දානේකට පේරු වෙලා ඒ වීදියෙ දානෙ දෙන් ට
තිස්තුන් අවුරුද්දක් පසුවුණු ඒ වීදිය ගෙවන් ට

අපේ ශුද්ධ නුවර ශ්‍රී සමෘධිය කෙසේ පවතින්නට ඇද්දැයි සිතා ගැනීමට මෙයම ප්‍රමාණය. එදා ශුද්ධ නුවර කෂාය වස්ත්‍රයෙන් බැබළුණේය. ජන වාතයෙන් තොරව, කුටිවල ද ගල්ලෙන්වල ද රජුන් හා ප්‍රභූන්ගේ මූලිකත්වය පිට කරවූ ශාන්ත අසපුවල ද නික්ලේශී මහ රහතන් වහන්සේලා වැඩ විසූහ. උන්වහන්සේලාට දන්දීම පිණිස නගරයේ විසූ සැදැහැතියෝ ඔවුනොවුන් පරයාවැර වැඩූහ. සලාක ක්‍රමයක් අනුව දන්වැට පැවැත්වූ සේ පෙනේ. පේරුවෙලා මුර වශයෙන් භික්ෂු සංඝයා වහන්සේට දෙන දන්වාරය මේ වීදියේ විසූ ඇත්තන්ට පැමිණියේය. චන්ද්‍රවංක වීදියේ පමණක් විසූවන්ට මුර බෙදාගෙන දුන් දානය අවසන් කිරීමට තිස්තුන් අවුරුද්දක් ගතවූ බැව් ජන කවිය හෙළි කරන්නේය. එදා අනුරාධපුරයෙහි පමණක් විසූ විස්මයජනක ජනගහනයේ තරම මෙයින් ඔප්පු වෙයි.

යොදුන-ගව්ව හා එදා පැරණි මංමාවත්

අනුරාධපුරයේ සියලුම වීදි අතරෙන් මඟුල් මහ වීදිය මුල්ව සිටි බව ඒ නමින්මත් හෙළි වෙයි. ජය ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩමවා ගෙන ආ රාජකීය පිරිස මේ මඟුල් මහ වීදියෙහි ගමන් කරවා දෙවනපෑතිස් මිහිපල්තුමා ඔවුන්ට හරසර දැක්වූ අන්දම ඉතිහාසයෙහි සඳහන්ව ඇත. ජය ශ්‍රී මහ බෝධි ශාඛාව ලක්දිවට වැඩම කරවද්දී ධර්මාශෝක මහ රජුගේ මස්සිනාවරුන් වන සුමිත්ත සහ බෝධිගුප්ත යන කුමාරවරුන් දෙදෙනා ද පැමිණියෝය. බෝධිය ආරක්ෂාව සඳහා විශේෂයෙන් පත්වූයේ බෝධිගුප්ත කුමාරයාණෝය. දෙවනපෑතිස් නරපතිතුමෝ මේ රාජකීය පිරිස දැක අතිශය ප්‍රීතියට පැමිණ අමාත්‍ය සමූහයා සමග සාකච්ඡා කොට බෝධි ගුප්ත කුමාරයා තමන්ගේ මයුරප්‍රාසාද නම් මාලිගාවට පමුණුවා රජෙකු හට කළ යුතු සියලු මංගල සම්මත උසස් ගෞරව පිරිනමා ලංකා ජයමහ ලේඛක (ජයමහලැන) තනතුර පවරා වොටුනු සහිත රාජාභරණයෙන් සරසවා සේසත් තුනම නංවා මඟුලැතු පිට වඩා හිඳුවා මංගල භේරින් නාද පතුරුවා දඹදිව සිට පැමිණි පිරිස සහිතව රජුගේ යුද්ධ සේනාවෙන් පිරිවරන ලදුව තූර්ය ඝෝෂා සහිතව අනුරාධපුරයෙහි ප්‍රධාන මඟුල් මහ වීදියෙහි ගමන් කරවූහ.

නිශ්ශංක ගව්ව

එදා වීදිවලට නම් තබා තුබුවා සේම සැතපුමෙන් සැතපුමට හෝ ගව්වෙන් ගව්වට ගල් කණු පිහිටුවා තිබුණ බැව් සිතිය හැක. නිශ්ශංකමල්ල රජතුමාගේ සෙල් ලිපිවලින් මෙයට සාක්ෂ්‍ය ලැබේ.

එතුමා විශාල මාවතක් තනවා ගව්වෙන් ගව්වට කණු සිටුවා නිශ්ශංක ගව්ව යැයි නම් කළ බැව් පෙනේ. මෙවැනි ගව් කණුවක් කලකට පෙර බුත්තල අසලින් සොයාගන්නා ලදී.

ගව්වක දුර යාර 5,000ක් හෝ සැතපුම් 3/4ක් පමණ වනු ඇතැයි සලකනු ලැබේ. එහෙත් ඒ පිළිබඳ ස්ථිර සාක්ෂ්‍යයක් නොමැත. නිශ්ශංක ගව්වේ දුර අපේ වර්තමාන සැතපුමකට අඩු හෝ වැඩි වේ දැයි කිව නොහැක. ඒ ගව්වේ ප්‍රමාණය නිවැරදිව බලාගැනීමට හැකි වන අයුරින් ගල් කණු අඛණ්ඩව සොයාගන්නට නොහැකි වීම පාඩුවකි. කෙසේ වුවද ගව්වේ මිම්ම ගැන නොයෙක් මතභේද ඇති සේ පෙනේ. පහත පළවන පැදියෙන් එක් මතයක් දැක්වේ.

යොදුන-ගව්ව හා එදා පැරණි මංමාවත්

යුකා සත් වියට සත් වියට අඟලෙ ක
දොළොසඟුලෙක් වියත දෙවියත රතනයෙ ක
රතන සත්යටෙක විසියට ඉසුබුයෙ ක
ඉසුබු අසුගව්ව සිවුගව්ව යොද නෙ ක

යොදුන හා ගව්ව

පුරාණයෙහි දුර මැනීම සඳහා ගව් යොදුන් ආදී වශයෙන් මිණිත ක්‍රම යොදාගෙන තුබූ සේ පෙනේ. එකල මාර්ගවල අසුන්, ඇතුන්, ගැල් හා තවලම් ද ගමන් කළ හෙයින් එයම මුල් කොටගෙන යොදුන, සැතැප්ම ආදී මිනුම් ඇතිවී යැයි සලකන්නට පිළිවන. යොදුන යන්නෙහි මූලාර්ථය නම් යෙදීම, සංයෝගය යනුයි. රියෙහි යොදන ලද අසුන්, ගවයන් ආදී සතුන් නොමුදා යන දුර ප්‍රමාණය හැඟවීමට ද ඊට පසුව එක්තරා විශේෂ දුර ප්‍රමාණයක් හැඟවීමට ද යොදුන ව්‍යවහාර වන්නට විය.

සැතපීම, විඩාසංසිඳුවා ගැනීම යන අර්ථයෙන් සැතපුම ව්‍යවහාරයට ආවේය. ගමනක් යනවිට විශ්‍රාම ගැනීමට නවතින ස්ථානය ද එබඳු ස්ථාන දෙකක් අතර දුර ද ඊට පසු විශේෂ දුර ප්‍රමාණයක් හැඟවීමට ද ‘සැතපුම’ යන පදය යොදා ගන්නා ලදී.

ඉහත කී පරිදි රටේ මංමාවත් දියුණු කළ නිශ්ශංකමල්ල රජතුමා මහජනයාගේ තත්ත්වය හා ඔවුන් පිළිබඳ තොරතුරු සියසින්ම දැකගැනීම සඳහා ලංකාවේ දුර්ගම ස්ථානයකුදු නොහැර තෙවරක්ම රට පුරා සංචාරය කළ බැව් අපේ වංශ කතාව කියයි. මෙබඳු සංචාරයක් කිරීම පහසු වූයේ එදා රට සෑම තැන ක්‍රමික මාර්ග පද්ධතියකින් වෙළී තිබුණ හෙයිනි. රටේ තොරතුරු සියැසින්ම දැක බලාගත් මිහිපල්තුමා තමා හට බාහිර සතුරන් නැති බව දැන අභ්‍යන්තර කෙලෙස් සතුරන් ජයගැනීම පිණිස වඩ වඩා පිංකිරියවතෙහි යෙදෙන්නට සනිටුහන් කරගත්තේය.

මහනුවර යුගයෙහි මංමාවත්

පණ්ඩුකාභය රාජ්‍යොදය වැනි ඉතා ඈත යුගවල පවා රටේ මංමාවත් ක්‍රමවත්ව සැලසුම්කොට තිබුණ බැව් පෙනෙන හෙයින් මින් මෑත විසූ සිංහල නරපතීන් දවස එය නොසලකා හරින ලදැයි සිතීමට හේතුවක් නැත. පරසතුරු වියවුල් නිසා රට අන්තිමටම පිරිහී තිබුණ මහනුවර යුගයෙහි ද අලංකාර වීදි පද්ධතියකින් නගරය අලංකාරව තුබූ බැව් පෙනේ. ස්වර්ණකල්‍යාණ වීදිය, නාග වීදිය, පල්ලාදෙනිය, වයිඅලයි වීදිය ආදී වීථි ඉන් සමහරෙකි. රජ මැඳුරට නුදුරු දළදා වීදිය දිගටම වඩුග රජුගේ නායක්කාර වංශික පොහොසත් නෑදෑයන් පදිංචිව සිටි බැව් කියති.

යොදුන-ගව්ව හා එදා පැරණි මංමාවත්

පුරාණ කාලයෙහි ලක් රජතුමාගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ වී ගොවිතැනෙන් ලැබුණු අස්වැන්නයි. ද්‍රව්‍ය එහා මෙහා ගෙන යෑමත්, නිපදවන අස්වැන්න රට හැමතැන බෙදා හැරීමත් සඳහා හොඳ මංමාවත් අවශ්‍ය විය. මෙවැනි හොඳ මංමාවත් තිබුණ බවට අපේ සෙල් ලිපිවලින් සාක්ෂ්‍ය ලැබේ. කිරිබත් වෙහෙර ලිපියෙන් එයට සාධක ලැබේ. කරත්ත පාරක් ගැන ඒ ලිපියේ සඳහන් කර තිබේ. එක එක දිශාවෙහි මංමාවත් සෑදීම, වැව් අමුණූ බැඳීම, ගොවිකම් කටයුතු සංවිධාන කිරීම, අලි ඇල්ලීම, ආදායම් එකතු කිරීම යන ආදී සකල කර්මාන්තම එකල දිශාවගේ භාරයේ පැවැත්තේය. සෙසු කටයුතු මෙන්ම ගම්වාසීන් ලවා මංමාවත් කරවීම ඔහුගේ රාජකාර්යයට අයත් කටයුත්තක් වූ සේ පෙනේ. සමහර මංමාවත් හොඳින් ගල් අල්ලා සකස් කළ ඒවා වූ බැව් සලකාගන්නට පිළිවන. විශේෂයෙන්ම මහනුවර යුගයෙහි මංමාවත්වලට ගල් දමා තළා තිබුණු බැව් සිතිය හැක.

කළු ගල් තළාලයි පාරට දමන්නේ

එම ගල් පෑගිලයි ගොන් කුර ගෙවෙන්නේ
ගොනා නොවෙයි හරකයි බර අදින්නේ
කිරිගල් පොත්ත කන්දයි පසුකරන්නේ
මංමාවත් තැනීමේ පුරාණ ක්‍රමය

උඩරට දුෂ්කර ගමන් මාර්ගයක තත්ත්වය තරමක් දුරට මේ කවෙන් වටහා ගන්නට පිළිවන. හරකුන්ගේ කුරවලට ලාඩං ගැසීම පෙර සිටම පැවති සිරිතක්දැයි කිව නොහේ. මේ ගොනාගේ කුරවලට නම් ලාඩං ගසා තිබුණු බවක් නොපෙනේ.

කෝට්ටේ දූවිලි සහිත පාරවල්

කෝට්ටේ යුගයෙහි මාර්ගවල තත්ත්වය එතරම් යහපත් නොවූ බැව් සංදේශගත ඇතැම් පුවතකින් හෙළිවෙයි. ‘හයකුරගසින් නැඟි රදෙසින් යුත් පුර’ යැයි කී හෙයින් එදා කෝට්ටේ මංමාවත් දූවිල්ලෙන් ගැවසී තිබුණ බැව් හෙළිවෙයි. අසුන්ගේ කුර ගැටුමට දූවිලි ඇවිස්සෙන පාර එතරම් සතුටුදායක නොවේ. කෝට්ටේ භූමියෙහි තත්ත්වය ගැන සලකන විට එදා පාරවල දූවිල්ල ඉතා රතු පැහැය ගත්තා වෙන්නට ඇත. කෝට්ටේ ඇත්තේ කබුක්ගල් පොළවකි. එහි පස රක්ත වර්ණ වන බැවිනි.

පීටර් විජේසිංහ
(1961දී ලියන ලද්දකි)

සුරැකුම – නාරද නිශ්ශංක


advertistmentadvertistment