රක්ෂිතය වැනසූ පස් ජාවාරම්කරුට තඹුත්තේගම මූලස්ථාන පොලිසියෙන් අමුතු සැපක්

358

ඉහළ නිලධාරීන් දෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වෙනවා – ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. ජේ. අතුකෝරළ

කාලයක සිට තඹුත්තේගම තෙල්හිරියාව රක්ෂිතය ඇතුළේ මහා පරිමාණ අයුරින් පස් හාරමින් පරිසරයට විශාල හානියක් සිදු කරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් රාජාංගණය, කලුන්දෑගම පදිංචි පස් ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගත්දා පටන්ම සති දෙකක් තිස්සේ පොලිස් ඇප ලබා දෙමින් අධිකරණයට ඉදිරිපත් කිරීම මගහැර සිටීමට තඹුත්තේගම

මූලස්ථාන පොලිසිය උත්සාහ දරමින් සිටින බවත් මෙම පස් ජාවාරම්කරු ඉහළ පොලිස් නිලධාරීන් සමග පවත්වන කිට්ටු සම්බන්ධතාවන් නිසාවෙන් තඹුත්තේගම පොලිසියේ නිලධාරීන් මෙලෙස මෙම පුද්ගලයාට අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමට ඈලිමෑලිගති පාන බවත් නල්ලච්චිය 404 ඩී 1 ගොවි සංවිධානයේ ගොවීහු පිරිසක් පවසති. මෙම ගොවීන් පිරිස මේ බව පවසා සිටියේ ඉකුත් 21 දා අදාළ පස් ජාවාරම්කරු රක්ෂිතයේ පස් කපමින් සිදු කර ඇති මහා පරිමාණ පරිසර හානිය පෙන්වා දෙමිනි.

මෙහිදී මෙම ජාවාරම්කරු සිදුකර ඇති පරිසර හානිය සම්බන්ධයෙන් එම ගොවි සංවිධානයේ ගොවීන් විවිධ මත පළකර සිටි අතර එම ගොවි සංවිධානයේ සභාපති ඩබිලිව්. ඩී. විජේරත්න මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

මේ පස් ජාවාරම්කාරයින් කාලයක සිට රක්ෂිතය ඇතුලෙ ගජරාමෙට පස් කැපීම කරගෙන යනවා. අපි හිතන්නේ බලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුවත්ව හිටියත් මොහු එම අයත් එක්ක පවත්වන කිට්ටු සම්බන්ධතා නිසා කාලයක් තිස්සේ මේ ඉහල නිලධාරීන් මේ සම්බන්ධයෙන් වගේ වගක් නැතිවයි හිටියේ. කොහොම හරි මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාවගේ තිබූ දැඩි විරෝධය නිසාත් දැඩි ඉල්ලීම් නිසාත් පසු ගිය 7 දා තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ නිලධාරීන් සහ මහවැලි එච් කලාපයේ නිලධාරීන් විසින් එක්ව සිදු කළ වැටලීමකදී එම ස්ථානයේ පස් හෑරීමට යොදාගත් බැකෝ යන්ත්‍රයක් සහ වැටලීම අවස්ථාවේදී පැන ගිය එක් ජාවාරම්කරුවකුත් පසුගිය 10 වෙනිදා තඹුත්තේගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නමුත් අදාළ පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත්ත දා පටන් මේ වනතුරුත් අධිකරණයට ඉදිරිපත් නොකර සති දෙකක තිස්සේ පොලිස් ඇප ලබාදී තිබෙනවා. මෙපමණ පරිසර හානියක් කරපු අයෙක් මේ විදිහට පොලිස් ඇපදිදී අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මහාපරිමාණ පරිසර හානියක් යට ගැසීමේ වුවමනාවක් නිසා කියලයි අපට සැක මතුවෙලා තියෙන්නේ.

මෙලෙස නීති විරෝධීව රක්ෂිතයක පස් කැපීමක හේතුවෙන් අත්අඩංගුවට ගත් බැකෝ යන්ත්‍රය සහ අදාළ සැකකරු සම්බන්ධයෙන් සතිදෙකක් ගතවෙලත් අධිකරණයට කරුණු වාර්තා තොකරන්නේ ඉහළ පොලිස් නිලධාරීන්ගේ බලපෑමක් නිසාද යනුවෙන් තඹුත්තේගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. ජේ. අතුකෝරළ මහතාගෙන් විමසීමේදී ඒ මහතා මෙසේ කීය.

අදාළ පුද්ගලයා මා ළඟට ඇවිල්ලා ඒ සඳහා අනුමැතිය ලබාගෙන ඇති බවට ලියුම් ගොඩක් පෙන්නුවා. ඒ වගේම මා මේ සම්බන්ධයෙන් උසස් නිලධාරීන්ගෙන් උපදෙස් පතල තියෙනවා. මේ සම්බන්ධයෙන් මා ඉහළ නිලධාරීන් දෙන උපදෙස් අනුව මා ක්‍රියාත්මක වෙනවා.

මකුලෑව – එල්. ඒ. කුමාර


advertistmentadvertistment