රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය – වෘත්තීයවේදී සමිති එකමුතුවෙන් අද කොටුවේ විරෝධතාවක් 10 දා රැලියක්

152

රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය දැක්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා අද (04 දා) දහවල් 12.00 ට වෘත්තීයවේදීන්ගේ සමිති එකමුතුව විසින් කොටුව දුම්රියපළ ඉදිරිපිට විරෝධතාවක් දැක්වීමටත්, අප්‍රේල් 10 වැනිදා රැලියක් පැවැත්වීමටත් එම එකමුතුව ඊයේ (03 දා) තීරණය කළේය.

රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය දැක්වීම, නව ත්‍රස්ත විරෝධී පනත අහෝසි කිරීම, ජාතික සම්පත් විකිණීම නැවැත්වීම, ජීවත්වීමට සරිලන දීමනාවක් ලබා ගැනීම සහ වෘත්තීය සමිති මර්දනයට එරෙහිව මෙම විරෝධතාව දක්වන බව එම එකමුතුවේ කමිටු සාමාජික මහින්ද ජයසිංහ මහතා පැවසීය.

ඉල්ලීම් කිහිපයකට විසඳුම් ලබා ගැනීම සඳහා තීරණයක් ගැනීම සඳහා මෙම සාකච්ඡාව විද්වත් වෘත්තිකයන්ගේ සම්මේලනයේදී ඊයේ සවස 3.00 ට පමණ ආරම්භ වී විවිධ අදහස් සහ යෝජනා ඉදිරිපත්වීම නිසා සාකච්ඡාව පැය 02 කට වැඩි කාලයක් පවත්වනු ලැබීය.

මෙම සාකච්ඡාව සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය, ඉංජිනේරු සංගමය ඇතුළු රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වෘත්තීය සමිති රැසක නියෝජිතයෝ එක්ව සිටියහ.
චමින්ද සිල්වා


advertistmentadvertistment